Skip to content

පටුනට යන්න

අභිරහසක් හෙළි වේ

අභිරහසක් හෙළි වේ

අභිරහසක් හෙළි වේ

වර්ෂ 1901දී ග්‍රීසියේ දූපතක් වන ආන්ඩීකීතීරා අසල මුහුදේදී කිමිඳුම්කරුවන්ට මුහුදුබත් වූ නැවකින් වටිනා සම්පත් රාශියක් සොයාගැනීමට හැකි වුණා. මෙම මුහුදුබත් වූ රෝම වෙළඳ නැවේ පර්ගමම් රටේ සිට ගෙනයමින් තිබූ කිරිගරුඬ හා ලෝකඩවලින් නිම වූ පිළිම මෙන්ම කාසිද සම්බ වුණා. මෙම නැව ක්‍රිස්තු පූර්ව 85ත් 60ත් අතර කාලයේදී රෝමය බලා යමින් තිබූ නැවක් බව පර්යේෂකයන්ට සොයාගැනීමට හැකි වුණේ එම කාසිවලිනුයි.

මෙම සොයාගත් පෞරාණික වස්තු ග්‍රීසියේ ඇතන්ස් නුවර ජාතික කෞතුකාගාරයේ තබා තිබුණා. නමුත් 2005දී පර්යේෂකයන්ගේ අවධානයට ලක් වුණේ එම කාසිවත් පිළිමවත් නොව එහි සපත්තු පෙට්ටියක් තරම් කුඩා පෙට්ටියක තිබූ ලෝකඩ උපකරණයයි. මෙම උපරකරණය හැඳින්වූයේ ආන්ඩීකීතීරා යන්ත්‍රය කියායි. අප සිතා සිටියාට වඩා ඉතා දියුණු තාක්ෂණයක් අතීතයේ තිබුණු බව එම යන්ත්‍රයෙන් පැහැදිලි වෙනවා. එය හඳුන්වන්නේ “පූරාණයේ තිබූ ඉතා දියුණු තාක්ෂණය උපයෝගී කරගෙන නිපදවන ලද යන්ත්‍රයක්” ලෙසයි.

එම යන්ත්‍රය හා එහි ඇති විශේෂත්වය කුමක්ද?

අරුම පුදුම යන්ත්‍රයක්

මුහුදු පතුලෙන් එම පෙට්ටිය ගොඩගන්නා විට එය මළ බැඳී මඩ තැවරී තිබුණා. අවුරුදු 2000ක් ගත වී තිබුණු නිසා මෙම පෙට්ටියේ තිබුණු යන්ත්‍රය දිස් වුණේ කොළ පාටට හුරු ගලක් ලෙසයි. මුලදී කාගේත් අවධානය වැඩියෙන්ම යොමු වුණේ යන්ත්‍රයට නොව සොයාගත් පිළිමවලටයි.

වර්ෂ 1902දී මෙම යන්ත්‍රය පරීක්ෂා කළ ග්‍රීක ජාතික පුරාවිද්‍යාඥයෙක් දුටුවේ වෙන් වෙන් වශයෙන් තිබූ කොටස් කිහිපයක් ලෙසයි. එහි විවිධ ප්‍රමාණයේ දැති රෝද දක්නට තිබුණා. මෙය ඔරලෝසුවක කොටස් ලෙස පෙනුණද ඔරලෝසු භාවිතයට ගැනුණේ මීට අවුරුදු 700කට පමණ පෙර නිසා එය ඔරලෝසුවක කොටස් විය නොහැකියි.

ආන්ඩීකීතීරා යන්ත්‍රය ගැන ලියැවුණු එක් ලිපියක මෙසේ සඳහන් වුණා. ‘මීට අවුරුදු 2000කට පෙර ජීවත් වූ ග්‍රීක ජාතිකයන්ට එතරම් දියුණු තාක්ෂණික දැනුමක් තිබුණා කියා පුරාවිද්‍යාඥයන් විශ්වාස කරන්නේ නැහැ.’ කෙසේවෙතත් හිරු සහ වෙනත් ග්‍රහ වස්තූන්ගේ ගමන් මාර්ග දැනගැනීම සඳහා එම යන්ත්‍රය භාවිත කරන්න ඇතැයි කියා ඔවුන් සිතනවා.

ඒත් එවන් දියුණු තාක්ෂණික උපකරණයක් අවුරුදු 2000කට පෙර තිබිය හැකිද කියා බොහෝදෙනෙක් තවමත් තර්ක කරනවා. ඒ නිසා එම උපකරණය මුහුදුබත් වූ පුරාණ නෞකාවෙන් සම්බ වූ යමක් ලෙස විශ්වාස කරන්නේ නැහැ. එක් විද්වතෙක් පැවසුවේ එය ආකිමිඩිස් තැනූ ගෝලය විය හැකි බවයි. එම ගෝලයෙන් හිරු සඳු හා ග්‍රහයන් පහකගේ ගමන් මාර්ග හා පිහිටීම පිළිබඳව සොයා බැලීමට හැකි වුණා.

සමීප බැල්මක්

වර්ෂ 1958දී කලින් භෞතික විද්‍යාඥයෙක් වූ ඩෙරික් ඩී සොලා ප්‍රයිස් පසු කාලයේදී ඉතිහාසය පිළිබඳව මහාචාර්යය පදවියක් ලැබුවා. මෙම යන්ත්‍රය පිළිබඳව පර්යේෂණය කළ ඔහු කියා සිටියේ මෙමගින් අතීතයේ ග්‍රහ වස්තූන්ගේ පිහිටීම සහ අනාගතයේදී ඒවා පිහිටන ආකාරය දැනගත හැකි බවයි. උදාහරණයකට පුර සඳ පායන දිනය වැනි දින ගණනය කිරීමට හැකි වුණා. එම යන්ත්‍රයේ මුහුණත ලියැවි තිබුණු දේවල් දිනදර්ශනයකට සාමානයි. එහි දින, මාස හා රාශී ලෙස වෙන් කර තිබුණා. විවිධ ග්‍රහ වස්තූන්ගේ පිහිටීම දක්වන කටුවක්ද එහි තිබෙන්න ඇතැයි කියා ඔහු පවසනවා.

මහාචාර්යය ප්‍රයිස් නිගමනය කරන්නේ සූර්යයාව නියෝජනය කළ ලොකු දැති රෝදය එක වටයක් කැරකැවෙන විට එයින් සූර්යය වර්ෂයක් සනිටුහන් වෙනවා කියායි. එමෙන්ම ඊට තවත් රෝදයක් සම්බන්ධ වී තිබුණා නම් එයින් නියෝජනය කළේ සඳුගේ ගමන් මාර්ගයයි.

වර්ෂ 1971දී මෙම යන්ත්‍රය එක්ස් කිරණ භාවිත කරමින් පරීක්ෂණයට භාජනය කළා. ඔහුගේ නිගමනය ඉන් සනාථ වුණා. එනම් එය ග්‍රහ වස්තූන්වල ගමන් මාර්ග නිර්ණය කිරීමට භාවිත කළ යන්ත්‍රයක් බවයි. වර්ෂ 1974දී එම යන්ත්‍රය ක්‍රියාකරන ආකාරය පිළිබඳව ඔහු උපකල්පනය කළ දේ චිත්‍රයට නැඟුවා. ඔහු පැවසුවේ “මෙවැනි යන්ත්‍රයක් මීට පෙර ලෝකයේ කොතැනකින්වත් සම්බ වී නැහැ. ඉපැරණි ග්‍රික යුගයේ තිබූ විද්‍යාත්මක හා තාක්ෂණික දියුණුව ගැන සිතන විට එවැනි සංකීර්ණ යන්ත්‍රයක් තිබුණා කියා සිතීම පවා පුදුමයක්” කියායි. ඔහු සොයාගත් දේ ගැන කවුරුත් වැඩි උනන්දුවක් දැක්වුයේ නැහැ. කෙසේවෙතත් අනිත් විද්වතුන් ඔවුන්ගේ පර්යේෂණ කටයුතු දිගටම සිදු කළා.

නව සොයාගැනීමක්

වර්ෂ 2005දී ලිපිය මුලදී කතා කළ පර්යේෂකයන් මෙම යන්ත්‍රය පරිලෝකණ (CAT) යන්ත්‍රයක් තුළින් යවා පැහැදිලි ත්‍රීමාණ රූප ලබාගත්තා. මෙමගින් යන්ත්‍රය ක්‍රියා කරන ආකාරය පිළිබඳ අලුත් තොරතුරු ලබාගැනීමට හැකි වුණා. එහි නොබ් එක කරකැවූ විට එකිනෙකට සම්බන්ධ වූ තවත් රෝද 30ක් ක්‍රියාත්මක වීමට පටන්ගන්නවා. මේවා ක්‍රියාත්මක වන විට එම යන්ත්‍රයේ ඉදිරිපස හා සමානව පිටුපසද තිබූ මුහුණත් තුනද ක්‍රියාත්මක වෙනවා. ඒ මගින් සූර්ය හා චන්ද්‍ර ග්‍රහණ ඇතුළු ග්‍රහ වස්තූන්ගේ ගමන් මාර්ග නිර්ණය කිරීමට හැකි වුණා. එමෙන්ම ග්‍රීක ජාතිකයන්ගේ ඔලිම්පික් ක්‍රීඩා සහ වෙනත් ක්‍රීඩා පවත්වන කාලය තීරණය කළේද මෙම යන්ත්‍රයේ උපකාරයෙනුයි.

මෙවැනි තොරතුරු වැදගත් වන්නේ මන්ද? එක් හේතුවක් නම් ගොවියන් වගා කළ යුතු කාලය තීරණය කළේ හිරු හා සඳුගේ පිහිටීම අනුවයි. එමෙන්ම නැවියන් මඟ සලකුණු සොයාගත්තේ තරු රටා අනුවයි. එපමණක් නොව ග්‍රීක ජාතිකයන්ගේ එදිනෙදා ජීවිතයේදී කටයුතු තීරණය වුණේ නක්ෂත්‍රයට අනුවයි.

මෙම යන්ත්‍රය වැදගත් වීමට තවත් හේතුවක් තිබෙනවා. ඒ ගැන එම යන්ත්‍රය පිළිබඳව සොයා බලන කණ්ඩායමේ සාමාජිකයෙක් වන මාටින් ඇලන් මෙසේ පවසනවා. “ඉපැරණි බබිලෝනීයවරුන්ට සූර්ය හා චන්ද්‍ර ග්‍රහණ දැනගැනීම වැදගත් වුණා. ඔවුන් සිතුවේ ඒවා අසුබ ලකුණු” කියායි. එමෙන්ම ග්‍රීක ජාතිකයන්ව “පාලකයන් ඔවුන්ගේ අණසක යටතේ තබාගැනීම සඳහා මෙම යන්ත්‍රය භාවිත කළා. මෙම යන්ත්‍රය ගැන වැඩි තොරතුරක් දැනගැනීමට නොහැකි වීමට එක් හේතුවක් ලෙස දැක්විය හැක්කේ එය හමුදාව සහ දේශපාලනඥයන් පමණක් භාවිතයට ගැනීම නිසා විය හැකියි.”

මෙම යන්ත්‍රය මගින් පැහැදිලි වන්නේ ග්‍රීකවරුන්ට ගණිතමය හා නක්ෂත්‍රය පිළිබඳ තිබූ දැනුම අප සිතුවාටත් වඩා බොහෝ සෙයින් වැඩි බවයි. විද්‍යාත්මක තොරතුරු ඇතුළත් සඟරාවක (Nature) ඒ ගැන විස්තර කරන්නේ මෙසේයි. “මෙම යන්ත්‍රය අතීතයේ තිබුණු තාක්ෂණික දියුණුව ගැන කියාපාන අතර ඉතිහාසය දෙස අලුත් මුහුණුවරකින් බැලීමට උපකාරවත් වෙනවා.”

[26වන පිටුවේ කොටුව]

කාගේ නිර්මාණයක්ද?

ආන්ඩීකීතීරා යන්ත්‍රය එලෙස සාදා තිබුණු එකම යන්ත්‍රය විය නොහැකියි. මාටින් ඇලන් පවසන ආකාරයට “එම යන්ත්‍රයේ කිසිම අඩුපාඩුවක් නැහැ. එහි වැඩි දියුණු කිරීමටද කිසිවක් නැහැ. මෙයින් පැහැදිලි වන්නේ මේ යන්ත්‍රය මෙතරම් උසස් තත්වයට ගෙන ඒමට පෙර එවැනි යන්ත්‍ර කිහිපයක් සාදා තිබෙන්න ඇතැයි” කියායි. එසේනම් එය සෑදුවේ කවුද? ඔහු මීට පෙර සෑදු යන්ත්‍රවලට සිදු වූයේ කුමක්ද?

මෑතකදී කළ පර්යේෂණයෙන් හෙළි වූයේ එම යන්ත්‍රයේ මුහුණතේ සටහන් කර තිබූ මාසවලින් සිදු වීමට තිබූ චන්ද්‍ර ග්‍රහණ හා සූර්ය ග්‍රහණ ගැන සටහන් වී තිබුණු බවයි. එහි නම් ලියැවී තිබුණේ කොරින්තිවරුන් භාවිත කළ භාෂාවෙන්. එමනිසා පර්යේෂකයන් නිගමනය කළේ එම යන්ත්‍රය යම් නිශ්චිත ජන පිරිසක් විසින් නිර්මාණය කර භාවිතයට ගෙන තිබුණු බවයි. ඉහත කී සඟරාවේ මෙසේද සඳහන් වුණා. “මෙම යන්ත්‍රය බොහෝදුරට භාවිත කරන්න ඇත්තේ ග්‍රීසියේ වයඹ දෙසට වෙන්න ජීවත් වූ කොරින්තිවරුන් හෝ සිසිලියාවේ සිරකූසයේ ජීවත් වූ ජනයායි. යම් හෙයකින් සිසිලියාවේ සිරකූසයේ වැසියන් මෙය නිර්මාණය කළා නම් ආකිමිඩිස් ජීවත් වූ කාලයේදී එය භාවිතයට ගත්තා විය හැකියි.”

මේ හා සමාන තවත් යන්ත්‍ර දක්නට නැත්තේ මන්ද? ඒ ගැන මාටින් ඇලන් පවසන්නේ මෙසේයි. “ලෝකඩ ඉතා වටිනා ලෝහයක්. එය නැවත භාවිතයට ගත හැකියි. පෞරාණික භාණ්ඩ අතරේ ලෝකඩ භාණ්ඩ දක්නට නැත්තේ ඒ නිසයි. මෙම යන්ත්‍රය ආරක්ෂා වුණේ එය මුහුද යට තිබුණු නිසයි.” “මේ යන්ත්‍රයවත් ඉතුරු වුණේ එය ලෝහ භාණ්ඩ එකතු කරන්නන්ට නොලැබුණ නිසා” කියා තවත් පර්යේෂකයෙක් පැවසුවා.

[25වන පිටුවේ රූප සටහන/පින්තූර]

(මුද්‍රිත පිටපත බලන්න)

ආන්ඩීකීතීරා යන්ත්‍රයේ ඇතුළත කොටස් නැවත සකස් කළ පසු

1. ඉදිරිපස මුහුණත චන්ද්‍ර ග්‍රහණ, හිරු හා සඳුගේ පිහිටීම, සූර්ය දිනදර්ශනයට අනුව දිනය හා මාසය මෙන්ම හිරුගේ ගමන් මාර්ගයත් රාශීත් පෙන්නුම් කළා

2. පිටුපස උඩින් පිහිටි මුහුණත චන්ද්‍ර මාස අතර සම්බන්ධය, සූර්ය වර්ෂ සහ ග්‍රීක ක්‍රීඩා පවත්වන කාලය තීරණය කිරීමට උපයෝගි වුණා

3. පිටුපස පහතින් පිහිටි මුහුණත සූර්ය හා චන්ද්‍ර ග්‍රහණ සටහන් වුණා

[පින්තූර]

ඉදිරිපස පෙනෙන අයුරු

පිටුපස පෙනෙන අයුරු

[හිමිකම් විස්තර]

Both photos: ©2008 Tony Freeth/Antikythera Mechanism Research Project (www.antikythera-mechanism.gr)

[26වන පිටුවේ පින්තූරය]

පිටුපස වැස්ම මෙලෙස තිබෙන්න ඇති

[හිමිකම් විස්තර]

©2008 Tony Freeth/Antikythera Mechanism Research Project (www.antikythera-mechanism.gr)

[24වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

All photos: ©2005 National Archaeological Museum/Antikythera Mechanism Research Project (www.antikythera-mechanism.gr)