Skip to content

පටුනට යන්න

පුංචි පැංචන් මහත් වුණාට කමක් නැද්ද?

පුංචි පැංචන් මහත් වුණාට කමක් නැද්ද?

පුංචි පැංචන් මහත් වුණාට කමක් නැද්ද?

දරුවන් තරබාරු වීම බොහෝ රටවල විශාල ගැටලුවක් වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවකට අනුව ලෝ පුරා අවුරුදු පහට අඩු දරුවන් මිලියන 22ක් පමණ තරබාරුයි.

ස්පාඤ්ඤය පුරා කළ සමීක්ෂණයකින් සොයාගැනුණේ එම රටේ දරුවන් තුන්දෙනෙකුගෙන් එක් අයෙක් තරබාරුයි කියායි. ඕස්ට්‍රේලියාවේ 1985 සිට 1995 දක්වා කාලය තුළ පමණක් දරුවන් තරබාරු වීම තුන්ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. පසු ගිය දශක තුන ඇතුළත එක්සත් ජනපදයේත් අවුරුදු හයත් එකොළහත් අතර වයස් මට්ටමේ සිටින දරුවන් තරබාරු වීම තුන්ගුණයකටත් වඩා ඉහළ ගොස් තිබෙනවා.

මෙය සංවර්ධිත රටවලට පමණක් නොව සංවර්ධනය වෙමින් පවතින රටවලටත් බලපා තිබෙන ගැටලුවක්. තරබාරුකම පිළිබඳව කළ සමීක්ෂණයක් ගැන එක් සංවිධානයක් (International Obesity Task Force) පැවසුවේ අප්‍රිකාවේ සමහර රටවල බොහෝ දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙනවාට වඩා තරබාරුකම නිසා ඇති වන අතුරු ආබාධවලින් පෙළෙනවා කියායි. වර්ෂ 2007දී වැඩිම තරබාරු දරුවන් සංඛ්‍යාවක් සිටියේ එක්සත් ජනපදයේයි. දෙවන ස්ථානයට පත්ව ඇත්තේ මෙක්සිකෝ රටයි. මෙක්සිකෝ නගරයේ පමණක් දරුවන් හා නහඹර වියේ පසුවන දරුවන් සියයට 70ක් තරබාරුයි. “තරබාරුකම නිසා ඇති වන අතුරු ආබාධවලින් දෙමාපියන්ට කලින් දරුවෝ මිය යන පළමුවෙනි පරම්පාරව මේ පරම්පාරව” කියා ළමා ශල්‍ය වෛද්‍යවරයෙක් වන ෆැන්සිස්කෝ ගොන්සාලස් පවසනවා.

තරබාරුකම නිසා ඇති වන අතුරු ආබාධ ලෙස දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ හෘද රෝග සඳහන් කළ හැකියි. මෙවැනි රෝග ඇති වන්නේ සාමාන්‍යයෙන් වැඩිහිටි අයටයි. එක්සත් ජනපදයේ වෛද්‍ය ආයතනයක (U.S. Institute of Medicine) වාර්තාවකට අනුව වර්ෂ 2000දී එක්සත් ජනපදයේ උපත ලැබූ පිරිමි දරුවන්ගෙන් සියයට 30කට හා ගැහැනු දරුවන්ගෙන් සියයට 40කට තරබාරුකම නිසා ඇති වන දෙවන වර්ගයේ දියවැඩියාව වැලඳීමේ අවදානමක් තිබෙනවා.

දරුවන් තරබාරුවීමේ විශාල ප්‍රවණතාවක් තිබෙනවා කියා සමීක්ෂණවලින් පෙනී යනවා. තරබාරු දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ යෑම අධි රුධිර පීඩනයෙන් පෙළෙන දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ යෑමට හේතු වෙයි. “අධි රුධිර පීඩනයට ගොදුරු වීමේ සංඛ්‍යාව අවම කිරීමට පියවර නොගන්නේ නම් නහඹර වියේ පසු වන අය හා වැඩිහිටියන් විශාල සංඛ්‍යාවක් හෘද රෝගීන් වෙයි” කියා ජෝර්ජියාවේ අට්ලාන්ටා ප්‍රාන්තයේ වෛද්‍ය විද්‍යාලයක (Morehouse School of Medicine) සේවය කරන වෛද්‍යවරියක් වන රෙබෙකා ඩින්සීතම් පවසනවා.

තරබාරුකමට හේතු

ලෝකයේ දරුවන් තරබාරු වීමට ජාන යම් දුරකට හේතුවක් විය හැකියි. එහෙත් මෑත දශකවල මෙම සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යෑමට හේතුව ජාන විතරක්ම නොවෙයි. එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ වෛද්‍යවරයෙක් වන ස්ටීවන් ඔරෙලි පවසන්නේ “මෑත දශක කිහිපය තුළ තරබාරු දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ යෑමට හේතුව ජාන නොවේ” කියායි.

මේ පිළිබඳව එක්සත් ජනපදයේ මේයෝ සායනය කියා සිටියේ “දරුවන් තරබාරු වීමට ජාන හා හෝමෝනවල යම් බලපෑමක් තිබුණද වැඩිපුර ආහාර ගැනීමත් අඩුවෙන් ව්‍යායාම කිරීමත් දරුවන්ගේ තරබාරුකමට විශාල වශයෙන් දායක වන බවයි.” දරුවන්ගේ ආහාර රටාව වෙනස් වී ඇති බව පෙන්වීමට හේතු දෙකක් සලකා බලමු.

පළවෙනි හේතුව දෙමාපියන් රැකියාවල නිරත වීම නිසා ආහාර පිළියෙල කිරීමට ඔවුන්ට කාල වේලාවක් නැති වීමයි. ඒ නිසා ක්ෂණික ආහාර මිල දී ගැනීම සාමාන්‍ය දෙයක් වී තිබෙනවා. ක්ෂණික ආහාර ලබාගත හැකි අවහන්හල් හතු පිපෙන්නාක් මෙන් ලෝකය පුරා වැඩි වී තිබෙනවා. එක් සමීක්ෂණයකින් පෙන්වන්නේ එක්සත් ජනපදයේ අවුරුදු හතරත් 19ත් අතර පසු වන දරුවන්ගෙන් තුනෙන් එකක් සෑම දිනකම ක්ෂණික ආහාර ලබාගන්නා බවයි. මෙම ආහාරවල අධික සීනි හා මේද ප්‍රමාණයක් තිබෙන අතර මෙමගින් කෑම රුචිය ඇති කරන නිසා අනුභව කරන ආහාර ප්‍රමාණයද වැඩියි.

දෙවෙනි හේතුව කිරි සහ ජලයට වඩා සිසිල් බීම වැඩි වශයෙන් පානය කිරීමයි. මෙක්සිකෝවේ විශේෂයෙන්ම කෝලා බීම සඳහා වසරකට වැය කරන මුදල අත්‍යවශ්‍ය ආහාර දහයක් මිල දී ගැනීමට වැය කරන මුදලට වඩා වැඩියි. එක් පොතක සඳහන් වන්නේ දිනකට සිසිල් බීම මිලිලීටර් 600ක් පානය කිරීම නිසා කෙනෙකුගේ බර වසරකට රාත්තල් 25කින් වැඩි වන බවයි.—Overcoming Childhood Obesity.

ප්‍රමාණවත් ව්‍යායාම් නොකිරීමද තරබාරුකමට හේතු වෙයි. ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලයේ කළ අධ්‍යයනයකින් සොයාගැනුණේ “අවුරුදු තුනක දරුවෙකු දිනකට කය වෙහෙසන්නේ විනාඩි 20ක පමණ කාලයක්” බවයි. එම අධ්‍යයනය ගැන කොලරාඩෝ විශ්වවිද්‍යාලයේ ළමා රෝග හා වෛද්‍ය විද්‍යා අංශයේ මහාචාර්යය ජේම්ස් හිල් අදහස් දක්වමින් කියා සිටියේ “දරුවන් කය නොවෙහෙසීම එක්සත් රාජධානියේ පමණක් නොව මුළු ලෝකය පුරාම දක්නට තිබෙන ගැටලුවක්” බවයි.

විසඳුම කුමක්ද?

දරුවන්ගේ ආහාර පාලනය කිරීම පෝෂණවේදීන් අනුමත කරන්නේ නැහැ. මන්ද එය දරුවන්ගේ වර්ධනයට මෙන්ම සෞඛ්‍යයටද බලපෑ හැකි නිසයි. මේයෝ සායනය කියා සිටින්නේ “තරබාරුකම මට්ටු කිරීමට කළ හැකි හොඳම දේ සමබර ආහාර වේලක් ගැනීම හා ප්‍රමාණවත් ව්‍යායාම්වල යෙදීමයි. මෙය දරුවන්ට පමණක් නොව මුළු පවුලටම කළ හැකි දෙයක්.” කොටුව බලන්න.

පවුලක් හැටියට යහපත් සෞඛ්‍යය පුරුදු ඇති කරගන්න. කුඩා කාලයේදීම යහපත් ජීවන රටාවකට දරුවන්ව පුහුණු කිරීමෙන් ඔවුන් වැඩිවියට පා තැබූ පසුත් එම ජීවන රටාවටම ඇලී සිටියි.

[28වන පිටුවේ කොටුව/පින්තූරය]

දෙමාපියන්ට කළ හැකි දේ

1 ක්ෂණික ආහාර ගන්නවා වෙනුවට වැඩිපුර පළතුරු හා එළවළු ආහාරයට එක් කරගන්න.

2 සිසිල් බීම මෙන්ම මේදය හා සීනි අධික කෙටි ආහාර අවම කරන්න. ඒ වෙනුවට වතුර හෝ මේදය අඩු කිරි බොන්න. කෙටි ආහාර ගන්නා විට ගුණදායක ඒවා ගන්න.

3 තෙලින් බැද ගන්නවාට වඩා පුලුස්සාගැනීම, තම්බාගැනීම හෝ වාෂ්පයෙන් පිසගැනීම වැනි පිසීමේ ක්‍රම භාවිත කරන්න.

4 කුඩා ප්‍රමාණයක් ආහාරයට ගන්න.

5 තෑගී ලෙස ආහාර පාන නොදෙන්න.

6 උදේ ආහාරය අතපසු නොකිරීමට වගබලා ගන්න. එක් වේලක් අතපසු කිරීම ඊළඟ වේල වැඩියෙන් ගැනීමට හේතු විය හැකියි.

7 කෑම මේසයේ ඉඳගෙන ආහාර ගන්න. රූපවාහිනිය හෝ පරිගණකය ඉදිරියෙහි ඉඳගෙන ආහාර ගැනීමෙන් නොදැනුවත්වම වැඩිපුර ආහාර ගැනීමට එය හේතුවක් වෙයි.

8 බයිසිකල් පැදීම, ක්‍රීඩාවල යෙදීම වැනි ශාරීරික ක්‍රියාකාරකම්වල නියැලීමට උනන්දු කරන්න.

9 රූපවාහිනිය නැරඹීම, පරිගණකය භාවිත කිරීම සහ වීඩියෝ ක්‍රීඩාවල නියැලීම අවම කරන්න.

10 පවුලක් හැටියට සත්තු වත්තට හෝ පිහිනීමට හෝ ක්‍රීඩා පිටියකට හෝ යන්න.

11 ගෙදර දොරේ වැඩකටයුතුවලට දරුවන්ව හවුල් කරගන්න.

12 හොඳ ආහාර රටා හා ව්‍යායාම් කිරීමෙන් දරුවන්ට ආදර්ශයක් වන්න.

[හිමිකම් විස්තර]

මෙම තොරතුරු ලබාගත්තේ: The National Institutes of Health and the Mayo Clinic