Skip to content

පටුනට යන්න

මගේ යාළුවෝ ආශ්‍රයට සුදුසු අයද?

මගේ යාළුවෝ ආශ්‍රයට සුදුසු අයද?

යෞවන අය අසති

මගේ යාළුවෝ ආශ්‍රයට සුදුසු අයද?

“මගේ දුක සැප බෙදාගන්න කවුරු හරි කෙනෙක් ඉන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි හිතට කේන්තියක් ආවාම ඒ ගැන කියන්නත් කවුරු හරි ඉන්න ඕනේ. ඒ නිසා යාළුවෝ අවශ්‍යමයි.”—බ්‍රිට්නි.

පුංචි දරුවන්ට අවශ්‍ය වන්නේ එයාලත් එක්ක සෙල්ලම් කරන්න යාළුවෙක්. යෞවනයන්ටත් යාළුවන් අවශ්‍යයි. මේ යාළුවන් දෙගොල්ලන් අතර ඇති වෙනස මොකක්ද?

සෙල්ලම් කරන්න යාළුවෙක් එන්නේ ඔබේ තනි නොතනියටයි.

එහෙත් හොඳ මිත්‍රයෙක් කියන්නේ ඔබේ ප්‍රතිපත්තිවලට ගරු කරන කෙනෙකුටයි.

බයිබලයේ හොඳ මිත්‍රයෙක්ව හඳුන්වන්නේ මෙසේයි. “සැබෑ මිතුරෙකු සෑම වෙලේම ප්‍රේමණීයයි. ඔහු විපතකදී උපකාර කරන්න ඉපදුණු සහෝදරයෙකි.” (හිතෝපදේශ 17:17 නව ලොව පරිවර්තනය, NW) තනි නොතනියට සිටින යාළුවෙකු මෙන් නොව හොඳ මිත්‍රයෙක් සමඟ ඇති වන බැඳීම ශක්තිමත්.

ඔබ වැඩිහිටි වියට පා තබද්දී ඔබට අවශ්‍ය වන්නේ

(1) හොඳ ගතිගුණ තිබෙන

(2) බයිබල් ප්‍රතිපත්තිවලට ගරු කරන

(3) ඔබට හරි මඟ පෙන්වීම් ලබා දෙන මිතුරන්වයි.

ඉහත කී කාරණා ඔබේ මිත්‍රයන් තුළ දකින්න තිබෙනවාද? අප දැන් එම කාරණා එකින් එක සලකා බලමු.

හොඳ ගතිගුණ

ඔබ දැන සිටිය යුතු දේ. එනම් සෑම මිත්‍රයෙක්ම හොඳ මිත්‍රයෙක් නෙවෙයි. බයිබලයෙත් මෙවැනි දෙයක් පවසා තිබෙනවා. “ද්‍රෝහිව කටයුතු කරන මිතුරෝ සිටිති.” (හිතෝපදේශ 18:24NW) මිත්‍රයෙක් ද්‍රෝහිකම් කරන්නේ නැහැයි කියා අප සිතුවත් මේ දේ ගැන කල්පනා කර බලන්න. වාසි ප්‍රයෝජන තකා පමණක් ඔබ සමඟ මිත්‍රකම් පැවැත් වූ කෙනෙක් ඔබට මතකද? එසේත් නැත්නම් ඔබ නැති තැන ඔබ ගැන අගුණ කී කෙනෙක් ඔබට මතකද? මිත්‍රයෙක් ඔබට එවැනි දෙයක් කර තිබුණා නම් ඔබ කවදාවත් ඔහුව හෝ ඇයව විශ්වාස කරන්නේ නැහැ. * වංක මිතුරන් දහසකට වඩා එක අවංක මිතුරෙක් සිටීම බොහෝ සෙයින් වටිනා බව මතක තබාගන්න.

ඔබට කළ හැකි දේ. ඔබට අනුකරණය කළ හැකි හොඳ ගතිගුණ තිබෙන මිත්‍රයන්ව ආශ්‍රය කරන්න.

“හැමෝම මගේ මිතුරිය වන ෆියෝනා ගැන හොඳ කියනවා. මා ගැනත් ඒ වගේ කතා කරනවාට මම කැමතියි. එයා දිනාගෙන තිබෙන හොඳ නම වගේ මටත් හොඳ නමක් තියෙනවා නම් මම ආසයි.”—ඉවෙට්. අවුරුදු 17යි.

අත් හදා බලන්න

1. ගලාති 5:22, 23 කියවන්න.

2. මේ ගැන කල්පනා කර බලන්න. ‘දෙවිගේ බලයේ උපකාරයෙන් වර්ධනය කරගත යුතු ගුණාංග මගේ මිතුරන් තුළ තිබෙනවාද?’

3. ඔබේ කිට්ටු මිතුරන්ගේ නම් සහ ඒ නමත් සමඟම ඔබේ මතකයට එන ගුණාංගය පහත සඳහන් කරන්න.

නම ගුණාංගය

․․․․․ ․․․․․

․․․․․ ․․․․․

․․․․․ ․․․․․

ඔබේ මිතුරාගේ නමත් සමඟ ඔබේ මතකයට නැඟෙන්නේ නරක ගුණාංගයක් පමණක් නම් ඔබේ මිතුරන්ව වෙනස් කිරීම හොඳයි කියා ඔබට සිතෙන්නේ නැද්ද?

බයිබල් ප්‍රතිපත්තිවලට ගරු කරන මිතුරන්

ඔබ දැන සිටිය යුතු දේ. ඔබ මිත්‍රයෙක් නැහැයි කියා අනවශ්‍ය ලෙස ලත වෙන කෙනෙක් නම් ඔබ තෝරා බේරා ගැනීමකින් තොරව ඕනෑම කෙනෙකුව ඔබේ මිත්‍රයෙක් කර ගනියි. මේ සම්බන්ධයෙන් බයිබලයේ දෙන උපදෙස මෙයයි. “අඥානයන්ව ඇසුරු කරන්නා විපතට පත් වෙයි.” (හිතෝපදේශ 13:20NW) මෙහිදී ‘අඥානයන්’ කියා හඳුන්වන්නේ දැන උගත්කමින් අඩු කෙනෙකු නොවෙයි. ඊට වෙනස්ව මෙයින් අදහස් කරන්නේ කාගේවත් උපදෙස් පිළිනොගන්න තම හිතුමතේට ක්‍රියා කරන කෙනෙකුටයි. එවැනි ප්‍රතිපත්ති ගරු නොකරන මිත්‍රයන් ඔබට අවශ්‍යද?

ඔබට කළ හැකි දේ. ඔබ සමඟ මිත්‍ර වීමට කැමති ඕනෑම කෙනෙකුව මිත්‍රයෙක් හැටියට පිළිනොගෙන තෝරා බේරා ගෙන මිත්‍රකම් පවත්වන්න. (ගීතාවලිය 26:4) ඔබ හැමෝටම එක හා සමානව සලකන්නේ නැති කෙනෙක් කියා ඉන් අඟවන්නේ නැහැ. නමුත් ඔබ තෝරා බේරාගෙන මිතුරුකම් පවත්වනවා කීමෙන් අදහස් කරන්නේ “ධර්මිෂ්ඨයා කවුද කියාත් දුෂ්ටයා කවුද කියාත්, දෙවිට සේවය කරන්නේ කවුද කියාත් නොකරන්නේ කවුද කියාත්” සොයා බලා ආශ්‍රය කිරීමයි.—මලාකි 3:18NW.

යෙහෝවා දෙවි තරාතිරම් බලන්නේ නැහැ. ඒත් ඔහුගේ ‘කූඩාරමට ඇතුල් වීමට’ සෑම කෙනෙකුටම අවසර දෙන්නේ නැහැ. (ගීතාවලිය 15:1-5NW) ඔබටත් මිතුරන් තෝරාගැනීමේදී එම ප්‍රතිපත්තියම අදාළ කරගත හැකියි. ඔබ ප්‍රතිපත්ති ගරුක ජීවිතයක් ගත කරන විට එසේ ජීවත් වීමට කැමති අය ඔබව ආශ්‍රය කිරීමට තෝරාගනියි. එවිට ඔබට ශක්තිමත් මිත්‍රත්ව ඇති කර ගත හැකියි.

“දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගෙන සිටින මගේම වයසේ අයව තෝරාගැනීමට මගේ දෙමාපියන් මට උපකාර කළා. ඒ ගැන මම ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා.”—ක්‍රිස්ටෝෆර්.

අත්හදා බලන්න

මතු දැක්වෙන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න

මගේ මිතුරන් සමඟ සිටින විට වැරදි දෙයක් කිරීමට ඔවුන් මාව පොලඹවයි කියා මට භයක් දැනෙනවාද?

□ ඔව් □ නැහැ

▪ දෙමාපියන් මගේ මිතුරන්ට අකමැති වෙයි කියා සිතෙන නිසා මම ඔවුන්ව මගේ දෙමාපියන්ට හඳුන්වා දෙන්න භයද?

□ ඔව් □ නැහැ

ඉහත ප්‍රශ්නවලට ඔබ ඔව් කියා පිළිතුරු දෙනවා නම් උසස් ප්‍රමිති තියෙන මිතුරන්ව සොයාගන්න. ඔබට වඩා වයසින් වැඩි ආදර්ශවත් ක්‍රිස්තියානීන්ව ඔබේ මිතුරන් කරගැනීමට පියවර ගන්න.

හරි මඟ පෙන්වීම් ලබා දෙන මිතුරන්

ඔබ දැන සිටිය යුතු දේ. “නරක ආශ්‍රයෙන් හොඳ චරිත වැනසේ” කියා බයිබලයේ පවසා තිබෙනවා. (1 කොරින්ති 15:33 නව අනුවාදය) ලොරෙන් නම් යෞවනියක් පවසන්නේ “මගේ යාළුවෝ මාව පිළිගත්තේ මම ඒ අයට කැමති දේවල් කරන කොට විතරයි. මටත් යාළුවෙක් ඕනේ වෙලා තිබුණු නිසා ඔවුන් කැමති දේවල් කළා.” ඔබේ යාළුවන්ට ඕනෑ විදිහට ඔබ දේවල් කරනවා නම් ඔබත් හරියට චෙස් ලෑල්ලේ ඉත්තෙක් වගේයි. ඔවුන්ට ඕනේ ඕනේ විදිහට ඔවුන් ඔබව හසුරුවයි. ඔබට එවැනි මිතුරන් අවශ්‍ය නැති බවට සහතිකයි.

ඔබට කළ හැකි දේ. ඔබේ යාළුවන් ඔවුන්ට ඕනෑ විදිහට කටයුතු කරන්න කියා ඔබට බල කරනවා නම් එවැනි යාළුවන්ගෙන් ඈත් වෙන්න. ඔබ එවැනි පියවරක් ගන්නා විට ඔබට ඔබ ගැනත් හොඳ හැඟීමක් ඇති වෙයි. ඒ වගේම හොඳ මිතුරන් ඇති කරගැනීමටත් මඟ පාදයි. එම මිතුරන්ගෙන් ඔබට හොඳ මඟ පෙන්වීම් ලැබෙයි.—රෝම 12:2.

“මගේ හොඳම මිතුරා වන ක්ලින්ට් හොඳින් සිතා බලා කටයුතු කරනවා වගේම අනිත් අයගේ දුක වේදනාව හොඳට තේරුම්ගන්න පුළුවන් කෙනෙක්. ඇත්තටම ඔහු මට ලොකු ශක්තියක්.”—ජේසන්.

අත්හදා බලන්න

මතු දැක්වෙන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න

▪ ඔබ අඳින්නේ පළඳින්නේ කතා බහ කරන්නේ හැසිරෙන්නේ යාළුවන්ට ඕනෑ විදිහටද?

□ ඔව් □ නැහැ

▪ මගේ යාළුවන්ට ඕනෑ නිසා මම යෑමට සුදුසු නැති තැන්වලට පවා යනවද?

□ ඔව් □ නැහැ

ඔබේ පිළිතුර ඔව් නම් ඔබේ දෙමාපියන්ගෙන් හෝ වෙනත් වැඩිහිටි කෙනෙකුගෙන් උපදෙස් පතන්න. ඔබ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් නම් ඔබට මඟ පෙන්වීම් සපයන්න පුළුවන් හොඳ මිතුරන් සොයාගැනීමට අවශ්‍ය උපදෙස් ඉල්ලා සිටින්න.

[පාදසටහන]

^ 14 ඡේ. සෑම කෙනෙකුගේම අතින් වැරදි සිදු වෙනවා කියන කාරණය අප පිළිගත යුතුයි. (රෝම 3:23) ඒ නිසා මිතුරෙක් අතින් වරදක් සිදු වී ඔහු ඒ ගැන අවංකව දුක් වෙනවා නම් ඔබට සමාව දිය හැකියි. මන්ද “ප්‍රේමය පව් රාශියක් වසා දමන්නේය.”—1 පේතෘස් 4:8.

සිතා බලන්න

▪ මිතුරෙක් තුළ ඔබ වඩාත් දකින්න කැමති ගුණාංග මොනවාද? ඒ ඇයි?

▪ ඔබ හොඳ මිතුරෙක් වීමට නම් වර්ධනය කරගත යුතු ගුණාංග මොනවාද?

[19වන පිටුවේ කොටුව/පින්තූරය]

යෞවනයන් පවසන දේ

“මගේ දෙමාපියන් මම ආශ්‍රය කරන සමහර යාළුවන්ගෙන් ඈත් වෙන්න කියා කිව්වා. ඒත් මම හිතුවේ ඒ අය තමයි මගේ හොඳම යාළුවෝ කියලා. නමුත් මගේ දෙමාපියන් පැවසු දේ හරියි. දෙමාපියන් දුන් ඒ උපදෙස ගැන කල්පනා කර බලද්දී මට තේරුණා මට ඊට වඩා හොඳ මිතුරන් සොයාගන්න පුළුවන් කියලා.”—කෝල්.

“දේශනා සේවයේ හවුල් වීම සභාවේ ඉන්න අයව හඳුනගන්න පුළුවන් හොඳම ක්‍රමය කියලා මම තේරුම්ගත්තා. සභාවේ ඉන්න තරුණ මහලු හැමෝම එක්ක ආශ්‍රය කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම මම ආශ්‍රය කරන්නේ යෙහෝවා දෙවිට ආදරේ කරන අයවයි.”—ඉවෙට්.

“මම හොඳ මිතුරන් සොයා දෙන්න කියා දෙවිට යාච්ඤා කළා. නමුත් මම ඒ සඳහා කිසිම ක්‍රියා මාර්ගයක් ගත්තේ නැහැ. ඒ නිසා මම හිතුවා ක්‍රිස්තියානී රැස්වීම්වලට ගියාම අනිත් අයත් එක්ක කතා කරන්න මමම මුල පුරන්න ඕනේ කියලා. වැඩි කල් යන්න කලින් මට මිතුරෝ හුඟදෙනෙක් සිටියා. ඊටපස්සේ මට කවදාවත් පාළුවක් තනිකමක් දැනුණේ නැහැ.”—සෑම්.

[20වන පිටුවේ කොටුව]

මෙම යෝජනා අත්හදා බලන්න

දෙමාපියන් සමඟ කතා කරන්න. දෙමාපියන්ට ඔවුන්ගේ තරුණ කාලයේදී සිටියේ කුමනාකාරයේ මිතුරන්ද කියා විමසන්න. ඔවුන් මිතුරන් ලෙස තෝරාගත් අය ගැන ඔවුන් පසුතැවෙනවාද? එසේනම් ඊට හේතුව කුමක්ද? එවැනි පසුතැවිලිවීම් මඟහැරීමට ඔබට කුමක් කළ හැකිද කියා ඔවුන්ගෙන් විමසන්න.

මිතුරන්ව ඔබේ දෙමාපියන්ට හඳුන්වා දෙන්න. ඔබ එසේ කිරීමට අදිමදි කරනවා නම් එසේ කිරීමට හේතුව කුමක්ද කියා සිතා බලන්න. මගේ දෙමාපියන් අකමැති යම් පුරුද්දක් හෝ ගුණාංගයක් මගේ මිතුරන් තුළ දකින්න තිබෙන නිසාද? එහෙමනම් ඔබ මිතුරන් තේරීමේදී වඩාත් සැලකිලිමත් වෙන්න.

[20වන පිටුවේ කොටුව]

හොඳ මිත්‍රත්වයක් පවත්වාගැනීම සඳහා ක්‍රම තුනක්

හොඳින් සවන් දෙන්න. මිතුරන්ගේ යහපත ගැන ඔබ සැලකිලිමත් බව පෙන්වන්න.—ෆිලිප්පි 2:4.

සමාව දෙන්න. අඩුපාඩුවක් සිදු නොවෙයි කියා බලාපොරොත්තු නොවන්න. “අපි සියලුදෙනාම බොහෝවර වැරදි කරන්නෙමු.”—යාකොබ් 3:2.

ඔවුන්ට නිදහස දෙන්න. මිතුරෙක් සෑමවිටම ඔබ ළඟම සිටිය යුතුයි කියා නොසිතන්න. සැබෑ මිතුරෙක් අවශ්‍ය විටක ඔබට උපකාර කිරීමට සෑදී පැහැදී සිටියි.—දේශනාකාරයා 4:9,10.

[18, 19වන පිටුවේ පින්තූරය]

ඔබේ යාළුවන්ට ඕනෑ විදිහට ඔබ දේවල් කරනවා නම් ඔබත් හරියට චෙස් ලෑල්ලේ ඉත්තෙක් වගේයි