Skip to content

පටුනට යන්න

පීඩනයට ලක් වූ දරුවෝ

පීඩනයට ලක් වූ දරුවෝ

පීඩනයට ලක් වූ දරුවෝ

▪ ස්පාඤ්ඤයේ ජීවත් වන පැබ්ලෝ අට හැවිරිදි පාසැල් ශිෂ්‍යයෙක්. ගෙදර වැඩ කළේ නැත්තේ ඇයි කියා ගුරුවරිය ඔහුගෙන් ඇසූ විට ඔහු පැවසුවේ “මට වෙලාව තිබුණේ නැහැ. මට හරි මහන්සියි” කියායි. අවශ්‍ය තරම් නින්ද නොලැබීම නිසා ඔහුගේ මුහුණ මලානික වී තිබුණා. එම දරුවා මෙන් අද බොහෝ දරුවන් පැය 12කට වඩා වැඩි කාලයක් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවල නිරත වෙනවා. ඇයි මෙතරම් කාලයක් වැය කරන්නේ?

සමහර දෙමාපියන් ඔවුන් රැකියාව නිම වී ගෙදර එන තුරු ඔවුන්ගේ දරුවන්ව අමතර පන්තිවල හා වෙනත් ක්‍රියාකාරකම්වල යොදවනවා. තවත් සමහරුන් තමන්ගේ දරුවන් පාසැලේ දක්ෂතම දරුවන් කිරීම සඳහා ඔවුන්ට දරාගත නොහැකි විවිධ ක්‍රියාකාරකම්වලට දරුවන්ව යොමු කරනවා. උදාහරණයකට දකුණු කොරියාවේ දෙමාපියන් තමන්ගේ යෞවන දරුවන්ව විශේෂ පාසැලකට යවනවා. මෙම පාසැලේදී සමහර විට සතියේ දවස් හතේම උදේ 7.30 සිට මධ්‍යයම රාත්‍රිය වන තුරු අධ්‍යාපන කටයුතුවල යෙදෙන්න සිදු වෙනවා. “තමන්ගේ දරුවන්ව හොඳම විශ්වවිද්‍යාලයට ඇතුල් කිරීමට දෙමාපියන් ඕනෑම දෙයක් කරනවා” කියා වාර්තා වෙනවා.—New York Times.

ස්පාඤ්ඤයේ සතිපතා නිකුත් වන සඟරාවක (Mujer hoy) සඳහන් වූයේ මෙසේයි. “දරුවන්ට සමාජයේ හොඳ තැනකට එන්න කියා සමහර දෙමාපියන් දරුවන්ට බල කරනවා.” එමනිසා දරුවන්ද තමන්ගේ දෙමාපියන්ව සතුටු කිරීමට තමන්ට කළ හැකි ප්‍රමාණයට වඩා වෙහෙස මහන්සි වී වැඩ කරනවා. මෙය දරුවන්ට විශාල පීඩනයක් විය හැකියි. “දරුවන් තමන්ට උසුලන්න බැරි බරක් උසුලන බව අපිසොයාගෙන තිබෙනවා” කියා කනස්සල්ල හා පීඩනය ගැන අධ්‍යයනයක යෙදෙන ස්පාඤ්ඤ සංගමයක සභාපති වන ඇන්ටෝනියෝ කානේ පැවසුවා. එවැනි තවත් අධ්‍යයනයක යෙදුණු කෙනෙක් පැවසුවේ ස්පාඤ්ඤයේ වයස අවුරුදු 15ට අඩු දරුවන්ගෙන් සියයට 40ක්ම දැඩි පීඩනයකින් පෙළෙන බවයි. එවැනි අනවශ්‍ය පීඩනයක් සිය දිවි නසාගැනීමට මඟ පෑදිය හැකියි. උදාහරණයකට දකුණු කොරියාවේ “වයස අවුරුදු 10ත් 19ත් අතර දරුවන්ගේ දිවි නසාගැනීමේ සංඛ්‍යාව දෙවෙනි වන්නේ මාර්ග අනතුරුවලින් මිය යන සංඛ්‍යාවට පමණයි” කියා එක් පුවත්පතක වාර්තා වෙනවා.—The New York Times.

ඇත්තයි, දෙමාපියන් තමන්ට හැකි උපරිමයෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට උපකාර කළ යුතු අතර දරුවන්ද වෙහෙස මහන්සි වී අධ්‍යාපන කටයුතුවල නිරතවිය යුතුයි. මන්ද ඒ සුන්දර පාසැල් විය නැවත කිසිදාක පැමිණෙන්නේ නැහැ. ඒත් “දරුවන් වැඩිහිටියන් නොවන බවත් ඔවුන්ට දවසේ දීර්ඝ වේලාවක් වෙහෙසෙන්න අමාරු බවත්” අමතක නොකළ යුතුයි කියා අයිරීන් අරිමඩාස් නම් ගුරුවරිය පවසනවා. ප්‍රේමණීය දෙමාපියන් තම දරුවන්ට අවශ්‍ය විවේකය හා පවුලක් ලෙස එකට විනෝද වීමට කාලය ලබා දෙනවා. ජීවිතයේ සමබරතාව රැකගැනීම සම්බන්ධයෙන් සලමොන් රජ පැවසුවේ “වෙහෙස මහන්සි වී බොහෝ වේලාවක් වැඩ කරමින් සුළඟ පසුපස හඹා යනවාට වඩා සුළු විවේකයක් ගැනීම හොඳය” කියායි. *දේශනාකාරයා 4:6, නව ලොව පරිවර්තනය.

[පාදසටහන]

^ 5 ඡේ. බොහෝ දරුවන් අද්දකින පීඩනය සම්බන්ධයෙන් වැඩි විස්තර දැනගැනීම සඳහා 2009 අප්‍රියෙල් පිබිදෙව්! කලාපයේ “පාසැල් වියේ සුන්දරත්වය වියැකී යාවිදෝ . . . “යන ලිපි මාලාව බලන්න.