Skip to content

පටුනට යන්න

කතුරු මුවහත්! පිහිය මුවහත්!

කතුරු මුවහත්! පිහිය මුවහත්!

කතුරු මුවහත්! පිහිය මුවහත්!

ටැන්සානියාවේ පිබිදෙව්! ලේඛක විසින්

▪ බයිසිකල් තියෙන්නේ නැඟලා යන්න විතරක් නෙවෙයි ජීවන උපාය සකසා ගැනීමටත් හැකි බව ඔබ දැන සිටියාද? අප මේ කතා කරන්නේ කතුරු, පිහි මුවහත් කරන බයිසිකලය ගැනයි. ඒත් මේ ලිපියේ විශේෂයෙන්ම සලකා බලන්නේ ටැන්සානියාවේ එය කරන ආකාරයයි.

මෙය සාමාන්‍ය පාපැදියක් වුවත් එයට අමතර කොටස් කිහිපයක් සවි කර තිබෙනවා. මෙහි බඩු රඳවනය මත ගිනි ගලක් සවිකර තිබෙන ආකාරය ඔබට දැක ගත හැකියි. ඊට අමතරව බයිසිකලයේ පිටු පස රෝදයට තවත් රිම් එකක් සවි කර තිබෙනවා. එම රිම් එක හා ගිනි ගල සම්බන්ධ කරන්නේ නයිලෝන් නූලකිනුයි.

මෙම විශේෂාකාර බයිසිකලය අප්‍රිකාවට පැමිණියේ කෙසේද කියා හරියටම කිව නොහැකියි. වර්ෂ 1985 සිට එම රැකියාවේ යෙදෙන ඇන්ඩ්‍රියා නම් තැනැත්තා මෙසේ පවසනවා. “ටැන්සානියාවේ ඊසාන දෙසින් පිහිටි අපේ ගම වන මෝෂිවලට මේ බයිසිකලය එන්න කලින් එය අගනුවර වන ඩාර් එස් සලාම්වල භාවිතයට ගෙන තිබුණු බව මට දැනගන්න ලැබුණා. අපේ ගමට මෙය ආවේ 1982දීයි.”

මෙවැනි බයිසිකලයක් සාදා ගන්නේ කොහොමද? ඇන්ඩ්‍රියා ඒ ගැන මෙසේ විස්තර කරනවා. “අපි බයිසිකලය කම්මලකට ගෙන ගොස් අවශ්‍ය අමතර කොටස් සවි කරගන්නවා.” මේ සඳහා දිනක් හෝ දෙකක් ගත වෙනවා.

ගත වෙහෙසා කරන රැකියාවක්

උදෑසන හතට පමණ ඇන්ඩ්‍රියා තම කාර්යය අරඹමින් ජනාකීර්ණ ප්‍රදේශයක් කරා තම බයිසිකලය පදවාගෙන යයි. ඔහු ප්‍රදේශයට ඇතුල් වන්නේ කතුරු මුවහත්! පිහිය මුවහත්! කියමින් තම සුපුරුදු කට හඬ අවදි කරමිනුයි. ඒ වගේම ඔහුගේ බයිසිකලයේ සීනු හඬත් ඒ සමඟම නාද කරයි. එවිට නිවෙස්වල සිටින ගෘහණියන් කතුරු පිහි මුවහත් කරගැනීමට ඔහු ළඟට එක් රොක් වෙනවා. ඒ ප්‍රදේශයේ බාබර්ද ඔහු භාවිතා කරන කතුරු මුවහත් කරගැනීමට පැමිණෙයි. මේ ආකාරයෙන් ඔහු තලයක් සහිත ඕනෑම උපකරණයක් මුවහත් කර දෙයි.

ඔහු තම කාර්යය පටන් ගැනීමට සමතලා තැනක් තෝරාගෙන බයිසිකලයේ පිටු පස රෝදය එසවී තිබෙන ලෙස නවතා ගනියි. ඉන් පසු ඔහු නයිලෝන් නූල අමතර රිම් එකට සවි කර පින්තූරයේ පෙනෙන පරිදි ඉදිරිපසට වෙන්න සවිකර තිබෙන අසුනේ වාඩී වී පැඩලය පාගයි. කැරකෙන ගිනි ගලට පිහි කතුරු තබා මුවහත් කරන විට ඉන් ගිනි පුලිඟු පිට වන අතර ඔහුගේ මුහුණෙන් දහඩිය බිංදු රූරා වැටෙයි. ඔහු තම වෙහෙස කර දවස නිමා කරන්නේ ගොම්මං කළුවර වැටී ගෙන එන විටයි.

‘උත්සාහවන්තයාට’ හැකියි කොතරම් ආර්ථික අපහසුකම් තිබුණත් තම ජීවිකාව ගෙන යෑමට අවංකකමින් යමක් උපයා ගන්න. මීට කතුරු, පිහි මුවහත් කරන්නන් එක් උදාහරණයක් පමණයි.—හිතෝපදේශ 13:4, නව ලොව පරිවර්තනය.