Skip to content

පටුනට යන්න

රාජ්‍යට මුල් තැන දුන් නිසා ලැබුණු ආශීර්වාද

රාජ්‍යට මුල් තැන දුන් නිසා ලැබුණු ආශීර්වාද

රාජ්‍යට මුල් තැන දුන් නිසා ලැබුණු ආශීර්වාද

පැවසුවේ පියෑ වෝරු

මගේ මුළු ජීවිත කාලය පුරාම මම කාටත් ආචාර කළේ ප්‍රංශ භාෂාවෙන් “බොන්සුවා” කියායි. එහි තේරුම ආයුබෝවන් යන්නයි. ඒත් 1975දී එලෙස ආචාර කිරීම නිසා මාව අත්අඩංගුවට ගත්තා. ඒ සිද්ධියට මඟ පෑදු දේ කියන්න මට ඉඩ දෙන්න.

මම ඉපදුනේ 1944 ජනවාරි 1වෙනිදා මධ්‍යයම බෙනින් රටේ සාවේ නගරයේ මලැටේ නම් ගම්මානයේයි. * මගේ දෙමාපියන් මට දුන් නම තමයි ඇබියෝලා. ඒ නම යොරූබා භාෂාවට ආවේණික වූ නමක්. මම යෞවන කාලයේදීම නවීන තාලයේ නමක් වන පියෑ ලෙස මගේ නම වෙනස් කළා.

නගරයේ සිටි සෑම පිරිමි ළමයෙකුටම වගේ විවිධ නම් පටබැඳී තිබුණා. කුඩා කාලයේ මට ගමේ පූජකයෙක්ගේ පෙනුමක් තිබුණු නිසා කවුරුත් කිව්වේ පාස්ටර් කියලයි. එලෙස හැඳින්වුවත් මම වැඩි කැමැත්තක් දැක්වූයේ ආගම ඉගෙනගන්න දහම් පාසැලට යනවාට වඩා පාපන්දු ක්‍රීඩා කිරීමටයි.

මම 1959දී වැඩිපුර අධ්‍යාපනය ලැබීම සඳහා දකුණු දෙසින් පිහිටි සකැටේ නගරයේ මගේ ඥාති සහෝදරයෙක් වන සයිමන්ගේ නිවසේ නතර වුණා. ඔහු ගුරුවරයෙක්. සයිමන් ඒ වෙනකොට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරමින් සිටියා. මම නම් මුලදී ඔවුන් සමඟ පාඩම් කිරීමට එතරම් කැමැත්තක් දැක් වූයේ නැහැ. ඉන්පසු මම සයිමන්ගේ බාල සහෝදරයෙක් වන මිචෙල්ටත් මගේ තනියට පාඩමට එන්න කිව්වා. ඔහුත් පාඩමට සහභාගී වුණා. එදා තමයි මම මුලින් දෙවිගේ නම යෙහෝවා බව දැනගත්තේ.

එක් ඉරු දිනක් සයිමන්, මයිකල් සහ මම පල්ලි නොගිහින් සාක්ෂිකරුවන්ගේ රැස්වීමට යන්න තීරණය කළා. ඒත් එදා සාක්ෂිකරුවන්ගේ රැස්වීමට පැමිණ සිටියේ පස්දෙනයි. ඒ අපි තුන්දෙනයි සාක්ෂිකරුවන් දෙන්නයි. බයිබල් සත්‍යය උගන්වන්නේ එතනයි කියා අපි තේරුම්ගත්තා. මුලින්ම දෙවිට කැප වී බව්තීස්ම වුණේ මිචෙල්. ඔහු අද පුරෝගාමියෙක් ලෙස සේවය කරනවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පූර්ණකාලීනව සේවය කරන අයව හඳුන්වන්නේ ඒ නමින්.

සයිමන් උතුරු දෙසින් පිහිටි නගරයක් වන කොකොරෝවලට පදිංචියට යන විට මමත් ඔහු සමඟ ගියා. ඒ කාලයේදී සාක්ෂිකරුවන්ගේ එක්රැස්වීමක් වන්සුගොන් නගරයේ පැවැත්තුවා. සයිමන් කුලී රථයකින් ඒ සඳහා සහභාගී වූ අතර මම කිලෝමීටර් 220ක් බයිසිකලයෙන් ගියා. අපි දෙන්නාම බව්තීස්ම වුණේ 1961 සැප්තැම්බර් 15වෙනි දින පැවැත්වූ එම එක්රැස්වීමේදියි.

පූර්ණකාලීන සේවයේ අභියෝග

මගේ විය හියදම් පියවා ගත්තේ චිත්‍ර ඇඳලා විකිණීමෙන් හා වගා කිරීමෙනුයි. මේ අතරතුර ෆිලීප් සැන්නූ නම් චාරිකා අවේක්ෂකයෙක් අපේ සභාවට ආවා. ඔහු මගෙන් ඇහුවා පූර්ණකාලීන සේවය ගැන හිතලා තියෙනවාද කියලා. මේ ගැන අපි සාකච්ඡා කළාට පස්සේ මගේ යාළුවා එම්මැනුවෙල් ෆැටුන්බි සහ මම 1966 පෙබරවාරි මාසයේ සිට පුරෝගාමි සේවය පටන්ගන්න කැමතියි කියලා කිව්වා. කාලයක් ගත වෙද්දී මම චාරිකා අවේක්ෂකයෙක් ලෙස ෆොන්, ගන්, යොරූබා සහ ප්‍රංශ භාෂාව කතා කරන සභාවලට ගියා.

මේ අතරතුරේදී හොඳ ගති පැවතුම් තිබෙන ජූලිඈන් නම් ක්‍රිස්තියානි සහෝදරියක් මුණගැසුණා. ඇයත් මම වගේම සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න කැමති කෙනෙක්. අපි දෙන්නා 1971 අගෝස්තු 12වෙනිදා විවාහ වුණා. ඊට පස්සේ අපි දෙන්නම සේවයේ හවුල් වුණා. අපේ පුතා බෝලා ඉපදුණේ 1972 අගෝස්තු 18වෙනිදායි. අපි සභාවෙන් සභාවට ගියේ බයිසිකලය පැදගෙනයි. ජූලිඈන් පුතාවත් තියාගෙන පිටිපස්සේ ඉඳගෙන ආවා. අපි මේ වගේ යනකොට අපේ ඇඳුම් බෑග් වෙනත් සහෝදරයෙක් ඔහුගේ බයිසිකලයෙන් රැගෙන ගියා. අපි මෙලෙස අවුරුදු හතරක් පුරා සේවය කළා.

එක දවසක් රෑ ජූලිඈන් හොඳටම අසනීප වුණා. මම පහුවදා උදේ වාහනයක් හොයන්න පාරට ගියා. ඒ ප්‍රදේශයේ වාහනයක් දකින්න ලැබෙන්නේ කලාතුරකින්. ඒත් ඒ වේලාවේ කුලී රථයක් ආවා. පුදුමේ කියන්නේ එහි සිටියේ රියදුරා විතරයි. මම රියදුරාට ජූලිඈන්ගේ තත්වය ගැන කියලා අපිව පොර්ටෝ නෝවෝ නගරයට ගෙනියන්න පුළුවන්ද කියා ඇසුවා. ඒ නගරයට කිලෝමීටර් 25ක් පමණ දුරක් තිබෙනවා. ඔහු එයට එකඟ වී අපිව රැගෙන ගියා. අපි ආපසු පැමිණි විට “ඔයා මේ ගමනට කුලියක් ගෙවන්න ඕනේ නැහැ. ඒක මගේ ගාණේ කියා” ඔහු සිනාමුසු මුහුණින් පැවසුවා.

ජූලිඈන්ට සති දෙකක් පමණ සාක්ෂිකාරයෙකුගේ ගෙදර විවේකීව ඉන්න සිදු වුණා. වෛද්‍යවරයා හැමදාම වගේ අවශ්‍ය බෙහෙත් රැගෙන ඇයව බලන්න ආවා. ඔහු ඇයව අන්තිම වරට බලන්න පැමිණි විට ඔහුගේ ගාස්තුව කීයද කියා මම ඔහුගෙන් ඇසුවා. ඔහු දුන්නේ මම බලාපොරොත්තු නොවූ පිළිතුරක්. “මේකට ගෙවීමක් කරන්න ඕනේ නැහැ.”

නොසිතූ විරූ වෙනස්කම්

වර්ෂ 1975දී අපේ රටේ කොමියුනිස්ට් පාලන ක්‍රමයක් හා සමාන පාලන ක්‍රමයක් ආරම්භ කරන්න පටන්ගත්තා. ඉන් පසු අපේ රට හැඳින්වූයේ බෙනින් සමූහාණ්ඩුව ලෙසයි. ජන ජීවිතයේ පවා ලොකු වෙනස්කම් ඇති වුණා. අලුත් ආචාර ක්‍රමයක් හඳුන්වා දුන්නා. එනම් “ඔබ විප්ලවයට සහයෝගය දෙනවාද?” කියා අසන විට මනුෂ්‍යයන් උත්තර දිය යුත්තේ “ඔව් මම කැමතියි” කියායි. අපි බයිබලයේ සත්‍යයන් ඉගෙනගෙන තිබුණු නිසා එවැනි දෙයක් කීමට අපේ හෘදය සාක්ෂිය ඉඩ දුන්නේ නැහැ. මේ නිසා අපිට ගොඩාක් කරදරවලට මුහුණ දෙන්න සිදු වුණා.

වර්ෂ 1975 එක් ඉරු දිනක් මම සාන්ත මිචෙල් නගරයේ ගෙයින් ගෙට සේවයේ යෙදෙමින් ඉන්න කොට මාව අත්අඩංගුවට ගත්තා. එසේ කළේ එක් මනුෂ්‍යයෙක් “ඔබ විප්ලවයට සහයෝගය දෙනවාද” කියා අසද්දී මම සුපුරුදු විදිහට ආචාර කළ නිසයි. මේ සිද්ධිය තමයි මේ කතාව ආරම්භයේදීම මම සඳහන් කළේ. එදා මාව පොලිසියට ගෙනිහින් හොඳටම තැළුවා. ඒ ප්‍රදේශයේ සිටි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් තුන්දෙනෙක් මා වෙනුවෙන් ඉදිරිපත් වී මාව බේරාගත්තා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතරින් පළමුවෙන්ම අත්අඩංගුවට ගත්තේ මාවයි. ඉන් පසු වෙනත් සාක්ෂිකරුවන්වත් අත්අඩංගුවට ගත්තා. රජය විසින් රාජ්‍ය ශාලා රාජසන්තක කළ අතර අපේ රටේ සේවය කරන්න පැමිණි සිටි අයව රටින් පිටමං කළා. ශාඛා කාර්යාලයත් වසා දැමීමට සිදු වුණා. සාක්ෂිකරුවන්ට බටහිර දෙසින් පිහිටි ටොගෝ නගරයට හෝ නැඟෙනහිර නයිජීරියාවට පලා යෑමට සිදු වුණා.

අපේ පවුලට තවත් අය එකතු වුණා

අපේ දෙවෙනි පුතා කෝලා ඉපදුණේ 1976 අප්‍රියෙල් 25වෙනිදායි. ඊට දවස් දෙකකට පස්සේ අපේ රටේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කළා. ඒ නිසා අපි නයිජීරියාවට පිටත් වුණා. අපි කෙළින්ම ගියේ රාජ්‍ය ශාලාවටයි. එහේ සරණාගතයින්ගෙන් පිරිලා තිබුණා. ඊළඟ දවසේ එහි සිටි අයව ළඟපාත සභාවලට ගෙන යෑමට කටයුතු පිළියෙල කළා. එක කාණ්ඩායමක් ගෙන යද්දී තවත් කණ්ඩායමක් ආවා. ට්‍රක් රථවලින් මේ සෑම කෙනෙක්වම වෙනත් සභාවලට ගෙන ගියා.

බෙනින් නගරයේ සිට පැමිණි සියලුම සාක්ෂිකරුවන්ව බලන්න යන්න කියා නයිජීරියාවේ ශාඛා කාර්යාලයේ සහෝදරයන් මගෙන් ඉල්ලා සිටියා. ඉන් අනතුරුව මාව යොරූබා හා ගන් භාෂාව කතා කරන සභාවල චාරිකා අවේක්ෂකයෙක් ලෙස සේවය කිරීමට පත් කළා. අපි සභාවලට ගියේ මෝටර් සයිකලයකින්. අපේ ලොකු පුතා ඉස්සරහිනුත් අපේ පොඩි පුතා පිටිස්සේ මටයි ජූලිඈන්ටයි මැදිවෙලයි ගමන් කළේ.

වර්ෂ 1979 අපේ දුව ජෙමයිමා ලැබෙන්න ඉන්න බව අපි දැනගත්තා. මේ තත්වය යටතේ චාරිකා සේවය කිරීමට පහසු වුණේ නැති නිසා අපි එය නවත්වන්න තීරණය කළා. ජූලිඈන්ගේ බාල සහෝදරියක් වන පෙපේ අපේ ගෙදර නවතින්න ආවා. අපේ පවුලට කේලැබ් 1983ත් සයිලස් 1987ත් එකතු වුණා. දැන් අපේ පවුලේ ඔක්කොම අටදෙනායි. අපිට ඕන වුණේ අපේ දරුවන්ට හොඳ දෙමාපියන් වෙන්න වගේම පූර්ණකාලීන සේවයේ දිගටම නියැලීමටයි. අපි මේ දේ කළේ කොහොමද? අපි වත්තක් බද්දට ගෙන ඒකේ මඤ්ඤොක්කා, ඉරිඟු හා තවත් අල වර්ග වගා කළා. අපි ඒ ගමේ පුංචි ගෙයකුත් හදා ගත්තා.

දරුවන් පාසැලට ගියාට පස්සේ මමයි මගේ භාර්යාවයි දේශනා සේවයේ ගියා. අපි පවුලක් හැටියට එකට කෑම කන්න දරුවෝ ගෙදර එන වෙලාවට අපි ගෙදර ආවා. කෑමෙන් පස්සේ පොඩි නින්දක් අරගෙන හවස වත්තේ වැඩවලට ගියා. ජූලිඈන් සහ පෙපේ අපි වගා කළ දේවල් වෙළඳපොළේදී වික්කා. අපි හැමෝම මහන්සි වෙලා වැඩ කළා. අපි අසනීප වුණේ කලාතුරකින්.

වැඩිදුර අධ්‍යාපනයක් නොලැබුවත් ආශිර්වාද

අපි අපේ දරුවන්ට වැඩිදුර අධ්‍යාපනයක් ලබන්න උනන්දු කළේ නැහැ. සාර්ථක ජීවිතයකට අවශ්‍ය වන්නේ දෙවිගේ රාජ්‍යයට මුල් තැන දීමත් ක්‍රිස්තියානියෙකුට සුදුසු ගුණාංග වර්ධනය කිරීමත් වෙහෙස මහන්සි වී වැඩ කිරීමත් කියා අපි තේරුම්ගෙන සිටියා. දරුවන්ටත් මේ දේ තේරුම්ගන්න උපකාර කළා. මම දරුවන්ට බයිබලයේ තිබෙන දේවල් ඉගැන්නුවා. දරුවන් තුළ යෙහෝවා දෙවිට ප්‍රේමයක් ඇති වෙද්දී ඔවුන් තමන්ගේ ජීවිත දෙවිට කැප කර බව්තීස්ම වෙද්දීත් මම ලොකු ප්‍රීතියක් අද්දැක්කා.

අපේ දරුවන්ට වඩා පෙපේ වැඩිමල් නිසා අපේ නිවසින් මුලින්ම පිටත්ව ගියේ ඇයයි. ඇය අපේ ගෙදරට එන විට එතරම් පාසැල් අධ්‍යාපානයක් ලබා නොතිබුණු නිසා මම ඇයට කියවන්න ඉගැන්නුවා. ඒ වගේම බයිබලයේ සඳහන් සත්‍යයත් ඇයට ඉගැන්නුවා. ඇය තුළත් නමස්කාරය හා සම්බන්ධ කටයුතුවලට ලොකු උනන්දුවක් තිබුණා. ඇය කාලයක් පුරෝගාමියෙක් ලෙස සේවය කිරීමෙන් පසු චාරිකා අවේක්ෂකයෙක් වන මන්ඩේ අකින්රා සමඟ විවාහ වුණා. ඔවුන්ට දැන් තිමෝති කියා පුතෙක් ඉන්නවා. ඔවුන් තවමත් පූර්ණකාලීන සේවයේ යෙදෙන අතර මන්ඩේ සමුළුවල බොහෝ වගකීම් දරමින් ප්‍රීතියක් ලබනවා.

අපේ ලොකු පුතා බෝලා විශාල සමාගමක ආපන ශාලාවේ ප්‍රධාන සූපවේදීයෙක් යටතේ පුහුණුවක් ලැබුවා. වැඩි කල් යන්න කලින් එක් අධ්‍යක්ෂකවරයෙකුට පුතාගේ දක්ෂකමත් අවංක බවත් අනිකුත් හොඳ ගුණාංග ගැනත් පැහැදීමක් ඇති වුණා. ඒ නිසා ඔහුට උසස්වීමක් ලැබුණා. මේ හැම දේටම වඩා වැදගත් වෙන්නේ ඔහුගේ ආදර්ශමත් ජීවිතයයි. ඔහු ජේන්ට හොඳ ස්වාමිපුරුෂයෙක් වගේම දරුවෝ තුන්දෙනෙකුගේ වගකීම උසුලන ප්‍රේමණීය පියෙක්. ඒ විතරක් නෙවෙයි නයිජීරියාවේ ලාගෝස් නගරයේ පිහිටි සාක්ෂිකරුන්ගේ සභාවක වෙහෙස මනහන්සි වී සේවය කරන වැඩිමහල්ලෙක්.

අපේ දෙවෙනි පුතා කෝලා ටේලර් කෙනෙක් යටතේ පුහුණුව ලැබුවා. ඔහු නයිජීරියාවේ සිටින කාලයේදී ඉංග්‍රීසි භාෂාව ඉගෙනගත් නිසා 1995 බෙනින් රටේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ පරිවර්තන අංශයේ සේවය කිරීමට ආරාධනාවක් ලැබුවා. ඔහු දැනට එහි අවුරුදු 13ක් පුරා සේවය කරමින් සිටිනවා.

නැවතත් බෙනින් රාජ්‍යයට

බෙනින් රාජ්‍ය මගින් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට දමා තිබූ තහනම 1990 ජනවාරි 23වනිදා ඉවත් කළා. එය ඉතා සතුටුදායක ආරංචියක්. බෙනින් රටින් පිට වී සිටි බොහෝදෙනෙක් නැවතත් පැමිණියා. ශාඛා කාර්යාලය නැවතත් විවෘත කළ අතර වෙනත් රටවලිනුත් සේවය කිරීම සඳහා පැමිණියා. පෙපේ සහ බෝලාගේ පවුල්වල අය හැර අපි හැමෝම නැවතත් 1994 බෙනින්වලට ආවා.

මම අර්ධ කාලීන රැකියාවක් සොයාගත්තා. නයිජීරියාවේ තිබුණු අපේ නිවසින් ලැබූ කුලිය හා බෝලාගෙන් ලැබුණු සහය නිසා අපි පස්දෙනාට ප්‍රමාණවත් නිවසක් ශාඛා කාර්යාලය අසල තනාගන්න හැකි වුණා. ජෙමයිමා අවුරුදු හයකට වඩා වැඩි කාලයක් පුරෝගාමියෙක් ලෙස සේවයේ යෙදෙන අතර ඇගේ වියහියදම් පිරිමසා ගන්නේ ඇඳුම් මැසීමෙන්. පසුව ඇය කොකු ඇහුමනු සමඟ විවාහ වූ අතර දැන් ඔවුන් දෙදෙනාම ශාඛා කාර්යාලය අසල ප්‍රදේශයක සේවය කරනවා. කේලැබ් සහ සයිලස් පාසැල් අධ්‍යාපන කටයුතු අවසන් කරමින් සිටිනවා. අපි දෙන්නටත් දෙවිගේ උපකාරයෙන් සහ අපේ පවුලේ අයගෙන් ලැබුණු උපකාරයෙන් අවුරුදු 40ක් පුරා පූර්ණකාලීන සේවයේ නියැලෙන්න හැකි වී තිබෙනවා.

බෙනින් රටේ දේශනා සේවයට යෙහෝවා දෙවිගේ ආශිර්වාදය නොඅඩුව ලැබී තිබෙනවා. මම 1961 බව්තීස්ම වෙන විට සාක්ෂිකරුවන් සිටියේ 871ක් පමණයි. මාව අත්අඩංගුවට ගත් කාලයේදී සාක්ෂිකරුවන් 2,381 සිටියා. අවුරුදු 14ක තහනමකට පස්සේ නැවතත් අපි 1994 බෙනින් රටට පැමිණෙද්දී එම සංඛ්‍යාව 3,858දක්වා වැඩි වී තිබුණා. ඒත් අද වන විට ඒ සංඛ්‍යාව 9,000කට වඩා වැඩියි. එමෙන්ම 2008 දී යේසුස්ගේ මරණය සිහි කිරීමට පැමිණි සංඛ්‍යාව 35,752.

අවුරුදු 30කට කලින් මාව අත්අඩංගුවට ගත් ස්ථානයට ගිහින් මට අද්දකින්න සිදු වූ හැමදෙයක් ගැනම මම කල්පනා කර බලනවා. විශේෂයෙන් යෙහෝවා දෙවි මගේ පවුලට කර තිබෙන ආශිර්වාද ගැන මම ඔහුට ස්තුති කරනවා. මට කිසිම දෙයකින් අඩුවක් තිබුණේ නැහැ. අදටත් මම ආචාර කරන්නේ මම මුලින් කළ විදිහටමයි.

[පාදසටහන]

^ 4 ඡේ. ඒ කාලයේදී බෙනින් හැඳින්වූයේ ඩහෝමි යන නමිනුයි. එය ප්‍රංශ බටහිර අප්‍රිකාවේ කොටසක්.

[13වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“ඔයා මේ ගමනට කුලියක් ගෙවන්න ඕනේ නැහැ. ඒක මගේ ගාණේ කියා” ඔහු සිනාමුසු මුහුණින් පැවසුවා

[14වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

අපි අපේ දරුවන්ට වැඩිදුර අධ්‍යාපනයක් ලබන්න උනන්දු කළේ නැහැ

[15වන පිටුවේ පින්තූරය]

1970දී චාරිකා අවේක්ෂකයෙක් ලෙස සේවය කරන කාලයේදී

[15වන පිටුවේ පින්තූරය]

1976දී අපේ ලොකු පුතා බෝලා සහ දෙවෙනි පුතා කෝලා සමඟ

[15වන පිටුවේ පින්තූරය]

මගේ පවුලේ අයත් සමඟ. මගේ භාර්යාව, දරුවන් පස්දෙනා මුණුබුරෝ තුන්දෙනා සහ පෙපේගේ පවුලේ අය