Skip to content

පටුනට යන්න

විස්මිත භාෂාවක්!

විස්මිත භාෂාවක්!

විස්මිත භාෂාවක්!

මෙක්සිකෝවේ පිබිදෙව්! ලේඛක විසින්

▪ අපට නම් දුර සිටින කෙනෙකුට කතා කිරීමට දුරකථන පහසුකම් වැනි ක්‍රම තිබෙනවා. නමුත් මෙක්සිකෝවේ ඔවැක්සාකා කඳුකර ප්‍රදේශයේ ජීවත් වන මැසෙටෙක්වරුන්ට නම් කිසිදු දුරකථන පහසුකමක් නැහැ. ඒත් ඔවුන්ට කිලෝමීටර් දෙකක් හෝ ඊට වැඩි දුර ප්‍රමාණයක සිටින කෙනෙකු සමඟ පණිවිඩ හුවමාරු කරගැනීමට හැකියි. විශේෂයෙන්ම කඳුකරයේ කෝපි වතුවල සේවයේ නියැලෙන්නන් සමඟ අදහස් හුවමාරු කරගැනීමට අවශ්‍ය වූ විට ඒ සඳහා යොදාගන්නා ක්‍රමය කුමක්ද කියා දැන ගත්තොත් ඔබ පුදුම වේවි. ඒ උරුවම්බෑම මගිනුයි. බොහෝ කාලයකට පෙර මැසෙටෙක්වරු තමන්ගේ භාෂාව උපයෝගී කරගෙන උරුවම්බෑම තුළින් අදහස් හුවමාරු කරගැනීමේ පහසු ක්‍රමයක් සකසා ගෙන තිබෙනවා. ඒ පිළිබඳව පෙද්ද්‍රෝ නම් යෞවනයා පැවසුවේ මෙසේයි. “මැසටෙකෝ භාෂාව, ශබ්දය උස් පහත් කරන ආකාරය අනුව වචනවල අරුත් වෙනස්වන භාෂාවක්. අපි භාෂාවේ වචන ශබ්ද කරන ආකාරයට උරුවම්බානවා. අප එය කරන්නේ තොල්වලින් පමණයි.” *

අපේ භාෂාවේ ක්‍රමයට අනුව පැහැදිලිව උරුවම්බෑමෙන් ප්‍රයෝජන තිබෙනවා කියා පෙද්ද්‍රෝගේ මිත්‍රයෙක් වන ෆිඩෙන්සියෝ පැවසුවා. “අප දුර සිටින කෙනෙකු සමඟ කෙටි පණිවිඩයක් හුවමාරු කරගැනීමට මේ ක්‍රමය භාවිත කරනවා. උදාහරණයකට පියෙක් තම පුතාව කඩෙන් රොටි ගෙන ඒමට යවනවා. ඔහුට තක්කාලී ගෙන එන්න කියා කීමට අමතක වෙනවා කියා සිතන්න. තාත්තාට මේ දේ කියා ගැනීමට බැරි දුරකින් පුතා සිටිනවා නම් ඔහු පණිවිඩය දෙන්නේ මේ ක්‍රමයටයි.”

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවනුත් පණිවිඩ හුවමාරු කරගැනීමට මේ ක්‍රමය භාවිත කරනවා. ඒ ගැන පෙද්ද්‍රෝ මෙසේ පවසනවා. “මම ටිකක් ඈත ප්‍රදේශයකට ගියාම තවත් සාක්ෂිකරුවෙක් මා සමඟ හිටියොත් හොඳයි කියලා මට හිතුනොත් මම ඔහුගේ නිවසට නොයා උරුවම්බෑමෙන් ඔහුව ගෙන්වා ගන්නවා.”

“අපිට එක් එක් කෙනාගේ කට හඬ හඳුනාගන්න පුළුවන් වගේම උරුවම්බෑමේදීත් පණිවිඩය එවන්නේ කවුද කියලා හඳුනාගන්න පුළුවන්” කියා පෙද්ද්‍රෝ පවසනවා. සාමාන්‍යයෙන් මෙම ක්‍රමය භාවිත කරන්නේ මැසෙටෙක්වරුන්ගේ පුරුෂයන් පමණයි. කාන්තාවන්ට ඒ පණිවිඩ ක්‍රමය තේරුම්ගැනීමට හැකියාවක් තිබුණත් පවුලෙන් පිටස්තර පුරුෂයන් සමඟ අදහස් හුවමාරු කරන්නේ නැහැ. කාන්තාවක් එලෙස පිටස්තර පුරුෂයෙක් සමඟ පණිවිඩ හුවමාරු කිරීම සලකන්නේ අවිනීත යමක් ලෙසයි.

මෙය මැසෙටෙක්වරුන්ට පමණක් සීමා වූ ක්‍රමයක් නොවෙයි. කැනරි දූපත්, පැපුවා නිව් ගිනියාව සහ චීනය ඇතුළු රටවලද මෙම ක්‍රමය භාවිත කරනවා. විශේෂයෙන්ම කඳුකර හා වනාන්තර ආශ්‍රිතව වෙසෙන ජනයා අදහස් හුවමාරු කරගැනීමට මෙම ක්‍රමය භාවිත කරනවා. මෙවැනි අදහස් හුවමාරු කරගැනීමේ ක්‍රම 70කට වඩා තිබෙන අතර අධ්‍යයනය කර තිබෙන්නේ ඉන් 12ක් පමණයි.

මනුෂ්‍යයන් සතු නිර්මාණශීලී හැකියාව ගැන සිතන විට අප පුදුමයට පත් වෙනවා. මිනිසාට තිබෙන දක්ෂතාවය හා අන් අය සමඟ අදහස් හුවමාරු කරගැනීමට තිබෙන ආශාවත් එක් වූ තැන අදහස් හුවමාරු කරගැනීමේදී ඇති වන සියලු බාධා ජයගත හැකියි.

[පාදසටහන]

^ 3 ඡේ. ශබ්දය පිට කරන ආකාරය, ස්වර සහ තීව්‍රතාව අනුව බොහෝ අදහස් උරුවම්බෑම තුළින් ප්‍රකාශ කළ හැකියි කියා එක් පොතක සඳහන් වෙනවා.