Skip to content

පටුනට යන්න

ගුරුවරියකගේ සිත වෙනස් කළ ශිෂ්‍යාවක්

ගුරුවරියකගේ සිත වෙනස් කළ ශිෂ්‍යාවක්

ගුරුවරියකගේ සිත වෙනස් කළ ශිෂ්‍යාවක්

▪ ජෝර්ජියා රටේ බාටුමි නම් නගරයේ පාසැලක ගුරුවරියක් ඇගේ පන්තියේ ළමුන්ට දස පනත පිළිවෙළින් කියන්න කියා පැවසුවා. එය නිවැරදිව පැවසීමට හැකි වූයේ ඇනා නම් ශිෂ්‍යාවට පමණයි. ඒ විතරක් නෙවෙයි බයිබලයේ සඳහන් ඉගැන්වීම් ගැන ඇසූ ප්‍රශ්නවලටද ඇයට ඉතා දක්ෂ ලෙස පිළිතුරු දීමට හැකි වුණා. ඇයට මෙතරම් දැනුමක් ලැබුණේ කෙසේද කියා ගුරුවරිය ඇනාගෙන් ඇසුවා. ඇයට එවැනි දැනුමක් ලැබුණේ ඇය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කළ නිසා බව ඇනා පැවසුවා. ගුරුවරිය කතාව එතැනින්ම නතර කළා. ඊට හේතුව ගුරුවරිය සාක්ෂිකරුවන්ව සැලකුවේ අන්තවාදී කණ්ඩායමක් ලෙසයි.

තවත් අවස්ථාවකදී එම ගුරුවරිය ජෝර්ජියාවේ ජීවිතය හා එහි ජනයා මුහුණ දෙන ගැටලු පිළිබඳව රචනාවක් ලියන්න දුන්නා. ඇනා ඇගේ රචනාව අවසන් කර තිබුණේ මෙසේයි. “මිනිසුන් අද සමාජයේ තිබෙන ප්‍රශ්න විසඳීමට කොතරම් උත්සාහ කළත් එය සාර්ථක වෙන්නේ නැහැ. ඊට හේතුව බයිබලයේ යෙරෙමියා 10:23හි [නව ලොව පරිවර්තනය] පවසන්නේ ‘මිනිසෙකුට තමන් යා යුතු මාර්ගය කුමක්ද කියා තනිව තීරණය කරන්න අයිතියක් නැත. තම ජීවන ගමනේ පියවර තැබිය යුත්තේ කෙසේද කියා තනිව තීරණය කරන්න ඔහුට හැකියාවක්ද නැත’ කියායි. ඒ නිසා මේ සියලුම ප්‍රශ්නවලට විසඳුමක් ලැබෙන්නේ දේවපාලනය යටතේදීයි.”

ඊළඟ දවසේ ඇනාගේ රචනාව පන්තියේදී පැසසුමට ලක් කළ ගුරුවරිය “මම ඇත්තටම ඇනාගේ රචනය අගය කරනවා. ඇගේම වචනවලින් ඇය එය ලස්සනට ලියලා තිබුණා. ඒ රචනයේ තිබූ විශේෂත්වය නම් අද තියෙන මේ ප්‍රශ්නවලට විසඳුමක් ලැබී ලෝකයේ තත්වය වෙනස් වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කර තිබීමයි.” ඇනාගේ හැසිරීම ගැනත් ගුරුවරිය පැහැදී සිටියා. ඒ නිසා ඇයව පන්තියේදී ප්‍රශංසාවට ලක් කරමින් ගුරුවරිය පැවසුවේ ඇනා නිතරම විනීතව ඇඳින පළඳින යහපත් හැසිරීමකින් යුත් ශිෂ්‍යාවක් කියායි.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගුරුවරියව මුණගැසීමට පැමිණි අවස්ථාවකදී ඇය පැවසුවේ ඔවුන් අන්තවාදී කණ්ඩායමක් ලෙස සිතූ නමුත් ඇගේ පන්තියේ ඇනා නම් ශිෂ්‍යාව නිසා ඇගේ එම මතය දැන් වෙනස් වී ඇති බවයි. වර්ෂ 2007දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පැවැත්වූ යේසුස්ගේ මරණය සිහි කිරීමේ අවස්ථාවට ගුරුවරිය සහභාගී වූ අතර එහිදී ඉදිරිපත් කළ කතාවට ඉතා ඕනෑකමින් ඇය සවන් දුන්නා.

එම කතාවෙන් පසු ඇයට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන පැහැදීමක් ඇති වුණා. ඔවුන්ට බයිබලය ගැන හසළ දැනුමක් තිබෙන බව ඇය පිළිගත්තා. දැන් ඇය දිගටම සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරනවා. එම ගුරුවරිය මෙන් ඔබටත් හැකියි සාක්ෂිකරුවන්ගේ යහපත් හැසිරීමට හේතුව මෙන්ම ඔවුන්ගේ විශ්වාසයන් ගැන සොයා බැලීමට. ඒ සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නොමිලේ පවත්වන බයිබල් පාඩම් වැඩසටහනෙන් ඔබටත් ප්‍රයෝජන ලබාගත හැකියි.

[21වන පිටුවේ පින්තූරය]

ඇනා ඇගේ රචනාව ලියමින්