Skip to content

පටුනට යන්න

‘මට කරන්න තියෙන වැඩ ඉවරයක් නැහැ’

‘මට කරන්න තියෙන වැඩ ඉවරයක් නැහැ’

‘මට කරන්න තියෙන වැඩ ඉවරයක් නැහැ’

ඔලිම්පික් තරඟාවලියේ බර ඉසිලීමේ තරඟයට සහභාගී වන ක්‍රීඩකයන් සෑම දිනකම කලින් ඉසිලු බරකට වඩා වැඩි බරක් ඉසිලීමෙන් වාර්තා තබන්න උත්සාහ කරන්නේ නැහැ. ඔවුන් විශාල බරක් ඉසිලීමට පුහුණුවක් ලබන්නේ ඔවුන් උසුලන බර ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් වැඩි කිරීමෙනුයි. නමුත් ඔවුන් එකවරම විශාල බරක් ඉසිලීමට වෑයම් කරනවා නම් එය ඔවුන්ගේ පේශීවලට මෙන්ම සන්ධිවලට බලපෑ හැකි අතර ඔවුන්ගේ බලාපොරොත්තු සුන් විය හැකියි.

ඔබත් පාසැල් කටයුතුවල වෙහෙස මහන්සි වී වැඩ කරන ශිෂ්‍යයෙක් විය හැකියි. ඔබට අමාරු පැවරුමක් කිරීමට හෝ විභාගයකට සුදානම් වීමට තිබෙන විට සාමාන්‍යට වඩා වෙහෙසෙනවා විය හැකියි. * නමුත් දවසේ මුළු කාලයම ඔබේ පාසැලේ වැඩ හා වෙනත් පැවරුම් සඳහා වැය වෙනවා නම් තත්වය කුමක්ද? සමහරවිට කෑම කන්න හෝ නිදාගන්නවත් වේලාවක් නැතුව ඇති. දිගින් දිගටම ඔබ එලෙස ක්‍රියා කරනවා නම් එය ඔබේ සෞඛ්‍යට තර්ජනයක් විය හැකියි. ඔබේ අද්දැකීමත් එයද? *

ඉවරයක් නැති ගෙදර වැඩ

“මම ඉහළ පන්තිවලට යන කොට ගෙදර වැඩ තව තවත් වැඩි වුණා විතරක් නෙමෙයි ඒවා තව අමාරු වුණා. ඉවර කරන්න කාලය මදියි” කියා ජපානයේ අවුරුදු 15ක් වයසැති හිරොකෝ * පවසනවා. “මට වෙනත් දේවල් කරන්න ආශාවක් තිබුණත් පාසැලේදී දෙන ගෙදර වැඩ පසුව දාට පෙන්වන්න ඕන නිසා කිසි දෙයක් කරන්න වේලාවක් නැහැ. ඉවර කරගන්න බැරි වෙයිදෝ කියලා භයකුත් දැනෙනවා.” රුසියාවේ අවුරුදු 14ක් වයසැති ස්වෙට්ලානාට හැඟුණේ මෙසේයි. “පාසැලේ දෙන ගෙදර වැඩ ඉවර කරන එක දැන් හුඟක් අමාරුයි. සෑම වසරකම මට අලුත් විෂයන් හදාරන්නත් වැඩි වැඩියෙන් ගෙදර වැඩ කරන්නත් වෙනවා. ඒ විතරක් නෙවෙයි හැම ගුරුවරයෙක්ම කියන්නේ ඒ අය කරන විෂය අනික් ඒවාට වඩා වැදගත් කියලයි. හැම විෂයකටම එක සමාන තැනක් දීලා වැඩ කරන එක හරිම අමාරුයි.”

ගුරුවරුන් ශිෂ්‍යයන්ට මෙතරම් ගෙදර වැඩ දෙන්නේ ඇයි? බ්‍රසීලයේ වයස අවුරුදු 18ක් වන ගිල්බැටෝ මෙසේ පවසනවා. “රැකියා ලබාගැනීමට ලොකු තරඟයක් තිබෙන නිසා දැන් සිටම ඒ සඳහා අපිව සූදානම් කරන බව ගුරුවරුන් කියා සිටිනවා.” එවැනි තත්වයක් තිබුණත් අධික ගෙදර වැඩ ප්‍රමාණයක් දීම නිසා ඔබ පීඩනයට ලක් වෙනවා විය හැකියි. ඒත් ඔබට ලැබෙන ගෙදර වැඩ බරක් ලෙස නොසලකා ඒවා හොඳින් කිරීමට සැලසුම් කරනවා නම් ඔබට දැනෙන පීඩනය අඩු වෙයි.

ඔබට පාසැලෙන් දෙන ගෙදර වැඩ කිරීම වැඩිහිටියෙක් වූ පසු වගකීම් ඉසිලීමට ලැබෙන පුහුණුවක් හා සමානයි. ගෙදර වැඩ බරක් ලෙස සිතුවත් ඔබේ පාසැල් කාලය ඔබ සිතනවාට වඩා වේගයෙන් අවසන් වෙයි. ඔබ කවදා හෝ රැකියාවක නිරත වන විට ඔබ පාසැල් කාලය හොඳින් පසු කළා යන හැඟීම ඔබට තෘප්තියක් ගෙන දෙයි. ඔබ වැඩිහිටියෙකු ලෙස සාර්ථක වන්නේ ඔබ පාසැල් වියේදී “වෙහෙස මහන්සි වී” වැඩ කර තිබෙනවා නම් පමණයි.—දේශනාකාරයා 2:24, නව ලොව පරිවර්තනය, NW.

හොඳින් සැලසුම් කිරීමෙන් හා කඩිසරව කටයුතු කිරීමෙන් බොහෝදුරට පීඩනය අඩු කරගත හැකියි. ( “පීඩනය අඩු කරගත හැකි ක්‍රම” යන කොටුව බලන්න.) ඔබ පුරුද්දක් ලෙස ඔබට ලැබෙන ගෙදර වැඩ වෙලාවට හා පිළිවෙලකට කිරීමෙන් ගුරුවරුන්ගේ විශ්වාසය දිනාගත හැකි අතර ඔබට ඔවුන්ගේ උපකාරයද ලැබෙයි. එවන් පැහැදීමක් ඔබ ගැන ඔබේ ගුරුවරයාට තිබෙනවා නම් යම් නොවැළැක් විය හැකි හේතුවක් නිසා ඔබට ගෙදර වැඩ කිරීමට යම් හෙයකින් අතපසු වුණත් ගුරුවරයා ඔබව තේරුම්ගනියි. දෙවිගේ විශ්වාසවන්ත සේවකයෙක් වූ දානියෙල්ට “විරුද්ධව කිසි වරදක්වත් කිසි දූෂිත ක්‍රියාවක්වත් සොයාගැනීමට ඔවුන්ට නොහැකි විය” කියා පවසා තිබෙනවා. (දානියෙල් 6:4NW) දානියෙල්ට රජුගේ ප්‍රසාදය දිනාගැනීමට හැකි වූයේ ඔහුට පැවරු කාර්යය විශ්වාසවන්තව හා කඩිසරව ඉටු කළ නිසයි. ඔබත් පාසැලේ පැවරුම් ඉටු කිරීමේදී දානියෙල්ගේ ආදර්ශය අනුගමනය කරනවා නම් ඔබටත් ගුරුවරුන්ගේ ප්‍රසාදය දීනාගැනීමට හැකි බව නියතයි.

පන්තියේදි හොඳ අවධානයක් දීමෙන් ගෙදර වැඩ හොඳින් කිරීමෙන් සහ දී ඇති පැවරුම් කලට වේලාවට නිම කිරීමෙන් පීඩනය අඩුවෙයිද? නැහැ. සමහරවිට යමක් වඩාත් හොඳින් ඉටු කිරීමට ඔබ තුළ තිබෙන ආශාව නිසාත් ඔබට යම් පීඩනයක් දැනිය හැකියි. එවිට ඔබ උත්සාහ කරන්නේ ගෙදර වැඩ උඩින් පල්ලෙන් කරනවා වෙනුවට එයින් ප්‍රයෝජනයක් ගත හැකි ආකාරයෙන් ඉටු කිරීමටයි.

එවැනි ආකාරයේ පීඩනයක් ඔබට යහපත් බලපෑමක් ඇති කරයි. කෙසේවෙතත් සෞඛ්‍යට අහිතකර මෙන්ම අනවශ්‍යය පීඩනයකට ඔබ ලක් විය හැකියි.

අමතර ක්‍රියාකාරකම්

වේගයෙන් රිය පදවන කෙනෙක් ගැන සිතා බලන්න. ඔහු විදුලි සංඥා දකින විට රිය නැවැත්වීමට තදින් තිරිංග පාගයි. පසුව නැවතත් ඔහු වේගයෙන් රථය පදවාගෙන යයි. එවැනි අවිනීත රියැදුරෙක් තම රථයට කරන හානිය මොනතරම්ද! ඔහු පදවන ආකාරය නිසා එන්ජිමටත් අනිකුත් කොටස්වලටත් හානි සිදු වෙයි. සමහර විට රථයේ කොටස්වලට හානි සිදු වීමට පෙර විශාල අනතුරකට පවා භාජනය විමෙන් රථය භාවිත කිරීමට නොහැකි තත්වයට පත් වෙයි.

ඒ ආකාරයටම බොහෝ ශිෂ්‍යයන් පාසැල් වේලාව ආරම්භ වීමට පෙරත් පසුත් අනවශ්‍යය ලෙස ශාරීරිකවත් මානසිකවත් බොහෝ වෙහෙසට පත්වෙනවා. ලේඛිකාවක් වන ඩෙනිස් ක්ලාක් පෝප් ඇයට හමු වූ ශිෂ්‍යයන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් ඇගේ පොතේ මෙසේ වාර්තා කරනවා. “බොහෝ වැඩිහිටියන් රැකියාව ආරම්භ කරන වෙලාවට පැයකට දෙකකට කලින් පාසැල් දරුවන් තම දවස ආරම්භ කරනවා. එමෙන්ම ඔවුන්ට තිබෙන ක්‍රීඩා පුහුණු වීම්, නැටුම් පන්ති හෝ අමතර ආදායමක් ලැබීමට කරන සුළු රැකියා නිසා ඔවුන්ගේ දවස නිමා වන්නේ රෑ බෝ වෙලයි.”—එම පොත Doing School.

මේ ආකාරයෙන් දිගටම කාර්යය බහුල ජීවිතයක් ගත කිරීමෙන් නොයෙකුත් ගැටලු උද්ගත වෙයි. අධික වෙහෙස නිසා ඇති වන පීඩනය හේතුවෙන් උදර ආබාධ හා හිසරදය වැනි රෝගවලින් පීඩා විඳිය හැකියි. දිගටම විඩාවට පත් වීම ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරන අතර අසනීපවලට මඟ පාදයි. නැවත ශක්තිමත් වී යථාතත්වයට පත් වීමට කාලයක් ගත විය හැකියි. එවැනි දෙයක් ඔබට සිදු විය නොහැකිද?

හොඳ ඉලක්කයක් තබාගෙන වැඩ කිරීම යහපත් දෙයක්. නමුත් ඔබට දවසක් ඇතුළත දී කළ හැකි සීමාව තේරුම්ගෙන කටයුතු කරන්න. බයිබලයේත් අපට යම් උපදෙසක් දෙනවා. එහි පවසන්නේ “ඔබේ සාධාරණකම සියලුදෙනාටම දැනගන්න” ලැබිය යුතුයි කියායි. (ෆිලිප්පි 4:5.) සාධාරණ ලෙස කටයුතු කරන කෙනෙක් තමන්ට හෝ අනිත් අයට හානි වන ආකාරයට ක්‍රියා කරන්නේ නැහැ. ඒ වගේම ඔහු දුර දිග බලා කටයුතු කරනවා. එලෙස තමන්ගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වී සාධාරණව කටයුතු කරන කෙනෙක් අනවශ්‍ය ලෙස බාහිර ක්‍රියාකාරකම්වල නිරත වන්නේද නැහැ.

එකම අදිටන ධනවත් වීමද?

සමහර යෞවනයන් සිතන්නේ සාධාරණ වීම තමන්ගේ ඉලක්ක කරා යෑමට තිබෙන බාධාවක් ලෙසයි. එවැනි ශිෂ්‍යයන් විශ්වාස කරන්නේ ජීවිතය සාර්ථක වීමට ඉහළ වැටුපක් ලැබෙන රැකියාවක් කළ යුතු බවයි. ඩෙනිස් ක්ලාක් සමඟ සාකච්ඡාවට හවුල් වූ සමහර යෞවනයන්ට එවැනි ආකල්ප තිබුණා. ඔවුන්ගේ අදහස් ගැන ඇය මෙසේ පවසනවා. “එම ශිෂ්‍යයන්ට වැඩි වේලාවක් විවේක ගැනීමටත් ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය ගැන සැලකිලිමත් වීමටත් අවශ්‍ය වූවත් පාසැලේ, රැකියාවේ හා පවුලේ තිබුණු අධික වැඩ නිසා ඔවුන්ට එවැනි නිදහසක් භුක්ති විඳීමට හැකියාවක් නැහැ. එමෙන්ම ඔවුන්ගේ මිතුරන් සමඟ වැඩිපුර කාලයක් ගත කිරීමට වෙනත් ක්‍රියාකාරකම්වල යෙදීමට නැත්නම් දින කිහිපයක් විවේකීව සිටීමට ආශාවක් දැක් වූවද වැඩිදෙනෙක් සිතුවේ එවැනි දේවල නිරත වීම ඔවුන්ගේ ඉගෙනීමට බාධාවක් කියායි. ඔවුන්ට යම් තේරීමක් කරන්න තිබෙන බව ඔවුන් දන්නා නමුත් වර්තමානයේ භුක්ති විඳින ප්‍රීතියට වඩා අනාගතයේදී භුක්ති විඳින්න යන සාර්ථකත්වය ඔවුන්ට වටිනවා.”

එවැනි කාර්ය බහුල ශිෂ්‍යයන් මෙම ප්‍රඥාවන්ත වදන් සිතට ගැනීමෙන් ඔවුන්ට යහපතක් සිදුවෙයි. “මිනිසෙකු මුළු ලෝකයම ලබාගත්තත්, තම ජීවිතය අහිමි කරගන්නවා නම් ඔහුට ඇති ප්‍රයෝජනය කුමක්ද? මිනිසෙකු තම ජීවිතය වෙනුවට කුමක් දෙන්නේද?” (මතෙව් 16:26) යේසුස් එම වදන්වලින් අවධාරණය කළේ අපේ ශක්තිය, දැනුම, දෙවි සමඟ අපට තිබෙන මිත්‍රත්වය වැනි දේ නැති කරගෙන අප මේ ලෝකයේ යම් ඉලක්කයක් අත් කරගත්තත් ඉන් කිසි ප්‍රයෝජනයක් නැති බවයි.

මනෝවිද්‍යාඥවරියක් වන මැන්ඩිලින්ලෙවින් රචනා කළ පොතක මෙසේ සඳහන් වුණා. “ධනය, බලය, කීර්තිය, අධ්‍යාපනය හෝ දේපළ වස්තුව යන මේ කිසිම දෙයකට සතුට හා මානසික සුවය ලබා දෙන්න බැහැ.” (The Price of Privilege) කලින් අදහස් දැක්වූ ඩෙනිස් ක්ලාක් මෙවැනි දෙයක් ප්‍රකාශ කරනවා. “මම දකින විදිහට දරුවන් සහ දෙමාපියන් සාර්ථකත්වය කියා සිතන්නේ සෑම දෙයක්ම උපරීමයෙන්ම කිරීම කියායි. මෙය වැරදි සිතුවිල්ලක්. අප ශාරීරිකව සහ මානසිකව නිරෝගීව සිටීම ගැනත් ආගම දහමට ලැදිව සිටීම ගැනත් සැලකිලිමත් විය යුතුයි.”

ධනයට වඩා ශාරීරික හා මානසික සුවය, පිරිසිදු හෘදය සාක්ෂිය සහ අපගේ නිර්මාතෘ වන යෙහෝවා දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය වැදගත්. ඒවා දෙවිගෙන් ලැබී තිබෙන මිල කළ නොහැකි ත්‍යාගයන්. ඔබ කීර්තිය හා ධනය ලබාගැනීමට මෙම දේවල් අහිමි කරගත්තොත් නැවත කිසිදාක ඒවා අත් කරගැනීමට නොහැකි වෙයි. ඒ නිසයි යේසුස් මෙවැනි දෙයක් පැවසුවේ. “තම ආත්මික අවශ්‍යතාව [දෙවිගේ මඟ පෙන්වීම් ලබාගැනීම] ගැන සැලකිලිමත් වන අය සන්තෝෂවත්ය. මන්ද ස්වර්ග රාජ්‍යය අයිති ඔවුන්ටය.”—මතෙව් 5:3.

බොහෝ යෞවනයන් එම වදන්වල සත්‍යතාව තේරුම්ගෙන තිබෙනවා. තම පාසැල් කටයුතුවල උපරීමයෙන් යෙදුනත් අධ්‍යාපනයෙන් හා ධනයෙන් සදාතනික සතුට ලැබෙන්නේ නැති බව ඔවුන් දන්නවා. එවන් ඉලක්ක පසුපස හඹා යෑමෙන් අත් වන්නේ මානසික පීඩනය බව ඔවුන් වටහාගෙන තිබෙනවා. “දෙවිගේ මඟ පෙන්වීම්” අනුව ජීවත් වීම සතුටින් පිරි අනාගතයකට එකම පදනම කියා ඔවුන් තේරුම්ගෙන තිබෙනවා. දෙවිගේ මඟ පෙන්වීම් ලබාගැනීමෙන් සැබෑ සතුට අත් කරගන්නේ කෙසේද කියා පෙන්වා දීමට ඔබ ප්‍රදේශයේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමැත්තෙන් සිටිනවා.

[පාදසටහන්වල]

^ 3 ඡේ. පාසැල් වැඩවලට උනන්දුවක් නොදක්වන ශිෂ්‍යයන් සඳහා “යෞවන අය අසති, පාසැලේදී මට මීට වැඩිය හොඳින් කරන්න පුළුවන්ද?” යන 1998 අප්‍රියෙල් පිබිදෙව්! කලාපයේ 20-22 දක්වා පිටු බලන්න.

^ 3 ඡේ. තවත් විස්තර සඳහා “යෞවන අය අසති, මෙතරම් අධික ගෙදර වැඩ ගැන මට කුමක් කළ හැකිද?” යන 1993 ජුලි පිබිදෙව්! කලාපයේ 13-15 දක්වා පිටු බලන්න.

^ 5 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.

[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ඔබ කොතරම් ශක්තිමත් කෙනෙක් වුණත් ඔබට දවසක් ඇතුළත දී කළ හැකි ප්‍රමාණයක් තිබෙනවා

[8වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ඔබට ලැබිය හැකි හොඳම අධ්‍යාපනය නම් ඔබේ නිර්මාතෘ ගැන දැනුම ලබාගැනීමයි

[5වන පිටුවේ කොටුව/පින්තූරය]

 පීඩනය අඩු කරගත හැකි ක්‍රම

❑ ඔබ පොත් පත් හා සටහන් තබා තිබෙන්නේ අපිළිවෙළකට නම් ඔබට අවශ්‍ය දේ සොයාගැනීමට බොහෝ කාලයක් ගත වෙනවා. සමහරෙකුට පිළිවෙළකට දේවල් කිරීමට උපකාර අවශ්‍යයි. එවැනි අවස්ථාවක උපකාර ඉල්ලීමට ලැජ්ජා නොවන්න.

❑ ඔබ කළ යුතු වැඩ නිසි වේලාවට අවසන් නොකරනවා නම් මෙය අත්හදා බලන්න. ඔබට ලැබෙන පැවරුමක් අවසන් කළ යුතු දිනයට පෙර අවසන් කරන්න. ඔබට ඉන් ලැබෙන සහනය හා තෘප්තිය ඔබව පුදුමයට පත් කරයි. පසුව ඔබට ලැබෙන පැවරුම් කල් නොදමා කිරීමට එය පෙලඹීමක් වෙයි.

❑ ඔබ පන්තියේ සිටින විට දවල් සිහින දකිනවා නම් මේ යෝජනාව මාසයක් අත්හදා බලන්න. පන්තියේ උගන්වන දේවලට හොඳ අවධානයක් දී සටහන් ගන්න. එවිට ඔබට දෙන ගෙදර වැඩ කොතරම් පහසුවෙන් කළ හැකිද කියා ඔබ තේරුම්ගනියි. එය ඔබට පාසැල් වැඩකටයුතුවලින් එල්ල වන පීඩනය අවම කරන බව නිසැකයි.

❑ පාසැලේ වැඩවලට බාධා වන අයුරින් ඔබ අමතර පන්තිවලට සහභාගි වෙනවා නම් එවැනි පන්ති අවශ්‍යද කියා සොයා බලන්න. ඔබේ දෙමාපියන්ගේ හා අධ්‍යාපනය පිළිබඳව සමබර ආකල්පයක් දරන අයගෙන් අදහස් විමසන්න. සමහරවිට එම අමතර පන්තිවලින් ඔබ සිතන තරම් ප්‍රයෝජනයක් නොලැබෙන බව ඔබ තේරුම්ගනියි.

[6වන පිටුවේ කොටුව]

සිතුවිල්ලට පමණක් සීමා වූ පවුරක්

“ධනවතාගේ වස්තුව ඔහුට බලවත් නුවරක් මෙනි. ඔහු එය ආරක්ෂක පවුරක් සේ සලකයි.” (හිතෝපදේශ 18:11NW) පුරාණයේ ජනයා සතුරන්ගෙන් එල්ල වන ප්‍රහාරවලින් ආරක්ෂා වූයේ නගරය වටා බැඳ තිබූ විශාල පවුරුවලින්. නමුත් ඔබ පවුරක් නැති නුවරක පවුරක් තිබෙනවා කියා සිතින් මවාගෙන ජීවත් වෙනවා කියා සිතන්න. ඔබට ආරක්ෂාවක් තිබෙනවා කියා ඔබ කොතරම් සිතුවත් එවන් මනඃකල්පිත පවුරකින් ඔබට සතුරන්ගෙන් ආරක්ෂා විය නොහැකියි.

ධනය තමන්ට ආරක්ෂාවක් වෙයි කියා සිතන යෞවනයෙක්ද ඒ හා සමානයි. දෙමාපියෙනි, ඔබේ දරුවා තුළත් එවන් සිතුවිල්ලක් තිබෙනවා නම් එම උගුලෙන් බේරාගැනීමට ඔබට පුළුවන්.

ඔබේ දරුවාට කරුණු කාරණා පහදා දීමට පහත සඳහන් බයිබල් පද උපකාරවත් වෙයි.

▪ ධනය ගැටලු විසඳනවාට වඩා ප්‍රශ්න ගැටලු ඇති කරනවා. “තමා සතු වස්තු සම්භාරය නිසා ධනවතාට නින්ද නොයයි.”දේශනාකාරයා 5:12. NW; 1 තිමෝති 6:9, 10.

▪ හොඳ සැලසුමකට අනුව ක්‍රියා කරන කෙනෙකුගේ සතුට රඳා පවතින්නේ ධනය මත නොවෙයි. “උත්සාහවන්තයාගේ සැලසුම් සාර්ථක වෙයි.”හිතෝපදේශ 21:5, NW; ලූක් 14:28.

▪ තමන්ගේ අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් ආදායමක් ලැබීමෙන් තෘප්තිමත් ජීවිතයක් ගත කළ හැකියි. ‘මට දුප්පත් වීමටවත් පොහොසත් වීමටවත් ඉඩ නොදෙන්න.’—හිතෝපදේශ 30:8, NW. *

[පාදසටහන]

^ 43 ඡේ. ධන සම්පත් පසුපස හඹා යෑමේ ඇති අන්තරාය ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා 2003 අප්‍රියෙල් පිබිදෙව්! සඟරාවේ 20-21 දක්වා පිටු බලන්න.

[7වන පිටුවේ පින්තූර]

ගෙදර වැඩ බරක් නොව රැකියාව සඳහා හොඳ පුහුණුවක් කියා සිතන්න

[7වන පිටුවේ පින්තූරය]

බොහෝ දේවල් කිරීමට තැත් කිරීමෙන් ලැබෙන සාර්ථකත්වය අල්පයි