Skip to content

පටුනට යන්න

ඔබේ අනාගතය තීරණය කරන්නේ දෙවියන්ද?

ඔබේ අනාගතය තීරණය කරන්නේ දෙවියන්ද?

බයිබලයෙන් පිළිතුරක්

ඔබේ අනාගතය තීරණය කරන්නේ දෙවියන්ද?

බොහෝදෙනෙක් සිතන්නේ තමන්ගේ ජීවිතයත් තමන්ගේ අනාගතයත් අද්විතීය බලයක් මගින් පාලනය වෙනවා කියායි. එනම් ජීවය පිළිසිඳ ගත් දා සිට මරණය දක්වා සිදු වන සියලු සිදුවීම් දෙවි සැලසුම් කර ඇති බවයි. ඔවුන් එසේ සිතන්නේ සියලු දේ දැනගැනීමට දෙවිට ඇති හැකියාව මෙන්ම ඔහු සතු බලය නිසා අතීතය, වර්තමානය හා අනාගතය දැනගැනීමේ හැකියාව ඔහු සතු බවයි.

අපේ අනාගතය ගැනත් අපට අත් වන අවසානය ගැනත් දෙවි කලින්ම සැලසුම් කර තිබෙනවා කියා ඔබ සිතනවාද? එසේ නම් දෙවි අපට දුන් නිදහස් කැමැත්ත ගැන කුමක් කිව හැකිද? එය බොරුවක්ද? මේ ගැන බයිබලයේ පවසන්නේ කුමක්ද?

හැකියාව කොතෙක් දුරටද?

දෙවිට අනාගතය ගැන දැනගැනීමේ පූර්ණ හැකියාවක් තිබෙන බව බයිබලයේ සඳහන් කරනවා. ඔහුට ‘අවසානයේදී සිදුවීමට නියමිත දේ දැනුම් දීමට’ හැකියාවක් තිබෙන බව බයිබලයේ යෙසායා නම් පොතේ සඳහන් වෙනවා. (යෙසායා 46:10, නව ලොව පරිවර්තනය, NW) අනාගතයේදී සිදු වන දේවල් බයිබලයේ සටහන් කිරීමට ඔහු මිනිසුන්ව යොදා ගත්තා. (2 පේතෘස් 1:21) එම අනාවැකි දෙවි පැවසූ ලෙසම ඉටු වුණා. ඊට හේතුව එම අනාවැකිවල සඳහන් සෑම දෙයක්ම ඉටු කිරීම සඳහා දෙවිට ප්‍රඥාව මෙන්ම බලය තිබීමයි. දෙවිට අනාගතය ගැන දැනගැනීමට පමණක් නොව අනාගතයේ සිදුවන දේවල් තීරණය කිරීමටත් හැකියාව තිබෙනවා. ඒත් දෙවි මනුෂ්‍යයන්ගේ අනාගතය මෙන්ම ගැලවීම ලබන්නේ කීදෙනෙක්ද කියා තීරණය කිරීමට එම හැකියාව යොදාගන්නවාද? බයිබලයේ ඒ බවක් සඳහන් වන්නේ නැහැ.

දෙවිට අනාගතය සම්බන්ධයෙන් සියල්ල තීරණය කිරීමේ හැකියාව තිබුණද ඔහු ඒවා පාලනයකින් හා තෝරා බේරාගැනීමකින් යුතුව සිදු කරන බව බයිබලයේ පවසනවා. ඊට එක් උදාහරණයක් සලකා බලමු. මෙම දුෂ්ට සමාජය විනාශ වන විට ධර්මිෂ්ඨ මිනිසුන් “මහත් සමූහයක්” බේරී ජීවත් වන බව බයිබලයේ කලින්ම සඳහන් කළා. (එළිදරව් 7:9, 14) නමුත් ඔහු මෙහිදී කොතරම් සංඛ්‍යාවක් එම මහත් සමුහයට අයත් වෙනවාද කියා සඳහන් කළේ නැහැ. එයින් පැහැදිලි වන්නේ දෙවි මිනිසුන්ගේ අනාගතය සැලසුම් නොකරන බවයි. දරුවන් බොහෝදෙනෙක් සිටින ප්‍රේමණීය පියෙකුට දෙවිව සමාන කරන්න පුළුවන්. දෙවි තමන් පෙන්වන ප්‍රේමයට ඔහුගේ දරුවන්ගෙන් කිහිපදෙනෙක් හෝ ප්‍රතිප්‍රේමයක් දක්වයි කියා බලාපොරොත්තු වෙනවා. නමුත් ඔහු කිසිවිටකත් කොතරම් සංඛ්‍යාවක් එසේ කරයිද කියා තීරණය කර නැහැ.

අනාගතයේ සිදු වන දේ තීරණය කිරීමට දෙවි සතු හැකියාවත් තම බලය පාවිච්චි කරන ආකාරයත් සලකා බලමු. දෙවි සියලු බලයෙන් පූර්ණයි. (ගීතාවලිය 91:1; යෙසායා 40:26, 28) ඔහු තම බලය පාලනයකින් තොරව භාවිත කරනවාද? කොහෙත්ම නැහැ. උදාහරණයක් ලෙස ඔහු තම සෙනඟට සතුරුකම් කළ බැබිලෝනියවරුන්ට විගස දඬුවම් නොකර නියමිත කාලය පැමිණෙන තුරු බලා සිටියා. දෙවි ඒ ගැන පැවසුවේ “මම මාවම පාලනය කරගත්තෙමි” කියායි. (යෙසායා 42:14NW) සියල්ල සිදු කිරීමට මෙන්ම සියල්ල දැනගැනීමට දෙවි සතු හැකියාව ඔහු භාවිත කරන්නේද ඒ ආකාරයෙන්මයි. ඔහු එලෙස කටයුතු කරන්නේ අපට දුන් නිදහස් කැමැත්තට ගරු කිරීමක් වශයෙනුයි.

දෙවි සතු බලය පාලනය කිරීම ඔහුගේ දෙවිකමට අගෞරවයක් නොවෙයි. ඇත්තටම එයින් සිදු වන්නේ ඔහු කොතරම් උදාර දෙවි කෙනෙක්ද කියා පිළිඹිබු වීමයි. දෙවි කෙරෙහි අපට යම් පැහැදීමක් ඇති වන්නේත් ඔහුගේ එවැනි ගුණාංග නිසයි. ඔහු පාලනය කරන්නේ සර්ව ප්‍රඥාවෙන් හා බලයෙන් පමණක් නොව ප්‍රේමයෙන් මෙන්ම බුද්ධිමත් මිනිසුන්ට ලබා දුන් නිදහස් කැමැත්තට ගරු කිරීමෙනුයි.

දෙවි සෑම දෙයක්ම සැලසුම් කරනවා නම් මෙතෙක් සිදු වී තිබෙන සියලුම දරුණු ක්‍රියාවලට හා අපරාධවලට ඔහුට දොස් කියන්න අප තුළ නිතැතින්ම පෙළඹීමක් ඇති වෙනවා. දෙවි අනාගතය ගැන සියලුම දේවල් සැලසුම් කරනවා කියා විශ්වාස කරන අය එයින් කරන්නේ දෙවිට මහත් අගෞරවයක්. එවිට මිනිසුන් තුළ දෙවි ගැන මැවෙන ප්‍රතිරූපය නම් ඔහු දුෂ්ට, අයුක්තිසහගත මෙන්ම ප්‍රේමයක් නැති තැනැත්තෙක් ලෙසයි. නමුත් බයිබලයේ ඔහු එවැනි දෙවි කෙනෙක් ලෙස හඳුන්වා දෙන්නේ නැහැ.—ද්විතීය කතාව 32:4.

තේරීම ඔබ අතේයි

ඊශ්‍රායෙල් ජාතියට දෙවි තම සේවකයෙක් වූ මෝසෙස් මාර්ගයෙන් මෙසේ පැවසුවා. ‘ඔබ ඉදිරියේ මාර්ග දෙකක් තිබෙනවා. එකක් ජීවනයේ මාර්ගය. අනික මරණයේ මාර්ගය. ඔබ තෝරාගත යුත්තේ ජීවනයට යන මාර්ගයයි. ඔබේ දෙවි වන යෙහෝවාට ප්‍රේම කරන්න. ඔහුගේ හඬට සවන් දී ඔහුට ළංව සිටින්න. ඔබට ජීවනයත් පොළොවේ බොහෝ කල් ජීවත් වීමේ ප්‍රස්තාවත් ලබා දෙන්නේ ඔහුයි.’ (ද්විතීය කතාව 30:19, 20NW) ඊශ්‍රායෙල් ජාතිකයන් අතරෙන් තමන්ට ප්‍රේම කර ජීවනය ලබාගන්නේ කවුද කියාත් එසේ නොකර මරණයට සුදුස්සෙක් වන්නේ කවුද කියාත් දෙවි කලින්ම තීරණය කර තිබුණා නම් ඔහු ඉහත කී වදන්වල කිසිම අර්ථයක් නැති අතර ඔහු අවංක කෙනෙකු නොවන බවද පැහැදිලි වෙනවා. “යුක්තියට ප්‍රිය” කරන, ප්‍රේමයේ පරමාදර්ශය වන දෙවි එසේ බලය අනිසි ලෙස යොදාගනියි කියා ඔබ සිතනවාද?—ගීතාවලිය 37:28; 1 යොහන් 4:8.

බයිබලයේ සඳහන් අනාවැකි ඉටු වෙමින් පවතින මේ කාලයේ ජීවත් වන අපට ජීවනය තෝරාගන්න කියා දෙවි කරන අයැදීම පෙරටත් වඩා අදාළයි. එයට හේතුව මේ පවතින දුෂ්ට සමාජය ඉතා වේගයෙන් අවසානයට ළං වන නිසයි. (මතෙව් 24:3-9; 2 තිමෝති 3:1-5) අපට ජීවනය තෝරාගත හැක්කේ කෙසේද? ඊශ්‍රායෙල්වරුන් කළ ආකාරයටම අපටත් කළ හැකියි.

“ජීවනයේ මාර්ගය” තෝරාගත හැක්කේ කෙසේද?

‘යෙහෝවාට ප්‍රේම කිරීමෙන්’, ‘ඔහුගේ හඬට සවන් දීමෙන්’ හා ‘ඔහුට ළංව සිටීමෙන්’ අපට ජීවනය තෝරා ගත හැකියි. මේ දේවල් කිරීමට නම් අප දෙවිව හොඳින් දැන හඳුනා ගත යුතුයි. එමෙන්ම ඔහු අපෙන් බලාපොරොත්තු වන දේ ගැනත් දැනගත යුතුයි. යේසුස් දෙවිට කළ යාච්ඤාවකදී මෙසේ පැවසුවා. “සදාකාල ජීවනය නම් මේය. ඔවුන් විසින් එකම සැබෑ දෙවි වන ඔබ ගැනත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් දැනුම ලබාගැනීමය.”—යොහන් 17:3.

එම වටිනා දැනුම දේවවචනය අඩංගු බයිබලයෙන් සොයා ගත හැකියි. (යොහන් 17:17; 2 තිමෝති 3:16) දෙවි අපට දී තිබෙන එම වටිනා තෑග්ග වන බයිබලය මාර්ගයෙන් නිවැරදි තීරණ ගැනීමට අවශ්‍ය උපදෙස් අපට සපයා දී තිබෙනවා. එයින් පැහැදිලි වන්නේ දෙවි අපේ අනාගතය සැලසුම් කර නැති බවයි.—යෙසායා 48:17, 18.

දෙවි බයිබලය මාර්ගයෙන් මෙසේ පවසනවා හා සමානයි. ‘මනුෂ්‍ය වර්ගයා සඳහාත් පොළොව සඳහාත් මාගේ අරමුණ මෙයයි. එමෙන්ම ඔබ සදාකාල ජීවනය ලබාගැනීම සඳහා කළ යුත්තේ මෙයයි. ඔබ මට සවන් දෙනවාද නැද්ද කියා තීරණය කිරීම ඔබ සතු වගකීමක්.’ දෙවිට අනාගතයේ සිදු වන දේ තීරණය කිරීමට හැකියාව තිබුණද අපගේ නිදහස් කැමැත්තට බාධා වන අයුරින් ඔහු එය භාවිත කරන්නේ නැහැ. ඔබ දෙවිගේ ‘හඬට සවන් දීමෙන්, ඔහුට ළංවීමෙන්’ ජීවනයේ මාර්ගය තෝරා ගන්න කැමතිද?

මේ ගැන ඔබ සිතුවාද?

▪ දෙවිට අනාගතය දැකීමට හැකියාවක් තිබුණත් ඔහු එය කොතෙක් දුරකට භාවිත කරනවාද?—ද්විතීය කතාව 30:19, 20; යෙසායා 46:10.

▪ දෙවි අද සිදු වන දුෂ්ට දේවල් ඇතුළු සෑම දෙයක්ම කලින් සැලසුම් නොකළ බව අප දන්නේ කෙසේද?—ද්විතීය කතාව 32:4.

▪ අපේ අනාගතය තීරණය වන්නේ කෙසේද?—යොහන් 17:3.

[13වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

අනාගතයේ සිදු වන දේ තීරණය කිරීමට දෙවි සතු හැකියාව ඔහු යොදා ගන්නේ පාලනයකින් යුතුව බව බයිබලයේ පවසනවා