Skip to content

පටුනට යන්න

අලි ඇතුන් යුරෝපයෙත්

අලි ඇතුන් යුරෝපයෙත්

අලි ඇතුන් යුරෝපයෙත්

ඉතාලියේ පිබිදෙව්! ලේඛක විසින්

වර්ෂ 1932දී රෝමයේ කොලොසියම් ප්‍රේක්ෂකාගාරය අසල මහ මාර්ගයක් තැනීමේදී එම කණ්ඩායමේ සිටි කෙනෙකුගේ ආයුධය පොළොව යට තිබූ දැඩි යමක ගැටුණා. පසුව එය හාරා ගොඩ ගත් විට ඇතෙකුගේ හිස් කබල හා දළ බව සොයාගත්තා. මෙවැනි කොටස් හමු වූ පළමු වතාව මෙය නොවෙයි. ගත වූ වසර ගණනාව තුළ දී අලි ඇතුන්ගේ ෆොසිල 140ක් පමණ රෝමය හා ඒ අවට ප්‍රදේශවලින් සොයාගෙන තිබෙනවා. මුල්ම වතාවට ෆොසිල සොයාගනු ලැබුවේ 17වන සියවසයේදියි.

මෙම අලි ඇතුන්ගේ ඇටසැකිලි පුරාණයේදී තම රටට ආනයනය කළ අලි ඇතුන්ගේ හෝ කාතේජ්හි හැනිබල් අධිරාජ්‍යයා තම යුද්ධය සඳහා ගෙනා ඇතුන්ගේ බව පොදුවේ පිළිගැනුණා. දහනවවෙනි සියවසේ විසූ පූජකයෙක් සහ ස්වාභාවික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වන පියාන්චානේ එම මතය පිළිගත්තේ නැහැ. ඊට හේතුව මෙම ෆොසිල බොහෝවිට සොයාගනු ලැබුවේ ජලය ගලාගෙන ගිය පස් සහිත ප්‍රදේශවල වීමයි. ඔහුගේ නිගමනය වූයේ වෙනත් ප්‍රදේශයක මිය ගිය මෙම සතුන් මේ ප්‍රදේශයට ගං වතුරක් මාර්ගයෙන් ගසාගෙන ආ බවයි.

ඉතාලියේ සම්බ වූ අලි ඇතුන්ගේ ෆොසිල බොහොමයක් අද දින දක්නට ලැබෙන අලි ඇතුන්ට සමානකමක් දක්වන්නේ නැහැ. මේවා වඳ වී ගොස් තිබෙන පුරාණයේ විසූ අලි විශේෂයකගේ (Elephas antiquus) ෆොසිලයි. (15වන පිටුවේ පින්තූරය බලන්න.) මෙම ඇතුන්ගේ දළ අද දක්නට ලැබෙන ඇතුන්ගේ දළ මෙන් නොව එය පිහිටා තිබුණේ බොහෝදුරට ඍජු ආකාරයටයි. උන්ගේ උරහිස දක්වා උස මීටර් 5ක් වූ අතර සාමාන්‍යය අලින්ට වඩා මීටර් 2ක් පමණ උන් උසින් වැඩියි.

මෙම දැවැන්ත හස්ති රාජයා යුරෝපය හා එංගලන්තය පුරා සැරිසැරු බව ෆොසිල වාර්තාවලින් සනාථ වෙනවා. මෙම දැවැන්තයන්ගේ ෆොසිල සමහර අවස්ථාවල සොයාගැනුණේ වෙනත් සතුන්ගේ ෆොසිල සමඟයි. වෙනත් සතුන්ගේ ෆොසිල අතර කොටි වලසුන් වැනි මාංස භක්ෂකයින්ගේ ගොදුර බවට පත් වන මුවෝ වැනි ශාක භක්ෂක සතුන්ද සිටියා.

හයීනාවෝ සහ හිපෝ

රෝමය ඇතුළු මධ්‍යම ඉතාලියේ පළාතක් වන ලාසියෝ ප්‍රදේශයෙන්ද ෆොසිල සම්බ වී තිබෙනවා. මෙම ප්‍රදේශයේ එක් කාලයකදී අප්‍රිකාවේ දේශගුණයට බොහෝ සෙයින් සමාන දේශගුණයක් තිබුණු බවට විශ්වාස කරනවා. මේ නිසා එහි හිපපොටේමස්, මුව විශේෂයක් වන ගැසල් වැනි සත්වයන් සැරිසැරු බව විශ්වාස කරනවා. රෝමයෙන් සම්බ වූ කැලෑ බළලෙකුගේ ෆොසිලය හැඳින්වූයේ මොන්ටේ සාකෝහි දිවියා ලෙසයි. රෝමයට ආසන්නව පිහිටි නගරයක ෆොසිල 9,000ක් පමණ සොයාගනු ලැබුවා. මේවා අතර පුරාණයේ විසූ අලි ඇතුන්ගේ, මී හරකුන්ගේ, මුවන්ගේ, වානරයින්ගේ හා රයිනෝසිරස් වැනි විවිධ සතුන්ගේ ෆොසිල සම්බ වුණා. මීට සියවස් හතරකට පමණ පෙර විසූ වඳ වී ගොස් තිබෙන ගව විශේෂයක්ද සම්බ වී තිබෙනවා. දහසයවන පිටුවේ ඇති පින්තූරයේ පෙනෙන පරිදි එම ෆොසිල සම්බ වූ ස්ථාන නැරඹීමට හැකි වන ලෙස එහි කෞතුකාගාරයක් තනා තිබෙනවා.

සිසිලියාවේ පාලෙර්මෝ නුවර ගල් ලෙනක විවිධ වයස් සීමාවේ මුවන්ගේ, හරකුන්ගේ, ඇතුන්ගේ සහ හිපපොටේමසුන්ගේ ෆොසිල සොයාගෙන තිබෙනවා. නූපන් පැටවුන්ගේ ෆොසිල පවා මෙහි තිබුණා. මෙම ස්ථානය සොයාගෙන ගත වූ පළමු මාස හය ඇතුළත එහි තිබූ ෆොසිල ටොන් 20ක් පමණ විකුණනු ලැබුවා.

හයීනාවන් හා වලසුන් වැනි විවිධ සතුන්ගේ ඇට කටු කොටස් සහිත විශාල ෆොසිල ප්‍රමාණයක් දකුණු එංගලන්තයේ පාෂාණධාතු විද්‍යාඥයෙක් වන ජේ. මැන්සන් වැලන්ටයින් සොයාගෙන තිබෙනවා. විවිධ ස්ථානවලින් සොයාගෙන තිබෙන මෙම ෆොසිලවලින් කියාපාන්නේ කුමක්ද?

සමහර විද්‍යඥයන් කියා සිටින්නේ ස්වාභාවික විපතක් නිසා මෙම සතුන් මිය යන්න ඇතැයි කියායි. මෙම සතුන්ගේ වඳ වී යාමට හේතුව කුමක් වූවත් උන්ගේ අඩුව මුළු යුරෝපයටත් බ්‍රිතාන්‍යයේ දූපත්වලටත් සයිබීරියාවටත් ඇලස්කාවටත් දැනෙනවා.

ෆොසිල වාර්තා නොතිබෙන්න මේ ලෝකය ඈත අතීතයේදී පැවති තත්වය දැනගැනීමට හැකිවන්නේ නැහැ. ඉතාලිය ගැන පමණක් සිතුවත් එය ඈත අතීතයේදී අප්‍රිකාව හා සමානව වන ජීවීන්ගෙන් ගහනව තිබුණා කියා අප දැන නොගන්න ඉඩ තිබුණා.

[17වන පිටුවේ කොටුව]

ෆොසිලයක් යනු කුමක්ද?

බැලු බැල්මට ෆොසිලයක් පෙනෙන්නේ සාමාන්‍ය ඇටකටුවක් ලෙසයි. නමුත් යම් ඇටකටුවක් ෆොසිලයක් බවට පත් වෙන්නේ එහි සිදු වන රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් නිසයි. මෙම ප්‍රතික්‍රියාව සිදු වන්නේ සතෙකුගේ ඇටකටු දිරාපත් වීමට පළමුවෙනුයි.

ඇටකටුවක් ෆොසිලයක් බවට පත් වන එක් ප්‍රධාන ක්‍රමයක් නම් එය ඛනිජ ලවණයක් බවට පත් වීමයි. මෙම ක්‍රියාවලියේදී සිදු වන්නේ ඇටකටුවක තිබෙන කාබනික ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් ඉවත් වී ඒ වෙනුවට තෙතමනයෙන් යුත් රොන් මඩෙහි තිබෙන ඛනිජ ලවණ එහි තැන්පත් වීමයි. කෙසේවෙතත් ඇටකටුවක් ෆොසිලයක් බවට පත් වීමට යම් අවශ්‍යතා ඉටු විය යුතුයි. ඒවා නම් ප්‍රමාණවත් ලෙස රොන් මඩ තිබීම, කල් ගත නොවී පසට යට වීම හා ඉක්මනින්ම දිරාපත් නොවීම යනාදියයි. සාමාන්‍යයෙන් සත්ව කොටස් වෙනත් සතුන් කා දැමුවේ නැත්නම් බැක්ටීරියා ඒවා සම්පූර්ණයෙන්ම විනාශ කර දමනවා. එමෙන්ම සුළඟ හා ජලය වැනි ස්වාභාවික දේවලට නිරාවරණය වීම නිසාද ඇටකටු දිරාපත් වෙනවා. ඉහත කී තත්වයන්ට අසු නොවී ඇටකටුවක් ෆොසිලයක් බවට පත් වෙන්නේ කලාතුරකිනුයි.

[17වන පිටුවේ කොටුව/පින්තූරය]

උතුරු අර්ධගෝලයේ සැරි සැරූ දැවැන්තයෝ

දිග ලෝම සහිත දැවැන්තයෝ ආසියාවේ, යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ ජීවත් වූ බව ෆොසිල වාර්තාවලින් පෙනී යනවා. යුරෝපයේ දකුණු කෙළවරේ ඉතාලිය තරම් දුර ඈත ප්‍රදේශයේ පවා උන් ජීවත් වූ බව විශ්වාස කරනවා.

මොවුන් ප්‍රමාණයෙන් ආසියාවේ දක්නට ලැබෙන අලි ඇතුන් මෙන් වුණත් වෙනසකට තිබුණේ උන්ගේ ලොම් අඟල් 20ක් තරම් දිගට වැඩී තිබීමයි. එමෙන්ම ඇතුන්ට අඩි 15ක් පමණ දිගින් යුත් වක්‍රාකාර දළ පිහිටා තිබුණා. මේ ආකාරයේ දළ විශාල ප්‍රමාණයක් සයිබීරියාවේදී සොයාගනු ලැබුවා. මධ්‍යකාලීන යුගයේ පටන් උන්ගේ දළ චීනයට හා යුරෝපයට අපනයනය කර තිබෙනවා.

[හිමිකම් විස්තර]

Photo courtesy of the Royal BC Museum

[16, 17වන පිටුවේ පින්තූරය]

රෝමයට ආසන්නව පිහිටි නගරයක තිබූ ෆොසිල

[හිමිකම් විස්තර]

Soprintendenza Archeologica di Roma

[15වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

ඉහළ: Museo di Paleontologia dell’Università degli Studi “La Sapienza” di Roma; bottom: © Comune di Roma - Sovraintendenza Beni Culturali (SBCAS; fald. 90, fasc. 4, n. inv. 19249)