Skip to content

පටුනට යන්න

ජල අර්බුදයක් තිබෙනවාද?

ජල අර්බුදයක් තිබෙනවාද?

ජල අර්බුදයක් තිබෙනවාද?

ජලය ජීවිතයට නැතුවම බැරි දෙයක්. ජලය නැත්නම් ජීවිතයක් නැහැ. සෑම වසරකම මිලියන දෙකක් පමණ ජනයා මිය යන්නේ ප්‍රමාණවත් සනීපාරක්ෂක ක්‍රම හා පිරිසිදු ජලය නොමැති නිසයි. මීට ගොදුරු වන අයගෙන් සියයට 90ක්ම දරුවන්.

ඔබ ජලය ලබාගන්නේ කොහොමද? කරාමයක් ඇරිය ක්ෂණයකින් ඔබට ජලය ලබාගත හැකිද? එසේත් නැත්නම් සමහර රටවල මෙන් ජලය ලබාගැනීමට දුර ඈත ඇවිද ගොස් පෝලිමේ සිට ජලය රැගෙන ඒමට ඔබට සිදු වෙනවාද? මේ ආකාරයට සෑම දවසකම ඉවුම් පිහුම්වලට හා රෙදි සෝදාගැනීමට අවශ්‍ය ජලය ලබාගැනීමට ඔබට පැය ගණනාවක් ගත කිරීමට සිදු වෙනවාද? බොහෝ රටවල මෙම මූලික අවශ්‍යතාව ඉටු කරගැනීම එතරම් පහසු කාර්යයක් නෙවේ. ඩයෑන් රෑන්ස් වෝර්ඩ් නම් ලේඛිකාවක් ඇගේ පොතක සඳහන් කර තිබුණේ ලෝක ජනගහනයෙන් සියයට 40ක් “තමන්ට අවශ්‍ය ජලය ළිංවලින්, ගංගාවලින්, පොකුණුවලින් හෝ දියකඩිතිවලින් ලබාගන්නා” බවයි. සමහර රටවල තම පවුලට අවශ්‍ය ජලය ලබාගැනීම සඳහා කාන්තාවන් පැය හයක පමණ කාලයක් මිඩංගු කරනවා. ඔවුන් දුර ඈත සිට උසුලාගෙන එන ජල භාජනවල බර කිලෝග්‍රෑම් 20කට වඩා වැඩියි.—Water Wars—Drought, Flood, Folly, and the Politics of Thirst.

ලෝක ජනගහනයෙන් තුනෙන් එකකටම ක්‍රමවත් සනීපාරක්ෂක ක්‍රම හා පිරිසිදු ජලය නැහැ. උදාහරණයකට අප්‍රිකාවේ දහදෙනෙකුගෙන් හයදෙනෙකුටම තම නිවෙස්වල වැසිකිළි පහසුකම් නැහැ. මේ නිසා ඇති වී තිබෙන තත්වයක් ගැන එක් ලෝක සෞඛ්‍ය සංවිධානයක් වාර්තා කරන්නේ මෙසේයි. “අසූචිවල තිබෙන බැක්ටීරියා, වෛරස් හා පරපෝෂිතයන් පසට, ජලයට සහ ආහාරවලට මුසු වෙනවා. මෙය පාචන රෝගය පැතිරීමට ප්‍රධාන හේතුවක්. ඒ වගේම කොළරාව වැනි රෝගද මේ නිසා පැතිර යනවා. දියුණු වෙමින් පවතින රටවල දරුවන් මිය යෑමට හේතුවන දෙවන සාධකය ලෙස කොළරාව නම් කළ හැකියි.”

විසිඑක්වන සියවසේ ඉන්ධන පමණක් නොව ජලයත් රන් හා සමානයි. ඒත් අද මිනිසුන් මෙතරම් වටිනා සම්පතක් වන ජලය කොතරම් නාස්ති කරනවාද කියනවා නම් මුහුදට ගලා යෑමට තරම්වත් ගංගාවල ජලය නැහැ. කෘෂිකාර්මික කටයුතුවලට ජලය භාවිත කිරීම නිසාද ජලය වාෂ්ප වීම නිසාද ජලය අඩු වී ගෙන යනවා. අද වන විට එක්සත් ජනපදයේ බටහිර ප්‍රදේශයේ පිහිටි කොලරාඩො ගඟ, චීනයේ යැන්සි ගඟ, පකිස්ථානයේ ඉන්දුස් ගඟ, ඉන්දියාවේ ගංගා නම් ගඟ සහ ඊජිප්තුවේ නයිල් ගඟ යන ගංගා සිඳී යෑමේ තර්ජනයට ලක් වී තිබෙනවා. මෙම තත්වය අවම කිරීමට ක්‍රම තිබෙනවාද? මෙයට ස්ථිරසාර විසඳුමක් තිබෙනවාද?

[3වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ජල හිඟය බලපා ඇති අයුරු

▪ “මධ්‍යයම ආසියාවේ පිහිටි ඇරල් මුහුද 1960දී ලෝකයේ විශාලතම විල් අතරින් හතරවෙනි ස්ථානය හිමි කරගෙන තිබුණා. නමුත් 2007 වන විට එහි විශාලත්වය සියයට 10කින් අඩු වී තිබෙනවා.”—Scientific American.

▪ එක්සත් ජනපදයේ හා කැනඩාවේ පිහිටි ඊරි, හියුරොන්, මිචිගන්, ඔන්ටාරියෝ සහ සුපීරියර් යන පංච මහා විල්වල විශාලත්වය “සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වෙනවා.”—The Globe and Mail.

▪ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්හි එක් නගරයක තිබූ හාල් මෝලකට මිනිසුන් මිලියන 20කට අවශ්‍ය සහල් සැපයීමේ හැකියාව තිබුණා. ඒත් වී අස්වැන්න සියයට 98කින් අඩු වූ නිසා 2007 දෙසැම්බර් මාසයේදී එම මෝල වසා දමනු ලැබුවා. ඊට හේතු වූයේ “වසර හයක් පුරා පැවති දරුණු නියඟයයි.”—The New York Times.

[පින්තූරය]

වියළි, ඉරි තැළී ගිය ඇරල් මුහුදේ තිබෙන බෝට්ටුවක්

[හිමිකම් විස්තර]

© Marcus Rose/​Insight/​Panos Pictures

[4වන පිටුවේ කොටුව⁄සිතියම්]

ගංගා සිඳී යෑමේ තර්ජනයක්

“පෘථිවිය වටා ගමන් කළ ගගනගාමීන්ට අප්‍රිකාවේ [කැමරූන්,] චැඩ්, නයිජර් හා නයිජීරියාව මැද පිහිටි චැඩ් විල හොඳ සලකුණක් වුණා. ඒත් දැන් ඔවුන්ට එම විල තිබෙන තැන සොයාගැනීමට අපහසුයි. ඊට හේතුව 1960 සිට චැඩ් විල ප්‍රමාණයෙන් සියයට 95කින් අඩු වී තිබීමයි. එම ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු සඳහා ගංගාවලින් ජලය ලබාගැනීමේ හේතුවෙන් ගංගා සිඳී යෑමේ තර්ජනයට ලක් වීම නිසා චැඩ් විල පෝෂණය වීමට අවශ්‍ය ජලය ගංගාවලින් ගලා එන්නේ නැහැ. මේ නිසා නුදුරු අනාගතයේදී චැඩ් විල තිබුණු තැනවත් සොයාගැනීමට නොහැකි වෙයි.”—Plan B 2.0—Rescuing a Planet Under Stress and a Civilization in Trouble, by Lester R. Brown.

[සිතියම්]

(මුද්‍රිත පිටපත බලන්න)

ජලය

☒ වගාවන්

□ භූමිය

1963

නයිජර්

චැඩ්

චැඩ් විල

නයිජීරියාව

කැමරූන්

2007

නයිජර්

චැඩ්

චැඩ් විල

නයිජීරියාව

කැමරූන්

[හිමිකම් විස්තර]

NASA/​U.S. Geological Survey