Skip to content

පටුනට යන්න

විශ්වාසවන්තකමේ සැබෑ අරුත කුමක්ද?

විශ්වාසවන්තකමේ සැබෑ අරුත කුමක්ද?

බයිබලයෙන් පිළිතුරක්

විශ්වාසවන්තකමේ සැබෑ අරුත කුමක්ද?

පවුල් ජීවිතයේදී භාර්යාව හා ස්වාමිපුරුෂයා එකිනෙකාට විශ්වාසවන්තව සිටීම බොහෝ විවාහක යුවළයන් බලාපොරොත්තු වෙනවා. මෙවන් විශ්වාසවන්තකමක් තිබිය යුතුයි කියා බයිබලයේ සඳහන් වෙනවා. “විවාහය සියල්ලන් අතර ගෞරවනීයවද, විවාහ යහන දූෂ්‍ය වීමකින් තොරවද තිබේවා.”—හෙබ්‍රෙව් 13:4.

විවාහයෙන් පිටත කෙනෙකු සමඟ ලිංගික සම්බන්ධකම් නොපැවැත් වූ පමණින් එම විවාහයේ විශ්වාසවන්තභාවය රැකෙනවාද? ඔබේ පුරුෂයා හෝ භාර්යාව නොවන කෙනෙකු සමඟ නුසුදුසු ක්‍රියාවල යෙදෙන ආකාරය ගැන සිහින මැවීම සුදුසු දෙයක් කියා ඔබ සිතනවාද? විරුද්ධ ලිංගයේ කෙනෙකු සමඟ කිට්ටු මිත්‍රත්වයක් පැවැත් වීම තම විවාහ සහකරුට හෝ සහකාරියට කරන ද්‍රෝහිකමක්ද?

ලිංගික ක්‍රියා ගැන සිහින මැවීම සුදුසුද?

විවාහ ජීවිතය තුළ ලිංගික ඇසුර දෙදෙනාටම ප්‍රීතිය ගෙන දෙන දෙයක්. (හිතෝපදේශ 5:18, 19) විවාහ වූ කෙනෙක් වෙනත් කෙනෙකු සමඟ ලිංගිකව හැසිරෙන ආකාරය ගැන සිහින මැවීම සාමාන්‍ය දෙයක් බවත් එහි කිසිදු වරදක් නැති බවත් බොහෝ ප්‍රවීණයන්ගේ මතයයි. යමෙකු ලිංගිකව හැසිරෙන්නේ නැති තාක් කල් එහි කිසිදු වරදක් නැද්ද?

දූෂිත සිතුවිලි තිබෙන කෙනෙකුගේ එකම ආශාව තමන්වම පිනවාගැනීමයි. එවැනි ආත්මාර්ථකාමි සිතුවිලි විවාහකයන්ට නුසුදුසු බව බයිබලයේ පෙන්වාදී තිබෙනවා. එනම් “භාර්යාවගේ ශරීරය කෙරෙහි අධිකාරිය ඇත්තේ ඇයට නොව ඇගේ ස්වාමිපුරුෂයාටය. එලෙසම ස්වාමිපුරුෂයාගේ ශරීරය කෙරෙහි අධිකාරිය ඇත්තේ ඔහුට නොව ඔහුගේ භාර්යාවටය” කියායි. (1 කොරින්ති 7:4) බයිබල් උපදෙස් පිළිපැදීමෙන් ආත්මාර්ථකාමිත්වය හා රාගය නිසා ඇති වන දූෂිත සිතුවිලි බැහැර කළ හැකියි. මෙලෙස ක්‍රියා කරනවා නම් විවාහය තුළ දෙදෙනාටම සතුට භුක්ති විඳිය හැකියි.—ක්‍රියා 20:35; ෆිලිප්පි 2:4.

දූෂිත සිතුවිලි සැබෑවටම ක්‍රියාත්මක වීමට සලස්වනවා නම් ඇති වන වේදනාව කියා නිම කළ නොහැකියි. ඇත්තෙන්ම කෙනෙක් තුළ දූෂිත සිතුවිලි තිබෙනවා නම් ඔහු හෝ ඇය වරදට පෙළඹෙන්න තිබෙන ඉඩ කඩ වැඩියි. මන්ද බයිබලයේ කියා තිබෙන්නේ සිතුවිලි හා ක්‍රියා අතර සම්බන්ධයක් තිබෙන බවයි. “එකිනෙකා තම තමාගේ ආශාවෙන් අදිනු ලැබ නොමඟට පොලඹවනු ලබන කල පරීක්ෂා කරනු ලබන්නේය. එවිට ආශාව පිළිසිඳගත් කල, පාපය බිහි කරයි. ඉන්පසු පාපය සම්පූර්ණ වූ කල, මරණය උපදවයි.”—යාකොබ් 1:14, 15.

දූෂිත සිතුවිලිවල අන්තරාව ගැන යේසුස් මෙසේ පෙන්වා දුන්නා. “කාම ආශාවක් ඇති වන ලෙස ස්ත්‍රියක් දෙස දිගින් දිගටම බලමින් සිටින සෑම කෙනෙකුම ඒ වන විටත් සිතින් ඇය සමඟ පරදාර සේවනයේ යෙදී ඇත.” (මතෙව් 5:28) එවැනි දූෂිත සිතුවිලි බැහැර කිරීමෙන් ‘ඔබේ සිත ආරක්ෂා කරගැනීමටත්’ඔබේ විවාහය රැකගැනීමටත් හැකි වෙයි.—හිතෝපදේශ 4:23, නව ලොව පරිවර්තනය, NW.

හදවතින්ම විශ්වාසවන්තව සිටිමේ ඇති වැදගත්කම

විවාහ ජීවිතයේදී ස්වාමිපුරුෂයා හා භාර්යාව බලාපොරොත්තු වන්නේ එකිනෙකාට පූර්ණ ලෙස විශ්වාසයෙන් සිටීමයි. (සලමොන්ගේ ගීතිකාව 8:6; හිතෝපදේශ 5:15-18) විවාහක පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් විරුද්ධ ලිංගයේ අයව මිතුරු මිතුරියන් ලෙස ඇසුරු කළත් තමන්ගේ කාලය, අවධානය සම්පූර්ණයෙන්ම දිය යුත්තේ තම ස්වාමිපුරුෂයාට හෝ භාර්යාවට පමණයි. ඔබේ ස්වාමිපුරුෂයාට හෝ භාර්යාවට පමණක් ලැබිය යුතු එම දේවල් පිටස්තර කෙනෙකුට ලැබෙනවා නම් ඔබ දුරාචාරයේ නොයෙදුණත් එය විශ්වාසය කඩ කිරීමකට සමානයි. *

එවැනි ඇසුරක් වර්ධනය වන්නේ කෙසේද? ඔබේ සහකරුට හෝ සහකාරියට වඩා එවැනි කෙනෙක් සිත් ඇදගන්නා කෙනෙක් හෝ ඔබ හොඳින් තේරුම්ගන්නා කෙනෙක් බව ඔබට හැඟීයා හැකියි. එවැනි කෙනෙක් සමඟ රැකියා ස්ථානයේ හෝ වෙනත් හමුවීම්වලදී වැඩිපුර කාලයක් ගත කිරීමෙන් ඔබේ පෞද්ගලික ගැටලු හෝ ඔබේ විවාහ ජීවිතයේ ඔබ අද්දකින යම් යම් ප්‍රශ්න කතා කිරීමට ඔබ තුළ පෙලඹීමක් ඇති වෙයි. ඔබ දුරකථනයෙන්, අන්තර්ජාලයෙන් හෝ වෙනත් ක්‍රමවලින් විරුද්ධ ලිංගයේ කෙනෙකු සමඟ කතා කිරීමෙන් කරන්නේ තමාගේ ස්වාමිපුරුෂයාට හෝ භාර්යාවට කරන ද්‍රෝහි වීමක්. විවාහ ජීවිතයේ සමහර ප්‍රශ්න ගැටලු ස්වාමිපුරුෂයා හා භාර්යාව අතර පමණක් තිබිය යුතු බවත් ඔවුන් පවුලේ “රහස්” පිට කෙනෙකු සමඟ කතා නොකිරීමත් එකිනෙකා බලාපොරොත්තු වෙනවා.—හිතෝපදේශ 25:9NW.

විරුද්ධ ලිංගයේ කෙනෙකු සමඟ කිට්ටු සම්බන්ධයක් තිබියදී එවැනි දෙයක් නැහැයි කියා පැවසීමට තැත් නොකරන්න. බයිබලයේ යෙරමියා 17:9 හි [NW] පවසන්නේ ‘සිත රැවටිලිකාරය’ කියායි. ඔබට ස්වාමිපුරුෂයා හෝ භාර්යාව හැර විරුද්ධ ලිංගයේ කෙනෙකු සමඟ කිට්ටු සම්බන්ධයක් තිබෙනවා නම් පහත සඳහන් ප්‍රශ්න ගැන සලකා බලන්න. ‘වෙනත් කෙනෙකු සමඟ මිත්‍රත්වයක් රහසිගතව තබාගන්න හෝ එය සාධාරණීකරණය කරන්න මම උත්සාහ කරනවාද?’ ‘මම කතා කරන දේ මගේ ස්වාමිපුරුෂයා හෝ භාර්යාව අසා සිටිනවා නම් මම ඒ ගැන කලබල වෙනවාද? ‘මගේ ස්වාමිපුරුෂයාට හෝ භාර්යාවට එවැනි සම්බන්ධයක් තිබුණොත් මට හැඟෙන්නේ කොහොමද?’—මතෙව් 7:12.

අනවශ්‍ය සමීප බැඳීමක් අවසන් වන්නේ දුරාචාර හැසිරීමකින්. යේසුස් මෙසේ අනතුරු අඟවා තිබෙනවා. “පරදාර සේවනයේ” යෙදීමේ ආශාව “නික්මෙන්නේ සිතින්ය.” (මතෙව් 15:19) අනාචාරයේ යෙදුණේ නැතත් එකිනෙකා අතර විශ්වාසය බිඳිණු විට යථා තත්වයට පත් කිරීම පහසු නැත. කෙරන් * නැමති භාර්යාව මෙසේ පවසනවා. “මාක් දවසට දෙතුන් වතාවක් දුරකථනයෙන් වෙනත් ස්ත්‍රියක් සමඟ කතා කරනවා කියලා දැනගත්තාම මගේ හිත හොඳටම කැඩුණා. එයා නරක විදිහට හැසිරිලා නැහැයි කියලා කොහොමද මම විශ්වාස කරන්නේ මට මුලින් තිබුණ විශ්වාසය නැවත ඇති වෙයි කියලා මම හිතන්නේ නැහැ.”

විරුද්ධ ලිංගයේ අයව ආශ්‍රය කරන විට සීමාවන් තබාගන්න. වැරදි හැඟීම් ඇති වන විට ඒවා නොසලකා හරින්න හෝ සාධාරණීකරණය කරන්න එපා. යම් මිත්‍රත්වයක් නිසා ඔබේ විවාහ ජීවිතයට තර්ජනයක් එල්ල වෙනවා නම් එම මිත්‍රත්වය සීමා කිරීමට හෝ නතර කිරීමට පියවර ගන්න. බයිබලයේ මෙසේ පවසනවා. “බුද්ධිමත් අය අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙති. නමුත් අද්දැකීම් අඩු අය ඒ දෙසටම ගමන් කර ප්‍රතිඵල විඳිති.”—හිතෝපදේශ 22:3NW.

ඔබේ විවාහය රැකගන්න

අපගේ නිර්මාතෘ අරමුණු කළේ විවාහය තුළින් ස්ත්‍රියක් හා පුරුෂයෙකු අතර සමීප බැඳීමක් ඇති වීමයි. ස්වාමිපුරුෂයා හා භාර්යාව “එක්කෙනෙකු මෙන් වන්නෝය” කියා දෙවි පැවසුවේ ඒ නිසයි. (උත්පත්ති 2:24NW) එය පරාර්ථකාමීත්වයෙන්, විශ්වාසයෙන් හා එකිනෙකාට ගෞරව කිරීමෙන් ඇති වන බැඳීමක්. (හිතෝපදේශ 31:11; මලාකි 2:14, 15; එෆීස 5:28, 33) මෙම බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන් ඔබේ මුළු සිතින්ම විශ්වාසවන්තව සිටීමෙන් ඔබේ විවාහය රැකගැනීමට හැකි වෙයි.

[පාදසටහන්වල]

^ 11 ඡේ. ශුද්ධ ලියවිල්ලට අනුව දික්කසාද වීම සඳහා එකම පදනම දුරාචාරයේ යෙදීමයි.—මතෙව් 19:9.

^ 14 ඡේ. නම් වෙනස් කර ඇත.

මේ ගැන ඔබ සිතුවාද?

දූෂ්‍ය සිතුවිලි ක්‍රියාවට පොලඹවනවාද?—යාකොබ් 1:14, 15.

▪ විරුද්ධ ලිංගයේ කෙනෙකු සමඟ අනවශ්‍යය බැඳීම් ඇති කරගැනීම විවාහයට තර්ජනයක් විය හැකිද?—යෙරෙමියා 17:9; මතෙව් 15:19.

▪ ඔබේ විවාහ බැඳීම ශක්තිමත් කළ හැක්කේ කෙසේද?—1 කොරින්ති 7:4; 13:8; එෆීස 5:28, 33.

[29වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“කාම ආශාවක් ඇති වන ලෙස ස්ත්‍රියක් දෙස දිගින් දිගටම බලමින් සිටින සෑම කෙනෙකුම ඒ වන විටත් සිතින් ඇය සමඟ පරදාර සේවනයේ යෙදී ඇත.”—මතෙව් 5:28