Skip to content

පටුනට යන්න

හදිසි අවස්ථාවක ඔබට උපකාර කරන්නේ කවුද?

හදිසි අවස්ථාවක ඔබට උපකාර කරන්නේ කවුද?

හදිසි අවස්ථාවක ඔබට උපකාර කරන්නේ කවුද?

අපගේ ගිලන් රථය අනිකුත් රථ පසු කර වේගයෙන් ඉදිරියට ඇදි යනවා. එහි සයිරන් නාදය නිසා මඟින් හා සියලු රථවාහන මාර්ගයෙන් ඉඩ ලබා දෙනවා. මෙසේ අපගේ ගිලන් රථය වේගයෙන් ඉදිරියට ඇදී යන්නේ අපට ලැබුණු හදිසි ඇමතුමක් නිසයි.

මම ගිලන් රථයේ අතුරු වෛද්‍ය සේවකයෙක් ලෙස වසර 20කට වඩා වැඩි කාලයක් පුරා සේවය කරනවා. මෙම සේවයේදී රෝගියෙකුව හෝ යම් අනතුරකට ලක් වූ තැනැත්තෙකුව රෝහලකට රැගෙන යෑමට පෙර ප්‍රතිකාර ලබා දෙනවා. * එවැනි සේවකයෙකුට සෑම දවසකම අලුත් අද්දැකීමකට මුහුණ දීමට සිදු වෙනවා. සමහර අද්දැකීම් සතුටක් ගෙන දෙන අතර තවත් සමහර ඒවා වේදනාකාරියි.

සමාජ මෙහෙවර

කැනඩාවේ අතුරු වෛද්‍ය සේවකයන්ගේ සේවාව වැදගත් කොට සලකනවා. ඔවුන් කරන සේවය නිසා යම් රෝගියෙකු රෝහලට රැගෙන ඒමට පෙර සිදු විය හැකි ජීවිත හානිය හෝ රෝගී තත්වය බරපතල වීම වළක්වාගැනීමට හැකි වෙනවා. *

අතුරු වෛද්‍ය සේවකයන් අවුරුද්දේ සෑම දවසකම පැය 24 පුරා තම සේවය කිරීමට ඇප කැප වී සිටිනවා. සමහර අය ගිලන් රථ සේවාවන් හා තවත් අය ගිනි නිවන හමුදාවන්ට සම්බන්ධ වී සේවය කරනවා.

අතුරු වෛද්‍ය සේවකයන් ලෙස සේවය කරන ස්ත්‍රීන් හා පුරුෂයන් තමන්ට හදිසි ඇමතුමක් ලද සැණින් උපකාරය සඳහා ක්‍රියාත්මක වෙනවා. එවන් ඇමතුමක් කොයි මොහොතේ හෝ ලැබෙන්න පුළුවන්. අතුරු වෛද්‍ය සේවකයන්ගේ පුහුණුවට ඇතුළත් කාර්යයන් ගැන සලකා බලමු.

ජීවිත බේරාගැනීම

කැනඩාවේ මෙම අතුරු වෛද්‍ය සේවකයන්ව ප්‍රදේශයෙන් ප්‍රදේශයට අනුව වෙනස් නම්වලින් හඳුන්වනවා. ඔවුන් ලබන පුහුණුව අනුව ඔවුන්ගේ සේවය අදියර හතරකට වෙන් කර තිබුණත් අප මෙම ලිපියෙන් කතා කරන්නේ අදියර දෙකක් ගැන පමණයි. ඒවා නම් ප්‍රාථමික අතුරු වෛද්‍ය සේවය (primary care paramedic) හා උසස් අතුරු වෛද්‍ය සේවයයි (advanced care paramedic). ඔවුන් පුහුණුව ලැබූ පසු සේවය කිරීම සඳහා රජයෙන් හා වෙනත් වෛද්‍ය අධිකාරීන්ගෙන් අවසර ලබාගත යුතුයි.

මම කැනඩාවේ සේවය කිරීමට මූලික පුහුණුවක් ලැබුවා. පැය ගණනාවක් පන්ති කාමරයෙත් රෝහලෙත් ගිලන් රථයෙත් සේවය කරමින් පුහුණුවක් ලැබුවා. ඒ පුහුණුවට හෘද ස්පන්දනය නොවන රෝගියෙකුට කෘත්‍රිම ස්වසනය ලබා දෙන ආකාරයත් ඔක්සිජන් ලබා දෙන ආකාරයත් අස්ථි බිඳි ගිය රෝගියෙකුට ප්‍රථමාධාර ලබා දෙන ආකාරයත් ඇතුළත් වුණා. එමෙන්ම රුධිර පීඩනය පරීක්ෂා කිරීම, උණ පරීක්ෂා කිරීම හා වෙනත් මූලික පරීක්ෂාවන් කිරීමටද පුහුණුව ලැබුවා.

මම රෝහල් කිහිපයක හදිසි අනතුරු හා දැඩි සත්කාර ඒකකයේ මෙන්ම ප්‍රසූතිකාගාරයේ රෝගින්ට සත්කාර කරන ආකාරයත් ඉගෙනගත්තා. මෙය පැය 300ක පුහුණුවක්. මම මුලින්ම දරු ප්‍රසූතියක් සඳහා උපකාර කළ අවස්ථාව මට අද වගේ මතකයි. එය ඇත්තෙන්ම ආශ්චර්යයක්. මෙම අද්දැකීමත් අනිකුත් අද්දැකීම්වලිනුත් මගේ ඉදිරි පුහුණුවට විශාල රුකුලක් ලැබුණා. මම තවත් පැය 300ක කාලයක් ගිලන් රථවල පුහුණුව ලත් අතුරු වෛද්‍ය සේවකයන් දෙදෙනෙකු සමඟ වැඩ කිරීමෙන් පුහුණුවක් ලැබුවා. පසුව මම ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණයෙන් සමත් වුණා. ඉන්පසු මාව ප්‍රාථමික අතුරු වෛද්‍ය සේවකයෙක් ලෙස පත් කරනු ලැබුවා.

වසර කිහිපයක් මම ගම්බද මෙන්ම නගරබද ප්‍රදේශවල සේවය කළා. ජීවිත ගලවන මෙම සේවයේ තිබෙන වැදගත්කම තේරුම්ගන්න මට වැඩි කල් ගියේ නැහැ. දවසක් පපුවේ අමාරුවක් තිබෙන කෙනෙක් රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට පැමිණියා. ඔහු පැමිණ වැඩි වේලාවක් යන්න කලින් ඔහුගේ හෘද ස්පන්දනය නතර වුණා. මම තවත් වෛද්‍යවරුන් සහ හෙදියන් සමඟ එකතු වී කෘත්‍රිම ස්වසනය හා පපු තෙරපුම් ලබා දුන්නා. විනාඩි කිහිපයක් ඇතුළත ඔහු හුස්ම ගන්න පටන්ගත්තා. ඉන්පසු ඔහුව දැඩි සත්කාර ඒකකයට මාරු කළා. ඊළඟ දවසේ මම දැඩි සත්කාර ඒකකයට ගියාම වෛද්‍යවරයා මට රෝගියෙකුව පෙන්වා ඔහුව අඳුනනවාද කියා මගෙන් ඇසුවා. මම ඔහුව හඳුනාගත්තේ නැහැ.එවිට එම රෝගියා “ඔයාට මාව මතකද? ඔයා තමයි මගේ ජීවිතය බේරුවේ.” කියා පැවසුවා. ඒ අවස්ථාවේදී දැනුණ සතුට විස්තර කරන්න මට වචන නැහැ.

මගේ පුහුණුවේ අවසාන අදියරය වුණේ වෛද්‍යවරයෙක් සමඟ රෝගීන්ට ප්‍රතිකාර කරන ආකාරය පුහුණු වීමයි. මේ සඳහා මම දවසකට පැය 12ක් ගත කළා. ඉන්පසු මම විභාගයට පෙනී සිටි අතර උසස් වෛද්‍ය සේවකයෙක් ලෙස පත්වීම ලැබුවා.

අතුරු වෛද්‍ය සේවකයන් සේවය කරන්නේ වෛද්‍යවරු මණ්ඩලයක් සමඟයි. හදිසි අවස්ථාවලදී දුරකථන මාර්ගවලින් හෝ වෙනත් සන්නිවේදන ක්‍රම යොදාගෙන එම මණ්ඩලයෙන් උපදෙස් ලබාගන්නවා. ඔවුන් එම ක්‍රමයට රෝගීන්ට ප්‍රතිකාර කරන නිසා ඔවුන්ව හඳුන්වන්නේ වෛද්‍යවරුන්ගේ ඇස් කන් හා අත් ලෙසයි. මෙම ක්‍රමයට නිවසක, ගොඩනැඟිල්ලක හෝ හදිසි අනතුරක් සිදු වූ ස්ථානයක සිටින රෝගියෙකුට ඔක්සිජන් ලබා දීම ඖෂධ ලබා දීම විද්‍යුත් කම්පන ලබා දීම හා වෙනත් සුළු සැත්කම් කිරීම ඇතුළත් වෙනවා.  “අතුරු වෛද්‍ය සේවකයෙක් ලබා දෙන ප්‍රතිකාර” දැනගැනීමට 15වන පිටුවේ තිබෙන කොටුව බලන්න.

අභියෝග

අතුරු වෛද්‍ය සේවයේ නියැලෙන විට සෑම දවසකම අභියෝගවලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඇමතුමක් ලැබුණු වහාම රෑ දහවල් අව්ව වැස්ස තැන නොතැන කියලා වෙනසක් නොබලා අපි ක්‍රියාත්මක වෙනවා. රථය වේගයෙන් පදවාගෙන යෑමේදී පවා යම් අනතුරු සිදු විය හැකියි.

රුධිරය, ශරීරයෙන් පිටවන ස්‍රාවයන් හා බෝ වන රෝග නිසා යම් අවදානම් තත්වයන්ට මුහුණ දීමට සිදු වෙනවා. මෙවැනි දේවලින් ආරක්ෂා වීමට අපි අත් වැසුම්, මුඛ ආවරණ හා වෙනත් ආරක්ෂක කට්ටල භාවිත කරනවා.

රෝගීන් සමඟ කටයුතු කිරීමේදී ඔවුන්ගේ පවුලේ අය, ඔවුන්ගේ මිත්‍රයන් මෙන්ම අවට සිටින අය ප්‍රතිචාරය දක්වන ආකාර විවිධයි. දශක ගණනාවක් පුරා එකට ජීවත් වී සිටි යුවළකගේ එක් අයෙකු හදිසියෙන්ම මිය ගිය විට එය අනික් තැනැත්තාට දරාගත නොහැකි වේදනාවක්. එම ආරංචිය දැනුම් දීම පහසු දෙයක් නොවෙයි. එක් අවස්ථාවක කාන්තාවකගේ ස්වාමිපුරුෂයා මිය ගිය ආරංචිය ඇයට දැනුම් දීමට මට සිදු වුණා. ඇය ක්‍රියා කළේ හරිම පුදුම විදිහට. ඇය මුලින්ම මට ගහගෙන ගහගෙන ගියා. පසුව ඇය අඬාගෙන කෑ ගහගෙන නිවසෙන් එළියට දුවගෙන ගියා. මම කොහොම හරි ඇයව අල්ල ගත්තා. එවිට ඇය මාව බදාගෙන මගේ උරහිසට හිස තබාගෙන හුඟක් ඇඬුවා.

මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කළ අයට උපකාර කිරීමේදී ඒ අයව හොඳින් තේරුම්ගත යුතුයි. ඒ වගේම අනුකම්පාවෙන් සැලකිය යුතුයි. ඔවුන් ක්‍රියා කරන විදිහත් විවිධාකාරයි. මගේ සේවා කාලය තුළදී එවැනි අයගෙන් මම ගුටි කලා තියෙනවා. සමහරු මාව හපලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මට කෙළ ගහලත් තියෙනවා.

මෙය වෙහෙසකර රැකියාවක්. සෑම දවසකම වගේ බර ඉසිලීමටත් විවිධ තත්වයන්ට මුහුණ දීමටත් සිදු වෙනවා. බොහෝ වේලාවට රෝගියාට ප්‍රතිකාර කිරීමේදී දණ ගහගෙන, නැමීගෙන වැඩ කරන්න සිදු වෙනවා. ඒ වගේම අපේ කොන්දට. දණහිසට. සහ උරහිසට අනතුරු සිදු වන අවස්ථාද තිබෙනවා. එවැනි අනතුරු කොතරම් දරුණුද කියනවා නම් සමහරවිට රැකියාවෙන් ඉවත් වීමට පවා සිදු වෙයි. රෑ දහවල් මාරුවෙන් මාරුවට වැඩ කිරීමත් හරිම වෙහෙස කරයි.

මිනිසුන්ගේ ජීවිතවලට තර්ජනය වන ආකාරයේ රෝග හෝ අනතුරුවලින් පීඩා විඳින අයට ප්‍රතිකාර කිරීම ඇත්තෙන්ම මානසික පීඩනයක්. මෙවැනි අවස්ථාවලදී අප සන්සුන්ව ක්‍රියා කළ යුතු අතර හොඳ සිහිකල්පනාවෙන් යුතුව තීරණගත යුතුයි. මිනිසුන් විඳින පීඩා හා මුහුණ දෙන අනතුරු අපි ඇස් දෙකින්ම දකිනවා. සමහර අනතුරු බලන්න බැරි තරම් දරුණුයි. කර්මාන්ත ශාලාවක සේවය කළ තරුණයෙකු අනතුරකට පත් වී මිය ගිය ආකාරය මට අද වගේ මතකයි. ඔහුගේ ඉණෙන් පහළ කොතරම් අනතුරට ලක් වී තිබුණාද කියනවා නම් ශරීරයේ කොටස් හඳුනාගැනීමට නොහැකි තරම් තැළී තිබුණා. ඔහු මගේ මිත්‍රයාගෙන් සහ මගෙන් ඉල්ලා සිටියේ ඔහුගේ ජීවිතය බේරා දෙන්න කියායි. නමුත් වෛද්‍යවරුන් සහ අපි කොතරම් උත්සාහ කළත් පැයක් වැනි කෙටි කාලයක් තුළදී ඔහු මිය ගියා.

මගේ ජීවිතය කම්පිත කළ තවත් සිදු වීමක් තිබෙනවා. අපිට උදේ පාන්දරම ගෙයක් ගිනි ගන්නා බවට ඇමතුමක් ලැබුණා. ස්වාමිපුරුෂයා වැඩ නිම කර නිවසට පැමිණෙන විට ගිනි ගනිමින් තිබූ නිවසේ සිටි භාර්යාවත් අවුරුදු තුනක දියණියත් ඉන් දිවි ගලවාගෙන තිබුණා. නමුත් මාස හතරේ සිට අවුරුදු පහ දක්වා වයස් කාණ්ඩයේ සිටි දරුවන් තුන්දෙනා සහ භාර්යාවගේ පියා ගින්නට හසු වුණා. ඔවුන්ව බේරාගැනීමට වෙහෙසුනු අය අතර මමත් සිටියා. නමුත් අපගේ උත්සාහය අසාර්ථක වුණා.

මෙවැනි අසීරු කාර්යයක ඇයි නියැලෙන්නේ කියා ඔබ කල්පනා කරනවා ඇති. මමත් ඒ ප්‍රශ්නය ගැන කල්පනා කර තිබෙනවා. මම එවැනි අවස්ථාවල මතකයට නඟා ගන්නේ යේසුස් ඉගැන් වූ යහපත් සමරිතානුවරයාගේ උපමාවයි. ඔහු තුවාලකරුට කැමැත්තෙන්ම උපකාර කිරීමට ඉදිරිපත් වුණා. (ලූක් 10:30-37) අතුරු වෛද්‍ය සේවකයෙකු හදිසි ඇමතුමක් ලද සැණින් ක්‍රියත්මක වෙනවා. එය ආත්ම පරිත්‍යාගශීලි සේවයක්. මම මේ සේවයෙන් තෘප්තියක් ලැබුවද මෙවැනි සේවයක් අවශ්‍ය නැති කාලයක් එනතුරු බලා සිටිනවා. දෙවි පොරොන්දු කර තිබෙන්නේ “මා ලෙඩින්” යැයි කිසිකෙනෙක් නොකියන කාලයක් අනාගතයේදී පැමිණෙන බවයි. එමෙන්ම ‘මරණයද වේදනාවද තවත් නොවන්නේය’කියාද පොරොන්දු වී තිබෙනවා. (යෙසායා 33:24, නව ලොව පරිවර්තනය; එළිදරව් 21:4)—කැනඩාවේ අතුරු වෛද්‍ය සේවකයෙක් පැවසූ පරිදි.

[පාදසටහන්වල]

^ 3 ඡේ. ක්‍රිස්තියානියෙකු අතුරු වෛද්‍ය සේවයේ නියැලෙද්දී එය ඔහුගේ හෘදය සාක්ෂියට යම් බලපෑමක් සිදු කරයිද කියා දැනගැනීමට 1999 අප්‍රේල් 15 මුරටැඹ කලාපයේ 29වන පිටුව බලන්න.

^ 5 ඡේ. සමහර රටවල ගිලන් රථයේ අතුරු වෛද්‍ය සේවකයෙකු සේවය කරන්නේ නැහැ. එහි සම්පූර්ණ වගකීම තිබෙන්නේ ගිලන් රථ රියදුරාටයි.

[13වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“ඔයාට මාව මතකද? ඔයා තමයි මගේ ජීවිතය බේරුවේ.” කියා රෝගියෙක් පැවසුවා. ඒ අවස්ථාවේදී දැනුණ සතුට විස්තර කරන්න මට වචන නැහැ

[14වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

මගේ සේවා කාලය තුළදී මම ගුටි කලා තියෙනවා. සමහරු මාව හපලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මට කෙළ ගහලත් තියෙනවා

[15වන පිටුවේ කොටුව/පින්තූරය]

 අතුරු වෛද්‍ය සේවකයෙක් ලබා දෙන ප්‍රතිකාර

හුස්ම ගැනීම නතර වූ රෝගියෙකුට නැවත හුස්ම ගැනීම පහසු කර වීම සඳහා මුඛයෙන් බටයක් ශ්වාසනාලයට ඇතුල් කර හුස්ම ගැනීමට පහසු කරවනවා. එසේත් නැත්නම් ගෙලේ කුඩා කැපුමක් කර ශ්වාසනාලයට බටයක් ඇතුල් කර ශ්වසනය පහසු කරයි.

තවත් ප්‍රතිකාර ක්‍රමයක් වන්නේ සේලයින් හා ඖෂධ නහර ගත කිරීමයි. සමහර අවස්ථාවලදී ඇටමිදුළුවලට පවා ඖෂධ එන්නත් කරනවා.

අතුරු වෛද්‍ය සේවකයෙක් කාඩියැක් මොනිටරයක් (cardiac monitor/defibrillator) මාර්ගයෙන් රෝගියෙකුගේ හෘද ස්පන්දනය පරික්ෂා කරයි. එම උපකරණය මාර්ගයෙන් රෝගියෙකුගේ හෘද ස්පන්දනය අඩු හෝ වැඩි නම් විද්‍යුත් කම්පන ලබා දීමෙන් නැවතත් යථා තත්වයට පත් කරයි. එමෙන්ම හෘද ස්පන්දනය ඉතාමත් අඩු රෝගියෙකුගේ හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වාගැනීමට එම උපකරණයේ තිබෙන විශේෂ අංගයක් (pacemaker) භාවිත කරයි.

[හිමිකම් විස්තර]

All photos: Taken by courtesy of City of Toronto EMS

[12වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Taken by courtesy of City of Toronto EMS