Skip to content

පටුනට යන්න

ඖෂධ ගන්නේ හේතුවක් ඇතුවද? නැතුවද?

ඖෂධ ගන්නේ හේතුවක් ඇතුවද? නැතුවද?

ඖෂධ ගන්නේ හේතුවක් ඇතුවද? නැතුවද?

සමහර අය ඖෂධ ගන්නේ හේතුවක් නැතුවයි. ඇන්ජලා නම් තරුණිය ඊට එක් උදාහරණයක්. තම සහෝදරයාට වෛද්‍යවරයා ලබා දුන් ඖෂධ නිසා ඔහුගේ ආහාර රුචිය අඩු වූ බව ඇගේ දෙමාපියන් පවසනවා ඇයට ඇසුණා. ඇයටත් ඇගේ බර අඩු කරගැනීමට අවශ්‍ය වූ නිසා සහෝදරයාගේ බෙහෙත් පෙති කාටත් හොරා දින කිහිපයකට වතාවක් පෙත්ත බැගින් ගත්තා. දිගටම එසේ කළොත් දෙමාපියන්ට අසු වන නිසා එම ඖෂධයම භාවිත කරන මිතුරෙකුගෙන් එය ලබාගැනීමට ඇය පුරුදු වුණා. *

ඖෂධ ලබාගැනීමට මිනිසුන් මෙතරම් පෙලඹෙන්නේ මන්ද? ඊට එක් හේතුවක් නම් නිවසේ ඖෂධ තිබීමයි. දෙවන හේතුව නම් යෞවනයන් සිතන්නේ වෛද්‍ය නිර්දේශයක් නොමැතිව ඖෂධ ලබාගැනීම නීති විරෝධි ක්‍රියාවක් නොවන බවයි. තුන්වන හේතුව නම් මත්ද්‍රව්‍ය තරම් ඖෂධ අහිතකර නැහැයි කියා ඔවුන් සිතන නිසයි. එමෙන්ම යෞවනයන් සිතන්නේ යම් ඖෂධ දරුවන්ට පවා ලබා දෙනවා නම් ඒවායේ කිසිදු අහිතකර බලපෑමක් නැති බවයි.

වෛද්‍ය උපදෙස් මත ඖෂධ නිසි ලෙස ලබාගන්නවා නම් අපගේ සෞඛ්‍යයටවත් අපගේ ජීවිතයටවත් අහිතකර බලපෑමක් සිදු නොවෙයි. නමුත් ඖෂධ අනිසි ලෙස භාවිත කිරීම මත්ද්‍රව්‍ය භාවිත කරනවා හා සමාන බලපෑමක් ඇති කළ හැකියි. උදාහරණයකට වෛද්‍යවරු නිර්දේශ කරන සමහර උත්තේජක ඖෂධවලින් හෘදයාබාධ ඇති විය හැකියි. වෙනත් ඖෂධ භාවිතයේදී දැඩි ස්වසන අපහසුතා හා මරණයට පවා ලක් විය හැකියි. එමෙන්ම ඖෂධ වෙනත් ඖෂධ සමඟ හෝ මත්පැන් සමඟ ගැනීමෙන්ද හානිදායක ප්‍රතිඵල අත් වෙයි. වර්ෂ 2008දී ප්‍රසිද්ධ සිනමා තරුවක් “නිදිපෙති, වේදනා නාශක පෙති හා මනස සන්සුන් කිරීම සඳහා ලබා දෙන පෙති හයක් එක විටම ගනු ලැබු නිසා මිය ගිය බව” එක් පුවත්පතක වාර්තා වුණා.—Arizona Republic.

ඖෂධ අනිසි භාවිතයෙන් ඒවාට ඇබ්බැහි වීමට මඟ පෑදිය හැකියි. සමහර ඖෂධ හේතුවක් නැතිව ගැනීම හෝ වැඩිපුර ගැනීම මත්ද්‍රව්‍ය ගැනීම හා සමානයි. මන්ද එවැනි ඖෂධ උත්තේජනයක් ඇති කරන නිසා පහසුවෙන්ම ඊට ඇබ්බැහි වෙනවා. නමුත් හැමදාටම උත්තේජනයක් ලැබෙන්නේ හෝ ජීවිතයේ ගැටලුවලට මුහුණ දීමට එයින් ශක්තියක් ලැබෙන්නේ නැහැ. එමගින් මානසික පීඩනය, කනස්සල්ල හා සෞඛ්‍යයට හානි සිදු විය හැකියි. එදිනෙදා වැඩ කටයුතුවල නිරත වීම පවා අසීරු විය හැකියි. එම ඖෂධ නොමැතිව ජීවත් වීමට නොහැකි තරම් තද බල ඇබ්බැහි වීමකට ගොදුරු විය හැකියි. එවැනි කෙනෙකුට නිවසේ, පාසැලේ හෝ රැකියා ස්ථානයේ ප්‍රශ්න ගැටලු ඇති විය හැකියි. එසේනම් ඖෂධ නිසි ලෙස භාවිත කිරීමත් අනිසි ලෙස භාවිත කිරීමත් අතර වෙනස හඳුනාගන්නේ කෙසේද?

හේතුවක් ඇතුවද? නැතුවද?

ඔබ යම් රෝගයකට වෛද්‍යවරයෙක් නිර්දේශ කළ ඖෂධ භාවිත කරනවා නම් ඔබ ඖෂධ ගන්නේ හේතුවක් ඇතුවයි. එය නියමිත මාත්‍රාවට අනුව හා නියමිත වේලාවට ගැනීමත් ඇතුළත් වෙනවා. රෝගයක් සඳහා ඖෂධ ගැනීමේදී පවා යම් යම් අහිතකර බලපෑම් ඇති වෙනවා නම් ඒ බව ඔබේ වෛද්‍යවරයාට විගස පවසන්න. එවිට ඔබේ වෛද්‍යවරයා ඔබට දුන් ඖෂධ නැවැත්වීමට හෝ වෙනස් කිරීමට ඉඩ තිබෙනවා. ඖෂධහල්වලින් මිල දී ගන්න ඖෂධ භාවිතයේදීද ඉහත සඳහන් උපදෙස් පිළිපදින්න. එම ඖෂධ පවා හේතුවක් නොමැතිව භාවිත නොකරන්න. භාවිත කරන විට අදාළ උපදෙස් පිළිපදින්න.

හේතුවක් නොමැතිව ඖෂධ ගැනීම, නියමිත මාත්‍රාවට වඩා වැඩියෙන් ගැනීම, වෙනත් අයට දෙන ඖෂධ ගැනීම හෝ වැරදි ක්‍රමයට ඖෂධ ගැනීම හානිකර විය හැකියි. සමහර බෙහෙත් පෙති සම්පූර්ණ පෙත්තම ගිලිය යුතුයි. එවිට එය ක්‍රමානුකූලව ශරීරයට උරා ගනියි. නමුත් ඖෂධ අනිසි ලෙස භාවිත කරන්නන් බෙහෙත් පෙති කුඩු කර හෝ කටේ දමා සපා කෑමට හෝ කුඩු කර ඒවා ඉරීමට නැඹුරුවාවක් දක්වනවා. තවත් සමහරුන් ඒවා දිය කර ශරීරයට එන්නත් කරගන්නවා. එවැනි ක්‍රම මගින් ඉක්මන් ප්‍රතිඵල ලැබුණද එය ඇබ්බැහි වීමකට තුඩු දිය හැකියි. සමහර අවස්ථාවලදී එවැනි ක්‍රම මාරාන්තික වීමට පවා ඉඩ තිබෙනවා.

සැලකිය යුතු තවත් කාරණයක් වන්නේ වෛද්‍යවරයෙක් නිර්දේශ කළ ඖෂධයක් දිගටම ගැනීමේදී ඔබ එයට ඇබ්බැහි වන බවක් දැනෙනවා නම් ඒ බව වහාම වෛද්‍යවරයාට දන්වන්න. එවිට ඔබගේ රෝගී තත්වයට අනුව වෛද්‍යවරයා වෙනත් ඖෂධයක් නිර්දේශ කරයි.

ඖෂධ අනිසි ලෙස භාවිත කිරීම්, මත්ද්‍රව්‍ය භාවිත කිරීම් හා මත්පැන්වලට ඇබ්බැහිවීම් අද බහුලව දක්නට තිබෙන්නේ අප ජීවත්වන කාලය අනතුරුදායක කාලයක් නිසයි. අද නිවස සාමය හා සතුට පිරි කැදැල්ලක් නොව ප්‍රශ්න ගැටලුවලින් පිරි යුධ බිමක් වී තිබෙනවා. ගුණ යහපත්කම හා ආගම දහමට තිබෙන ලැදියාව නැතිවී තිබෙන නිසා ජීවිතයට කිසිඳු වටිනාකමක් නැහැ. (2 තිමෝති 3:1-5) තවත් කාරණයක් නම් අනාගතය ගැන බලාපොරොත්තුවක් නොමැතිකමයි. ඔවුන්ට දෙවිගේ මඟ පෙන්වීම් නැති නිසා ඔවුන් සිතන්නේ අනාගතය අඳුරුය කියායි. ඒ නිසා ඔවුන් වර්තමානය උපරිමයෙන්ම භුක්ති විඳිනවා. බයිබලයේ මෙසේ ලියා තිබෙනවා. “දෙවිගෙන් මඟ පෙන්වීම් නොලබන විට ජනයා නොහික්මුණු අයුරින් හැසිරෙති.”—හිතෝපදේශ 29:18, නව ලොව පරිවර්තනය, NW.

ඔබ දෙමාපියෙකු නම් ඔබේ පවුලේ අයව මෙම වර්තමාන පිරිහුණු සමාජයෙන් බේරාගැනීමට ඔබට අවශ්‍ය බව නිසැකයි. ඒ සඳහා උපදෙස් ලබාගන්නේ කොහෙන්ද කියාත් දීප්තිමත් හෙට දවසක් ගැන බලාපොරොත්තුවක් තබා ගත හැක්කේ කෙසේද කියාත් මීළඟ ලිපියේ සාකච්ඡා කරනු ලබනවා.

[පාදසටහන]

^ 2 ඡේ. තොරතුරු ලබාගත්තේ TeensHealth වෙබ් අඩවියෙනුයි.

[4වන පිටුවේ කොටුව]

වින්දනයක් සඳහා ඕනෑම දෙයක් කිරීමට සූදානම්

සමහර අය වින්දනයක් ලබාගැනීමට නොයෙක් දේ කරනවා. පිරිසිදු කිරීමට භාවිත කරන ද්‍රාවණ, නියපොතුවල ආලේපන ඉවත් කිරීමට භාවිත කරන ද්‍රාවණ, ඉන්ධන, ගෘහ භාණ්ඩ ඔප දැමීමට ගන්නා ද්‍රාවණ, ස්ප්‍රීතු හා වෙනත් වාෂ්ප වන ද්‍රාවණ ඉරීමෙන් යම් වින්දනයක් ලබනවා. නාස් කුහරය හා මොළය අතර සම්බන්ධයක් තිබෙන නිසා එලෙස උරාගන්නා දේ කෙළින්ම රුධිර ධාරාවට එකතු වෙයි. එවිට ඉක්මනින්ම ප්‍රතික්‍රියා කරයි.

තවත් නරක පුරුද්දක් නම් මද්‍යසාර අඩංගු ඖෂධ හෝ නින්ද යෑමට දෙන ඖෂධ වෛද්‍ය නිර්දේශයක් නොමැතිව ලබාගැනීමයි. මෙවැනි ඖෂධ නියමිත මාත්‍රාව ඉක්මවා ගැනීම සංවේදී ඉන්ද්‍රියන්ට බලපානවා. එපමණක් නොව ව්‍යාකූල බව, දවල් සිහින දැකීම, හිරි වැටීම හා උදරයේ වේදනාවක් වැනි දෑ ඇති වීමටද එය හේතුවක් වෙයි.

[5වන පිටුවේ කොටුව]

ඖෂධ ලබාගැනීමට යොදන උපා

“ඖෂධවලට ඇබ්බැහි වූ අය හා මත් ලෝලීන් ඖෂධ ලබාගැනීමට විවිධ උපා යොදනවා. සමහර අය වෛද්‍යවරුන්ව හමු වීමට අන්තිම මොහොතේ පැමිණීම, වෛද්‍ය පර්යේෂණ ප්‍රතික්ෂේප කිරීම, බෙහෙත් තුණ්ඩු නැති වුණා කියා කීම හෝ මාත්‍රාව වෙනස් කිරීම, කලින් ගත් බෙහෙත් තුණ්ඩු හා වාර්තා නොපෙන් වීම, අලුත් වෛද්‍යවරුන් ළඟට ගොස් බෙහෙත් තුණ්ඩු ලියා ගැනීම වැනි විවිධ උපා යොදනවා.”Physicians’ Desk Refere යන පොත ඇසුරෙන්.

පහසුවෙන් ඇබ්බැහි වීමට ප්‍රවණතාවක් තිබෙන ඖෂධ තුන:

ඕපියම් අඩංගු බෙහෙත්—මෙය වේදනා නාශකයක් ලෙස ලබා දෙන ඖෂධයක්.

ස්නායු පද්ධතිය සන්සුන් කිරීමට භාවිත කරන ඖෂධ—මෙම ඖෂධ ලබා දෙන්නේ නින්ද නොයෑමේ හා කනස්සල්ල වැනි රෝග තත්වයන් සමනය කිරීම සඳහායි.

උත්තේජක ඖෂධ—අවක්‍රියාකාරි තත්වයෙන් ගොඩ ඒමට, නින්ද නොයෑමේ රෝගය හා ස්ථුලතාව සඳහා ලබා දෙන ඖෂධයක්. *

[පාදසටහන]

^ 24 ඡේ. තොරතුරු ලබාගත්තේ National Institute on Drug Abuse නමැති ආයතනයෙන්.

[6වන පිටුවේ කොටුව]

ඖෂධ භාවිතයේදී පිළිපැදිය යුතු උපදෙස්

1. උපදෙස් අනුගමනය කරන්න.

2. වෛද්‍ය උපදෙස් නොමැතිව මාත්‍රාව වෙනස් නොකරන්න.

3. නිර්දේශ කර ඇති ඖෂධ වෛද්‍ය උපදෙස් නොමැතිව නතර නොකරන්න.

4. බෙහෙත් පෙති කුඩු කර හෝ කැබලිවලට කඩා බීමට උපදෙස්දී නොමැති නම් එසේ නොකරන්න.

5. ඔබ ගනු ලබන ඖෂධවලින් රිය පැදවීමට හා වෙනත් කටයුතුවලට යම් බලපෑමක් සිදු වෙනවාද කියා සොයා බලන්න.

6. ඔබ ගන්නා ඖෂධ මද්‍යසාර හා වෙනත් ඖෂධ කෙරෙහි යම් බලපෑමක් ඇති කරනවාද කියා සොයා බලන්න.

7. ඔබ මින් පෙර යම් ඖෂධවලට ඇබ්බැහි වී සිටියා නම් ඒ ගැන වෛද්‍යවරයාට පවසන්න.

8. වෙනත් කෙනෙකුට නිර්දේශ කළ ඖෂධ ගැනීමෙන් හා ඔබට නිර්දේශ කළ ඖෂධ අන් අයට දීමෙන් වළකින්න. *

[පාදසටහන]

^ 36 ඡේ. මෙම තොරතුරු ලබාගත්තේ එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලන අංශයෙන්.