Skip to content

පටුනට යන්න

තිස් වසරක් පුරා පරිවර්තකයෙකු ලෙස මා කළ සේවය

තිස් වසරක් පුරා පරිවර්තකයෙකු ලෙස මා කළ සේවය

තිස් වසරක් පුරා පරිවර්තකයෙකු ලෙස මා කළ සේවය

පැවසුවේ ඔනා මොකුටි

වර්ෂ 1962 අප්‍රියෙල් මාසයේ මට විරුද්ධව ලිතුවේනියාවේ ක්ලායිපෙඩා නගරයේ උසාවියේදී නඩු විභාගයක් තිබුණා. මම සමාජ විරෝධියෙක් කියා චෝදනා කර තිබුණා. ඊට කලින් වසරේ ඔක්තෝබර් මාසයේදීද ආගමික කටයුතුවල නියැලීම නිසා මාව අත්අඩංගුවට ගත්තා. මාව අත්අඩංගුවට ගැනීමට හේතුවත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශන හොර රහසේ පරිවර්තනය කිරීම නිසා හිරබත් කන්න සිදු වූ හේතුවත් මම දැන් විස්තර කරන්නම්.

මම ඉපදුණේ 1930 ලිතුවේනියාවේ බටහිර ප්‍රදේශයේයි. එය පිහිටියේ බෝල්ටික් මුහුදට නුදුරුවයි. මම ඉපදෙන්න කලින් මගේ අම්මා ලැබෙන්න ඉන්න දරුවා කන්‍යා සොහොයුරියක් වෙනවා දකින්න කැමතියි කියා යාච්ඤා කර තිබුණා. නමුත් පස්සේ කාලෙක අම්මා මට මෙහෙම දෙයක් කිව්වා. “මට පේදුරු තුමාගේ රූපය ඉදිරියේවත් වෙනත් රූපයක් ඉදිරියේවත් යාච්ඤා කරන්න හිතෙන්නේ නැහැ.” මට අම්මා කියූ දේ මතක තිබුණු නිසා මම පල්ලියට ගියාම දණ ගැහුවේ නැහැ. නමුත් මම පාසැලේ ඉඳන් ගෙදර එන කොට යේසුස්ව කුරුසේ ඇණ ගහලා තියෙන රූපයක් දැක්කම දණ ගහලා යාච්ඤා කළා.

දෙවෙනි ලෝක මහ යුද්ධ සමයේදී (1939-1945) වචනයෙන් විස්තර කරන්න බැරි තරම් කෲරකම් මම ඇස් දෙකින්ම දැක්කා. මට මේවා දරාගන්න බැරි වුණා. ජර්මානු පාලනය පැවති කාලයේදී සිදු වූ සිද්ධියක් මම කියන්නම්. දවසක් මමයි මගේ පුංචි අම්මයි බෙරී පලතුරු ටිකක් කඩන්න කැලෑවට ගියා. අපි එතන සමූහ මිනී වළවල් දෙකක් දැක්කා. ඒවා මෑතකදී ඝාතනය කළ අයගේ කියා පෙනී ගියේ එතන තැවරී තිබුණු ලේ පැල්ලම් නිසයි. ඒ වෙනකොට මගේ පාසැලේ යාළුවන් දෙන්නෙක් වන ටෙසි සහ සාරා ඇතුළු යුදෙව්වන් කණ්ඩායමක් මරා දැමුවා කියා අපිට ආරංචි වෙලා තිබුණා. අපි නොදැනුවත්වම ඇවිදගෙන ගිහින් තියෙන්නේ ඒ අයගේ මිනී වළ උඩින්. මම ඒ වෙලාවේ කෑ ගහලා මෙහෙම ඇහුවා. “අනේ දෙවියනේ ඔබ කොතරම් යහපත්ද ඒත් ඇයි මේ වගේ දේවල් වෙන්න ඉඩහරින්නේ?”

මම 1949දී අපේ ගමේ පාසැලෙන් අධ්‍යාපනය හදාරා නිම කළා. ඉන්පස්සේ මම සංගීතය හදාරන්න යොමු වුණා. ආණ්ඩුවට විරුද්ධව කැරළි ගැසූ ශිෂ්‍ය කණ්ඩායමකට 1950දී මම බැඳුණා. වැඩි කල් නොගොස් ඒ අතරින් කෙනෙක් පාවා දීම නිසා මාවත් තවත් 12දෙනෙකුවත් අත්අඩංගුවට ගත්තා. මාව ක්ලායිපෙඩා නගරයේ සිරකඳවුරට යැව්වා. මට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව මුලින්ම මුණගැසුනේ එහිදියි.

බයිබලයේ සත්‍යයන් ඉගෙනගනිමින්

අපේ සිරකුටියට මැදිවියේ කාන්තාවක්ව ගෙනත් දැම්මා. එම සිරකුටියේ සිටි අපි හත්දෙනා සමඟ ඇය ඉතා මිත්‍රශීලීව සිනාසුණා. මම ඇගෙන් මෙසේ ඇසුවා. “සිරකඳවුරට කෙනෙක් ආවාම එයාගේ මුහුණේ හිනාවක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒත් ඔයා නම් අනිත් අයට වඩා වෙනස්. ඔයාව හිරේට දැම්මේ ඇයි?”

“ඒ සත්‍යය නිසයි” කියා ඇය පිළිතුරු දුන්නා.

“මොන සත්‍යයද” කියා මම ඇහුවා.

ඇගේ නම ලිඩියා පෙල්ඩ්ස්සුස්. ඇය ජර්මානු ජාතික කාන්තාවක්. ඇයව හිරභාරයට ගෙන තිබුණේ ඇය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් නිසයි. අපි බයිබලයේ තිබෙන බොහෝ තොරතුරු සාකච්ඡා කළා. ඇය ඉගැන්වූ සත්‍යයන් නිසා මගේ ජීවිතය පමණක් නෙවෙයි සිරකුටියේ සිටි තවත් තුන්දෙනෙකුගේ ජීවිතත් වෙනස් මඟකට යොමු වුණා.

දැනුම වර්ධනය වූ ආකාරය

මම සෝවියට් රජයට විරුද්ධව කැරලි ගැසු නිසා මට අවුරුදු 25ක සිරදඬුවමකුත් අවුරුදු පහකට රටින් පිටුවහල් වී සිටීමටත් නියම වුණා. සිරභාරයේ සිටි කාලයේදීත් සයිබීරියවට පිටුවහල් කර තිබූ කාලයේදීත් මට මුණගැසුණු සාක්ෂිකරුවන් මාර්ගයෙන් දෙවි පිළිබඳව දැනුම වර්ධනය කරගැනීමට හැකි වුණා. ලිඩියා මෙන් මට සිරගෙදර මුණගැසුණු අනික් සාක්ෂිකරුවන් දඬුවම් වින්දේ ඔවුන්ගේ විශ්වාසයන් නිසයි.

මම දැනුම වර්ධනය කරගත්තා වගේම මම ඒ දැනුම අනිත් අයත් එක්ක බෙදාගත්තා. මම දෙවිට වුණු මගේ කැපවීම සංකේතවත් කිරීමට වතුරෙන් බව්තිස්ම වීමට අවස්ථාවක් නොලැබුණත් සිරගෙදර සිටි අනිත් සිරකරුවන් මෙන්ම නිලධාරීන් මාව සැලකුවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහටයි. අවුරුදු අටකට පසු 1958දී මම නිදහස් වුණා. මම නැවත ලිතුවේනියාවට ආවා. ඒ වෙනකොට මගේ සෞඛ්‍යය හොඳටම දුර්වල වෙලයි තිබුණේ. නමුත් දෙවි කෙරෙහි තිබුණු මගේ ඇදහිල්ල ශක්තිමත්ම තිබුණා.

හොර රහසේ කළ පරිවර්තන කාර්යය

ඒ කාලයේදී ලිතුවේනියාවේ ඉතුරු වී සිටියේ සාක්ෂිකරුවන් ටිකදෙනයි. අනිත් අය සිටියේ සිරකඳවුරුවල එහෙමත් නැත්නම් සයිබීරියාවට පිටුවහල් කරලයි. වර්ෂ 1959දී සයිබීරියාවේ සිට පැමිණි සාක්ෂිකරුවන් දෙදෙනෙක් මගෙන් ලිතුවේනියා භාෂාවට බයිබලය මත පදනම් ප්‍රකාශන පරිවර්තනය කරන්න පුළුවන්ද කියලා ඇහුවා. මම ඒ පැවරුම කැමැත්තෙන්ම භාරගත්තා. මම ඒක සැලකුවේ මට ලැබුණු වරප්‍රසාදයක් ලෙසයි.

වර්ෂ 1960 මාර්තු මාසයේදී මම පරිවර්තන කටයුතු ආරම්භ කළා. එම වසරේ ජූලි මාසයේ මම රහසිගතව ගඟක බව්තිස්ම වුණා. රුසියානු රහස් පොලිසියෙන් (KGB) පැමිණි විරුද්ධවාදීකම් නිසා මට රැකියාවක් සොයාගන්න බැරි වුණා. ඒ නිසා මම ජීවත් වුණේ මගේ දෙමාපියන් සමඟයි. ඔවුන් මගේ විශ්වාසයන්ට ගරු කළා. මම මගේ පියාගේ ගව පට්ටියේත් අසල්වැසියන්ගේ ගව පට්ටිවලත් වැඩ කළා. මේ වැඩකටයුතු කරන අතරතුරේදී පරිවර්තන වැඩවලත් යෙදුණා. මම වැඩ කළේ අපූරු කාර්යාලයක ඉඳගෙනයි. කාර්යාලයේ වහල නිල් අහස්තලයයි. පොළොව නිල් තණ නිල්ලයි. මගේ මේසය වුණේ මගේ ඔඩොක්කුවයි. මගේ පුටුව ගහක කොටයක්.

මෙලෙස එළිමහනේ සිට පරිවර්තනය කිරීම අවදානම් කියා මම තේරුම්ගත්තා. මාව රුසියාවේ රහස් පොලිසියට හෝ ඔවුන්ගේ ඔත්තුකාරයන්ට අහුවෙන්න පුළුවන්. ඒ නිසා මට හැංගිලා පරිවර්තන කරන්න පුළුවන් තැන් හම්බ වුණාම මම ගෙදරින් පිටවෙලා ඒ තැන්වලට ගිහින් වැඩ කළා. සමහර අවස්ථාවලදී මම සත්තු ගාල් කරලා තියෙන තැන්වල ඉඳන් වැඩ කළා. එක පැත්තක සත්තු අනිත් පැත්තේ මම ඉඳගෙන යතුරුලියනයෙන් පරිවර්තනය කළා.

ඒ වගේ තැන්වල විදුලි බලය තිබුණේ නැති නිසා මම වැඩ කළේ දවල් කාලයේදියි. මගේ යතුරුලියනයේ ශබ්දය පිටතට ඇහෙන්නේ නැති වෙන්න සත්තු ගාල් කර තිබූ මඩුව අසල සුළං මෝලක් සාදා තිබුණා. කළුවර වැටී ගෙන ආවාම මම මොනවා හරි කාලා ආයෙත් මඩුවට ගිහින් පිදුරු ගොඩේ නිදාගත්තා.

වර්ෂ 1961 ඔක්තෝබර් මාසයේදී මගේ පරිවර්තන වැඩ රහස් පොලිසියට අහුවුණු නිසා මාවත් තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකුවත් අත්අඩංගුවට ගත්තා. වර්ෂ 1962දී මාව උසාවියට ඉදිරිපත් කළා. මම මේ ලිපිය ආරම්භයේදී සඳහන් කළේ ඒ සිද්ධියයි. අපේ නඩු විභාගය මහජනයාටත් බලන්න එන්න අවස්ථාවක් දීලා තිබුණු නිසා එහි සිටි බොහෝදෙනෙකුට හොඳ සාක්ෂියක් දෙන්න අපිට පුළුවන් වුණා. (මාක් 13:9) මට අවුරුදු තුනක සිරදඬුවමක් නියම කර එස්තෝනියාවේ ටැලින් නගරයේ බන්ධනාගාරයකට යවනු ලැබුවා. මම හිතන හැටියට ඒ බන්ධනාගාරයේ හිටපු එකම සාක්ෂිකරුවා මමයි. ආණ්ඩුවේ නිලධාරීන් මාව බලන්න ආපු අවස්ථාවලදී මම ඒ අයටත් සාක්ෂි දැරුවා.

නැවතත් පරිවර්තනයේ යෙදෙමින්

මම 1964දී හිරගෙදරින් නිදහස් වෙලා ලිතුවේනියාවට ගියා. ඒ ගියාට පස්සේ නැවතත් පරිවර්තන වැඩ පටන්ගත්තා. මම පරිවර්තනය කළේ රුසියානු භාෂාවෙන් ලිතුවේනියානු භාෂාවටයි. වැඩවල නම් අඩුවක් තිබුණේ නැහැ. අනික් අයගේ උදව් උපකාර ලැබුණත් මම තමයි ලිතුවේනියානූ භාෂා පරිවර්තයෙක් විදිහට පූර්ණකාලීනව වැඩ කළේ. උදේ ඉඳන් රෑ වන තුරුම සතියේ දවස් හතේම වැඩ කළා. යෙහෝවා දෙවිගේ උපකාරය නොතිබුණා නම් මට කවදාවත් ඒ තරම් වැඩ ප්‍රමාණයක් කරන්න ශක්තියක් ලැබෙන්නේ නැහැ.

මේ පරිවර්තන කාර්යයේ තියෙන වැදගත්කම තේරුම්ගත් නිසා මම හැම තිස්සේම වැඩ කළේ කල්පනාකාරීවයි. ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් මට ආරක්ෂාවත් කෑම බීමත් සපයමින් මාව රැකබලා ගත්තා. ඔවුන්ගේ මෙන්ම ඔවුන්ගේ පවුලේ අයගේ ජීවිත පවා මා වෙනුවෙන් පරදුවට තැබුවා. එවැනි සහයෝගයක් නිසා අපි අතර තිබූ බැඳීම තවත් වැඩි වුණා. මම වැඩ කරනකොට මම නතර වෙලා ඉන්න ගෙදර අය කවුරු හරි ඔත්තු බලනවාද කියා සෝදිසියෙන් ඉන්නවා. කවුරු හරි ගැන සැකයක් ඇති වුණොත් මට සංඥාවක් දෙනවා. ඒ සංඥාව ඇසුණු වහාම මම මං ළඟ තියෙන සෑම දෙයක්ම හංගනවා.

මම නතර වෙලා ඉන්න ගෙදර ගැන කාට හරි සැකයක් ඇති වෙලා කියලා දැන ගත්තොත් මම වෙන තැනකට යනවා. ඒ කාලයේදී යතුරුලියනයක් අවසරයක් නැතිව ළඟ තබාගැනීම තහනම්. ඒ නිසා මම අලුත් තැනකට යනකොට යතුරුලියනය ගෙනියන්නේ වෙන කෙනෙක්. මම රෑට කාටත් නොපෙනෙන්න ඒ තැනට යනවා.

යෙහෝවා දෙවිගෙන් මට ලොකු ආරක්ෂාවක් ලැබුණා. නිලධාරීන්ට මං ගැන සාක්ෂියක් නොලැබුණත් මම පරිවර්තන වැඩ කරනවා කියා දැනගෙන සිටියා. වර්ෂ 1973දී සාක්ෂිකරුවන් අටදෙනෙක්ව ප්‍රශ්න කිරීමට උසාවියට කැඳෙව්වා. එවිට අපිට විරුද්ධව චෝදනා කළ නිලධාරියා මගෙන් කෙළින්ම මෙහෙම ඇහුවා. “මොකුටි ඔයා අවුරුද්දකට කොච්චර ප්‍රකාශන සංඛ්‍යාවක් බෙදාහැරියාද?”

මම ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න බැහැයි කියලා කිව්වා. එවිට ඔහු මෙහෙම ඇහුවා. “එහෙමනම් ඔයාට උත්තර දෙන්න පුළුවන් මොන වගේ ප්‍රශ්නවලටද?”

“මම කරන කාර්යයට සම්බන්ධ නැති ප්‍රශ්නවලට මම උත්තර දෙන්නම්.”

තත්වය වෙනස් වෙයි

වර්ෂ 1980 අගභාගයේදී ලිතුවේනියාවේ තත්වය වෙනස් වෙන්න පටන්ගත්තා. ඒ නිසා තවදුරටත් අපේ වැඩ කටයුතු හොර රහසේ කරන්න අවශ්‍ය වුණේ නැහැ. ඊට පස්සේ වෙනත් අයත් 1990 සිට පරිවර්තනය කරන්න පටන්ගත්තා. වර්ෂ 1992 සැප්තැම්බර් 1වෙනිදා පුංචි පරිවර්තන කාර්යාලයක් ක්ලායිපෙඩා නගරයේ පිහිටෙව්වා. පසු කාලයේදී මමත් ඒ නගරයේ පදිංචි වුණා.

මම පරිවර්තකයෙක් ලෙස අවුරුදු 30ක් ස්ථාන 16ක සේවය කර තිබුණත් මටම කියා ගෙයක් තිබුණේ නැහැ. ඒත් මම කරපු සේවයේ ප්‍රතිඵල දකිනකොට දැනෙන සතුට මට කියා නිම කරන්න බැහැ. අද ලිතුවේනියාවේ සාක්ෂිකරුවන් 3,000ක් පමණ ඉන්නවා. මම කාටත් හොරා සතුන්ගේ ගාල්වල ඉඳන් කළ වැඩේ දැන් ලිතුවේනියාවේ කවුනාස් නගරයේ ශාඛා කාර්යාලයේ සියලුම පහසුකම් ඇතුව සිදු කෙරෙනවා.

අවුරුදු 60කට කලින් ක්ලායිපෙඩා නගරයේ ශීතල සිරකුටියක කෙරුණු සාකච්ඡාව මට තවමත් මතකයි. මගේ ජීවිතය වෙනස් කළේ ඒ සාකච්ඡාවයි. දෙවි ගැනත් ඔහුගේ අරමුණ පිළිබඳවත් සත්‍යය දැනගැනීමට ලැබීම ගැන මම අපේ නිර්මාතෘ වන යෙහෝවා දෙවිට හද පත්ලෙන්ම ස්තුතිවන්ත වෙනවා.

[13වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ලිඩියා ඉගැන්වූ බයිබලයේ සඳහන් සත්‍යයන් නිසා අපි හතරදෙනෙකුගේ ජීවිත වෙනස් වුණා

[12වන පිටුවේ පින්තූරය]

1962දී සෝවියට් දේශයේ ප්‍රවෘත්ති පත්‍රයක මගේ නඩු විභාගය පළ වුණා

[14, 15වන පිටුවේ පින්තූරය]

මම රහසිගතව පරිවර්තනය කළ පොත් පත් කිහිපයක්

[15වන පිටුවේ පින්තූරය]

මට සිරකුටියේදී බයිබල් සත්‍යය කියා දුන් ලිඩියා

[15වන පිටුවේ පින්තූරය]

1956දී රුසියාවේ සිරකුටියක මට සත්‍යය කියා දුන් සාක්ෂිකරුවන් දෙදෙනෙක් (වමේ)

[15වන පිටුවේ පින්තූරය]

මම පාවිච්චි කළ යතුරුලියනයක්