Skip to content

පටුනට යන්න

මුළා කරවන වෙළඳ දැන්වීම්

මුළා කරවන වෙළඳ දැන්වීම්

මුළා කරවන වෙළඳ දැන්වීම්

පෝලන්තයේ පිබිදෙව්! ලේඛක විසින්

ටොමෙක් ඇසිපිය නොහෙළා රූපවාහිනී තිරය දෙසම බලාගෙන සිටිනවා. ඔහුගේ සම්පූර්ණ අවධානයම යොමු වන්නේ ආකර්ෂණීය වෙළඳ දැන්වීමක් වෙතටයි. එහි පවසන්නේ “ඔබේ දරුවා දක්ෂ ක්‍රීඩකයෙක් මෙන්ම යාහළුවන් අතරේ කැපී පෙනෙන කෙනෙක් වෙනවා දකින්න ඔබ කැමති නම් මෙය ඔහුට ලබා නොදෙන්නේ ඇයි?” එය දුටු සැණින් ටොමෙක් එම දැන්වීමේ පසුබිම් සංගීතය මුමුණමින් තම පියා වෙතට දිව ගොස් “තාත්තේ මට අරක අරන් දෙනවද?” කියා විමසුවා.

▪ දරුවන් දැන්වීම්වල දකින දේවල් ඉල්ලා සිටින්නේ ඇයි? ඊට හේතුව වන්නේ “වෙනත් අය ළඟ තිබෙන දේවල් තමන්ටත් ලබාගැනීමට තිබෙන ආශාවයි. දරුවන් සිතන්නේ අන් අය තමන්ව පිළිගන්නේ ඔවුන්ට තිබෙන දේවල් තමන්ටත් තිබෙනවා නම් පමණයි කියායි.” එවැනි අදහසක් පෝලන්තයේ සඟරාවක පළ වුණා. සමහර අවස්ථාවලදී දරුවන් යමක් ඉල්ලා අඬනවා නම් හෝ ඇවිටිලි කරනවා නම් හෝ මුහුණ දික් කරගෙන ඉන්නවා නම් මුලින් දෙමාපියන් අකමැති වුණත් පසුව ඔවුන්ට එය ලබාදීමට තීරණය කරන්න පුළුවන්.—එම සඟරාව Rewia.

දරුවන්ව ඇදගන්නා වෙළඳ දැන්වීම් එතරම් ආකර්ෂණීය වන්නේ ඇයි? මේ සම්බන්ධයෙන් යෝලන්ටා වොන්ස් නම් මනෝ විද්‍යාඥවරියක් අදහස් දැක්වූයේ මෙසේයි. “එවැනි දැන්වීම්වලින් යම් භාණ්ඩයක මිල, තත්වය හෝ එහි ප්‍රයෝජනය ගැන වැඩි යමක් කියන්නේ නැහැ. ඒ වෙනුවට එයින් සිදු වන්නේ දරුවාගේ සිත ආකර්ෂණය කරගැනීමට විචිත්‍රවත් ආකාරයෙන් හෝ සුරංගනා කතාවල චරිත යොදාගනිමින් ඒ දැන්වීම් ඉදිරිපත් කිරීමයි. ඒත් දරුවන් එවැනි චරිත මනඃකල්පිත ඒවා කියා සිතීමට තරම් බුද්ධිමත් අය නොවෙයි. ඒ නිසා ඔවුන්ට එම භාණ්ඩය අවශ්‍යයි කියා ඔවුන් සිතනවා.”

මෙලෙස මුළා කරවන වෙළඳ දැන්වීම්වලට නොරැවටී සිටීමට දරුවන්ට උපකාර කිරීමට ඔබට හැක්කේ කෙසේද? ඒ සඳහා මුලින්ම ඔබ කළ යුත්තේ “දරුවා සමඟ මේ ගැන කතා කිරීමයි. කෙනෙක් අඳින ඇඳුම් නිසාවත් පළඳින සපත්තු නිසාවත් ඒ තැනැත්තාගේ තත්වය උසස් වෙන්නේ නැති බව ඔහුට හෝ ඇයට පෙන්වා දිය යුතුයි” කියා කලින් සඳහන් කළ සඟරාවේ දක්වා තිබුණා. ඒ නිසා ළමා කාලය සතුටින් ගත කිරීමට නවීන පන්නයේ සෙල්ලම් බඩු අත්‍යවශ්‍ය නොවන බව ඔබේ දරුවාට ඒත්තු ගන්වන්න. දෙවනුව වෙළඳ දැන්වීම්වලින් යම් බලපෑමක් ඔබේ දරුවාට තිබෙන බව දෙමාපියන් වන ඔබ තේරුම් ගත යුතුයි. මේ සම්බන්ධයෙන් යෝලන්ටා වොන්ස් පවසන්නේ “අපේ දරුවන්ට අවශ්‍ය මොනවද නැත්තේ මොනවද කියලා වෙළඳ දැන්වීම්වලට තීරණය කරන්න ඉඩ දෙන්න එපා” කියායි.

බයිබලයේ සඳහන් උපදෙස්වලින්ද දෙමාපියන්ට මහත් ප්‍රයෝජන ලැබිය හැකියි. බයිබල් ලේඛකයෙක් වූ යොහන් පැවසුවේ “ලෝකයේ තිබෙන සියල්ල එනම් මාංසයේ ආශාවත්, ඇස්වල ආශාවත්, තමන්ගේ දේපළ ප්‍රදර්ශනය කිරීමත් පැමිණෙන්නේ පියාගෙන් නොව, ලෝකයෙන්ය” කියායි.—1 යොහන් 2:15, 16.

අද අපි දකින බොහෝ වෙළඳ දැන්වීම්වලින් කෙරෙන්නේ අපේ ‘ඇස්වල ආශාව’ ඇති කිරීමයි. එමෙන්ම තරුණ මහලු සියලු දෙනාටම ‘තමන්ගේ දේපළ ප්‍රදර්ශනය කිරීමට’ උනන්දු කරනවා. යොහන් පසුව මෙවැනි දෙයක්ද පැවසුවා. “ලෝකයත් එහි ආශාවත් පහව යන්නේය. නමුත් දෙවිගේ කැමැත්ත කරන්නා සදහටම පවතින්නේය.”—1 යොහන් 2:17.

නිතිපතා තම දරුවන්ට යහපත් දේවල් කියා දීමට කාලය ගන්නා දෙමාපියන්ව ඇත්තෙන්ම අගය කළ යුතුයි. එසේ දරුවන් සමඟ කාලය ගත කරන විට දෙවිගේ ප්‍රමිති සහ උසස් සදාචාරමය ප්‍රතිපත්ති සිතට කාවදින ආකාරයෙන් ඔවුන්ට ඉගැන්විය හැකියි. (ද්විතීය කතාව 6:5-7) දෙමාපියන් එසේ කරනවා නම් මේ ලෝකයේ ඉදිරිපත් කරන මුළා කරවන දැන්වීම්වලට හසු නොවී සිටීමට දරුවාට පහසුයි. එමෙන්ම දරුවන් එවැනි දැන්වීම්වල දකින සෑම දෙයක්ම තමන්ට ලබාදෙන්න කියා දෙමාපියන්ට බල කරන්නේද නැහැ.