Skip to content

පටුනට යන්න

ඔබ දුක් විඳින්නේ දෙවිගෙන් ලද දඬුවමක් නිසාද?

ඔබ දුක් විඳින්නේ දෙවිගෙන් ලද දඬුවමක් නිසාද?

බයිබලයෙන් පිළිතුරක්

ඔබ දුක් විඳින්නේ දෙවිගෙන් ලද දඬුවමක් නිසාද?

වයස අවුරුදු 50ක විතර කාන්තාවක් තමන්ට පිළිකා රෝගය වැළඳී තිබෙන බව දැනගත් විට ඇයට හැඟුණේ “මේක නම් දෙවියන් දුන් දඬුවමක්” කියලයි. ඇය මීට වසර ගණනාවකට කලින් කළ වැරදි ගැන සිතා මෙවැනි තීරණයකට එළඹුණා. “මම මේ විදිහට දුක් විඳින්නේ මම කළ වරදකට දෙවි දඬුවම් කරන නිසා වෙන්න ඇති.”

බොහෝදෙනෙක් සිතන්නේ තමන් දුක් කරදරවලට මුහුණ දෙන්නේ ඔවුන් අතීතයේදී කළ වැරදිවලට දෙවි දඬුවම් කරන නිසා කියායි. එවැනි දුක් කරදරවලට හදිස්සියෙන්ම මුහුණ දීමට සිදු වෙන විට ඔවුන් මෙසේ හඬා වැලපෙන්නේ ඒ නිසයි. “මටම මෙහෙම වෙන්නේ මම මොන වරදක් කළාටද?” අපිට දුක් කරදර පැමිණෙන්නේ දෙවි අපව අත් හැර දමා තිබෙන නිසා කියා සිතිය යුතුද? අපි දුක් කරදර විඳින්නේ ඇත්තටම දෙවි දඬුවම් කරන නිසාද?

විශ්වාසවන්ත සේවකයන් පවා දුක් කරදර අද්දැක්කා

බයිබලයේ සඳහන් කර ඇති යෝබ් නම් තැනැත්තා ගැන සිතා බලන්න. ඔහුට තිබුණු සෑම සම්පතක්ම හදිස්සියේම නැති වුණා. තද සුළඟක් හමා නිවස කඩා වැටීම හේතුවෙන් ඔහුගේ දරුවන් දසදෙනා මිය ගියා. පසුව යෝබ්ට ඉතා වේදනකාරී රෝගයක්ද වැළඳුනා. (යෝබ් 1:13-19; 2:7, 8) ඔහු අද්දැක්ක මේ දරුණු තත්වයන් නිසා ඔහුට හැඟුණේ ‘මෙය දෙවිගෙන් ලද දඬුවමක්’ ලෙසයි.—යෝබ් 19:21, ව ලොව පරිවර්තනය, NW.

කෙසේවෙතත් යෝබ්ට මෙම දුක් කරදර පැමිණෙන්න කලින් ඔහු “අවංක, නිර්දෝෂව හැසිරෙන, මට [දෙවිට] ගරුබිය දක්වන, වැරදි දෙයින් ඈත් වී සිටින කෙනෙක්” බව දෙවි පවසා තිබුණා. (යෝබ් 1:8NW) මින් පැහැදිලි වන්නේ යෝබ්ට දෙවිගේ අනුමැතිය තිබුණු බවයි. එසේනම් දෙවිගේ අනුමැතිය දිනා සිටි යෝබ්ට දෙවි දඬුවම් කරයිද?

දෙවිට විශ්වාසවන්තව සේවය කළ එවැනි බොහෝදෙනෙක් අද්දැක්ක තත්වයන් ගැන බයිබලයේ සඳහන් වී තිබෙනවා. යෝසෙප් ඉන් එක්කෙනෙක්. තමන් නොකළ වරදකට වසර ගණනාවකට සිර දඬුවම් විඳින්න ඔහුට සිදු වුණා. (උත්පත්ති 39:10-20; 40:15) විශ්වාසවන්ත සේවකයෙක් වූ තිමෝතිද ‘නිතර අසනීප’ වූ බව බයිබලයේ සඳහන් වෙනවා. (1 තිමෝති 5:23) කිසිම පාපයක් හා වරදක් නොකළ පුද්ගලයෙක් වූ යේසුස් පවා දරුණු පීඩාවලට මුහුණ දුන් අතර ඉතා දුක්ඛිත මරණයක් අද්දැක්කා. (1 පේතෘස් 2:21-24) මේ කරුණු සලකා බලන විට පැහැදිලි වන්නේ අපට දුක් කරදර පැමිණෙන විට දෙවි අපව අත හැර දමා තිබෙනවා කියා සිතීම සාධාරණ නොවන බවයි. අපට දුක් කරදර පමුණුවන්නේ දෙවි නොවෙයි නම් ඊට වග කිව යුත්තේ කවුද?

දුක් කරදර ඇති වීමට හේතු

යෝබ්ට දුක් කරදර ඇති කළේ සාතන් බව බයිබලයේ පවසා තිබෙනවා. (යෝබ් 1:7-12; 2:3-8) එමෙන්ම බයිබලයේ තවදුරටත් පවසන්නේ “පොළොවටත් මුහුදටත් දුක් වේ. මන්ද යක්ෂයා තමාට ඇත්තේ කෙටි කාල පරිච්ඡේදයක් බව දැන, ඔහු මහත් කෝපයෙන් ඔබ වෙතට බැස ඇවිත් සිටින්නේය” කියායි. (එළිදරව් 12:12) එයින් පැහැදිලි වන්නේ දුක් කරදරවලට මූලිකවම වග කිව යුත්තේ සාතන් බවයි. සාතන් “මේ ලෝකයේ පාලකයා” නිසා ඔහු බොහෝදෙනෙකුව නරක ක්‍රියාවලට පොළඹවනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අද පොළොවේ ඉතා වියවුල් සහගත මෙන්ම දුක්ඛිත තත්වයක් පවතිනවා.—යොහන් 12:31; ගීතාවලිය 37:12, 14. *

කෙසේවෙතත් අපට පැමිණෙන සෑම දුක් කරදරවලටම වග කිව යුත්තේ සාතන් කියා තීරණය කිරීමට ඉක්මන් නොවිය යුතුයි. මන්ද අපට උරුම වී තිබෙන පාපය හා වැරදි කිරීමට තිබෙන නැඹුරුවාව නිසාද අප යම් අඥාන තීරණ ගන්නවා. ඒ නිසාත් අපට දුක් කරදරවලට මුහුණ දීමට සිදු වෙනවා. (ගීතාවලිය 51:5; රෝම 5:12) උදාහරණයකට කෙනෙක් තමන් කන බොන දේ ගැනවත් සෞඛ්‍ය ගැනවත් එතරම් සැලකිල්ලක් නොදක්වා කටයුතු කරනවා කියා සිතන්න. මේ නිසා ඔහුට යම් රෝගයක් වැළඳුණොත් ඔහු සාතන්ට දොස් නැඟීම සාධාරණද? කිසිසේත්ම නැහැ. ඔහුට එවැනි දෙයකට මුහුණ දීමට සිදු වුණේ ඔහු තමන් ගැන සැලකිලිමත් නොවූ නිසයි. (ගලාති 6:7) මෙලෙස අඥානව ක්‍රියා කරන අය ගැන බයිබලයේ පවසන්නේ “මිනිසෙකු තමාගේම මෝඩකම නිසා ජීවිතය අවුල් කරගනී” කියායි.—හිතෝපදේශ 19:3NW.

“නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ සිදුවීම්” නිසාද අපට දුක් කරදරවලට මුහුණ දීමට සිදු වෙනවා. (දේශනාකාරයා 9:11NW) උදාහරණයකට බලාපොරොත්තු නොවූ අවස්ථාවක හදිස්සයෙන්ම කෙනෙක් ධාරානිපාත වර්ෂාවකට අසු වුණා කියා සිතන්න. ඔහු සම්පූර්ණයෙන්ම වැස්සට තෙමෙයිද නැද්ද කියා තීරණය වන්නේ ඔහු සිටන ස්ථානය අනුවයි. ඒ හා සමානව අද අප ජීවත් වන්නේ ‘කටයුතු කිරීමට අසීරු, අන්තරාදායක කාලවල්වලයි.’ ඒ නිසා අපට හදිස්සියේම බොහෝ දුක් කරදරවලට මුහුණ දීමට සිදු වෙනවා. (2 තිමෝති 3:1-5) නමුත් අප මුහුණ දෙන දුක් කරදර අපට කොතරම් දුරට බලපානවාද කියා රඳා පවතින්නේ කාලය හා උද්ගත වන තත්වය මතයි. සමහර විට අපට ඒ කාලය හා තත්වය යම් තාක් දුරකට පාලනය කිරීමට හෝ කොහෙත්ම පාලනය කිරීමට නොහැකි විය හැකියි. මින් අදහස් කරන්නේ අපට සැමදාටම දුක් කරදරවලට මුහුණ දීමට සිදු වන බවද?

සියලුම දුක් කරදරවලට නිමාවක්

අප අද්දකින මේ සියලුම දුක් කරදරවලට නිමාවක් යෙහෝවා දෙවි ඉතාමත් ළඟදී ගෙනෙනවා. (යෙසායා 25:8; එළිදරව් 1:3; 21:3, 4) ඒ වන තුරු දෙවි අපට අවශ්‍ය මඟපෙන්වීම් හා ‘ශුද්ධ ලියවිල්ලෙන් සැනසිල්ල’ ලබා දෙන්නේ ඔහු අපි ගැන සලකන නිසයි. එමගින් අපට අද විඳීමට සිදු වන දුක් කරදරවලට හොඳින් මුහුණ දීමටත් අනාගතයේදී දෙවි ගෙනෙන ප්‍රීතිමත් කාලය දෙස බලා සිටීමටත් හැකියි. (රෝම 15:4; 1 පේතෘස් 5:7) දෙවි ගෙනෙන ඒ ප්‍රීතිමත් කාලයේදී දෙවිගේ අනුමැතිය දිනාගෙන තිබෙන අයට සියලු දුක් කරදරවලින් තොර සදාකාල ජීවිතයක් භුක්ති විඳීමට හැකි වෙනවා නොඅනුමානයි.—ගීතාවලිය 37:29, 37.

[පාදසටහන]

මේ ගැන ඔබ සිතුවාද?

දුක් කරදර පැමිණෙන්නේ පව් කළ අයටද?—යෝබ් 1:8.

▪ අපට පැමිණෙන සියලු දුක් කරදරවලට වග කිව යුත්තේ සාතන්ද?—ගලාති 6:7.

▪ දුක් කරදර සැමදා පවතීද?—එළිදරව් 21:3, 4.

[29වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ සිදුවීම් සියලුදෙනාටම බලපෑ හැක.’—දේශනාකාරයා 9:11NW