Skip to content

පටුනට යන්න

උනන්දුව ඇත්නම් දුර්වලකමත් බාධාවක්ද?

උනන්දුව ඇත්නම් දුර්වලකමත් බාධාවක්ද?

උනන්දුව ඇත්නම් දුර්වලකමත් බාධාවක්ද?

පැවසුවේ මයිකල් හෙන්බෝග්

මගේ අම්මටයි තාත්තාටයි මගේ මල්ලිලා තුන්දෙනාටයි තිබුණු දුර්වලතාවක් මටත් තිබුණා. ඒ දුර්වලතාවය හඳුන්වන්නේ ඩිස්ලෙක්සියාව කියායි. ඒ දුර්වලතාව තිබෙන අයට ලිවීමේ හා කියවීමේ යම් අපහසුතා ඇති වෙනවා. ඩෙන්මාර්ක් රටේ වැසියෙක් වන මට මගේ මව් භාෂාව ඉගෙනගැනීමේදී පවා දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදු වුණා. කෙසේවෙතත් මට අවශ්‍ය උපකාර හා දිරිගැන්වීම් ලබුණා. විශේෂයෙන්ම මට උපකාර ලැබුණේ මගේ පවුලේ අයගෙනුයි.

පරම්පරා හතරක් පුරා අපි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්. ඒ නිසා බයිබලය හා ඒ මත පදනම් පොත් පත් කියවීම අපේ ජීවිතයේ වැදගත් කොටසක්. මගේ මල්ලි ෆ්ලෙමිං සහ මම නිතරම තාත්තාත් එක්ක දේවසේවයේ හවුල් වුණා. ඒ සේවය සඳහාත් ලිවීම හා කියවීම ඉතා අත්‍යවශ්‍ය දෙයක් කියා අපි තේරුම්ගත්තා.

මම පුංචි කාලයේ පටන්ම මුරටැඹ සහ පිබිදෙව්! සඟරා කියෙව්වා. මට ඒ එක සඟරාවක් කියවන්න පැය පහළොවක් පමණ ගත වුණා. මම බයිබලය සම්පූර්ණයෙන්ම කියවන්නත් පටන්ගත්තා. ලොව පුරාම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාවල දිව්‍යාණ්ඩු සේවා පාසැලක් පවත්වනවා. ඒ පාසැල තුළින් ශිෂ්‍යයන්ට කියවීමට හා සබයක් ඉදිරියේ කතා පැවත්වීමටත් පුහුණු කරනවා. මමත් මේ පාසැලට බැඳුණා. මේ සෑම දෙයක්ම මගේ භාෂා දුර්වලතාවය සමඟ සාර්ථකව කටයුතු කිරීමට උපකාරවත් වූ ආකාරය මෙතෙකැයි කියා කිව නොහැකියි. මගේ මව් භාෂාවට අමතරව තවත් භාෂා ඉගෙනගන්න වෙයි කියා මම නම් කවමදාකවත් හිතුවේ නැහැ. ඒත් එහෙම වුණේ කොහොමද කියලා මම කියන්නම්.

ඉංග්‍රීසි ඉගෙනගැනීමේ ප්‍රයත්නය

මම පූර්ණකාලීනව දෙවිට සේවය කරන්න ආරම්භ කළේ 1988දීයි. එතකොට මට වයස අවුරුදු 24යි. ඒ කාලයේදී ඩෙන්මාර්කයට වෙනත් රටවලින් බොහෝදෙනක් පදිංචියට ආවා. මට ඒ අයට බයිබල් සත්‍යය ඉගැන්වීමට අවශ්‍ය වුණා. ඒත් මේ කාර්යය කිරීමට නම් මම ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත යුතුයි. ඒත් ඒක ලෙහෙසි පහසු කාර්යයක් වුණේ නැහැ. කෙසේවෙතත් මට තිබූ උත්සාහය නිසාත් ඉංග්‍රීසි පන්තිවලට යෑම නිසාත් මම ටිකෙන් ටික භාෂාව ඉගෙනගත්තා. පසුව මගේ උපන් ගම වන කෝපන්හේගන් නගරයේ පදිංචියට පැමිණි අයට දේවරාජ්‍යයේ ශුභාරංචිය පැවසීමට හැකි වුණා. මට හොඳට භාෂාව හසුරුවන්න බැරි වුණත් උත්සාහය අත් හැරියේ නැහැ.

මට ඉංග්‍රීසි භාෂාව ගැන යම් දැනුමක් තිබුණු නිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ගොඩනැඟිලි ඉදි කිරීමේ ව්‍යාපෘතිවල ස්වේච්ඡා සේවකයෙක් ලෙස නොයෙකුත් රටවල සේවය කරන්න මට අවස්ථාවක් ලැබුණා. මම මුලින්ම ගියේ ග්‍රීසියට. ඊට පසු ස්පාඤ්ඤයේ මැඩ්‍ර්ඩ් නගරයේ පිහිටි ශාඛා කාර්යාලය ගොඩනැඟීමේ කාර්යයටද මම හවුල් වුණා.

වැඩි වැඩියෙන් දේශනා සේවයේ හවුල් වීමට මට ලොකු ආශාවක් තිබුණා. ඒ සඳහා පුහුණුවක් ලබාදෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් පවත්වන දේවසේවා පුහුණු පාසැලට මම අයදුම් කළා. මෙම පාසැලෙන් අවශ්‍යතා වැඩියෙන් තිබෙන ප්‍රදේශවලට ගොස් සේවය කිරීම සඳහා විවාහ නොවු පුරුෂයන්ට සති අටක පුහුණුවක් ලබා දෙනවා. (මාක් 13:10) මට ආරාධනාවක් ලැබුණේ ස්වීඩනයේ ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන පාසැලටයි.

එම පාසැල ආරම්භ වුණේ 1994 සැප්තැම්බර් 1වෙනිදායි. මට අවශ්‍ය වුණේ ඒ පාසැලට හොඳින් සුදානම් වී යන්නයි. ඒ නිසා මම මාස අටක් දවසකට පැය හතර බැගින් ඉංග්‍රීසි භාෂාව ඉගෙනගත්තා. ඒ වගේම මම රැස්වීම්වලට ගියේ ඉංග්‍රීසි භාෂාව කතා කරන සභාවකටයි. මම ඒ පාසැලේ පුහුණුව ආරම්භ කළ විට මට තිබුණු දුර්වලකම මගේ දියුණුවට බාධාවක් වෙන්න ඉඩ දුන්නේ නැහැ. උදාහරණයකට පාසැලේ උපදේශකවරු ප්‍රශ්නයක් අසන විට මම පිළිතුරු දීම සඳහා බොහෝවිට මගේ අත ඉහළට එසෙව්වා. සමහරවිට මම වචන හසුරුවන්නේ කොහොමද කියා දැන සිටියේ නැති වුණත් මම එසේ කළා. එම පුහුණුව අවසන් කළාට පසු මට මගේ උපන් ගමේම දෙවිට පූර්ණකාලීනව සේවය කරන්න අවස්ථාව ලැබුණා. ඉංග්‍රීසි ඉගෙනගැනීමට දැරූ වෑයම නම් එසේ මෙසේ වෑයමක් නෙවෙයි. ඒත් ඊටත් වඩා අභියෝගයක් මගේ ඉදිරියේ තිබෙනවා කියා මම දැන සිටියේ නැහැ.

දෙමළ භාෂාව සමඟ පොරබැඳීමක්

වර්ෂ 1995 දෙසැම්බර් මාසයේදී දෙමළ භාෂාව කතා කරන සභාවක සේවය කිරීම සඳහා මාව පත් කළා. ලෝකයේ තිබෙන භාෂාවලින් අමාරුම භාෂාව දෙමළ භාෂාව කියලයි මට හිතුණේ. දෙමළ හෝඩියට අකුරු 250ක් පමණ තිබෙනවා.

මම මුලින්ම ඒ සභාවේ කතා දුන්නේ මගේ මව් භාෂාවෙන්. ඒවා දෙමළ භාෂාවට පරිවර්තනය කළා. පසුව මම දෙමළ භාෂාවෙන් කතා දෙන්නත් උත්සහයක් ගත්තා. ඒ කතාව සභාවේ අයට තේරුණාද කියන එක නම් සැකයි. මම කතා කරන විදිහට සමහරවිට සභාවේ අයට හිනා යන්නත් ඇති. ඒත් ඔවුන් සන්සුන්ව සවන් දුන්නා. මට භාෂාව ඉක්මනින් ඉගෙනගැනීමට අවශ්‍ය නිසා මම ඒ භාෂාව කතා කරන රටකට යන්න තීරණය කළා. ඒ සඳහා මම තෝරගත්තේ ශ්‍රී ලංකාවයි.

මම 1996 ඔක්තෝබර් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි විට එහි දරුණු සිවිල් යුද්ධයක් පැවතුණා. මම පදිංචි වීමට තෝරාගත්තේ වවුනියා නගරයයි. ඒ නගරය යුද්ධයට මැදි වූ නගරයක්. ඒ නගරයේ සිටි සාක්ෂිකරුවන්ට එතරම් මිල මුදල් තිබුණේ නැහැ. ඒත් ඔවුන්ගේ ප්‍රේමය සහ ආගන්තුක සත්කාරය නම් අති විශිෂ්ටයි. ඒ අය මට දෙමළ භාෂාව උගන්වන්න සෑහෙන්න උත්සාහයක් ගත්තා. සාක්ෂිකරුවන් නොවන අයට මං ගැන හරිම පුදුමයි. ඒ මුළු නගරයටම සිටි එකම විදේශිකයා හැටියට මම ඒ අයගේ භාෂාව කතා කරන විට ඔවුන්ට ලොකු සතුටක් දැනුණා. ඔවුන් මාව අගය කළ නිසාත් ඔවුන්ගේ නිහතමානීකම නිසාත් මට බයිබල් සත්‍යය ඔවුන්ට ඉගැන්වීමට පහසු වුණා.

වර්ෂ 1997 ජනවාරි මාසයේදී මට නැවතත් ඩෙන්මාර්කයට යන්න සිදු වුණා. ඊළඟ වසරේදී මම පූර්ණකාලීන සේවයේ නියැලුණු කැමිලා සමඟ විවාහ වුණා. මට නැවතත් ලංකාවට යන්න ලොකු ආශාවක් තිබුණා. ඒ නිසා වර්ෂ 1999 දෙසැම්බර් මාසයේ මගේ භාර්යාවත් සමඟ ලංකාවට ආවා. වැඩි කල් නොගොස් පවුල් කිහිපයක් සමඟත් එක් එක් පුද්ගලයන් සමඟත් බයිබල් පාඩම් පැවැත්තුවා. ඒ වගේම අප වෙනත් සාක්ෂිකරුවන් පැවැත්වූ බයිබල් පාඩම්වලටත් හවුල් වුණා. අපේ සම්පූර්ණ කාලයම අපි වැය කළේ සේවයට මෙන්ම භාෂාව ඉගෙනගැනීමටයි.

වර්ෂ 2000 මාර්තු මාසයේදී මට නැවතත් ඩෙන්මාර්කයට යන්න සිදු වුණා. අපේ සෙසු සාක්ෂිකරුවන් හා අප සමඟ බයිබලය පාඩම් කළ මිත්‍රයන් කෙරෙහි අපට තිබුණු ළෙන්ගතුකම නිසා ඔවුන්ගෙන් සමුගෙන යෑම පහසු වුණේ නැහැ. ඒත් අපට කරන්න බොහෝ වැඩ තිබුණා. එයට තවත් භාෂාවක් ඉගෙනගැනීමේ අභියෝගයත් අප ඉදිරියේ තිබුණා.

මෙවර ලැට්වියානු භාෂාව

වර්ෂ 2002 මැයි මාසයේදී ලැට්වියාවේ සේවය කිරීමට ආරාධනාවක් ලැබුණා. ඒ වන විට කැමිලියා සහ මම විවාහ වී අවුරුදු හතරක්. කැමිලියා කොතරම් ඉක්මනින් එහි භාෂාව ඉගෙනගත්තාද කියනවා නම් ඇයට සති හයකින් ඒ භාෂාවෙන් කතා කරන්නත් හැකි වුණා. ඒත් මට ඒ තරම් දියුණුවක් ලබන්න බැරි වුණා. ඇත්තම කියනවා නම් මට කොයිතරම් උපකාර ලැබුණත් මට හිතෙන්නේ තවමත් මම එතරම් දියුණුවක් ලබා නැහැයි කියලයි. ඒත් මම උත්සාහය අත් හරින්නේ නැහැ. *

මගේ මේ සේවයට කැමිලියාගෙන් ලැබෙන්නේ ලොකු උපකාරයක්. අපි දෙන්නා ඒ රටේ සතුටින් සේවය කරනවා. බයිබල් සත්‍යයන් අගය කරන බොහෝදෙනෙකුට බයිබලය උගන්වන්න අපට අවස්ථාවක් ලැබුණා. මට සමහර වචන අමතක වෙද්දී හෝ වැරදි විදිහට කියද්දී සාක්ෂිකරුවන් මෙන්ම අපිත් සමඟ බයිබලය පාඩම් කරන අය ඒවා තේරුම්ගන්න උත්සහ කරනවා. එමෙන්ම යම් දේවල් කියා දෙනවා. මේ නිසා මට සේවයේදී භය නැතුව කතා කිරීමටත් සභාවේ කතා ඉදිරිපත් කිරීමටත් හැකි වුණා.

මෙතරම් අපහසුතා මැද මම වෙනත් භාෂා ඉගෙනගන්න වෑයම් කරන්නේ ඇයි? ඒකට කෙටිම උත්තරය නම් ප්‍රේමයයි. භාෂාවට ඇති ප්‍රේමය නිසා නෙවෙයි නමුත් මිනිසුන්ට ඇති ප්‍රේමය නිසයි. දෙවිව දැනගෙන ඔහුට ළංවෙන්න යමෙකුට උපකාර කරන්න ලැබීම ඇත්තෙන්ම සතුටක්. අප වෙනත් රටක සේවය කරද්දී ඔවුන්ගේම භාෂාවෙන් බයිබල් සත්‍යයන් කියා දෙන විට හොඳ ප්‍රතිඵල ලැබෙන බව විදේශිකයන් හොඳින්ම තේරුම්ගෙන තිබෙනවා.

ගත වූ අවුරුදු ගණනාව පුරා මමත් මගේ භාර්යාවත් බොහෝදෙනෙකුට බයිබලයේ තිබෙන නිවැරදි දැනුම ලබා දීමට උපකාර කර තිබෙනවා. ඒත් කවදාවත් ඒ ගැන අපි ආඩම්බර වෙන්නේ නැහැ. ඇත්තෙන්ම සම්පූර්ණ ගෞරවය දිය යුත්තේ යෙහෝවා දෙවිටයි. අප පැළ කර වතුර දැමුවා විතරයි. අවශ්‍ය වර්ධනය ලබා දුන්නේ යෙහෝවා දෙවියි.—1 කොරින්ති 3:6.

දුර්වලකම ශක්තියක්

මට තිබුණු ලිවීමේ හා කියවීමේ අපහසුතාව බාධාවක් වුණත් එය මට වාසියක් වුණා. එය නම් සටහන්වලටම ඇලී සිටින්නේ නැතුව සභාව දෙස බලාගෙන කතා දීමට මට හැකි වීමයි. මට නිදසුන් මතක තියාගැනීමට පහසු නිසා මම මගේ කතාවලට නිදසුන් ගොඩාක් පාවිච්චි කරනවා. ඒ නිසා යම් දුරකට දක්ෂ ගුරුවරයෙක් තුළ තිබිය යුතු කුසලතා දියුණු කරගැනීමට මට හැකි වී තිබෙනවා.

බයිබල් ලේඛකයෙක් වූ පාවුල් පැවසුවේ “දෙවි, ශක්තිමත් දේවල් ලජ්ජාවට පත් කරන පිණිස, දෙවි ලෝකයේ දුර්වල දේවල් තෝරාගත්තේය” කියායි. (1 කොරින්ති 1:27) මගේ අපහසුතාව නිසා සමහර අවස්ථාවලදී මම “දුර්වල” කෙනෙක් වී තිබෙනවා. මම වගේම තවත් බොහෝදෙනෙක් තේරුම්ගෙන තිබෙන දෙයක් නම් අපට අඩු දේ සම්පූර්ණ කරන්න යෙහෝවා දෙවිට පුළුවන් බවයි. අපේ පැත්තෙන් කළ යුතු වන්නේ අත් කරගන්න පුළුවන් ඉලක්ක තබාගැනීම, දෙවිගේ උපකාරය ඉල්ලා යාච්ඤා කිරීම හා ඒ ඉලක්කවලට අනුව ක්‍රියා කිරීම පමණයි.

[පාදසටහන]

^ 18 ඡේ. ලැට්වියාවේ වසර හයක් සේවය කිරීමෙන් පසු හෙන්බෝග් යුවලට ඝානාවල සේවය කිරීමට පැවරුමක් ලැබී තිබෙනවා.

[22වන පිටුවේ කොටුව]

ඩිස්ලෙක්සියාව පිළිබඳ ඔබ දත යුතු දේ

ඩිස්ලෙක්සියාව යනු: කියවීමේ හා අක්ෂර හඳුනාගැනීමේ දුර්වලතාවක් වන අතර එය ජීවිතාන්තය දක්වා පවතියි. මෙම දුර්වලතාවෙන් පෙළෙන්නන්ට අක්ෂරවල ශබ්ද හඳුනාගැනීමට අපහසුයි. ඒත් එක් එක් පුද්ගලයාට අනුව මෙම ලක්ෂණ වෙනස් වෙයි.

එය ඇති වීමට හේතු: මේ ගැන නිශ්චිතවම කිව නොහැකියි. මෙය පරම්පරාවෙන් පැමිණෙන දුර්වලතාවක්. මොළයේ වර්ධනයේ හා එහි ක්‍රියාකාරිත්වයේ ඇති වන යම් අසාමාන්‍ය තත්වයක් බව අධ්‍යයනවලින් සොයාගෙන තිබුණත් එය බුද්ධි මට්ටමට හෝ ඉගෙනගැනීමට තිබෙන ආශාව කෙරෙහි කිසිදු බලපෑමක් ඇති නොකරයි. භාෂාමය හැකියාව අතින් දුර්වල වුණත් වෙනත් පැතිවලින් ඔවුන්ට දක්ෂතා පෙන්නුම් කිරීමේ හැකියාවක් තිබෙනවා.

ප්‍රතිකාර: මෙම තත්වය මුල් අවධියේම හඳුනාගැනීම ඉතා වැදගත්. සවන් දීම, නැරඹීම හා ස්පර්ශ කිරීම වැනි ක්‍රම මගින් ඔවුන්ගේ භාෂාමය හැකියාව දියුණු කරගැනීමට ඔවුන්ට උපකාර කළ යුතුයි. එවිට එක් එක් ශිෂ්‍යයා තමන්ට ධාරණය කරගැනීමේ හැකියාව අනුව භාෂාව ඉගෙනගනියි. නමුත් එක් ශිෂ්‍යයෙකුට එක් ගුරුවරයෙක් බැගින් අවශ්‍ය වෙයි. පාසැලේදී ඔවුන්ට අනිත් ළමුන්ගෙන් එල්ල වන උසුළු විසුළු දරාගැනීමට ඔවුන්ව මානසිකවද ශක්තිමත් කළ යුතුයි. මෙම දුෂ්කරතාවෙන් පෙළෙන දරුවන්ට හොඳ අවධානයක් දීමෙන් හා උත්සාහයක් දෑරීමෙන් ඔවුන්ට කියවීමටත් ලිවීමටත් ඉගැන්විය හැකියි. *

[පාදසටහන]

^ 31 ඡේ. මෙම තොරතුරු ලබාගත්තේ ජාත්‍යන්තර ඩිස්ලෙක්සියා සංගමයෙනුයි. මෙම සඟරාවේ 2009 ජනවාරි කලාපයේ “ඉගෙනගැනීමේ දුර්වලතාව ජය ගැනීම” යන මාතෘකාවෙන් යුත් ලිපිය බලන්න.

[23වන පිටුවේ පින්තූරය]

ශ්‍රී ලංකාවේ සාක්ෂිකරුවෙක් සමඟ

[23වන පිටුවේ පින්තූරය]

කැමිලියා සමඟ ලැට්වියාවේ