Skip to content

පටුනට යන්න

සද්දන්තයෙක් වුණත් මෙල්ල කළ හැකියි

සද්දන්තයෙක් වුණත් මෙල්ල කළ හැකියි

සද්දන්තයෙක් වුණත් මෙල්ල කළ හැකියි

ඉන්දියාවේ පිබිදෙව්! ලේඛක විසින්

නර්මදා ගං ඉවුරේ ඇත් ගොව්වෙකු තම එදිනෙදා වැඩ කටයුතුවල නියැලෙද්දී ඔහුගේ දරුවා රැකබලා ගන්නේ ඔහුගේ ඇතායි. ඇත් ගොව්වා තම දරුවාතබා යන්නේ නිදා සිටින ඇතාගේ ඉදිරි පාද දෙකත් හොඬවැලත් අතරෙයි. “දරුවා එතැනින් ඉවතට යන්න තැත් කරන විට ඇතා තම හොඬවැලෙන් දරුවාව තමා ළඟට ඇදගන්නවා. ඇතා තම දරුවාව බලා ගනියි කියන පූර්ණ විශ්වාසය පියාට තිබෙන නිසා ඔහුතම වැඩයෙහි දිගටම නියැලෙයි” කියා එක් පොතක සඳහන් වෙනවා.—Project Elephant.

වැඩ සඳහා ඇතුන්ව යොදාගනු ලැබුවේ ක්‍රිස්තු පුර්ව 2000දීයි. අතීතයේදී විශේෂයෙන්ම අලි ඇතුන්ව යොදාගනු ලැබුවේ යුද්ධ කටයුතු සඳහායි. නමුත් ඉන්දියාවේ දැන් ඇතුන් පුහුණු කරන්නේ වැඩ කරවාගැනීමටයි. ලී කොටන් ඇදගැනීමට ආගමික උත්සව, විවාහ උත්සව, වෙළඳ ප්‍රචාරණ කටයුතුවලට උන්ව යොදාගන්නවා. ඒ විතරක් නොවෙයි හිඟා කන්නත් උන්ව යොදාගන්නවා. උන්ව මේ සඳහා පුහුණු කරන්නේ කොහොමද?

අලි ඇතුන් පුහුණු කිරීම

කැලෑවේ අතරමං වී සිටින තුවාල වූ අලි පැටවුන්ව අල්ලා ගෙනැවිත් උන්ව රැකබලා ගන්නා මධ්‍යස්ථාන කිහිපයක් ඉන්දියාවේ තිබෙනවා. එවන් එක් මධ්‍යස්ථානයක් කේරළ ප්‍රාන්තයේ කෝනී නගරයේ පිහිටා තිබෙනවා. එහිදී අලි පැටවුන්ව වැඩ කිරීම සඳහා පුහුණු කරනවා. මෙලෙස පුහුණු කිරීමේදී ඇත් ගොව්වා අලි පැටවාගේ විශ්වාසය දිනාගත යුතුයි. උන්ට ආහාර සැපයීම විශ්වාසය දිනාගත හැකි හොඳම ක්‍රමයයි. අලි පැටවා ඇත් ගොව්වාගේ කටහඬ හඳුනයි. උන්ගේ ආහාර වන කිරි සහ මෙනේරි ලබා දීමට හඬගසන විට සැණින් උන් දුව එයි. අලි පැටවුන්ට අවුරුදු 13ක් වන තුරු උන්ව වැඩ සඳහා පුහුණු කරන්නේ නැහැ. උන්ව වැඩ සඳහා යොදාගන්නේ අවුරුදු 25දීයි. කේරළ රජය මගින් ඇතාට අවුරුදු 65වන විට වැඩවලින් උන්ව නිදහස් කළ යුතු බව ප්‍රකාශ කර තිබෙනවා.

ඇතෙකුව මෙල්ල කිරීමට ඇත් ගොව්වාට හොඳ පුහුණුවක් අවශ්‍යයි. කේරළ ප්‍රාන්තයේ ට්‍රිචුර් නගරයේ අලි ඇතුන්ගේ ශුභසාධන සංගමයට අනුව ඇත් ගොව්වෙකු අඩුම තරමින් මාස තුනක්වත් හොඳින් පුහුණු විය යුතුයි. එම පුහුණුවට අණ දීම පමණක් නොව අලින් පිළිබඳව හොඳින් අධ්‍යයනයක නිරත වීමත් ඇතුළත් වෙනවා.

පැටවකු පුහුණු කිරීමට වඩා වැඩි කාලයක් වැඩුණු අලියෙකුව පුහුණු කිරීමට ගත වෙනවා. මුලින්ම ඇත් ගොව්වෙකු ඇතෙකුට වාචිකව අණ දෙන්නේ ඌව ගාල් කර තිබෙන ස්ථානයේ පිටත සිටයි. ඇතෙකු ලවා වැඩ කරවාගැනීමට කේරළ ප්‍රාන්තයේ ඇත් ගොව්වෙකු අණ කිරීම් 20ක් හා වෙනත් සංඥා භාවිත කරනවා. ඇත් ගොව්වා පැහැදිලිව හා හඬනඟා එම අණ කිරීම් දෙන අතර කෝටුවකින් ඇන කළ යුතු දේ පෙන්වා දෙයි. ඇතෙක් එම අණ කිරීමකට කීකරු වූ විට ඌට යම් කෑමක් ලැබෙනවා. ඇත් ගොව්වෙකුට ඌ ගැන විශ්වාසයක් ගොඩනැඟුණු පසු ගාලට ඇතුළු වී ඌව අතඟා සුරතල් කරයි. මෙමගින් හොඳ මිත්‍රවයක් ගොඩනැඟෙයි. කාලයක් ගත වන විට ඇත් ගොව්වාට ඇතාව ගාලෙන් පිටතට ගෙන යා හැකි වෙයි. නමුත් ඔහු මෙය කළ යුත්තේ කල්පනාකාරීවයි. ඊට හේතුව ඌ ප්‍රචණ්ඩ ලෙස හැසිරීමට ඉඩ තිබෙන නිසයි. ඌ සම්පූර්ණයෙන්ම හිලෑ තත්වයකට පත් වන තුරු ඌව නෑවීමට හෝ වෙනත් ක්‍රියාකාරකමක් සඳහා ගෙන යෑමේදී හිලෑ වූ ඇතුන් දෙදෙනෙකු අතර දම්වැල් දමා ගෙන යනු ලබනවා.

ඇතෙකුට වාචිකව කරන අණ කිරීම් හොඳින් හුරු වුණාට පසු ඇත් ගොව්වෙක් ඌගේ පිට උඩ ඉඳගෙන කකුලේ මාපට ඇඟිල්ලෙන් හා විලුඹෙන් අනිනකොට ඒවාට ප්‍රතිචාරය දක්වන ආකාරයත් උගන්වයි. ඇතාව ඉදිරියට යැවීමට අවශ්‍ය වූ විට ඇත් ගොව්වා ඔහුගේ කකුලේ මාපට ඇඟිලි දෙක ඌගේ කන පිටුපස තබා තද කරයි. ඒ වගේම ඌව පස්සෙන් පස්සට යැවීමට ඇත් ගොව්වා කකුල් දෙකේ විලුඹ උරහිසට තබා තද කරයි. සාමාන්‍යයෙන් වාචික අණ කිරීම් දෙනු ලබන්නේ එක් අයෙක් පමණයි. එවිට ඇතාට එය පිළිපැදීමට පහසු වෙයි. ඇතෙක් අවුරුදු තුනක් හෝ හතරක් ඇතුළත සියලුම අණ දීම් තේරුම්ගැනීමට සමත් වෙයි. ඉන්පසු කිසිදාක ඌට ඒවා අමතක වන්නේ නැහැ. ඌගේ ශරීරයේ ප්‍රමාණය හා සන්සන්ඳනය කරන විට ඌගේ මොළය ඉතා කුඩා වූවත් ඌ ඉතා ඥානවන්ත සතෙක්.

අලි ඇතුන් රැකබලා ගැනීම

ඇතෙකුව හොඳ ශරීර සෞඛ්‍යයකින් හා සතුටින් තැබිය යුතුයි. සෑම දවසකම ඌව නාවා පිරිසිදු කිරීම අවශ්‍යයි. උගේ ශරීරය අතුල්ලා පිරිසිදු කිරීම සඳහා ඇත් ගොව්වෙක් ගල් හා කපාගත් පොල්ලෙලි භාවිත කරනවා.

උදේ ආහාරය සඳහා තිරිඟු, මෙනේරි, කොල්ලු වැනි දෑ මිශ්‍ර කර සාදන ආහාරයක් ඇත් ගොව්වා ඌට ලබාදෙයි. උන්ගේ ප්‍රධාන ආහාරය වන්නේ උණ ගස්, තාල වර්ගයට අයත් ගස්වල කොළ හා තණකොළයි. උන්ගේ කෑමට අමු කැරට් සහ උක් ගස් එකතු කර තිබෙනවා නම් උන්ට එය රජ බොජුනක් වගෙයි. අලි ඇතුන් වැඩි කාලයක් යොදවන්නේ ආහාර ගැනීම සඳහායි. උන්ට දිනකට කෑම කිලෝග්රෑම් 140ක් සහ ජලය ලීටර් 150ක් අවශ්‍යයි. ඌ සමඟ හොඳ මිත්‍රත්වයක් පැවැත් වීම සඳහා ඇත් ගොව්වෙකු එම අවශ්‍යතා පිරිමැසිය යුතුයි.

අනිසි ලෙස සැලකීම

ඉන්දියානු ඇතෙකු වැඩ කරන්නේ යම් නිශ්චිත කාල වේලාවක් පමණයි. උන්ට වාචිකව හෝ වෙනත් ආකාරයේ දඬුවම් කරනවා නම් ඌ ඇත් ගොව්වාට පහර දිය හැකියි. ඉන්දියාවේ එක් පුවත්පතක මෙසේ වාර්තා වුණා. “දළ තිබෙන ඇතෙකුට ඇත් ගොව්වෙකු අරියාදු කිරීම නිසා ඌ කෝපාවිෂ්ට වූ අතර ඌව පාලනය කිරීමට බැරි තරමට දරුණු වුණා. අවසානයේදී උන්ව සන්සුන් කරගත්තේ නින්ද යෑමට ඖෂධ දිමෙනුයි.” (Sunday Herald) වර්ෂ 2007 අප්‍රේල් මාසයේ පළවු ඉන්දියානු සඟරාවක මෙවැනි දෙයක් වාර්තා වුණා. “පසු ගිය මාස දෙක ඇතුළත පමණක් උත්සව සඳහා ගිය ඇතුන් දහදෙනෙකුට වඩා වැඩි ප්‍රමාණයක් වියරු ලෙස හැසිරී තිබෙනවා. ඒ වගේම පසුගිය ජනවාරි මාසයේ සිට ඇත් ගොව්වන් 48දෙනෙක් මේ දැවැන්තයන්ගෙන් එල්ල වූ ප්‍රහාරවලින් මිය ගොස් තිබෙනවා.” (India Today International) උන් බොහෝවිට එලෙස ප්‍රකෝපකාරී ලෙස හැසිරෙන්නේ මද කිපෙන කාලයේදියි. මෙම කාලය දින 15 සිට මාස තුනක් දක්වා පවතිනවා. මෙය සිදු වන්නේ උන් සහකරුවෙකු සොයන විට උන්ගේ ශරිරයේ ටෙස්ටස්ටරෝන් හෝමෝනය ඉහළ යන විටයි. එවිට උන් මිනිසුන්ට හා වෙනත් අලි ඇතුන්ට පහර දෙයි.

උන්ව වෙනත් කෙනෙකුට විකුණු විටද ප්‍රකෝපකාරීව හැසිරෙයි. ඊට හේතුව උන් පුරුදු ඇත් ගොව්වන්ට ලැදිකමක් දක්වන නිසායි. නමුත් මෙය වළක්වාගැනීමට පුරුදු ඇත් ගොව්වා ඇතා විකුණන නිවසට ඌව ගෙන යන අතර එහිදි අලුත් ඇත් ගොව්වාට හුරුවන තෙක් ඔහු එහි රැදී සිටියි. නමුත් පුරුදු ඇත් ගොව්වා මිය ගිය විට වෙනත් කෙනෙක් ඌව භාර ගන්නා අවස්ථාවේදී තත්වය දරුණු විය හැකියි. කෙසේවෙතත් ඇතා කාලයක් යන විට තත්වයට අනුව හැඩ ගැසෙයි.

මෙම සද්දන්තයා දුටු සැණින් හදවතට දැනෙන්නේ බියක්. නමුත් හොඳින් පුහුණු කළ ඇතෙකු කීකරුයි. උන් හොඳින් හීලෑ වු පසු උගේ භාරකරු නැති අවස්ථාවකදි යම් වේලාවකට දම්වැල් නොදමා උන්ව නිදැල්ලේ සිටීමට ඉඩ හැරිය හැකියි. ඇත් ගොව්වෙකුට කරන්න තිබෙන්නේ කෝටුවේ එක් කෙළවරක් ඇතාගේ පාදයේත් අනික් කෙළවර පොළවේත් ස්පර්ෂ වන ලෙස තබා ඉන් එහාට නොයන්න කියා අණ කිරීම පමණයි. එවිට ඇතා ඊට කීකරු වෙයි. ලිපිය මුල කී ලෙසම ඇතාත් ඇත් ගොව්වාත් අතර ඇත්තේ මහත් බැඳීමක්. ඇත්තෙන්ම හොඳ ඇත් ගොව්වෙකුට තම ඇතා කෙරෙහි පූර්ණ විශ්වාසයක් තැබිය හැකියි.

[18වන පිටුවේ කොටුව/පින්තූරය]

යුද්ධයට ගිය ඇත්තු

මිනිසා ඇතුන්ව හීලෑ කරගත්තේ මීට බොහෝ කාලයකට ඉහතදියි. මීට එක් උදාහරණයක් නම් ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ උතුරු අප්‍රිකානු නගරයක් වන කාතේජ්හි හැනිබල් අධිරාජ්‍යයා රෝමයට විරුද්ධව කළ යුද්ධයයි. එය සියවසක් පුරා පැවති යුද්ධයක්. ඔහු රෝමයට ඇතුල් වීම සඳහා ස්පාඤ්ඤය හමුදාවක් රැස් කළා. මෙම හමුදාව “එවකට නිර්භීත හමුදාවන්ගෙන් එකක්” බව පුරාවිද්‍යාත්මක සඟරාවක සඳහන් වෙනවා. (Archaeology) එම හමුදාවට මිනිසුන් 25,000ක් මෙන්ම බඩු බාහිරාදිය පැටවූ අලි ඇතුන් 37දෙනෙකු ඇල්ප්ස් කඳු වැටිය හරහා ඔවුන් ඉතාලියට ඇතුල් වුණා. ඔවුන්ට මේ ගමනේදී අධික ශීතටත් හිම වැස්සටත් කඳු නාය යෑම්වලටත් ගෝත්‍රිකයන්ගේ ප්‍රහාරවලටත් මුහුණ දීමට සිදු වුණා. එම ගමන අලි ඇතුන්ට ඉතා දුෂ්කර ගමනක් වුණා. අධිරාජ්‍යයා ඉතාලියට ගිය මුල් වසර ඇතුළතදී සියලුම අලි ඇතුන් මිය ගියා.

[හිමිකම් විස්තර]

© Look and Learn Magazine Ltd/The Bridgeman Art Library

[17වන පිටුවේ පින්තූරය]

ඇතෙකුව නාවන ඇත් ගොව්වෙක්

[හිමිකම් විස්තර]

© Vidler/mauritius images/age fotostock

[16වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© PhotosIndia/age fotostock