Skip to content

පටුනට යන්න

කාටත් හොරා බෙහෙත් පෙති ගිලින එක හොඳද?

කාටත් හොරා බෙහෙත් පෙති ගිලින එක හොඳද?

කාටත් හොරා බෙහෙත් පෙති ගිලින එක හොඳද?

සමහර අය වෛද්‍යවරුන්ගේ උපදෙස් මත ලබාගන්නා ඖෂධවලට කාලයක් යන විට ඇබ්බැහි වෙනවා. මීට එක් උදාහරණයක් නම් මීරා * නමැති කාන්තාවයි. ඇය ඉරුවාරදයෙන් පෙළුණු අතර ඒ සඳහා ඇගේ වෛද්‍යවරයා වේදනා නාශකයක් නිර්දේශ කළා. කාලයාගේ ඇවෑමෙන් ඇය එම ඖෂධයට ඇබ්බැහි වුණා. ඉරුවාරදය නැති විටදී පවා ඇය එම ඖෂධ දිගින් දිගටම භාවිත කළා. ඒ විතරක් නෙවෙයි වෙනත් අයට දුන් ඖෂධ පවා ඇය ගිල දැමුවා.

ලීනා නමැති කාන්තාවත් එවැනිම අද්දැකීමකට මුහුණ දුන්නා. “මම මගේ සිරුර සිහින්ව තියාගන්න පුළුවන් තරම් උත්සාහ කළා. ඒ නිසා මම පවුලේ වෛද්‍යවරයාගේ උපදෙස් මත අවුරුදු 14 සිට ඖෂධ භාවිත කළා. මම එහෙම කළේ පිරිමි ළමයි මා දිහා බලලා ලස්සනයි කියනවාට කැමති නිසයි. කාලයක් යන විට මම තහනම් ඖෂධ භාවිත කරන්නත් අනාචාර ජීවිතයක් ගත කරන්නත් පටන්ගත්තා. මගේ එකම ආශාව වුණේ උපරිම වින්දනයක් ලබන්නයි.”

වාර්තාවලින් පෙන්වන්නේ යෞවනයන් පමණක් නෙවෙයි වැඩිහිටියන් බොහෝදෙනෙක්ද නිර්දේශ කළ ඖෂධ අනිසි ලෙස භාවිතයට ගන්නා බවයි. ඔවුන් මෙම ඖෂධ ලබාගන්නේ මනස සන්සුන් කරගැනීමට කනස්සල්ල අඩු කරගැනීමට බර අඩු කරගැනීමට සහ උපරිම වින්දනයක් ලබාගැනීම සඳහායි. නිවෙස්වල බහුලව තිබෙන වේදනා නාශක, නිදි පෙති, උත්තේජක ඖෂධ, මානසික සහනය සඳහා ගන්නා ඖෂධ අනිසි ලෙස භාවිතයට ගැනෙනවා. * මේවාට ඖෂධහල්වලින් ලබාගන්නා නිදි පෙති, ස්වසනය පහසු කිරීම සඳහා ගන්නා ඖෂධ හා ආසාත්මිකතා සඳහා ගන්නා ඖෂධද අයත් වෙනවා.

ඖෂධ හිතුමතේට භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යනවා. අප්‍රිකාවේ, යුරෝපයේ සහ දකුණු ආසියාවේ සමහර පැතිවල මත්ද්‍රව්‍යවලට වඩා ඖෂධවලට ඇබ්බැහි වී සිටින සංඛ්‍යාව වැඩියි. එක්සත් ජනපදයේත් මෙම ගැටලුවම දැකිය හැකියි. එක් පුවත්පතක මෑතකදී පළ වූ වාර්තාවකට අනුව අවුරුදු 12ත් 17ත් අතර වයස් කාණ්ඩයේ සිටින යෞවනයන් “කොකේන් හා හෙරොයින් වැනි මත්ද්‍රව්‍යවලට වඩා ඖෂධවලට ඇබ්බැහි වී තිබෙනවා.” ඇත්තෙන්ම මෙම ගැටලුව කොතරම් උග්‍ර වී ඇද්දයත් හොර ඖෂධ සමාගම් බිහිවීමට පවා මෙය හේතුවක් වී තිබෙනවා.

ඔබ සහ ඔබේ දරුවන්ව ඖෂධ හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමෙන් වළක්වාගත හැක්කේ කෙසේද කියා ඊළඟ ලිපි මගින් පෙන්වා දෙයි.

[පාදසටහන්වල]

^ 2 ඡේ. මෙම ලිපි මාලාවේ නම් වෙනස් කර ඇත.

^ 4 ඡේ. මෙම ලිපි මාලාවේ සඳහන් කර තිබෙන බොහෝ ප්‍රතිපත්ති මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිත කරන්නන්ටද අදාළයි.

[3වන පිටුවේ කොටුව]

“ඖෂධවලට ඇබ්බැහි වන්නේ නිතිපතා ඖෂධ ගැනීමට සිදු වන විට, නිකරුණේ ඖෂධ ගන්නා විට සහ හානියක් තිබෙන බව දැන දැනත් ඖෂධ ගන්නා විටයි” කියා එක් පොතක සඳහන් වෙනවා. ඇබ්බැහි වීම යනු ඖෂධ පාලනයකින් තොරව ගැනීම හා ඊට වහල් වීමයි.—Physicians’ Desk Reference.

ශරීරයට අත්‍යවශ්‍ය ඖෂධ ගැනීම නතර කළ විට යම් වෙනස්කම් ශරීරය තුළ සිදු විය හැකියි. මෙවැනි වෙනස්කම් සිදු වන්නේ එයට ඇබ්බැහිවීමක් නිසා නොව එම ඖෂධ ශරීරයට අත්‍යවශ්‍ය නිසයි.

ඖෂධ ශරීරයට හුරුවීම යනු කලින් ගත් මාත්‍රාවට වඩා වැඩි මාත්‍රාවක් ගැනීමට සිදු වීමයි.