Skip to content

පටුනට යන්න

ධනවත් වීමට දෙවි ඔබට ආශීර්වාද කරනවාද?

ධනවත් වීමට දෙවි ඔබට ආශීර්වාද කරනවාද?

බයිබලයෙන් පිළිතුරක්

ධනවත් වීමට දෙවි ඔබට ආශීර්වාද කරනවාද?

“දෙවි මට තවත් දවසක් දීලා තියෙන්නේ දියුණු වෙන්නයි.”

“මම පොහොසත් වෙන්න ආස ඒක දෙවිගේ කැමැත්ත නිසයි.”

“පොහොසත් වෙන්න දෙවි ආශීර්වාද කරනවා.”

“මම මේ තරම් දියුණු වෙන්නේ බයිබලයේ තියෙන උපදෙස් නිසයි.”

පුද්ගලයන් එවැනි අදහස් පවසනවා ඔබත් අසා ඇති. ඉන් පැහැදිලි වන්නේ සමහර ආගමික කණ්ඩායම් දෙවි පොහොසත් වීමට ආශීර්වාද කරන බව තරයේ විශ්වාස කරන බවයි. එම ආගමික කණ්ඩායම්වල උගන්වන්නේ ඔබ දෙවිගේ කැමැත්ත කරනවා නම් ඔහු ඔබට මේ ජීවිතයේදීත් මතු ජීවිතයේදීත් ධන සම්පත්වලින් පිරි ජීවිතයක් ලබා දෙනවා කියායි. එවැනි ඉගැන්වීම්වලට බොහෝදෙනෙක් වැඩි ඇල්මක් දක්වනවා. එවැනි ආගමික විශ්වාසයන් ඇතුළත් පොත් පත්වලට වැඩි ඉල්ලුමක් තිබෙනවා. නමුත් එම ඉගැන්වීම් බයිබලයට එකඟද?

අපේ නිර්මාතෘ වන යෙහෝවා දෙවිව බයිබලයේ හඳුන්වන්නේ ‘සන්තෝෂවත් දෙවි’ ලෙසයි. ඔහු කැමති අපි ප්‍රීතිමත් සාර්ථක ජීවිතයක් ගත කරනවා දකින්නයි. (1 තිමෝති 1:11; ගීතාවලිය 1:1-3) ඒ වගේම ඔහුට කීකරු වන අයට ඔහු ආශීර්වාද කරන බවත් පවසා තිබෙනවා. (හිතෝපදේශ 10:22) නමුත් අද දින දෙවි ආශීර්වාද කරන්නේ ධන සම්පත් ලැබීමට පමණක්මද? මෙයට පිළිතුරු දැනගැනීමට අප ජීවත් වන කාලය පිළිබඳ මනා අවබෝධයක් ලබාගැනීම වැදගත්.

ධනවත් වීමට කාලය මෙයද?

අතීතයේදී යෙහෝවා දෙවි ඔහුගේ සමහර සේවකයන්ට ධනවත් වීමට ආශීර්වාද කළා. යෝබ් සහ සලමොන් රජ මෙයට කදිම උදාහරණයි. (1 රාජාවලිය 10:23; යෝබ් 42:12) ඒ වුණත් දෙවිට කීකරුව සිටි යොහාන් බව්තීස්ත හා යේසුස් ඇතුළුව තවත් බොහෝ අය එතරම් ධනවත් අය නොවෙයි. (මාක් 1:6; ලූක් 9:58) මෙයින් පැහැදිළි වන්නේ දෙවි තම අරමුණට එකඟව ඔහුගේ සේවකයන් සමඟ කටයුතු කරන බවයි. (දේශනාකාරයා 3:1) එම ප්‍රතිපත්තිය අපට අදාළ වන්නේ කෙසේද?

බයිබලයේ සඳහන් අනාවැකිවලට අනුව අප ජීවත් වන්නේ මේ ‘සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදයේ’ හෙවත් ‘අන්තිම දවස්වලයි.’ වර්ෂ 1914 සිට යුද්ධ, වසංගත, සාගත, භූමිකම්පා සහ සමාජයේ පිරිහීම වැනි දෑ මින් පෙර කවරදාකටවත් වඩා වැඩියෙන් අද්දකිනවා. (මතෙව් 24:3; 2 තිමෝති 3:1-5; ලූක් 21:10, 11; එළිදරව් 6:3-8) අප ජීවත් වන ලෝකය ගිලෙන්න යන නැවක් හා සමානයි. අද සමාජයේ එවැනි දරුණු තත්වයක් තිබෙන විට දෙවි තම සේවකයන්ට ධනවත් වීමට ආශීර්වාද කිරීමෙන් පලක් තිබේද? එසේත් නැත්නම් දෙවිට ඊට වඩා වැදගත් අරමුණක් තම සේවකයන් උදෙසා තිබෙනවාද?

යේසුස් ක්‍රිස්තුස් අපගේ කාලය නෝවාගේ කාලය සමඟ සන්සන්දනය කළා. “නෝවාගේ දවස්වල සිදු වූ ලෙසම මනුෂ්‍ය පුත්‍රයාගේ පැමිණ සිටීමද වන්නේය. මන්ද ජලගැල්මට පෙර ඒ දවස්වලදී නෝවා නැවට ඇතුල් වූ දවස දක්වා, ඔවුහු කමින් බොමින් විවාහ වෙමින් සහ විවාහ කර දෙමින් සිටියහ. ජලගැල්ම ඇවිත් ඔවුන් සියල්ලන්වම ගසාගෙන යන තුරු ඔවුහු ඒ ගැන කිසි තැකීමක් නොකර සිටියහ. එලෙසම මනුෂ්‍ය පුත්‍රයාගේ පැමිණ සිටීමද වන්නේය.” (මතෙව් 24:37-39) එමෙන්ම යේසුස් මේ කාලය ලොත්ගේ කාලයටත් සමාන කළා. ලොත්ගේ කාලයේදී සොදොම් සහ ගොමෝරාවේ සිටි ජනයා ‘කමින් බොමින්, මිල දී ගනිමින්, විකුණමින්, වවමින් හා ගොඩනඟමින්’ තම එදිනෙදා ජීවිතයේ කාර්යයන්වල පමණක් ඇලී ගැලී සිටියා. “ලොත් සොදොමින් පිටතට ආ දවසේදී අහසෙන් ගිනිද ගෙන්දගම්ද වැස ඔවුන් සියල්ලන්ව විනාශ කළේය. මනුෂ්‍ය පුත්‍රයා ප්‍රකාශ වීමට නියමිත ඒ දවසේදීද ඒ ආකාරයෙන්ම සිදු වන්නේය.”—ලූක් 17:28-30.

කෑම බීම ගැනීමේවත් විවාහ වීමේවත් මිල දී ගැනීමේවත් විකිණීමේවත් කිසිම වරදක් නැහැ. නමුත් අපට ඉතිරි වී ඇත්තේ කෙටි කාලයක් බව අමතක වන තරමටම ඒවායේ ඇලී ගැලී සිටිනවා නම් එය අපට අනතුරු දායකයි. එමනිසා මේ ප්‍රශ්නය ගැන සිතා බලන්න. වත්පොහොසත්කම් වැඩි වන විට අපගේ අවධානය වෙනතකට යොමු වන නිසා එවැනි දේ ලබාගැනීමට දෙවි අපට ආශීර්වාද කරනවා නම් ඔහු අප ගැන සැලකිලිමත් වන දෙවි කෙනෙක් බව කිව හැකිද? * ඇත්තෙන්ම නැහැ. එයින් ඔහු අපට කරන්නේ විශාල හානියක්. ප්‍රේමයේ උල්පත වන දෙවි කටයුතු කරන්නේ ඒ ආකාරයට නොවෙයි.—1 තිමෝති 6:17; 1 යොහන් 4:8.

මේ කාලය ජීවිත ගැලවීමේ කාලයක්

මිනිස් ඉතිහාසයේ මින් පෙර කවරදාකටවත් වඩා අද අප ජීවත් වන්නේ ඉතා අසීරු කාලයකයි. එම නිසා දෙවිගේ සේවකයන්ට හදිසිතාවේ හැඟීමෙන් කළ යුතු වැඩක් තිබෙනවා. යේසුස් ඒ ගැන මෙසේ පැවසුවා. “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස මුළු ජනාවාස පොළොව පුරාම දේශනා කරනු ලබන්නේය. එවිට අවසානය පැමිණෙන්නේය.” (මතෙව් 24:14) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යේසුස් අණ කළ දේ ඉතා බැරැරුම් ලෙස සලකනවා. ඒ නිසා ඔවුන් තම අසල්වැසියන්ට උනන්දු කරන්නේ දේවරාජ්‍ය ගැනත් සදාකාල ජීවනය අත් කරගැනීමට දෙවි අපෙන් බලාපොරොත්තු වන දේ ගැනත් ඉගෙනගන්න කියායි.—යොහන් 17:3.

කෙසේනමුත් දෙවි ඔහුගේ සේවකයන්ගෙන් තාපස ජීවිතයක් ගත කිරීම බලාපොරොත්තු වන්නේ නැහැ. නමුත් දෙවිගේ කැමැත්ත වන්නේ ඔවුන් දෙවිට සේවය කරමින් ඔවුන්ගේ ජීවිතයේ මූලික අවශ්‍යතා සපයාගනිමින් තෘප්තිමත් ජීවිතයක් ගත කරනවා දැකීමයි. (මතෙව් 6:33) ඔවුන් දේවරාජ්‍යයේ කටයුතු මුල් තැනට තබා ක්‍රියා කරන විට දෙවි ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලන බවට පොරොන්දු වී තිබෙනවා. හෙබ්‍රෙව් 13:5 පවසන්නේ “මුදලට ප්‍රේම නොකරමින් ජීවත් වන්න. ඔබට ඇති දෙයින් සතුටු වන්න. මන්ද, “මම කිසිසේත් ඔබෙන් අහක්ව නොයමි. කිසිසේත් ඔබව අත් නොහරිමි” කියායි.

දෙවි එම වදන් අනාගතයේදී අද්විතීය ආකාරයකින් ඉෂ්ට කරයි. එය ඉටු වන්නේ දෙවිගේ සැබෑ නමස්කාරකයන් වන ‘මහත් සමූහය’ මේ පිළිවෙළ අවසන් වී සාමය හා සෞභාග්‍යය පිරි පාරාදිස පොළොවක ජීවත් වන කාලයේදියි. (එළිදරව් 7:9, 14) යේසුස් මේ සම්බන්ධයෙන් පැවසුවේ මෙසේයි. “මා ඇවිත් සිටින්නේ ඔවුන්ට [ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ට] ජීවනය ලැබෙන පිණිසත්, එය අධික ලෙස ලැබෙන පිණිසත්ය.” (යොහන් 10:10) මෙහිදි ‘ජීවනය අධික ලෙස’ ලබා දෙනවා කීමෙන් අදහස් කළේ ආර්ථික සමෘද්ධිය නොව නමුත් දේවරාජ්‍යය පාලනය යටතේ පාරාදීස පොළොවක සදාකාලිකව භුක්ති විඳින ජීවිතය පිළිබඳවයි.—ලූක් 23:43.

වර්තමානයේදී ධනවත් වීමට දෙවි ආශීර්වාද කරනවා යන වැරදි ඉගැන්වීම්වලින් මුළා නොවන්න. එහෙත් යේසුස් ප්‍රේමණීයව දුන් මෙම ඔවදන සිතට ගන්න. “අධික කෑමෙනුත් බීමෙනුත් ජීවිතයේ කරදරවලිනුත් ඔබේ සිත් කිසි කලෙක බර නොවන පිණිස ඔබ ගැන හොඳ අවධානයකින් සිටින්න. නැතහොත් ඔබ නොදැනුවත්වම ඒ දවස ඔබ පිටට ක්ෂණිකව, උගුලක් මෙන් පැමිණෙන්නේය.”—ලූක් 21:34, 35.

[පාදසටහන]

^ 13 ඡේ. පළමුවන ශත වර්ෂයේදී මෙන් සමහර විශ්වාසවන්ත සේවකයන් ධනවත් බව ඇත්තයි. ඔවුන්ගේ ධනය කෙරෙහි විශ්වාසය නොතබන්න කියාත් ඔවුන්ගේ අවධානය වෙනතකට යොමු වීමට ඉඩ නොදෙන්න කියාත් දෙවි ඔවුන්ට අනතුරු ඇඟෙව්වා. (හිතෝපදේශ 11:28; මාක් 10:25; එළිදරව් 3:17) අප ධනවත් වූවත් දුප්පත් වූවත් අපගේ ජීවිතයේ ප්‍රධාන කාර්යය විය යුත්තේ දෙවිගේ කැමැත්ත කිරීමයි.—ලූක් 12:31.

මේ ගැන ඔබ සිතුවාද?

▪ දැන් ඉටු කළ යුතු වැදගත් කාර්යය කුමක්ද?—මතෙව් 24:14.

▪ යේසුස් අපගේ කාලය සමාන කළේ කවුරුන් ජීවත් වූ කාලවලටද?—මතෙව් 24:37-39; ලූක් 17:28-30.

▪ සදාකාල ජීවනය ලබාගැනීමට නම් අප කුමකින් වැළකී සිටිය යුතුද?—ලූක් 21:34.

[13වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ධනවත් වීමට දෙවි ආශීර්වාද කරනවා යන ඉගැන්වීමෙන් මුළා නොවන්න