Skip to content

පටුනට යන්න

මගේ පුංචි රෝස පොත

මගේ පුංචි රෝස පොත

මගේ පුංචි රෝස පොත

පැවසුවේ සින්තියා නියූවල්

මට අවුරුදු හතේදී ඇමරිකාවේ ලුසියානා ප්‍රාන්තයේදී මගේ ඉස්කෝලේ බස් එකේ ගිය කුඩා ගැහැනු ළමයෙක් මට රෝස පාට පොඩි පොතක් පෙන්නුවා. ඒකේ නම උතුම් ගුරුවරයාට සවන් දෙන්න. (සිංහලෙන් නැත) ඇය කිව්වා මට ඒක සත පනහකට ලබාගන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඇය අපේ ගෙදරට ආවා. මම ඇයට සත පනහක් දීලා පොත ලබාගත්තා.

මම ඒ පොතට හුඟක් ආස කළා. ටික කාලෙකට පස්සේ මට අසනීප වෙලා රෝහල් ගත වෙන්න සිදු වුණා. ඒ කාලයේදී මාව සනසන්න මගේ පවුලේ අය මට ඒ පොත ඇහෙන්න කියෙව්වා. ඒත් මම ටිකෙන් ටික ලොකු වෙද්දී ඒ පොත කියවන එක අඩු වුණේ ඒක පොඩි අයට ලියලා තියෙන පොතක් නිසයි. මට ඒ පොතෙන් බොහෝ වටිනා පාඩම් ඉගෙනගන්න පුළුවන් වුණත් ඊට වඩා ගැඹුරින් දේවල් දැනගන්න මට අවශ්‍ය වුණා. මට තිබුණු ප්‍රශ්නවලට බයිබලයේ තිබෙන පිළිතුරු දැනගැනීමට මම හැම සතියකම විවිධ පල්ලිවලට ගියා. නමුත් ඒ එක තැනකින්වත් සෑහීම ගෙන දෙන පිළිතුරු මට ලැබුණේ නැහැ.

මම ද්විතීයික පාසැලට ඇතුල් වුණාම ආගමට එතරම් උනන්දුවක් නොදැක්වුවත් මට බයිබලය ගැන දැනගන්න උනන්දුවක් තිබුණා. මම හැමදාම බයිබලය කියෙව්වා. අපේ පාසැලේ ජාතික කොඩිය ඉදිරිපිට අපි රටට පක්ෂපාතව ඉන්නවා කියා ප්‍රතිඥාවක් දෙන්න තිබුණා. නමුත් මගේ පන්තියේ එක ළමයෙක් ඒ ප්‍රතිඥාව නොදී ඉන්නවා මම දැක්කා. මම ඒ ගැන ඇගෙන් ඇසුවාම ඇය මෙසේ පිළිතුරු දුන්නා. “මගේ සම්පූර්ණ පක්ෂපාතකම යෙහෝවා දෙවිට දෙනවා කියලා මං ප්‍රතිඥාවක් දීලයි තියෙන්නේ. ඉතිං කොහොමද මම දෙවිටයි කොඩියටයි දෙකටම පක්ෂපාතකම පෙන්වනවා කියා ප්‍රතිඥාවක් දෙන්නේ.” ඇය කියූ දේ මොන තරම් තර්කානුකූලද කියලා මට හිතුණා. ඒත් ඇත්තටම යෙහෝවා දෙවි කියන්නේ කවුද?

මම ඇසූ සෑම ප්‍රශ්නයකට මගේ පන්තියේ මිතුරිය බයිබලයෙන්ම පිළිතුරු දුන්නා. ‘අපි දෙන්නම එකම වයසේ, ඒත් මෙයාට බයිබලය ගැන මෙතරම් දැනුමක් ලැබුණේ කොහොමද’ කියලා මම හිතුවා. මම ඒ ගැන ඇගෙන් ඇසුවාම ඇය මෙසේ පැවසුවා. “මම බයිබලයේ තියෙන සත්‍යයන් ඉගෙනගන්නේ අපි රැස්වන රාජ්‍ය ශාලවේදීයි.” ඇය මට ඉරිදා රැස්වීමකට ආරාධනා කළ අතර මම එයට සහභාගී වුණා. මම ඒ නගරයේ තියෙන සෑම පල්ලියකට ගිහින් තිබුණත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාවට ගිහින් තිබුණේ නැහැ. රාජ්‍ය ශාලාවට ගිය පළමු දවසේම ඔවුන්ගේ ඉගැන්වීම් බයිබලය මත පදනම් ඒවා බව මම තේරුම්ගත්තා.

මම රැස්වීමෙන් පස්සේ ශාලාවේ තිබුණු පොත් අංශයට ගියා. මට ලැබුණු රෝස පාට පොතත් එතන තිබුණා. මට ඒ පොත ලැබුණේ මීට අවුරුදු දහයකට කලින්. ඒ පොත දුන්නේ කවුද කියලා මට හරියටම මතක තිබුණේ නැහැ. ඒත් ඒ පොත දුන්නේ මට රැස්වීමට ආරාධනා කළ නැන්සි කියලා දැන් මට මතකයි.

ඊටපස්සේ මම දිගටම බයිබලය සාක්ෂිකරුවන් සමඟ ඉගෙනගත්තා. මම රෝස පාට පොතෙන් බොහෝ දේවල් ඉගෙනගෙන තිබුණත් බයිබලය පාඩම් කරන විට එහි කාරණා ගැඹුරින් තේරුම්ගන්න හැකි වුණා. වැඩි කල් නොගොස් මම යෙහෝවා දෙවිට කැප වී 1985දී බව්තීස්ම වුණා. එතකොට මට වයස අවුරුදු 18යි. ඒ වෙනකොට නැන්සි ෆ්ලෝරිඩාවලට ගිහින් තිබුණු නිසා ඇය ගැන වැඩි තොරතුරක් දැනගන්න ලැබුණේ නැහැ.

වසර කිහිපයකට පස්සේ මම ඩෘ සමඟ විවාහ වුණා. වර්ෂ 1991දී අප ටෙක්සාස් නගරයේ නැඟෙනහිරින් පිහිටි කුඩා ගම්මානයක පූර්ණකාලීන සේවකයන් ලෙස සේවය කරන්න ගියා. ඒ වන තුරුත් නැන්සි ගැන තොරතුරක් දැනගන්න ලැබුණේ නැහැ. එක දවසක් රෑ මම 1992 දෙසැම්බර් පළවෙනිදා මුරටැඹ සඟරාවේ ලිපියක් (මෙය සිංහලෙන් නැත.) කියවනකොට “මට නැන්සිව හම්බවුණා නැන්සිව හම්බවුණා” කියා කෑ ගැසුවා. එම සඟරාවේ ගිලියද් පාසැලට සහභාගී වූ අයගේ පින්තූරයේ ඇයත් ඇගේ සැමියා වන නික් සිමෝනෙලිගේ පින්තූරයත් තිබුණා. ඔවුන්ට පැවරුම ලැබී තිබුණේ දකුණු ඇමරිකාවේ ඉක්වදෝරයේ සේවය කිරීම සඳහායි.

වර්ෂ 2006 අපි දෙන්නා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ජාත්‍යන්තර ඉඳි කිරීමේ අංශයේ සේවය කිරීම සඳහා කැමැත්ත පළ කළා. අපේ පළමුවෙනි පැවරුම වුණේ ඉක්වදෝරයේ ශාඛා කාර්යාලයේ අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතියේ වැඩ සඳහා යෑමයි. එය අපට මොන තරම් සතුටුදායක ආරංචියක් වුණාද! මම ඉක්වදෝරයේ ශාඛා කාර්යාලයට ගිය පළමුවෙනි දවසේ නැන්සි මා වෙතට එනවා දැක්කා. ඇය එදා ශාඛා කාර්යාලයට අහම්බෙන් පැමිණ සිටියා. අපි දෙන්නට දෙන්න සිප වැළඳගත්තේ කියා නිම කරන්න බැරි සතුටකින්. ඒ රෝස පාට පොත ලැබී දැනට අවුරුදු 32ක් වෙනවා. මම ඒ පොතටත් ඒ පොත ලබා දුන් චූටි දැරිය වෙනුවෙනුත් යෙහෝවා දෙවිට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා.

[23වන පිටුවේ කොටුව/පින්තූර]

මිලියන ගණනකගේ ජීවිත වෙනස් කිරීමට සමත් වූ පොත

තුම් ගුරුවරයාට සවන් දෙන්න නමැති පොත මුද්‍රණය කර අවුරුදු 32කට පසු ඒ හා සමාන තවත් පොතක් 2003දී ප්‍රකාශයට පත් කරනු ලැබුවා. එහි තේමාව උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු යන්නයි. අද වන විට මෙම පොත භාෂා 100කට වඩා වැඩි භාෂා ප්‍රමාණයකින් පිටපත් මිලියන 65ක් ඉක්මවා මුද්‍රණය කර තිබෙනවා. ඔබටත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් මෙම පොතෙන් පිටපතක් ලබාගත හැකියි.

[23වන පිටුවේ පින්තූර]

දෙපස: කුඩා කාලයේ අපි දෙන්නා

සින්තියා

නැන්සි

මැද: වසර ගණනාවකට පසු ඉක්වදෝරයේ ශාඛා කාර්යාලය ඉදිරිපිට