Skip to content

පටුනට යන්න

ආදාහනය කිරීම වැරදිද?

ආදාහනය කිරීම වැරදිද?

බයිබලයෙන් පිළිතුරක්

ආදාහනය කිරීම වැරදිද?

ආදාහනය කිරීමෙන් මිය ගිය පුද්ගලයාට අගෞරවයක් වන බව සමහරුන්ගේ මතයයි. එමෙන්ම එය සැබෑ දෙවිට නමස්කාර නොකළ අය සිදු කළ චාරිත්‍රයක් කියාත් ඔවුන් සිතනවා. එසේනම් දෙවිට නමස්කාර කරනවායැයි කියන අය එසේ කිරීම සුදුසුද? ඒත් තවත් සමහරුන් සිතන්නේ ආදාහනය කිරීමේ කිසිදු වරදක් නැති අතර එමගින් දේහයට අගෞරවයක් සිදු නොවන බවයි. ඔබේ අදහස කුමක්ද?

ඉපැරණි කාලවලදී පුද්ගලයෙක් මිය ගිය විට දේහය භූමදාන කිරීම සාමාන්‍ය දෙයක් වුණා. මෙයට උදාහරණ දෙකක් සලකා බලමු. දෙවිගේ සේවකයෙක් වූ ආබ්‍රහම්ගේ භාර්යාව වන සාරා මිය ගිය විට ඇගේ දේහය ගල් ගුහාවක තැන්පත් කළා. ඒ වගේම යේසුස් මිය ගිය විටත් ඔහුගේ දේහය තැන්පත් කළේ පර්වතයකින් කපා තැනූ සොහොන් ගෙයකයි. (උත්පත්ති 23:9; මතෙව් 27:60) යමෙකු මිය ගිය විට කළ යුතු සුදුසුම දේ භූමදානය කිරීම බව බයිබලයේ සඳහන් වෙනවාද? දෙවිගේ සේවකයන් ආදාහනය කිරීම ප්‍රතික්ෂේප කළ බව ඉන් අඟවනවාද?

ආදාහනය කිරීම වැරදිද?

සමහර බයිබල් වාර්තා කියවද්දී බැලූ බැල්මට පෙනෙන්නේ සමහරුන් මිය ගිය විට ඔවුන්ව ආදාහනය කළේ ඔවුන්ට දෙවිගේ අනුමැතිය අහිමි වූ බව ඇඟවීමට කියායි. උදාහරණයක් ලෙස මෝසෙස්ට දුන් නීතියේ සඳහන් වුණේ දෙවිට සේවය කළ පූජකයෙකුගේ දියණියක් අනාචාරයේ යෙදුණොත් ඇයව මරා ‘ගින්නෙන් පිලිස්සිය යුතු’ බවයි. (ලෙවී කතාව 20:10; 21:9, නව ලොව පරිවර්තනය, NW) එමෙන්ම ආකාන් සහ ඔහුගේ පවුලේ අයගේ අකීකරුකම නිසා ඊශ්‍රායෙල් ජාතියට ආයි නම් නගරයේදී අන්ත පරාජයකට පත් වීමට සිදු වුණා. ඒ අවස්ථාවේදී අනෙකුත් ඊශ්‍රායෙල් ජාතිකයන් ඔවුන්ට ගල් ගසා ඔවුන්ව මරා ‘ගින්නෙන් දවා දැමුවා’ කියා වාර්තා වෙනවා. (යොෂුවා 7:24, 25NW) සමහර බයිබල් විශාරදයන් පවසන්නේ යම් නින්දිත ක්‍රියාවක නියැලී මිය ගිය විට ඔවුන්ට ගෞරවනීය භූමදානයක් නොලැබුණු බවයි.

යොෂියා රජ යුදා දේශයෙන් රූප නමස්කාරය තුරන් කර දැමීමට පියවර ගනිද්දී බාල් දෙවි දේවතාවන්ට පුද පූජා කළ පූජකවරුන්ගේ සොහොන් ගෙවල් බිඳ ඔවුන්ගේ ඇට කටු රැගෙන ඔවුන් වැඳුම් පිදුම් කළ පූජාසන මතම පිලිස්සු බව වාර්තා වෙනවා. (2 ලේකම් 34:4, 5) එම උදාහරණවලින් පෙන්වන්නේ යමෙකුව ආදාහනය කිරීම දෙවිගේ අනුමැතිය අහිමි වීමක් බවද? කිසිසේත් නැහැ. ඒ සඳහා අපි බයිබලයේ සඳහන් තවත් වාර්තාවක් සලකා බලමු.

ඊශ්‍රායෙලයේ රජ වන සාවුල් පිලිස්තිවරුන් අතින් පරාජය වූ විට ඔවුන් රජවත් ඔහුගේ පුතුන් තිදෙනාවත් මරා බෙත්-ෂාන් පවුරේ එල්ලා තැබුවා. නමුත් යාබෙෂ්-ගිලියද්හි සිටි ඊශ්‍රායෙල් වැසියන්ට සාවුල්ට හා පුතුන් තිදෙනාට සිදු වූ ඛේදවාචකය ආරංචි වූ විට ඔවුන් එම මළ සිරුරු එයින් ඉවත් කර ඒවා පුලුස්සා එම ඇට කටු වළලා දැමුවා. (1 සාමුවෙල් 31:2, 8-13NW) සාවුල් රජ දුෂ්ට කෙනෙක් නිසාත් දෙවි අභිෂේක කළ රජු වූ දාවිත්ට විරුද්ධව සටන් කළ නිසාත් ඔහු මිය යන විට ඔහුට දෙවිගේ අනුමැතිය තිබුණේ නැහැ. මෙම වාර්තාව බැලු බැල්මට පෙනෙන්නේ ආදාහනය කළේ දෙවිගේ අනුමැතිය නොලත් අයව කියායි.

නමුත් සාවුල් සමඟ මිය ගිය ඔහුගේ පුත්‍රයෙක් වූ යොනාතාන් ගැන කිව හැක්කේ කුමක්ද? ඔහු දුෂ්ට පුද්ගලයෙක් නෙවෙයි. එපමණක්ද නොව ඔහු දාවිත්ගේ හොඳම මිත්‍රයායි. එමෙන්ම යොනාතාන් “ජයග්‍රහණය ලැබුවේ දෙවිගේ උපකාරයෙන්” කියාත් ඊශ්‍රයෙල්වරුන් ඔහුව ප්‍රශංසාවට ලක් කළා. (1 සාමුවෙල් 14:45NW) ඉහත ඡේදයේ සඳහන් කළ ආකාරයට යාබෙෂ්-ගිලියද්හි සිටි ඊශ්‍රායෙල්වරුන් කළ ක්‍රියාව ආරංචි වූ විට දාවිත් ඔවුන්ට ස්තුති කර “ඔබ ඔහුට [සාවුල්ට] ප්‍රේමය පෙන්නූ නිසා යෙහෝවා දෙවිගෙන් ඔබට ආශීර්වාද ලැබේවා!” කියා පැවසුවා. සාවුල්ගේ සහ යොනාතාන්ගේ දේහ පිලිස්සීම දාවිත්ට ගැටලුවක් නොවූ බව පැහැදිලියි.—2 සාමුවෙල් 2:4-6NW.

කිසිවක් බාධාවක් නෙවෙයි

මරණය නමැති නින්දේ සැතපී සිටින බොහෝදෙනෙකුව යෙහෝවා දෙවි නැවත ජීවනයට ගෙන එන බව බයිබලයේ පැහැදිලිවම සඳහන් කරනවා. (දේශනාකාරයා 9:5, 10; යොහන් 5:28, 29) මිය ගිය අය නැවත ජීවනයට පැමිණෙන කාලය ගැන බයිබලයේ අවසාන පොත වන එළිදරව් පොතේ සඳහන් වෙන්නේ මෙසේයි. “මුහුද එහි සිටි මළවුන්ව භාර දුන්නේය. මරණය සහ මිනී වළ එහි සිටි මළවුන්ව භාර දුන්නේය.” (එළිදරව් 20:13) සියලු බලැති දෙවිට කෙනෙකුව නැවත නැඟිටුවීම සඳහා ඒ පුද්ගලයාව භූමදානය කළාද ආදාහනය කළාද මුහුදේ ගිලී මිය ගියාද වන සතෙකුගේ ගොදුරක් බවට පත් වුණාද එසේත් නැත්නම් පරමාණු බෝම්බයකට අසු වී සුනුවිසනු වී ගියාද යන්න ප්‍රශ්නයක් නෙවෙයි.

එමෙන්ම කෙනෙකු මිය ගිය විට එම අවසන් කටයුතු සිදු කළ යුත්තේ කෙසේද කියා බයිබලයේ විශේෂ උපදෙසක් දී නැහැ. ආදාහනය කිරීම දෙවි හෙළා දකින්නේ නැහැ. නමුත් වැදගත් වන්නේ මිය ගිය තැනැත්තාගේ අවසන් කටයුතු ගෞරවනීයව සිදු කිරීමයි.

යම් පුද්ගලයෙක් ගන්නා තීරණයට ඔහු ජීවත් වන ප්‍රදේශයේ සිදු කරන චාරිත්‍ර බලපෑ හැකියි. නමුත් බයිබල් ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වන කෙනෙක් තම ප්‍රදේශයේ අය බාධාවට පත් නොවන අයුරින් හා බයිබල් ප්‍රතිපත්ති නොකැඩෙන අයුරින් ක්‍රියා කළ යුතුයි. නමුත් අමරණීය ආත්මය හෙවත් කෙනෙකු මිය ගිය පසු නොපෙනෙන යමක් ඔහුගේ ශරීරයෙන් පිටවන බවට තිබෙන මිථ්‍යා විශ්වාසය හා සමාන විශ්වාසයන්ට අනුබල දෙන චාරිත්‍රවලින් වැළකී සිටිය යුතුයි. මෙම කාරණා හැර යම් පුද්ගලයෙක් තමන් මිය ගිය විට කළ යුතු දේ ගැන හෝ තම පවුලේ කෙනෙකුගේ මරණයේදී සිදු කරන දේ ගැන ගනු ලබන තීරණ ඔහුගේ හෝ පවුලේ අයගේ පෞද්ගලික තීරණයක්.

මේ ගැන ඔබ සිතුවාද?

▪ ආදාහනය කරනු ලැබුවේ බයිබලයේ සඳහන් කිනම් විශ්වාසවන්ත සේවකයාද?—1 සාමුවෙල් 31:2, 12.

▪ සාවුල්ගේ දේහය ආදාහනය කළ සේවකයන්ට දාවිත් පැවසුවේ කුමක්ද?—2 සාමුවෙල් 2:4-6.

▪ කෙනෙකුව ආදාහනය කිරීම නැවත නැඟිටුවීමට බාධාවක්ද?—එළිදරව් 20:13.

[11වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

කෙනෙකු මිය ගිය විට එම අවසන් කටයුතු සිදු කළ යුත්තේ කෙසේද කියා බයිබලයේ විශේෂ උපදෙසක් දී නැහැ