Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

දේශගුණික වෙනස්කම් හා මිනිසා සිදු කරන හානි නිසා කොරල්පර ඇති වීමට දායක වන ජීවීන්ගෙන් සියයට 32.8ක් වඳ වීමේ තර්ජනයට ලක් වී තිබෙන බව ඒ ගැන කළ පුළුල් අධ්‍යයනයකින් පෙනී ගියා.—SCIENCE, U.S.A.

▪ ග්‍රීසියේ ඇතන්ස් නුවර රෝහලක ළමා රෝග ඒකකයේ පරීක්ෂා කළ දරුවන්ගෙන් 2,000කට වැඩි සංඛ්‍යාවකට ශ්වසන රෝග තිබෙන බව සොයාගැනුණා. ඊට හේතුව එම “දරුවන්ගෙන් සියයට 65කගේ දෙමාපියන් දෙදෙනාම හෝ එක් අයෙක් දුම්පානය කිරීම නිසා දරුවන් එම දුමට නිරාවරණය වීමයි.”—KATHIMERINI—ENGLISH EDITION, GREECE.

▪ “අහස උසට නඟින තෙල් මිල, ජීවන වියදම හා ආර්ථික බිඳ වැටීම මෙන්ම නිතර නිතර සිදු වන ස්වාභාවික විපත් නිසාත් අපේ ජීවිත තිබෙන්නේ අවදානමකයි. එම ගැටලුවලට විසඳුම් පෙනෙන තෙක් මානයක නැහැ.”—LLUÍS MARIA DE PUIG PRESIDENT OF THE PARLIAMENTARY ASSEMBLY OF THE COUNCIL OF EUROPE.

▪ පෝලන්තයේ පිරිමි දරුවන් සියයට 17ක්ද ගැහැනු දරුවන් සියයට 18ක්ද වයස අවුරුදු 15ක් වන විට මත්ද්‍රව්‍ය අත්හදා බලා තිබෙනවා.—ŻYCIE WARSZAWY POLAND.

සිංහයන්ගෙන් මිනිසුන්ට තර්ජන

අප්‍රිකාවේ ජනගහනය වැඩි වීම නිසා සතුන්ට උන්ගේ වාස භූමිය අහිමි වී යයි. “මේ නිසා වනසතුන්ගේ ප්‍රහාරවලට මිනිසුන් නිතර නිතර ලක් වෙනවා.” විශේෂයෙන්ම සිංහයන්ගේ “ගොදුරු බවට මිනිසුන් පත් වී තිබෙනවා.” උදාහරණයකට ටැන්සානියාවේ 1990 සිට වසරකට මිනිසුන් 70ක් පමණ සිංහයන්ට ගොදුරු වෙනවා. “පැල්පත්වල වහල, මැටිවලින් තැනූ බිත්ති කඩාගෙන සිංහයන් ඇතුළට වැද මිනිසුන්ව ඩැහැගෙන යනවා.” එසේ වාර්තා කළේ එක් අප්‍රිකානූ පුවත්පතක්.—Africa Geographic.

ධාන්‍ය ගබඩා මතු වෙයි

චිකාගෝ විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාඥයන් පිරිසක් දකුණු ඊජිප්තුවේ කළ කැණීම්වලදී ධාන්‍ය ගබඩා කිරීමට භාවිත කළ විශාල පෞරාණික බිස්ස හතක් සොයාගත්තා. එතරම් විශාල ප්‍රමාණයේ ඒවා මීට පෙර එම ප්‍රදේශයෙන් සොයාගෙන තිබුණේ නැහැ. ඒවා අසල තිබී සොයාගන්නා ලද වෙනත් පෞරාණික භාණ්ඩවලින් එම ධාන්‍ය බිස්ස ක්‍රිස්තු පූර්ව 1630ත් 1520ත් අතර කාලයට අයත් වූ බව නිගමනය කළා. එම දින වකවානු නිවැරදි නම් එය මෝසෙස් ජීවත් වූ කාලයේ සිට පැවතුණු ඒවා විය යුතුයි. මැටිවලින් තනා ඇති එම වෘත්තාකාර බිස්සක විශ්කම්භය මීටර් පහමාරත් හයහමාරත් පමණ වන අතර එහි උස මීටර් හතහමාරක් පමණ වෙනවා. පාලකයන් විසින් ඒවා ජනයාට ආහාර බෙදා දීම සඳහා භාවිත කරනු ලැබුවා. එම පර්යේෂකයන් පවසන්නේ “නයිල් ගඟ ආශ්‍රිත ප්‍රදේශවලින් ලැබුණු බහුල අස්වැන්න පාලකයන් විසින් මෙවැනි ස්ථානවල ගබඩා කර තැබුවා කියායි. එවකට සිටි පාලකයන්ට තම බලය පවත්වාගැනීමටත් මෙම සැලැස්ම උපකාරවත් වුණා. ධාන්‍යවලට මුදල් හා සමාන වටිනාකමක් තිබූ නිසා මෙම බිස්ස සැලකුවේ බැංකුවක් ලෙසයි.”

යකඩ හා සමාන කඩදාසි

ස්වීඩනයේ පර්යේෂකයන් කණ්ඩායමක් (Royal Institute of Technology) ශාකවල තිබෙන සෙලියුලෝස්වල ස්වාභාවික ශක්තිය රැකෙන සේ කඩදාසි තැනිය හැකි ක්‍රමයක් සොයාගත්තා. කලින් භාවිත කළ ක්‍රමයට අනුව කඩදාසි සකසන විට සෙලියුලෝස්වල තිබෙන සියුම් කෙඳිවල ශක්තිය හීනවී යනවා. නමුත් මෙම කණ්ඩායම එන්සයිමයක් යොදාගෙන සෙලියුලෝස් කෙඳි ජලයෙන් වෙන් කරගන්නවා. කිසිදු හානියක් නොවනසේ මෙම කෙඳි පෙරාගන්නා විට ඒවා සියල්ල ජාලයක් සේ එකිනෙක බැඳී සෑදෙන කඩදාසි ඉතා ශක්තිමත්. එම කඩදාසි භාණ්ඩ තැනීමට ගන්නා යකඩවලට හා ගොඩනැඟිලි තැනීමට ගන්නා වානේවලට වඩා ශක්තිමත්.