Skip to content

පටුනට යන්න

මුහුදේ අග්නි මාණික්‍යය

මුහුදේ අග්නි මාණික්‍යය

මුහුදේ අග්නි මාණික්‍යය

නවසීලන්තයේ පිබිදෙව්! ලේඛක විසින්

මුහුදු වතුරෙන් යට වූ ගල් මත සැරිසරමින් පාසි වර්ග සොයා යන අරුම පුදුම බෙල්ලෙක් සිටිනවා. උගේ කටුවේ තිබෙන මැලියම් සහ එහි සිටින කුඩා සතුන් නිසා බැලූ බැල්මට උගේ කටුව එතරම් අලංකාරවත් නැහැ. නමුත් ඒවා ඉවත් කළ විට එය රන් සහ රිදී පැහැයෙන් දිදුලන නිල්, කොළ, දම්, කහ සහ රෝස පැහැයෙන් වර්ණවත් වූ ඉතා අලංකාරවත් කටුවක් ලෙස දිස්වෙනවා.

අපි මේ කතා කරන්නේ නවසීලන්තයට පමණක් සීමා වූ බෙල්ලන් විශේෂයක් ගැනයි. උන්ව පාවා (paua) යන නමින් හඳුන්වනවා. සාමාන්‍යයෙන් උන් ජීවත් වෙන්නේ මුහුද යට ඇති ගල් මතයි. ඉතා අලංකාරවත් ආභරණ සෑදීමට උන්ගේ කටුව භාවිත කළත් ආහාර සඳහාත් උන්ට හොඳ ඉල්ලුමක් තිබෙනවා. ඒ වගේම මුතු සාදාගැනීමටත් උන්ව යොදාගැනෙනවා.

ලොව පුරාම පාවාගේ කුලයට අයත් බෙල්ලන් විශේෂ සිය ගණනක් සිටිනවා. උදාහරණයකට දකුණු අප්‍රිකාවට සහ කැලිෆෝනියාවට පමණක් ආවේණික පාවාගේ කුලයට අයත් බෙල්ලන්ව දැකගන්න පුළුවන්. එමෙන්ම රටින් රටට මෙම බෙල්ලන්ව හඳුන්වන නමද වෙනස් වෙනවා. ජපන් ජාතිකයන් උන්ව ආවාබි ලෙසත් ඕස්ට්‍රේලියානු ජාතිකයන් මට්න්ෆිෂ් ලෙසත් ගුයිර්සෙ දූපත් වැසියන් ඔර්මර් ලෙසත් උන්ව හඳුන්වනවා. ඒත් මේ ලිපියේ සලකා බලන දීප්තිමත් වර්ණයකින් හෙබි පාවා උරුමකම් කියන්නේ නවසීලන්තයේ වෙරළ තීරයට පමණයි.

ඇත්තෙන්ම පුදුමයක්!

පාවාගේ කටුව අග්නි මාණික්‍යයක් මෙන් විවිධ වර්ණවලින් දිස් වෙන්නේ එහි ඇති ප්‍රෝටීන් හා කැල්සියම් නිසයි. මෙහි තිබෙන වර්ණ නිසාම පාවාව මුහුදේ අග්නි මාණික්‍යය කියාත් හඳුන්වනවා. සාමාන්‍යයෙන් මුහුදු ජලයේ උෂ්ණත්වය පහළ ගිය විට පාවාට නින්ද යනවා. ඒ නිසා පාවාගේ කටුවේ වර්ධන වේගය අඩුයි. උන් ගැන අධ්‍යයනය කරන එක් පර්යේෂකයෙක් පැවසුවේ පාවාගේ කටුව මෙතරම් වර්ණවත් වීමට හේතු වී ඇත්තේ ජලයේ ඇති පෝෂ්‍යපදාර්ථ හා උන් ආහාරයට ගන්නා විවිධ වර්ණවලින් යුත් මුහුදු ශාක කියා සිතිය හැකි බවයි.

පාවා උගේ ආහාර ගැන ඉතා සැලකිලිමත්. උන් කිසිමදාක මුහුදු ඉකිරියන් (sea urchin) අසල ජීවත් වන්නේ නැහැ. ඊට හේතුව මුන් දෙගොල්ලන්ම ආහාරයට ගන්නේ එකම වර්ගයේ මුහුදු ශාක වීමයි. මේ අහිංසක සතුන්ටත් භයානක සතුරන් සිටිනවා. ඒ පසැඟිල්ලන් (starfish). ඌ පාවා හුස්ම ගන්නා සිදුරුවලට උගේ අඬු දමා පාවාගේ හුස්ම හිර කරනවා. පසැඟිල්ලාගේ භයානක ප්‍රහාරයෙන් අන්ත අසරණ තත්වයකට පත් වෙන පාවා පසැඟිල්ලාට ප්‍රණීත ආහාරයක් වෙමින් ගලෙන් ගැලවී වැටෙනවා. මේ ආකාරයට පසැඟිල්ලන් කිහිපදෙනෙකුට පාවාගේ මුළු රජදහනම වුණත් විනාශ කළ හැකියි.

විවිධ ප්‍රයෝජන

පාවාගේ කලු පැහැති පෙනුම එතරම් සිත්ගන්නාසුලු නොවුණත් සියවස් ගණනාවක සිට නවසීලන්තයේ වැසියන් උන්ගේ මාංශ ඉතා වටිනා යමක් ලෙස සලකනවා. සාමාන්‍යයෙන් ආහාරයට ගන්නේ පාවාට ගල් මත යන්න උපකාරවත් වන උන්ගේ පේශියි. උන්ගේ කටු විවිධ සැරසිලි හා මාළුන්ව ආකර්ෂණය කරගැනීමටත් භාවිත කරනවා. එමෙන්ම උන්ගේ අලංකාරවත් කටු විසිතුරු ආභරණ සෑදීමටත් පිළිමවල ඇස් තැබීම සඳහාත් යොදාගන්නවා.

වෙන කවරදාකටත් වඩා අද දින මුන්ට ඇත්තේ විශාල ඉල්ලුමක්. නවසීලන්තයට යන සංචාරකයෙක් කිසි දිනක උන්ගේ කටුවලින් සෑදූ ආභරණයක් මිල දී ගැනීමට ලෙහෙසියෙන් අමතක කරන්නේ නැහැ.

පාවාගෙන් ලොකු විදේශ විනිමයක් උපයාගත හැකි නිසා අද දින නවසීලන්තයේ කිමිඳුම්කරුවන් උන්ව සොයාගැනීමට විශේෂ උත්සාහයක් දරනවා. මේ නිසා උන්ගේ වඳ වී යෑම වළක්වාගැනීම සඳහා වාර්ෂිකව උන්ව ඇල්ලිය හැකි ප්‍රමාණයක් රජය විසින් නිර්දේශ කර තිබෙනවා. උන්ව ටින්වල අසුරා ආසියාවේ වෙළඳපොළටත් අයිස්වල දමා සිංගප්පූරුව සහ හොං කොං වැනි රටවලටත් අපනයනය කරනවා. එම රටවල සිටින අයට ඒවා ඉස්තරම් වර්ගයේ මිල අධික ආහාරයක්. උන්ගෙන් විවිධ වර්ගයේ ආහාර පිළියෙල කරගත හැකියි. නවසීලන්තයේ මුන් කොතරම් සිටියත් විදේශ රටවලින් තිබෙන ඉල්ලුම නිසා බොහෝ නවසීලන්ත වැසියන්ට උන්ගේ රස බලන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

ආහාර සඳහා මේ සතුන්ට හොඳ ඉල්ලුමක් තිබෙන නිසා බොහෝ අය තාක්ෂණික ක්‍රම යොදාගෙන උන්ව බෝ කරනවා. ඕස්ට්‍රේලියාව, ජපානය සහ ඇමරිකාව ඊට කදිම උදාහරණ ලෙස දැක්විය හැකියි. මෙම තාක්ෂණික ක්‍රමය යොදාගැනීම තුළින් පාවා වර්ගයට අයත් වෙනත් බෙල්ලන් විශේෂ බෝ කිරීමට ඔවුන්ට හැකි වී තිබෙනවා. මේ ක්‍රමය තුළින් සිදු වන්නේ උන්ගේ ස්වාභාවික නිවහන වෙනුවට උෂ්ණත්වය පාලනය කරන ලද ටැංකිවල උන්ට නව නිවහනක් තනා දීමයි.

පාවාට හුඟක් ආහාර අවශ්‍යයි. සාමාන්‍යයෙන් සතියකට උන් ගන්නා ආහාර ප්‍රමාණය උගේ ශරීරයේ බරින් අඩකට සමානයි. එමෙන්ම උන් ඉතා ක්‍රියාශීලී ජීවීන් විශේෂයක්. උන්ව උඩුබැලි අතට හැරෙව්වත් උන්ට ඉක්මනින්ම අනික් පැත්තට හැරීමේ හැකියාව තිබෙනවා. කොහොමවුණත් මේ සතුන් හරිම අහිංසකයි. එක් පර්යේෂකවරියක් පාවා ගැන මෙසේ පැවසුවා. “උන් තමන්ගේ පාඩුවේ ඉන්න, අහිංසක බෙල්ලෝ ජාතියක්. ඒ නිසා උන්ව ඇති කරන එක හරිම ලෙහෙසියි.”

පාවාගේ මුතු

පාවාගේ කටුවේ අලංකාරය ගැනත් ආහාර සඳහා තිබෙන ඉල්ලුම ගැනත් පවසා උන්ගේ මුතු ගැන සඳහන් කළේ නැතිනම් එය අඩුවක්. සාමාන්‍යයෙන් මුන් තුළත් ස්වාභාවිකවම මුතු ඇති වෙනවා. නමුත් 1890 ගණන්වලදී ප්‍රංශ ජාතික විද්‍යාඥයෙක් වූ ලූවි බූටාන් හඳුන්වා දුන් ක්‍රමය යොදාගෙනත් උන්ගෙන් මුතු ලබාගන්න පුළුවන්. එසේ ලබාගන්නා මුතු රවුම් හැඩයකට සමාන හැඩයක් ගන්නා අතර පාවාගේ කටුවේ වර්ණ ඒ මුතුවලත් දකින්න ලැබෙනවා. පාවාගෙන් මුතු ලබාගන්නේ කෙසේද කියා දැන් අපි බලමු.

මුලින්ම පාවාගේ කටුව මදක් විවෘත කරනවා. ඉන් පසු කුඩා වැලි කැට හෝ කෝටු කැබලි හෝ ලෝහ කැබලි හෝ අස්ථි කැබලි වැනි දේවලින් එක් වර්ගයක් ස්ථාන තුනකින් ඇතුල් කරනවා. මෙසේ ඇතුල් කළ කුඩා කැබලි වටා පාවාගේ කටුව සෑදීමට දායක වන ද්‍රව්‍ය එකතු වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අවුරුදු එකහමාරකට පමණ පසුව කුඩා මුතු ඇටයක් නිර්මාණය වෙනවා. මෙය මූලිකවම සෑදී තිබෙන්නේ කැල්සියම් කාබනේට්වලිනුයි. (කොටුව බලන්න.) කෙසේවෙතත් සම්පූර්ණ මුතු ඇටයක් සෑදෙන්න අවුරුදු හයක් පමණ ගත වෙනවා. නමුත් ඉස්තරම්ම තත්වයේ තිබෙන මුතු ඇටයක් ලෙස සැලකිය හැක්කේ මුතු ඇට 50කින් එකක් පමණයි. එවැනි මුතු ඇටයක මතුපිට ඉතා සිනිඳු වන අතර දිදුලන වර්ණද එහි දැකිය හැකියි.

පාවාගෙන් සම්පූර්ණයෙන්ම රවුම් මුතු ඇටයක් ලබාගැනීමට පර්යේෂකයන්ට තවමත් හැකි වී නැහැ. ඊට හේතුව මුතු බෙල්ලන්ට වඩා වෙනස්ව පාවා උගේ බඩේ තිබෙන එක් පේශියක් යොදාගෙන කටුව තුළට පැමිණෙන ඕනෑම කුඩා දෙයක් ඉවත් කිරීමයි. සමහරවිට උන්ගෙන් සම්පූර්ණ රවුම් හැඩයක් ඇති මුතු ලබාගන්නේ කෙසේද කියන රහස ඉදිරියේදී සොයාගනියි.

එතෙක් පාවාගේ මනරම් කටුවත් එයින් නිම වන ලද ආභරණත් දැකීමෙන් අපට සතුටක් ලැබිය හැකියි. මෙවැනි අරුම පුදුම ජීවියෙකුව නිර්මාණය කිරීම ගැන අපි යෙහෝවා දෙවිට කොතරම් ස්තුතිවන්ත විය යුතුද?—යාකොබ් 1:17.

[24, 25වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ශක්තිමත් කටුවක්

පාවාගේ කටුව මූලිකවම සෑදී තිබෙන්නේ කැල්සියම් කාබනේට්වලිනුයි. හුණු කෑල්ලක් (chalk) සෑදී තිබෙන්නේද කැල්සියම් කාබනේට්වලින්මයි. ඒත් පාවාගේ කටුව හුණු කෑල්ලකට වඩා තිස්ගුණයකින්වත් ශක්තිමත් කියා කිව හැකියි.

පාවාගේ කටුවේ ඇති තරල සෑදී තිබෙන්නේ මුහුදු වතුරේ ඇති කැල්සියම් කාබනේට් ආධාරයෙන් නිසා ඊට පුදුමාකාර අලංකාරයක් හා ශක්තියක් ලැබී තිබෙනවා. පාවාගේ කටුවේ තරල එකිනෙක සම්බන්ධ වී තිබෙන්නේ කොන්කයලින් ලෙස හඳුන්වන ශක්තිමත් බදාමයෙනුයි.

පාවාගේ කටුවේ ව්‍යුහය සහ එහි තරල එකිනෙක සම්බන්ධ කරන බදාම ගැන අධ්‍යයනය කරමින් යමක් නිෂ්පාදනය කරන්න විද්‍යාඥයන්ට තවමත් හැකි වී නැහැ. පාවාගේ කටුවේ ඉරි තැළීමක් සිදු වුණොත් එය නැවතත් යථා තත්වයට පත් වෙනවා. එමෙන්ම කටුව බිඳී යෑමෙන් ආරක්ෂා වීමට දායක වන ක්‍රම පහක් පමණ තිබෙනවා. යෙහෝවා දෙවිගේ දක්ෂ නිර්මාණශීලීත්වයට මෙය මොන තරම් කදිම සාක්ෂියක්ද!

[හිමිකම් විස්තර]

© Humann/​gt photo

[23වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Top left: © K.L. Gowlett-Holmes; top right: Marcus Byrne/​Photographers Direct

[25වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Silverdale Marine Hatchery, New Zealand