Skip to content

පටුනට යන්න

මම ගත් තීරණය හරිද?

මම ගත් තීරණය හරිද?

යෞවන අය අසති

මම ගත් තීරණය හරිද?

“අපේ ප්‍රේම සම්බන්ධය පටන් අරන් මාස කිහිපයකට පස්සේ අපි දෙදෙනාම හිතුවා අපි අරන් තියෙන්නේ හරි තීරණය කියලා. ඒ නිසා ජීවිතයේ ඉතිරි කාලය මේ විදිහටම ගත කරන්න අපි තීරණය කළා.”—ජෙසිකා. *

“මට ඔහු ගැන ආදරයක් ඇති වුණා. අවුරුදු කිහිපයක් ගියාට පස්සේ ඔහුත් මා ගැන උනන්දුවක් දක්වන බව මට තේරුණා. නමුත් මම කැමති වයසින් වැඩි පිරිමි ළමයෙකුටයි. මොකද මාව හොඳින් බලාගන්න ඒ වගේ කෙනෙකුට පුළුවන් කියලා මම හිතුවා.”—කැරල්.

කැරල් සහ ජෙසිකා යන දෙදෙනාම ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධය නැවැත්වූවා. ඔවුන් කළේ අඥාන ක්‍රියාවක්ද?

ඔබ ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කර කාලයක් ගියා කියා සිතන්න. මුලින් ඔබට සිතෙනවා ඔහු තමයි “සුදුසුම කෙනා” කියලා. * නමුත් කාලයක් යන විට ඔබට ඒ ගැන යම් සැකයන් මතු වෙනවා නම් එවැනි සැකයන් ඔබ නොසලකා හැරිය යුතුද? ඔබ ගත යුතු තීරණය කුමක්ද?

ප්‍රේම සම්බන්ධයක් තුළ ගැටලු ඇති විය හැකියි. ඒවා අපට නොසලකා සිටිය නොහැකියි. නොසලකා හැරීමෙන් ගැටලුව විසඳෙන්නේ නැහැ. ඒ වෙනුවට එය තවත් උග්‍ර වෙන්න පුළුවන්. ප්‍රේම සම්බන්ධයකදී ඇති විය හැකි ගැටලු කිහිපයක් ගැන අපි සලකා බලමු.

දේවල් ඉක්මනින් සිදු වෙනවා නම්: ප්‍රේම සම්බන්ධයක් හිතනවාට වඩා ඉක්මනින් වර්ධනය වීමෙන් ගැටලු ඇති විය හැකියි. කැරල් ඇගේ අද්දැකීම ගැන මෙසේ විස්තර කරනවා. “අපි නිතරම ඊ මේල්වලින්, අන්තර්ජාලයෙන් සහ දුරකථනයෙන් අදහස් හුවමාරු කරගත්තා. මුහුණට මුහුණ හමු වී කතා කරනවාට වඩා මේ ක්‍රමය තුළින් තමන්ට සිතෙන සෑම දෙයක්ම පවසන්න පුළුවන්.” නමුත් එකිනෙකාව හොඳින් දැන හඳුනා ගැනීමට තිබෙන අවස්ථාව නැති කරගන්න එපා. උදාහරණයකට තණකොළ ඉක්මනින් වැඩී ඉක්මනින් වියළී යනවා. නමුත් ගසක් වැඩීමට කාලයක් ගත වෙනවා. ඒ හා සමානව එකිනෙකාව හොඳින් දැන හඳුනා ගැනීමට කාලය අවශ්‍යයි.

පහත් කර සලකනවා නම්: “මගේ පෙම්වතා නිතරම මාව පහත් කර සලකනවා. ඒත් මම ඔහුට හුඟක් කැමතියි. සමහර අවස්ථාවලදී ඔහු යම් දේවල් පැවසුවත් මම ඒවා දරාගත්තා” කියා ඇනා පැවසුවා. නමුත් බයිබලයේ එවැනි “නිග්‍රහ කිරීම්” හෙළාදකිනවා. (එෆීස 4:31) කෙනෙකුව පහත් කර සලකන වචන භාවිත කිරීම ප්‍රේම සම්බන්ධයකට කොහෙත්ම සුදුසු දෙයක් නොවෙයි.—හිතෝපදේශ 12:18.

ඉක්මනින් කෝප වෙන කෙනෙක් නම්: බයිබලයේ පවසන්නේ “වටහාගැනීමේ ශක්තිය ඇති මිනිසා කලබල නොවන්නේය” කියායි. (හිතෝපදේශ 17:27, නව ලොව පරිවර්තනය, NW) ෂෙරීන්ගේ පෙම්වතා ඉක්මනින් කෝප වෙන කෙනෙක්. ඒ ගැන ඇය පවසන්නේ මෙසේයි. “අපි අතර එකඟ නොවීම් ඇති වන විට ඔහු මට තදින් පහරක් ගසනවා. සමහර අවස්ථාවලදී මට තුවාල වෙලත් තියෙනවා.” නමුත් බයිබලයේ උපදෙස් දී තිබෙන්නේ ‘සියලු ආකාර වෛරසහගත හැඟීම්, කෝපය මෙන්ම සියලු අයහපතද ඔබෙන් ඉවත් කර දමන්න’ කියායි. (එෆීස 4:31) ඒ නිසා කෙනෙක් ඉක්මනින් කෝප වෙනවා නම් ඔහු විවාහයට සුදුසු කෙනෙක් නොවෙයි.—2 තිමෝති 3:1, 3, 5.

සම්බන්ධය හෙළි කිරීමට අකමැති නම්: “අපි අතර තියෙන සම්බන්ධය අනික් අය දැනගන්නවාට මගේ පෙම්වතා කැමති වුණේ නැහැ. මගේ තාත්තා ඒ ගැන දැනගත්තහම පෙම්වතා හුඟක් කලබල වුණා” කියා ඇන්ජලා පවසනවා. දෙදෙනෙක් අතර ඇති වන ප්‍රේම සම්බන්ධය හෙළි නොකර සිටීමට යම් හේතු තිබෙන්න පුළුවන්. නමුත් එවැනි ප්‍රේම සම්බන්ධයක් තිබෙන බව දෙමාපියන්ගෙන් පවා වසන් කරන්න කියා පවසනවා නම් ඒ ගැන සැලකිලිමත් විය යුතුයි.

විවාහ වීමට බලාපොරොත්තුවක් නැත්නම්: විවාහ වීමේ බලාපොරොත්තුවෙන් කෙනෙකුව ආශ්‍රය කිරීම ක්‍රිස්තියනීන් හැටියට වරදක් නොවෙයි. මන්ද කෙනෙකුව හොඳින් දැන හඳුනා ගැනීමෙන් එය විවාහ ජීවිතයට හොඳ පදනමක් සපයනවා. නමුත් විවාහ ජීවිතයේ වගකීම් දැරීමට ඔහු සූදානම් නැත්නම් ඔහු සමඟ ප්‍රේම සම්බන්ධයක් පටන්ගැනීම සුදුසු දෙයක් නොවෙයි. සමහරුන් ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කළත් එය අතරමඟ නතර කළ හැකි නිසා කෙනෙකුව හඳුනාගත් මුල් කාලයේදීම විවාහය පිළිබඳව සැලසුම් යෙදීමද සුදුසු වන්නේ නැහැ.

සම්බන්ධය දිගටම පවත්වාගැනීමට නොහැකි නම්: “සැබෑ මිතුරෙකු සෑම වෙලේම ප්‍රේමණීයයි” කියා බයිබලයේ පවසනවා. (හිතෝපදේශ 17:17NW) ප්‍රේම සම්බන්ධයකදී දෙදෙනා අතර එකඟ නොවීම් ඇති වීම සාමාන්‍ය දෙයක්. නමුත් ප්‍රේම සම්බන්ධය කාලයකට පැවත කාලයකට නතර වෙනවා නම් එතන යම් ගැටලුවක් තිබෙන බව පැහැදිලියි. ඇනා තම අද්දැකීම මෙසේ පවසනවා. “මම ප්‍රේම සම්බන්ධය නවත්වපු හැම වෙලාවකම මට ලොකු දුකක් දැනුණා. ඒ නිසා මම නැවතත් ඒ සම්බන්ධය පටන්ගත්තත් මම තේරුම්ගත්තා ඒ සම්බන්ධය කල්පවතින එකක් නොවෙයි කියලා.”

නොහොබිනා හැසිරීම්වල යෙදීමට බලපෑම් කරනවා නම්: “ඔයා මට ආදරෙයි නම් මම කියන හැමදෙයක්ම ඔයා කරනවා.” මෙවැනි වදන් පැවසීමෙන් පෙම්වතා උත්සාහ කරන්නේ පෙම්වතියව නොහොබිනා හැසිරීම්වලට පොළඹවාගැනීමටයි. බයිබලයේ මෙවැනි උපදෙසක් දී තිබෙනවා. “ඉහළින් පැමිණෙන ප්‍රඥාව පළමුකොට නිර්මලය.” (යාකොබ් 3:17) ඒ නිසා විවාහ වීමට බලාපොරොත්තු වන තැනැත්තා සදාචාර ප්‍රතිපත්තිවලට ගරු කරන කෙනෙක් විය යුතුයි.

අන් අය ඔහු ගැන අනතුරු අඟවා තිබෙනවා නම්: බයිබලයේ මෙවැනි උපදෙසක් දී තිබෙනවා. “සිතේ තිබෙන දේ හෙළි නොකරන විට සැලසුම් අසාර්ථක වන්නේය. එහෙත් උපදේශකයන් බොහෝදෙනෙකු සිටින විට සැලසුම් ස්ථිර වෙයි.” (හිතෝපදේශ 15:22NW) “ඔබේ දෙමාපියන් හා ඔබේ මිතුරන් දෙන අවවාද ගණන් නොගෙන සිටින්න එපා. ඊටත් වඩා යම් අනතුරක් තිබෙන බව ඔබට හැඟෙනවා නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න. මොකද එවැනි අනතුරු ඇඟවීම් ගණන් නොගෙන සිටීමෙන් ඔබට කිසිම යහපතක් සිදු වන්නේ නැහැ” කියා ජෙසිකා පවසනවා.

ඉහත අපි සාකච්ඡා කළේ ඇති විය හැකි ගැටලු කිහිපයක් ගැනයි. * ඔබේ ප්‍රේම සම්බන්ධය තුළත් එවැනි ගැටලු ඇති වී තිබෙනවාද? ඔබට තිබෙන ගැටලු පහත සඳහන් කරන්න.

․․․․․

ඔබේ තීරණය පැවසිය යුත්තේ කෙසේද?

යම් හේතුවක් නිසා ප්‍රේම සම්බන්ධය නතර කිරීමට ඔබ තීරණය කර තිබෙනවා නම් ඔබ එය කළ යුත්තේ කෙසේද? පහත සඳහන් කරුණු ඔබට ඒ සඳහා උපකාරවත් වෙයි.

ධෛර්යයවත් වන්න. “අපි දෙන්නා අතර කිට්ටු සම්බන්ධයක් තිබුණු නිසා අපේ සම්බන්ධය නතර කරනවා කියන්න මට භය හිතුණා” කියා ටීනා පවසනවා. ප්‍රේම සම්බන්ධයක් නතර කිරීමට තීරණය කළ විට ඒ බව පවසන්න කෙනෙකුට ධෛර්යය අවශ්‍යයි. ඔබට හැඟෙන දේ පැහැදිලිව පැවසීම ඔබට යහපතක් වෙයි. (හිතෝපදේශ 22:3) එසේ කිරීමෙන් ඔබ ඥාණවන්ත කෙනෙක් බව ඔප්පු වෙනවා. ඔබේ රුචි අරුචිකම් ගැන විවෘතව පැවසීමට හැකියාවක් ඔබට තිබෙනවා නම් විවාහ ජීවිතයටද එය ප්‍රයෝජනවත් වෙයි.

සාධාරණ වන්න. ප්‍රේම සම්බන්ධය නවත්වන බවට ඔබේ පෙම්වතා තීරණය කර තිබෙනවා නම් එය ඔබට කුමන ආකාරයෙන් පවසනවාටද ඔබ කැමති? (මතෙව් 7:12) ඊ මේල් පණිවිඩයකින් හෝ කෙටි පණිවිඩයකින් එය පවසනවාට ඔබ කොහොමටවත් කැමති වන්නේ නැහැ. එසේ නම් ඔබත් එවැනි ක්‍රම භාවිත නොකරන්න.

සුදුසු ක්‍රමයක් තෝරාගන්න. ඔබේ ප්‍රේම සම්බන්ධය නැවැත්වීමට ඔබ තීරණය කරනවා නම් ඔබ ඔහුව හමු වී ඒ බව පවසනවාද? එසේත් නැත්නම් දුරකථනයෙන් හෝ ලිපියකින් ඒ බව දැනුම් දෙනවාද? තත්වයන් අනුව එය වෙනස් විය හැකියි. නමුත් ඔබේ ආරක්ෂාව ගැන සිතා ඔහුව හමු වීමේදී කල්පනාකාරී වන්න. එමෙන්ම තනිවම ඔහුව හමු වීමට සැලසුම් නොකරන්න. මන්ද එසේ හමු වීමෙන් වැරදි ආශාවන් ඇති විය හැකියි.—1 තෙසලෝනික 4:3.

ඇත්ත කතා කරන්න. ඔබ ප්‍රේම සම්බන්ධය නැවැත්වීමට තීරණය කර තිබෙනවා නම් ඒ පිළිබඳව පැහැදිලි හේතු පෙන්වා දෙන්න. ඔබේ පෙම්වතා ඔබට ප්‍රේමණීය ලෙස සලකා නැත්නම් ඒ බව ඔහුට පවසන්න. උදාහරණයකට “ඔයා නිතරම මාව පහත් කරනවා” කියා කියනවා වෙනුවට නිශ්චිතවම ඔහු ඔබව පහත් කර සැලකූ ආකාරය ගැන ඔහුට කියන්න.

සවන් දීමට කැමති වන්න. බයිබලයේ පවසා ඇත්තේ “ඇසීමට ඉක්මන් විය යුතුය. කතා කිරීමට ප්‍රමාද විය යුතුය” කියායි. (යාකොබ් 1:19) ඇති වී තිබෙන තත්වය ගැන ඔබට ඇත්තේ වැරදි වැටහීමක්ද? එසේ නම් ඔහු පවසන දේට හොඳින් සවන් දෙන්න. ඔහු පවසන සෑම දෙයක් ගැනම සාධාරණව සිතා බලන්න. නමුත් ඔහුගේ චාටුබස්වලට රැවටෙන්න එපා.

[පාදසටහන්වල]

^ 3 ඡේ. මෙම ලිපියේ සමහර නම් වෙනස් කර ඇත.

^ 6 ඡේ. මෙම ලිපියේ කතා කරන්නේ ගැහැනු ළමුන්ට හැඟෙන ආකාරය වුවද එය දෙපාර්ශවයටම අදාළයි.

සිතා බලන්න

▪ ඔබ ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගන්නා තැනැත්තා තුළ තිබිය යුතු ගුණාංග ලියන්න. ․․․․․

▪ ඔබ අකමැති ගුණාංග මොනවාද කියා ලියන්න. ․․․․․

[20වන පිටුවේ කොටුව]

ඔබ විවාහ වීමට බලාපොරොත්තු වන තැනැත්තා . . .

□ ඔබේ ආගමික විශ්වාසයන් පිළිගන්නවාද?—1 කොරින්ති 7:39.

□ සදාචාර ප්‍රතිපත්තිවලට ගරු කරනවාද?—1 කොරින්ති 6:18.

□ ඔබ ගැනත් අන් අය ගැනත් සැලකිලිමත්ද?—ෆිලිප්පි 2:4.

□ හොඳ නමක් දිනා ගෙන සිටිනවාද?—ෆිලිප්පි 2:20.

[20වන පිටුවේ කොටුව]

ඔබේ පෙම්වතා . . .

□ තමා කැමති දේ පමණක් කරන්න උත්සාහ කරන කෙනෙක්ද?

□ නිතරම ඔබව පහත් කර සලකන කෙනෙක්ද?

□ ඔබව පවුලේ අයගෙන් හා මිතුරන්ගෙන් ඈත් කිරීමට උත්සාහ කරන කෙනෙක්ද?

□ අනවශ්‍ය ලෙස ඔබ යන එන තැන් ගැන සෝදිසියෙන් සිටින කෙනෙක්ද?

□ කිසිම හේතුවක් නැතුව ඔබව සැක කරන කෙනෙක්ද?

□ අනවශ්‍ය තහංචි දමන හෝ තර්ජනය කරන කෙනෙක්ද?

[19වන පිටුවේ පින්තූරය]

ප්‍රේම සම්බන්ධයකදී දකින නොගැලපීම් නොසලකා හැරීම වාහනයකින් නිකුත් වන අනතුරු ඇඟවීම් නොසලකා හරිනවා හා සමානයි

CHECK OIL