Skip to content

පටුනට යන්න

දෙමාපියෙනි ඔබේ දරුවන් රැකගන්න

දෙමාපියෙනි ඔබේ දරුවන් රැකගන්න

දෙමාපියෙනි ඔබේ දරුවන් රැකගන්න

තම දරුවන් ගැන සැලකිලිමත් වන දෙමාපියන් දරුවන් මෙසේ කාටත් හොරා ඖෂධ ගැනීම ගැන කනස්සල්ලට පත් වෙනවා. එයට හේතු බොහොමයක් තිබිය හැකියි. සමහර දරුවන් විනෝදයට මෙන් ඖෂධ අත්හදා බලනවා. තවත් දරුවන් අධ්‍යාපනය හොඳින් කිරීමට හෝ කාන්සාව අඩු කරගැනීමට ඖෂධ භාවිත කරනවා. ඒ වගේම තවත් දරුවන් ශාරීරික හා මානසික ගැටලුවලින් මිදීමට ඖෂධ භාවිත කරනවා. අවුරුදු 12ක් තරම් කුඩා දරුවන් පවා ඖෂධවලට ඇබ්බැහි වීම ඇත්තෙන්ම කනගාටුදායක දෙයක්. ඔවුන් ඒ සඳහා වෙබ් අඩවි මාර්ගයෙන් ඇණවුම් කර කිසිදු බාධාවකින් තොරව ඖෂධ මිල දී ගන්නවා. තවත් සමහර අය ඖෂධ ලබාගන්නේ මිත්‍රයන්ගෙන්. දෙමාපියෙනි ඔබට මේ සම්බන්ධයෙන් කළ හැක්කේ කුමක්ද?

නිර්දේශ කළ ඖෂධ හෝ මත්ද්‍රව්‍ය භාවිතය නිසා ඇති විය හැකි අනතුරු ගැන ඔබේ දරුවන් සමඟ කතා කරන්න. ඒ වගේම වෛද්‍යවරු නිර්දේශ කළ බෙහෙත් තුණ්ඩු ආරක්ෂිත ස්ථානයක තබන්න. සමහරවිට ඖෂධ තබා තිබෙන කැබිනෙට්ටුව අගුලු දැමීමටත් සිදු වේවි. ඔබ ළඟ තිබෙන ඖෂධ ගැනත් කොපමණ ප්‍රමාණයක් භාවිතයට ගෙන තිබෙනවාද කියාත් සෝදිසියෙන් සිටින්න. ඔබ තවදුරටත් ඖෂධයක් භාවිත කරන්නේ නැත්නම් ඒවා යළි ගැනීමට නොහැකි වන ලෙස ඉවත් කරන්න. ඔබේ දරුවා කැස්ස සඳහා ඖෂධ ලබාගනිමින් සිටියා නම් රෝගය සුව වූ පසුත් ඒවා භාවිත කරනවාද කියා සොයා බලන්න. දරුවා අන්තර්ජාලය භාවිත කරන ආකාරයත් ඔහුට ලැබෙන මුදල් වියදම් කරන ආකාරයත් තැපැලෙන් ඔහුට ලැබෙන නොයෙකුත් පර්සැල් ගැනත් සොයා බලන්න. ඒ වගේම දරුවාගේ පෙනුමේ හෝ හැසිරීමේ වෙනසක් සිදු වී තිබෙනවාද කියාත් ඔහුගේ මිතුරන් පිළිබඳවත් පාසැලේ ක්‍රියාකාරකම්වල නිසි අයුරින් නියැලෙනවාද කියාත් සොයා බලන්න.

දරුවා ඇබ්බැහි වෙලා නම් . . .

ඔබේ දරුවා ඖෂධවලට හෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා කියා ඔබ සිතනවා නම් කළ හැක්කේ කුමක්ද? ඒ ගැන දරුවා සමඟ සන්සුන්ව හා කාරුණිකව කතා කරන්න. බයිබලයේ අපට උපදෙස් දෙන්නේ මෙලෙසයි. “මිනිසෙකුගේ සිතේ කල්පනාව ගැඹුරු ජලය මෙනි. එහෙත් වටහාගැනීමේ හැකියාව ඇති මිනිසා [පුරුෂයෙක් හෝ ස්ත්‍රියක්] එය ඇදගනියි.” (හිතෝපදේශ 20:5NW) දරුවෙකුගේ හිතේ තිබෙන දේ දැනගැනීම දුෂ්කර දෙයක්. එය හරියට දිරා ගිය ලණුවක් ගැටගැසූ බාල්දියකින් ජලය ඇදගන්නවා හා සමානයි. දරුවා සමඟ කතා කිරීමෙදී ඔබ කෝපයෙන් දරුවාට බැණවදිමින් ක්‍රියා කරනවා නම් දරුවා සමඟ හොඳ අදහස් හුවමාරුවක් ඇති කරගැනීම අපහසුයි. එවිට දරුවා ඇත්තටම ඖෂධවලට ඇබ්බැහි වෙලාද කියාත් ඊට හේතුව කුමක්ද කියාත් දැනගැනීමට ඔබට අපහසු වෙයි. විවිධ හේතු නිසා දරුවෙක් ඖෂධවලට හෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි විය හැකියි. ඉන් සමහරක් හේතු පහත සඳහන් කර තිබෙනවා.

නරක ආශ්‍රය හා මිතුරන්ගෙන් එල්ල වන පීඩනය. “නරක ආශ්‍රයෙන් හොඳ පුරුදු නැති වන්නේය” කියා 1 කොරින්ති 15:33හි පවසා තිබෙනවා. එමනිසා ඥානවන්ත දෙමාපියන් තම දරුවන්ට නරක මිතුරන්ගෙන් එල්ල විය හැකි පීඩනය හඳුනාගැනීමට උපකාර කරනවා. ඒ වගේම හොඳ මිතුරන් තෝරාගන්නේ කෙසේද කියාත් දැනුවත් කරනවා. (හිතෝපදේශ 13:20) දෙමාපියෙනි, දරුවන්ට ආශ්‍රයට සුදුසු මිතුරන්ව ඔබේ නිවසට ආරාධනා කිරීමෙන් හෝ විනෝද ගමනක් යන විට ඊට හවුල් කරවාගැනීමෙන් දරුවන්ට හොඳ මිත්‍රයන් තෝරාගැනීමට උපකාර කරන්න ඔබට හැකියි.

පීඩනය. වර්තමානයේ සාර්ථක වීමට තිබෙන පීඩනය ඉතා විශාලයි. සමහරවිට දෙමාපියන්ද දරුවන්ට අනවශ්‍ය ලෙස පීඩනයක් එල්ල කරනවා විය හැකියි. * ඔබ ඔබේ දරුවාගේ හැකියාවන් හා දුර්වලකම් හඳුනාගෙන තිබෙනවාද? ඔබ තබා තිබෙන්නේ දරුවන්ට අත් කරගත හැකි ඉලක්කද? ඒවා අත් කරගැනීමට ඔවුන්ට උපකාර කරනවාද? ඔබ නිතරම අන් අය සමඟ සසඳමින් දරුවාව මානසිකව බිඳ දමනවාද? දරුවන්ට අවශ්‍ය ආදරය හා රැකවරණය පවුලෙන් ලැබෙන්නේ නැත්නම් ඔවුන් ඒවා වෙනත්අයගෙන් ලබාගැනීමට උත්සාහ දරනවා. ඥානවන්ත දෙමාපියන් දරුවන් සමඟ බයිබලය කියවීම වැනි දෙවිට නමස්කාර කිරීමේ ක්‍රියාවල නියැලෙනවා. “තම ආත්මික [දෙවිගේ මඟ පෙන්වීම් ලබාගැනීමේ] අවශ්‍යතාව ගැන සැලකිලිමත් වන අය සන්තෝෂවත්ය” කියා යේසුස් ක්‍රිස්තුස් පැවසු වදන්වල සත්‍යතාව ඔවුන් තේරුම්ගෙන තිබෙනවා.—මතෙව් 5:3.

දරුවන්ට දී තිබෙන අසීමිත නිදහස. සමහර යෞවනයන්ට දෙමාපියන් අසීමිත නිදහසක් දී තිබෙනවා. එවන් නිදහසක් දරුවෙකුට අහිතකර බලපෑමක් ඇති කළ හැකියි. බයිබලයේ හිතෝපදේශ 29:15හි [NW]පවසන්නේ මෙසේයි. “දරුවෙකුට හිතුමතේට ක්‍රියා කරන්න ඉඩහැරියොත් ඔහු තම මවව ලැජ්ජාවට පත් කරයි.” දරුවන් තම දෙමාපියන් දමා තිබෙන නීතිවලට අකමැති බව පෙන්නුවත් හදවතින් ඒවා අගය කරනවා. එම නීති රීති දමා තිබෙන්නේ තමන්ගේ ආරක්ෂාවට හා ඔවුන්ට තිබෙන ආදරය නිසා බව දරුවෝ තේරුම්ගන්නවා. බයිබලයේ දෙමාපියන්ට දිරිගන්වා තිබෙන්නේ සාධාරණ නීති රීති දමන්න කියායි. එමෙන්ම දෙමාපියන් දරුවන්ට හොඳ ආදර්ශයක් විය යුතුයි කියාද එහි පෙන්වාදී තිබෙනවා. (එෆීස 6:4) බයිබලයේ පවසන්නේ ඔබ යම් නීති දැමු පසු ඊට එකඟව ක්‍රියා කළ යුතු බවයි. එනම් “එසේය නම් එසේය කියාද නැත නම් නැත කියාද” ඔබේ වචනය ස්ථිර විය යුතුයි.—යාකොබ් 5:12.

ඔබේ දරුවා ඖෂධ හෝ මත්ද්‍රව්‍යකට ඇබ්බැහිවි ඇතැයි කියා දැනගත්තා නම් ඒ සඳහා වෛද්‍යවරයෙකුගේ උපකාරය පතන්න. යම් දෙයකට ඇබ්බැහි වූ පසු ඉන් මුදාගැනීම දුෂ්කරයි. ඔබට ඒ පිළිබඳ විශේෂඥයෙකුගේ උපදෙස් අවශ්‍ය විය හැකියි. ඔබ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් නම් ඔබට උපකාර කිරීමට වැඩිමහල්ලන් සෑදී පැහැදි සිටිනවා. (යාකොබ් 5:13-16) මෙම වැඩිමහල්ලන්ට බයිබලයේ සඳහන් උපදෙස් හා ප්‍රතිපත්ති පිළිබඳව ගැඹුරු අවබෝධයක් තිබෙන නිසා ඔබට අවශ්‍ය කරන මඟ පෙන්වීම් ලබා දීමට හැකියාවක් ඔවුන්ට තිබෙනවා.

ඔබට අදාළ කරගත හැකි ප්‍රතිපත්ති මොනවාද කියාත් හොඳ අනාගතයක් පිළිබඳ අපට තිබෙන බලාපොරොත්තුව පිළිබඳවත් ඊළඟ ලිපියෙන් සාකච්ඡා කරනු ලබනවා.

[පාදසටහන]

^ 7 ඡේ. මෙම සඟරාවේ 14වන පිටුවේ සඳහන් “පීඩනයට ලක් වූ දරුවෝ” නමැති ලිපිය බලන්න.

[7වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“මිනිසෙකුගේ සිතේ කල්පනාව ගැඹුරු ජලය මෙනි. එහෙත් වටහාගැනීමේ හැකියාව ඇති මිනිසා එය ඇදගනියි.”—හිතෝපදේශ 20:5NW

[7වන පිටුවේ කොටුව]

යෞවනයන් ඖෂධවලට ඇබ්බැහි වීමේ ප්‍රවණතාවක් තිබෙන්නේ . . .

▪ පවුලේ සාමාජිකයෙක් මත්ද්‍රව්‍ය හෝ ඖෂධවලට ඇබ්බැහි වී තිබෙනවා නම්

▪ මානසික පීඩනයෙන් හෝ හීනමානයෙන් පෙළෙනවා නම්

▪ සමාජයේ තමන්ට එතරම් පිළිගැනීමක් නැහැයි කියා සිතනවා නම්

▪ බොහෝ විට අලසකමක් දැනෙනවා නම් හෝ නින්ද නොයනවා නම්

▪ මූලිකත්වය දරන අයට කීකරු නොවෙනවා නම් හෝ කලහාකාරී නම් *

[පාදසටහන]

^ 21 ඡේ. තොරතුරු ලබාගත්තේ Teen Help වෙබ් අඩවියෙන්.