Skip to content

පටුනට යන්න

යුධ බිමෙන් ජීවිතය සොයා ගිය ගමනක්

යුධ බිමෙන් ජීවිතය සොයා ගිය ගමනක්

යුධ බිමෙන් ජීවිතය සොයා ගිය ගමනක්

පැවසුවේ සෑම් ටැන්

කාම්බෝජියානු ජාතිකයින් 2,000ක් පමණ තම ගම රට අතහැර කාම්බෝජියාවේ දේශ සීමාවේ පිහිටි ගඟෙන් එගොඩ වී තායිලන්තයට පලා යන ගමනට අපිත් එක් වුණා. අපේ පවුලේ අයටත් එහි තිබුණු කුඩා බෝට්ටුවකට නැඟගන්න පුළුවන් වුණා. කාම්බෝජියාවේ ගං ඉවුරෙන් අන්තිම බෝට්ටුව පිටත් වෙනවාත් සමඟම පොල් පොට්ගේ සංවිධානයට අයත් සොල්දාදුවන් වෙඩි තියන්න පටන්ගත්තා.

අපේ කණ්ඩායමේ කිසි කෙනෙකුට කිසිම කරදරයක් නොවී තායිලන්තයට ආරක්ෂිතව එන්න පුළුවන් වුණා. හැමෝම සතුටින් සිටියත් අපේ පවුලේ අය හිටියේ සතුටින් නෙවෙයි. ඒකට හේතුව අපේ තාත්තාවයි මාමාවයි මීට මාස කිහිපයකට පෙර පැහැරගෙන ගොස් තිබීමයි. අම්මට මේක දරාගන්න බැරි දුකක් වුණා. ඇය ඒ ගැන හඬා වැලපුණා. මම මේ කතාවේ ඉතුරු ටික කියන්න කලින් මගේ පවුලේ විස්තර ටිකක් කියන්නම්.

බුදු දහම අදහන කාලේ

මම ඉපදුනේ 1960 කාම්බෝජියාවේදියි. මට මල්ලි කෙනෙකුයි නංගී කෙනෙකුයි ඉන්නවා. මට යාන්තම් වයස අවුරුදු නවය වෙන කොට මගේ දෙමාපියන් වගේම මමත් කැමති වුණා පන්සලේ සේවය කරන්න. ඒක අපේ රටේ පිරිමි ළමයි සාමාන්‍යයෙන් කළ දෙයක්. පන්සලේ ජීවිතය හරිම වෙනස්. බෞද්ධ භික්ෂු කෙනෙක් තමන්ගේ දවස ආරම්භ කරන්නේ උදේ හයට විතර. ඔහු ගෙයින් ගෙට පිඬු සිඟා යනවා. මට සමහර ගෙවල්වලින් කෑම ගන්න එක අමාරු දෙයක් වුණේ ඒ අයත් දවස ගැට ගහගන්නේ අමාරුවෙන් කියලා මට තේරුණු නිසයි. එකතු කරගෙන එන කෑම අපි එකතු වෙලා පිළියෙල කරනවා. අපි කෑම කෑවේ ලොකු හාමුදුරුවරුන් කෑම කාලා ඉවර වුණාට පස්සෙයි.

සවස හය වෙන කොට හාමුදුරුවරුන් නමස්කාරය පටන්ගන්නවා. ඔවුන් නමස්කාරය සඳහා භාවිත කරන භාෂාව තේරුම්ගන්න හැකි වුණේ අතළොස්සකට පමණයි. අවුරුදු දෙකකට පසු මම පැවිදි ජීවිතයට පා තැබුවා. මේ නිසා හාමුදුරුවරුන් භුක්ති විඳින සමහර වරප්‍රසාද මටත් ලැබුණා. මට ඔවුන් සමඟ නමස්කාරයේ හවුල් වීමටද අවස්ථාව උදා වුණා. මම ඒ වන කොට හිතාගෙන හිටියේ ලෝකයේ එකම ආගම බුද්ධාගම විතරක් කියලයි.

කාම්බෝජියාවෙන් පලා යෑම

මට පන්සලේ ජීවිතය එපා වුණු නිසා මම අවුරුදු 14දී ගෙදර ගියා. ඉන් ටික කලකට පසු පොල් පොට් නම් දේශපාලඥයෙක් බලයට පත්වුණා. ඔහුගේ සංවිධානය 1975 සිට 1979 දක්වා පාලනය කළා. කාම්බෝජියාවේ කොමියුනිස්ට් පාලනය දියත් කිරීම සඳහා නගරවල ජීවත් වූ සියලුදෙනාව ගම්වලට බලෙන් පිට මං කළා. අපිටත් පදිංචිය වෙනස් කරන්න සිදු වුණා. මගේ තාත්තවයි මාමාවයි පැහැර ගෙන ගියේ මේ කාලයේදියි. අපිට ඒ දෙන්නාව නැවත කවදාවත් දැකගන්න ලැබුණේ නැහැ. එම දරුණු පාලන සමයේදී මිලියන 1.7කට ආසන්න සංඛ්‍යාවක් මිය ගියා. එසේ මිය ගියේ ඝාතනය කිරීම නිසා, අධික බර වැඩ පැවරීම නිසා හෝ වසංගත නිසයි. එසේත් නැත්නම් ප්‍රමාණවත් ආහාරයක් නොමැතිකම නිසයි.

මම මේ කතාව ආරම්භයේදීම පැවසූ ආකාරයට අපි කාම්බෝජියානු ජාතිකයින් 2,000ක් පමණ පිට වුණේ මේ හේතුව නිසයි. අපි දවස් තුනක් කඳුකරය හරහා ඉතා අවදානම් සහිත ගමනක යෙදුණා. අපිට කිසිම කරදරයකින් තොරව තායිලන්තයට එන්න පුළුවන් වුණා. මේ ගමන අතරතුරේදී අපි අතර සිටි කාන්තාවකට පිරිමි දරුවෙක් ලැබුණා. අපි බොහෝදෙනෙක් මුදල් රැගෙන ගියත් ඒ කාලයේදී තායිලන්තයේ අපේ මුදල්වලට අගයක් නොතිබුණු නිසා අපිට ඒවායින් වැඩක් වූණේ නැහැ.

තායිලන්තයේ ජීවිතය

අපි නැදෑයන් එක්ක තායිලන්තයේ ජීවත් වෙන්න ගියා. මට ධීවර රැකියාවක් ලැබුණා. වැඩියෙන්ම මාළු අහු වුණේ කාම්බෝජයට අයත් ප්‍රදේශයේයි. නමුත් ඒ ජලාශය පොල් පොට්ගේ භටයින් ආරක්ෂා කරන නිසා එහි යෑම ඉතා අවදානම්. ඒ අයට අහු වුණා නම් අපේ ධීවර බෝට්ටු විතරක් නෙවෙයි අපේ ජීවිතත් අනතුරේ. අපි දෙවතාවක් බේරුණේ අනූ නවයෙන්. අපේ අසල්වැසියෙක් ඒ ජලාශයේ මාළු අල්ලන්න ගිහින් ඔහුගේ ජීවිතය නැති වුණා. මට ඔහුගේ මරණය මහත් කම්පනයක් වූවත් මම ඒ ජලාශය ආශ්‍රිත ප්‍රදේශයට මාළු අල්ලන්න ගියේ නැත්නම් මගේ පවුලේ අයට බඩගින්නේ මැරෙන්නයි වෙන්නේ.

මට සරණාගතයෙක් ලෙස වෙනත් රටකට යන්න පුළුවන් නම් එහේ රැකියාවක් කරලා පවුලේ අයට මුදල් එවන්න පුළුවන් වෙයි කියලා හිතුවා. මම මගේයි මගේ පවුලේ අයගේයි ශුභසිද්ධිය තකා තායිලන්තයේ අනාථ කඳවුරක නතර වීමට අදහස් කළා. මගේ මේ තීරණය ගැන මගේ නැදෑයින්ට කිව්වම ඒ අය තදින්ම විරුද්ධ වුණා. ඒත් මම මගේ තීරණය වෙනස් කළේ නැහැ.

අපේ අනාථ කඳවුර බැහැදකින්න පැමිණි ඉංග්‍රීසි භාෂාව කතා කරන අය ඔවුන්ව හඳුන්වා දුන්නේ ක්‍රිස්තියානීන් කියායි. මට ඒක අදහාගන්න බැරි වුණා. මොකද මම හිතාගෙන හිටියේ ලෝකයේ එකම ආගම බෞද්ධ ආගම කියලයි. කඳවුරේදී මට මුණ ගැසුණු යාළුවත් මමත් ක්‍රිස්තියානීන් එක්ක ළඟින් ඇසුරු කරන්න පටන්ගත්තා. ඔවුන් අපිට බයිබලය කියා දුන්නා. මම කඳවුරේ අවුරුද්දක් විතර ඉඳලා නවසීලන්තයට යන්න ඉල්ලුම් කළා.

නවසීලන්තයේ අලුත් ජීවිතයක්

මාව 1979 මැයි මාසයේ ඕක්ලන්ඩ්වල සරණාගත කඳවුරකට යවනු ලැබුවා. මම එහේ ඉන්නකොට කරුණාවන්ත මහත්මයෙක් මට වෙලිංටන්වල කර්මාන්ත ශාලාවක රැකියාවක් කිරීම සඳහා අවස්ථාව උදා කර දුන්නා. මම එහේ මහන්සි වෙලා වැඩ කරලා පොරොන්දු වූ ආකාරයට ගෙදරට මුදල් යැව්වා.

මම ක්‍රිස්තියානී ආගම ඉගෙනගැනීමට රෙපරමාදු පල්ලි දෙකකට ගියා. ඒවායේ බයිබලය ගැන කතා කළේ ටිකයි. මට හරි විදිහට දෙවිට යාච්ඤා කරන්න ඕන වුණ නිසා මම යාළුවෙකුගේ උදව් ඇතිව පරමණ්ඩලය යාච්ඤාව (ස්වාමීන්ගේ යාච්ඤාව) ඉගෙනගත්තා. (මතෙව් 6:9-13) ඒත් ඒ යාච්ඤාවේ නියම තේරුම කිසි කෙනෙකුට පහදා දෙන්න බැරි වුණා. ඒ නිසා මම බෞද්ධ ගාථා කියනවා වාගේ ඒ යාච්ඤාව කියාගෙන කියාගෙන ගියා.

අසාර්ථක පවුල් ජීවිතයක්

මම 1981දී විවාහ වුණා. ඊට අවුරුද්දකට විතර පස්සේ අපි දෙන්නාම අපි ඇදහු ආගමට අනුව බව්තීස්ම වුණා. මට මේ වන කොට රැකියා දෙකක් තිබුණා, හොඳ ගෙයක් තිබුණා, ඒ නිසා කාම්බෝජයේ හිටියාට වඩා සැප පහසු ජීවිතයක් ගත කරන්න හැකි වුණා. ඒත් මගේ හිතේ සතුටක් තිබුණේ නැහැ. අපේ විවාහ ජීවිතයේ බොහෝ ප්‍රශ්න ගැටලු ඇති වුණා. අපි කොච්චර පල්ලි ගියත් එයින් අපට පලක් වුණේ නැහැ. මම ජීවිතය ගත කළ විදිහෙත් කිසිම වෙනසක් සිදු වුණේ නැහැ. මම සූදුවේ නියැලුණා, දුම් පානය කළා, මත්පැන්වලට ඇබ්බැහි වී සිටියා. ඒ විතරක් නෙවෙයි අනාචාරයෙත් යෙදුණා. මම කරන දේවල් ගැන මගේ හිත වධ දුන්නා. හොඳ මිනිස්සු මැරුණම ස්වර්ගයට යනවා කියලා මම අහලා තිබුණු නිසා මම හිතුවේ මට නම් එහෙම තැනකට යන්න ලැබෙන්නේ නැහැ කියලයි.

මම 1987දී මගේ අම්මවයි නංගීවයි නවසීලන්තයට ගෙන්වාගත්තා. ඔවුන් අපි එක්ක ටික කාලයක් ජීවත් වුණා. ඊට පස්සේ අම්මයි නංගීයි ඕක්ලන්ඩ්වල පදිංචියට යන කොට මමත් ගියා.

මට සත්‍යය ලැබුණා

මම යාළුවෙකුගේ ගෙදරින් එනකොට මම දැක්කා දෙන්නෙක් ගෙයින් ගෙට යනවා. එක්කෙනෙක්ගේ නම බිල්. ඔහු මගෙන් ඇහුවා “මරණයෙන් පස්සේ කොහේ යනවා කියලද ඔබ විශ්වාස කරන්නේ?” “ස්වර්ගයට” කියලා මම උත්තර දුන්නා. ඊට පස්සේ ඔහු මට ස්වර්ගයට යන්නේ 1,44,000දෙනෙක් විතරයි කියලා බයිබලයෙන් පෙන්නුවා. ඔවුන් මේ පොළොව පාලනය කරනවා කියාත් අනාගතයේදී මේ පොළොව පාරාදීසයක් වෙනවා කියාත් දෙවිට කීකරු මිලියන ගණන් මනුෂ්‍යන්ට මේ පොළොවේ සාමයෙන් හා සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් කියලත් ඔහු කිව්වා. (එළිදරව් 5:9, 10; 14:1, 4; 21:3, 4) මම ඉගෙනගෙන තිබුණු දේට වඩා මේක හාත්පසින්ම වෙනස් නිසා මට මුලින් නම් මේ ගැන තරහක් ඇති වුණා. නමුත් ඒ අයට තිබුණු බයිබල් දැනුම මෙන්ම ඒ අය සන්සුන්ව කතා කළ ආකාරය මගේ සිත්ගත්තා. මට ඒ අය මොන ආගමටද අයිති කියලා අහන්න බැරි වුණු එක ගැන මම දුක් වෙනවා.

ඒ අයව හමුවෙලා සති කිහිපයකට පස්සේ මම මගේ යාළුවෙක්ගේ ගෙදර ගිය වේලාවේ ඔහුගේ දරුවන් දෙන්නා ඩික් හා ස්ටේෆනි කියලා යුවළක් එක්ක බයිබල් පාඩමක් කරනවා දැක්කා. ඔවුන් පාඩම් කරමින් හිටියේ පොළොව මත ජීවිතය සදහටම භුක්ති විඳින්න! යන පොත් පිංචයයි. මටත් ඒ පොත් පිංචය කියවන්න ලැබුණා. ඒකේ තියෙන කරුණු හරිම තර්කානුකූලයි. ඒ යුවළ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියලා මට දැනගන්න ලැබුණා. ඒ පොත් පිංචයේ තියෙන කරුණු මට කලින් මුණ ගැසුණු දෙන්නා කිවූ කරුණුවලට සමාන නිසා ඒ අයත් සාක්ෂිකරුවන් බව මම තේරුම්ගත්තා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීමට තිබුණු ආශාව නිසා මම ඩික් හා ස්ටේෆනිට අපේ ගෙදරට එන්න කියලා ආරාධනා කළා. මම ඒ අයගෙන් ප්‍රශ්න වැලක් ඇහුවා. ස්ටේෆනි මගෙන් ඇහුවා දෙවිගේ නම දන්නවාද කියලා. මම දැනගෙන හිටියේ නැති නිසා ඇය බයිබලයෙන් මට පෙන්නුවා. එහි මෙසේ සඳහන් වෙනවා. “යෙහෝවා නම් වූ ඔබ පමණක් මුළු පොළොවටම මහෝත්තම දෙවි බව සියල්ලන්ට දැනගැනීමට සලස්වන්න.” (ගීතාවලිය 83:18; නව ලොව පරිවර්තනය, NW.) ඒ බයිබල් පදය මගේ සිත් ගත් නිසා මම දිගටම බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. මම ඒ වන කොට ලාඕස් ජාතික කාන්තාවක් වන ලා සමඟ එකට ජීවත් වෙමිනුයි සිටියේ. ඇයත් මා සමඟ බයිබලය පාඩම් කිරීමට එකඟ වුණා. මේ කාලය ඇතුළතදී මම මගේ මල්ලීවයි ඔහුගේ භාර්යාවවයි නවසීලන්තයට ගෙන්වාගත්තා. ඔවුන් දෙදෙනාත් සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා.

මමයි ලායි රැකියාවක් සඳහා ඕස්ට්‍රේලියාවට යන්න තීරණය කළ නිසා අපිට බයිබල් පාඩම නතර කරන්න සිදු වුණා. අපි දෙන්නා මුදල් හම්බ කිරීමට වැඩි අවධානයක් දුන්නත් අපිට එහිදි බයිබල් පාඩම නැති අඩුව දැනුණා. ඒ නිසා දවසක් රෑ යෙහෝවා දෙවිට කන්නලව් කරලා කිව්වා ඔහුගේ සෙනඟ ඉන්න තැනකට අපිව මඟ පෙන්වන්න කියලා.

අපේ යාච්ඤාවලට පිළිතුරු

එහෙම යාච්ඤා කරලා දවස් කිහිපයකට පස්සේ දවසක් මම කඩේට ගිහිල්ලා එනකොට සාක්ෂිකරුවන් දෙන්නෙක් අපේ ගෙදරට ඇවිත් හිටියා. ඒ අවස්ථාවේදී මම නිහඬව දෙවිට කෙටි යාච්ඤාවක් කළා. ලායි මමයි නැවතත් පාඩම් කරන්න පටන්ගත්තා. ඒ වගේම සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාවල පවත්වන රැස්වීම්වලටත් ගියා. දෙවිව ප්‍රසන්න කිරීමට නම් මට මගේ ජීවිතයේ බොහෝ දේවල් වෙනස් කරගන්න අවශ්‍යයි කියලා මට වැටහුණා. මම මගේ නරක පුරුදු අතහැරියා. මගේ දිගට වැවිලා තිබුණු කොණ්ඩේ කැපුවා. මගේ යාළුවෝ මට විහිළු කළත් මම ඒ හැම දෙයක්ම දරාගත්තා. මට තවත් ප්‍රශ්නයක් තිබුණා. මගේ භාර්යාවගෙන් නීතියෙන් වෙන් වෙලා හිටියේවත් මමයි ලායි නීතියෙන් විවාහ වී සිටියේවත් නැහැ. ඒ නිසා ලායි මමයි 1990දී නවසීලන්තයට ගියා.

අපි එහි ගිය විගස ඩික් හා ස්ටේෆනිට දුරකථනයෙන් කතා කළා. එවිට ස්ටේෆනි “සෑම්, මම නම් හිතුවේ ඔයාව ආයේ මුණ ගැහෙන එකක් නැහැ කියලයි.” අපි නැවතත් ඔවුන් සමඟ බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. මට නීතියෙන් දික්කසාද වෙන්න ලැබුණු විගස ලායි මමයි දෙවි ඉදිරියේ පිරිසිදු හෘදය සාක්ෂියක් ඇතුව විවාහ වුණා. ඉන්පසු දෙවිට වූ අපේ කැපවීම වතුර බව්තීස්මයෙන් සංකේතවත් කළ අතර අපි නවසීලන්තයේ පදිංචි වීමට තීරණය කළා. මම දෙවි ගැන දැනගෙන තිබෙන දේවල් අන් අයට කියන්න මට ලොකු ආශාවක් තිබුණා. මට ඕක්ලන්ඩ් හා ඒ අවට ප්‍රදේශවල ජීවත් වන කාම්බෝජියානු ජාතිකයින් හා තායි ජාතිකයින් කිහිපදෙනෙකුට බයිබලයේ සඳහන් සත්‍යය කියා දීමට හැකි වුණා.

නැවතත් ඕස්ට්‍රේලියාවට

වර්ෂ 1996 මැයි මාසයේදී දකුණු ක්වීන්ස්ලන්තයේ නගරයක අපි පදිංචි වුණා. මට මෙහේ කාම්බෝජියානු, තායිලන්ත හා ලාඕස් ජාතිකයින් සිටින ප්‍රදේශවල දේශනා සේවය සංවිධානය කිරීමේ ප්‍රස්ථාව ලැබී තිබෙනවා.

යෙහෝවා දෙවි මට කර තිබෙන ආශිර්වාද ගණන් කරන්න බැරි තරම්. ඒ ආශිර්වාදවලට මගේ භාර්යාව හා පුතුන් තිදෙනා වන ඩැනියෙල්, මයිකල් හා බෙන්ජමින්ද ඇතුළත්. ඒ වගේම මගේ අම්මා, නංගී, මල්ලී, මගේ නැන්දම්මා, මට තායිලන්තයේ කඳවුරේ හමු වූ ටෙන් හෑන් යන මේ සියලුදෙනාත් බයිබලයේ තිබෙන සත්‍යය පිළිගැනීම මොනතරම් සතුටක්ද! මගේ තාත්තායි මාමායි නැති අඩුව තවමත් දැනෙනවා. නමුත් අපිට ඒ දුක දරාගන්න හැකි වී තිබෙන්නේ දෙවි ඒ අයව නැවත නැඟිටුවනු ලබන බවත් අතීතයේදී සිදු වූ කිසිම අයුක්තිසහගත දෙයක් ‘නැවත කිසි දිනෙක මතකයට නැඟෙන්නේ නැති’ බවත් දන්නා නිසයි.—යෙසායා 65:17NW; ක්‍රියා 24:15.

මීට අවුරුදු කිහිපයකට පෙර යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ එක්රැස්වීමකදී හොඳට දැකලා පුරුදු මුහුණක් මම දැක්කා. ඒ මීට වසර ගණනාවකට පෙර මට බයිබල් සත්‍යය කියා දීමට පැමිණි බිල්. “ඔයාට මාව මතකද?” කියලා මම ඔහුගෙන් ඇහුවා.

ඔව්, මීට අවුරුදු ගණනාවකට කලින් මට ඔයාව නවසීලන්තයේ හමුවෙලා තියෙනවා. ස්වර්ගයට යන්නේ 1,44,000ක් විතරයි කියලා එදා මම ඔයාට කිව්වා මතකද?” මෙතරම් කාලයක් ගත වී තිබුණත් ඔහුට තවමත් මාව මතකයි. අපි දෙන්නා එකිනෙකාව වැලඳගත්තේ කියා නිම කරන්න බැරි සහෝදරත්වයකින්.

[21වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Background: AFP/Getty Images