Skip to content

පටුනට යන්න

අපි ගබ්සා නොකිරීමට තීරණය කළේ . . .

අපි ගබ්සා නොකිරීමට තීරණය කළේ . . .

අපි ගබ්සා නොකිරීමට තීරණය කළේ . . .

පළමු ලිපියේ සඳහන් කළ වික්ටෝරියා ඇගේ පෙම්වතා වූ බිල්ට කියා සිටියේ ගබ්සා කිරීමට ඇය කොහෙත්ම කැමති නැති බවයි. එවන් තීරණයක් ගැනීමට හේතුව ඇය මෙසේ පවසනවා. “මගේ කුසේ වැඩෙන්නේ ජීවිතයක් නේද කියලා මට හිතුණා. මම බිල් එක්ක හිටියා නම් එයා මට කවදාවත් දරුවා හදාගන්න උදව් කරන්නේ නැහැ. ඒ නිසා මම එයාව අත්හැරියා.”

පසුව බිල් තම අදහස වෙනස් කරගෙන වික්ටෝරියාව විවාහ කරගැනීමට කැමති වුණා. නමුත් ඔවුන්ගේ අලුත උපන් පුතාව හදා වඩා ගැනීම පහසු වුණේ නැහැ. ඒ ගැන වික්ටෝරියා පවසන්නේ මෙසේයි. “අපිට වාහනයක්වත් එතරම් මුදල්වත් අඳුම් පැළඳුම්වත් තිබුණේ නැහැ. බිල්ට ලැබුණේ සුළු වැටුපක්. ඒ නිසා අපිට පොඩි ගෙයකට මාරු වෙන්න සිදු වුණා. ඒ හැම දෙයක්ම අපි දරාගත්තා”

බලාපොරොත්තු නොවූ මොහොතක ගැබ්ගත් බොහෝදෙනෙක්ද එවැනිම දුෂ්කර තත්වයන්ට මුහුණ දී තිබුණත් ඔවුන් තමන්ගේ දරුවන්ව ගබ්සා කළේ නැහැ. එවැනි අධිෂ්ඨානයකින් යුතුව ක්‍රියා කිරීමට ඔවුන්ව පෙලඹුවේ කුමක්ද? එය අන් කිසිවක් නොව බයිබලයේ තිබෙන මැණික් හා සමාන ප්‍රඥාවන්ත උපදෙස් නිසයි.

ඉක්මන් වී තීරණ නොගන්න

බයිබලයේ පවසන්නේ මෙසේයි. “උත්සාහවන්තයාගේ සැලසුම් සාර්ථක වෙයි. එහෙත් දුර දිග නොබලා ක්‍රියා කරන්නා දිලිඳෙකු බවට පත් වෙයි.”හිතෝපදේශ 21:5NW.

පුතුන් තිදෙනෙකුගේ මවක් වන කොනිගේ අද්දැකීම සලකා බලන්න. ඇගේ එක් පුතෙක් සිටියේ ආබාධිත තත්වයකයි. එවන් තත්වයකදී තවත් දරුවෙක් හදා වඩා ගැනීම ඉතාමත් දුෂ්කර කාර්යයක්. ඇය මෙසේ පවසනවා. “තවත් අයෙකුට කන්න අඳින්න දෙන්න අපිට වත්කමක් තිබුණේ නැහැ. ඒ නිසා දරුවාව ගබ්සා කරන්න හිතුවා.” නමුත් එවැනි හදිසි තීරණයක් ගැනීමට පෙර ඒ ගැන ඇගේ රැකියා ස්ථානයේ මිතුරියක් වන කේ සමඟ කතා කළා. එවිට මිතුරිය කොනිගේ කුසේ වැඩෙන්නේ ජීවිතයක් බව තේරුම්ගැනීමට ඇයට උපකාර කළා. එය තේරුම්ගත් කොනි ඇගේ තීරණය වෙනස් කරගත්තා.

කොනිට මේ තත්වයට මුහුණ දීම සඳහා උපකාර අවශ්‍ය වුණා. ඇගේ මවගේ සහෝදරියගෙන් උපකාරය ලබාගන්න කියා කේ ඇයට යෝජනා කළා. මවගේ සහෝදරියද ඇයට උපකාර කිරීමට ඉදිරිපත් වුණා. ඊට අමතරව කොනිගේ ස්වාමිපුරුෂයා අමතර රැකියාවල නිරත වූ අතර ඔවුන් කුලිය අඩු නිවසක පදිංචියට ගියා. එවැනි වෙනස්කම් කිරීමෙන් අලුත උපන් දරුවාගේ වියහියදම් පිරිමසා ගැනීමට ඔවුන්ට හැකි වුණා.

බලාපොරොත්තු නොවූ අවස්ථාවක ගැබ්ගත් විට ඔවුන්ට උපකාර කිරීමට පිහිටුවා තිබෙන සමිති සමාගම්වල සහය ලබාගැනීමට කේ තම මිතුරියට උපකාර කළා. බොහෝ රටවල එවැනි සමිති සමාගම් තිබෙන අතර මව්වරුන්ට අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. මෙවැනි ස්ථාන වෙබ් අඩවි හා දුරකථන නාමාවලියෙන් සොයාගත හැකියි. නමුත් උපකාර ලබාගැනීමට මහත් වෑයමක් දැරිය යුතුයි. “උත්සාහවන්තයාගේ සැලසුම් සාර්ථක” වන බව අමතක කරන්න එපා.

ජීවිතයක් බව පිළිගන්න

“නුවණැති අය නුවණැසින් බලා ගමන් කරති. අනුවණ අය අඳුරෙහි ඇවිදිති.”දේශනාකාරයා 2:14, නව අනුවාදය.

නුවණැති කාන්තාවක් යථාර්තයට මුහුණ දෙන අතර අනුවණ අය මෙන් අඳුරෙහි ගමන් කරන්නේ නැහැ. ඇය “නුවණැසින් බලා” ක්‍රියා කරන නිසා ඇය ගනු ලබන ක්‍රියා මාර්ගයේ අවසාන ප්‍රතිඵලය කලින්ම දැකගැනීමට හැකියාව තිබෙනවා. ඒ නිසා තමන්ගේ දරුවා රැකගැනීමට අවශ්‍ය පියවර ගනියි. නමුත් අනුවණ කාන්තාවක් තමන්ගේ කුස තුළ වැඩෙන්නේ ජීවයක් කියා තේරුම් නොගනියි.

නව යොවුන් වියේ ගැබිනියක් වූ ස්ටේෆානි ගබ්සා කිරීමට සිතා සිටියත් ඇගේ කුසේ සිටින මාස දෙකක දරුවාගේ ස්කෑන් පිටපතක් දුටු විට ඇයට ඇති වූ වේදනාව ගැන ඇය මෙසේ පවසනවා. “මට හොඳටම ඇඬුණා. මම මේ නැති කරන්න යන්නේ ජීවිතයක් නේද කියලා මට හිතුණා.”

තවත් අවිවාහක තරුණ ගැබිනියක් වන ඩෙනිස්ද තමන් කුසේ දරා සිටින්නේ ජීවිතයක් කියා තේරුම්ගත්තා. ඇගේ පෙම්වතා ඇයට මුදල් දී දරුවාව නැති කරගන්න කියා පැවසූ විට ඇගේ ප්‍රතිචාරය වුයේ මෙයයි. “ගබ්සා කරන්න! මට ඒ වගේ දෙයක් කරන එක ගැන හිතන්නවත් බැහැ.” ඇය ඇගේ දරුවාව ගබ්සා කිරීමට අකමැති වුණා.

එල්ල වන පීඩනය නිසා

අන් අය ඔබට ගබ්සා කිරීමට බල කළත් එසේ කිරීමට පෙර බයිබලයේ දී තිබෙන ප්‍රඥාවන්ත උපදෙස සලකා බැලීම වැදගත්. “මනුෂ්‍යයන්ට භය වීම උගුලකි. නමුත් යෙහෝවා දෙවිව විශ්වාස කරන්නාව ආරක්ෂා කරනු ලැබේ.”හිතෝපදේශ 29:25NW.

මොනිකාගේ අද්දැකීම සලකා බලන්න. ඇගේ මව වැන්දඹුවක්. මොනිකාට තවත් සහෝදර සහෝදරියන් හතරදෙනෙක් සිටියා. ඇගේ මව සිතුවේ මොනිකා හොඳින් අධ්‍යාපනය ලබා පවුලේ වගකීම්වලට උරදෙයි කියායි. නමුත් ඇය ව්‍යාපාරික පාඨ මාලාවක් හදාරන්න සූදානම්ව සිටියදී ඇගේ පෙම්වතා නිසා ගැබ්ගත්තා. එවිට ඇගේ වයස අවුරුදු 17යි. මෙය ඇගේ මව දැනගත් විට බොහෝ සෙයින් කලබලයට පත් වී ඇයට ගබ්සා කිරීමට බල කළා. නමුත් “දරුවාව ගබ්සා කරනවාද කියා වෛද්‍යවරයා මගෙන් ඇසූ විට මම අකමැතියි කියා පැවසුවා.”

තවත් දරුවෙක් පවුලට බරක් මෙන්ම මොනිකාගේ අනාගත දියුණුවට බාධාවක් කියා සිතූ මව තදින්ම එයට විරුද්ධ වී ඇයව නිවසින් පිටමං කළා. මොනිකාට ඥාතියෙකුගේ නිවසේ නවාතැන් ගැනීමට හැකි වුණා. නමුත් සති කිහිපයකට පසු මවගේ කෝපය නිවී ඇයව නිවසට ගෙන්වාගත්තා. මොනිකාට ලැබුණු කුඩා පුත් ලියෝන්ව හදා වඩා ගැනීමට ඇගේ මව උපකාර කළ අතර කුඩා පුතු කෙරෙහි ඉමහත් ආදරයක්ද ඇති වුණා.

විවාහක කාන්තාවක් වන රොබින්ගේ අද්දැකිම මීට වඩා වෙනස්. “මම ගැබ්ගෙන සිටිනවාද කියා පරීක්ෂා නොකර මගේ වෛද්‍යවරයා වකුගඩු ආසාදනයකට ප්‍රතිකාර කළා. පසුව මට ලැබෙන්න හිටිය දරුවා දරුණු මානසික ආබාධයකට ලක් වීමට තිබෙන ඉඩකඩ වැඩියි කියා ඔහු පැවසුවා.” ඒ නිසා වෛද්‍යවරයා ඇයට ගබ්සාවක් කිරීමට පෙරැත්ත කළා. “මම වෛද්‍යවරයාට ජීවිතයේ ඇති වටිනාකම පිළිබඳ බයිබලයේ තිබෙන අදහස පැහැදිලි කර මට ගබ්සාවක් කරන්න බැහැයි කියා පැවසුවා.”

වෛද්‍යවරයා ඇය මුහුණ දී තිබූ තත්වය නිසා එවැනි විසඳුමක් දුන්නත් ඇගේ ජීවිතයට එය එතරම් තර්ජනයක් වූයේ නැහැ. * “මගේ දුව ඉපදුණාට පස්සේ ගත් පරීක්ෂණවලින් ඇයට තිබෙන මොළයේ ආබාධිත තත්වය (cerebral palsy) එතරම් දරුණු නැහැ කියා හෙළි වුණා. ඇය හොඳින් ඇගේ වැඩ කටයුතු කරගෙන යනවා. දැන් ඇගේ වයස අවුරුදු 15යි. ඇගේ කියවීමේ හැකියාව දවසින් දවස දියුණු වෙනවා. ඇත්තටම මගේ දරුවාගේ ජීවිතය මට වටිනවා. මම හැම දවසකම යෙහෝවා දෙවිට ඒ ගැන ස්තුති කරනවා.”

ශක්තිය ලැබෙන්නේ දෙවිගෙන්

බයිබලයේ අපට මෙසේ දිරිගන්වා තිබෙනවා. “යෙහෝවා දෙවිට සමීප විය හැක්කේ ඔහු කෙරෙහි ගරුබියක් ඇති අයටය.”ගීතාවලිය 25:14NW.

බොහෝදෙනෙක් ගබ්සා කිරීම ප්‍රතික්ෂේප කර තිබෙන්නේ ඒ සම්බන්ධයෙන් දෙවි දරන මතයට ඔවුන් ගරු කරන නිසයි. දෙවිත් සමඟ හොඳ සබඳතාවක් තබාගැනීමත් ඔහු සතුටු වන ආකාරයට කටයුතු කිරීමත් ඔවුන්ගේ එකම අභිප්‍රායයි. කලින් සඳහන් කළ වික්ටෝරියා නමැති කාන්තාවටත් පීඩනය හමුවේ ස්ථිරව සිටීමට හැකි වූයේ ඇයට දෙවිව සතුටු කිරීමට තිබූ ආශාව නිසයි. ඇය මෙසේ පවසනවා. “ජීවිතයක් ලබා දෙන්නේ දෙවියි කියා මම තදින්ම විශ්වාස කළා. ඒ ජීවිතය නැති කරන්න මට කිසිම අයිතියක් නැහැ.”

වික්ටෝරියා බයිබලය අධ්‍යයනය කිරීමට පටන්ගත් විට දෙවි සමඟ තිබූ ඇගේ සම්බන්ධතාව තවත් වැඩි වුණා. ඇය මෙසේ පවසනවා. “මගේ දරුවාව ගබ්සා නොකිරීමට ගත් තීරණය නිසා දෙවි සමඟ තිබුණු සම්බන්ධය තවත් වැඩි වුණා. ජීවිතයේ හැම කාරණයකදීම දෙවිව සතුටු කරන්න ඕන කියලත් මට හිතුණා. දෙවිගේ මඟ පෙන්වීම් ඉල්ලා යාච්ඤා කළාම හැම දෙයක්ම පිළිවෙළට සිදු වුණා.”

ජීවිතයේ උල්පත වන යෙහෝවා දෙවි සමඟ මිත්‍රත්වයක් තිබෙන විට මවගේ කුස තුළ සිටින දරුවෙකුගේ ජීවිතයට පවා ගරු කරන්න පෙලඹෙනවා. (ගීතාවලිය 36:9) ඒ විතරක් නොවෙයි බලාපොරොත්තු නොවූ අවස්ථාවක ගැබ්ගත් විට මවටත් ඇගේ පවුලේ අයටත් “සාමාන්‍යය ඉක්මවූ බලය” දෙවි ලබා දෙනවා. (2 කොරින්ති 4:7) දෙවි ජීවිතය සලකන ආකාරයට ගරු කරමින් ඔවුන් ගත් තීරණ ගැන ඔවුන්ට හැඟෙන්නේ කොහොමද?

පසුතැවෙන්නේ නැහැ

ඉහත සඳහන් කළ දෙමාපියන් තුළ වරද සහිත හැඟීමක්වත් දුකක්වත් දරුවෙක් අහිමි වීමේ වේදනාවක්වත් ඇති වන්නේ නැහැ. ඔවුන් ‘කුසේ පලය තෑග්ගක්’ ලෙස සලකනවා. (ගීතාවලිය 127:3) කලින් සඳහන් කළ කොනි නමැති කාන්තාව දරු ප්‍රසූතියෙන් පැය දෙකකට පසු ඇගේ මිතුරිය වන කේට කතා කර හද පිරි සතුටින් පැවසුවේ ඇගේ එකම අධිෂ්ඨානය තම දියණියව හදා වඩා ගැනීම කියායි. එමෙන්ම ඈ මෙසේද පැවසුවා. “අපි දෙවිගේ කැමැත්ත කරන විට දෙවිගේ ආශීර්වාදය ලැබෙනවා.”

දෙවි ජීවිතය සලකන ආකාරයට අපත් ජීවිතය සැලකිය යුත්තේ ඇයි? ඊට හේතුව ජීවිතයේ උල්පත දෙවියි. දෙවි බයිබලයේ නීති හා ප්‍රතිපත්ති දී තිබෙන්නේ ‘අපේම යහපත’ සඳහයි.—ද්විතීය කතාව 10:13NW.

මෙම ලිපි මාලාවේ සඳහන් කළ වික්ටෝරියා සහ බිල් ගබ්සාවක් නොකිරීමට ගත් තීරණය ඔවුන්ගේ ජීවිත වෙනත් මඟකට යොමු කළා. ඔවුන් ඒ ගැන මෙසේ පවසනවා. “අපි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලයි හිටියේ. අපි දිගටම ඒවා පාවිච්චි කළා නම් අද අපි ජීවතුන් අතරත් නැතුව ඇති. නමුත් කුසේ සිටිය අපේ දරුවාගේ ජීවිතයට ගරු කළ නිසා අපේ ජීවිත ගත කරන ආකාරය ගැන අලුතින් හිතන්න පටන්ගත්තා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ උපකාරය නිසා අපේ ජීවිත වෙනස් කරගන්න පුළුවන් වුණා.”

ඔවුන්ගේ පුතා වන ලාන්ස්ට දැන් වයස 34ක් පමණ වෙනවා. ඔහු විවාහ වී දැනට අවුරුදු 12ක්. ලාන්ස් මෙසේ පවසනවා. “පුංචි කාලයේ ඉඳලම මගේ දෙමාපියෝ මට ඉගැන්වුයේ බයිබලයට එකඟව තීරණ ගන්නයි. මෙය මටත් මගේ භාර්යාවටත් පුතාටත් ප්‍රයෝජනවත් වී තිබෙනවා.” මුලදී ගබ්සාවක් කරන්න කියා ලාන්ස්ගේ මවට පැවසු ඔහුගේ පියා මෙසේ පවසනවා. “අපි මේ දරුවාව නේද නැති කරන්න ගියේ කියා හිතන විටත් හදවත පැලෙන තරම් දුකක් දැනෙනවා.”

ගබ්සා කරන්න කියා මව බල කළත් එසේ නොකළ මොනිකා පවසන දේ සලකා බලමු. “මගේ පුතා ඉපදිලා සති දෙකකට පස්සේ මට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පිළිබඳව සාකච්ඡා කරන්න අවස්ථාවක් ලැබුණා. ඉන්පසු මට දෙවිගේ ප්‍රතිපත්තිවලට එකඟව මගේ ජීවිතය වෙනස් කරගන්න මට හැකි වුණා. ඉක්මනින්ම මගේ පුතා ලියෝන්ටත් දෙවිට කීකරු වීමේ වැදගත්කම මම කියා දුන්නා. මගේ පුතා තුළත් දෙවි කෙරෙහි ආදරයක් භක්තියක් ඇති වුණා. ඔහු දැන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභාවල සංචාරක අවේක්ෂකයෙක් ලෙස සේවය කරනවා.”

තම මව ගත් පියවර පිළිබඳ ලියොන් මෙසේ පවසනවා. “අම්මට කොයිතරම් පීඩනයක් තිබුණත් මට තිබුණු ආදරය නිසා අම්මා මගේ ජීවිතය රැකගත්තා. මගේ ජීවිතය දෙවිගෙන් ලද තෑග්ගක් වගෙයි. එය අගය කරන බව මගේ ජීවිතය ගත කරන ආකාරයෙන් මට පෙන්වන්න ඕන.”

දෙවි ජීවිතය කොතරම් අනර්ඝව සලකනවාද කියා තේරුම්ගත් අය තමන්ට ලැබෙන්න සිටි දරුවාගේ ජීවිතය රැකගත් නිසා දැන් ඔවුන්ට තම දරුවන් වස්තුවක් වී තිබෙනවා. ඔවුන්ට හද පිරි සතුටින් “අපි ගබ්සා කළේ නැහැ” කියා කිව හැකියි.

[පාදසටහන]

^ 20 ඡේ. දරුවෙක් ප්‍රසූත කරන අවස්ථාවේදී මවගේ ජීවිතයට හෝ දරුවාගේ ජීවිතයට අනතුරක් සිදු වෙනවා නම් රැකගත යුත්තේ කවරෙකුගේ ජීවිතයද කියා තීරණය කිරීමට අයිතිය තිබෙන්නේ ඊට අදාළ අයටයි. නමුත් බොහෝ රටවල වෛද්‍ය ක්ෂේත්‍රයේ ලබා තිබෙන දියුණුව නිසා මෙවැනි දෙයක් සිදු වන්නේ කලාතුරකින්.

[7වන පිටුවේ පින්තූරය]

මාස දෙකක දරුවාගේ ස්කෑන් පිටපතක් දුටු ස්ටේෆානි ඇගේ තීරණය වෙනස් කළා

(කලලය ලකුණු කර ඇත)

[8වන පිටුවේ පින්තූරය]

වික්ටෝරියා තම පුතු ලාන්ස් සමඟ

[8, 9වන පිටුවල පින්තූරය]

වික්ටෝරියා සහ බිල් ඔවුන්ගේ පුත් ලාන්ස් සහ ඔහුගේ පවුල සමඟ

[9වන පිටුවේ පින්තූරය]

මොනිකා වසර 36කට පෙර ඇගේ පුත් ලියෝන්ව ගබ්සා නොකිරීමට ගත් තීරණය ගැන සතුටු වෙනවා