Skip to content

පටුනට යන්න

රෝගියෙකුගේ අයිතිය

රෝගියෙකුගේ අයිතිය

රෝගියෙකුගේ අයිතිය

ඉතාලියේ පිබිදෙව්! ලේඛක විසින්

▪ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් රුධිරය ලබාගන්නේ නැහැ. ඔවුන් එසේ කරන්නේ බයිබලයේ තිබෙන ආඥාවකට ගරු කරන නිසයි. බයිබලයේ ඒ ගැන මුල් කාලයේදී සඳහන් වී තිබුණේ මෙසේයි. “ජීවය වන ලේ සමඟ ඔබ මස් නොකෑ යුතුයි.” (උත්පත්ති 9:4, නව ලොව පරිවර්තනය; ලෙවී කතාව 17:14) ඒ වගේම පළමු ශත වර්ෂයේ ක්‍රිස්තියානින්ටද අණ කර තිබුණේ ‘ලෙයින් වැළකී සිටිය’යුතුයි කියායි.—ක්‍රියා 15:29.

ඉතාලියේ මොන්ටිරෙන්සියෝ නගරයේ ද්විතීයික පාසැලක අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවන්ට ජීවිතයක් රැකගැනීමට රුධිරය ලබා දීමේ වැදගත්කම පිළිබඳව රචනාවක් ලිවීමට දුන්නා. එම ශිෂ්‍යයන් අතර බර්නඩෙට්ටා නමැති යෙහෝවා දෙවිගේ සාක්ෂිකාර දැරියක්ද සිටියා. ඇගේ රචනාවේ මෙසේ සඳහන් වී තිබුණා.

“යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් රුධිරය ලබා නොගන්නේ බයිබල් ප්‍රතිපත්ති නිසයි. නමුත් ඔවුන් වෙනත් ප්‍රතිකාර ක්‍රම ලබා නොගන්නා බව එයින් අදහස් කරන්නේ නැහැ. ඔවුන් තමන්ගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත්. ඒ නිසා ඔවුන් තමන්ටත් තමන්ගේ දරුවන්ටත් හොඳම ප්‍රතිකාර ක්‍රම ලබාගැනීමට උත්සාහ දරනවා. වෛද්‍යවරු ඔවුන්ගේ විශ්වාසයන්ට ගරු කරන තාක් කල් ඔවුන් වෛද්‍යවරුන්ට සහයෝගය දක්වනවා.”

බර්නඩෙට්ටා මෙසේද සඳහන් කළා. “සෑම රෝගියෙකුටම තමන්ට සුදුසු ප්‍රතිකාර ක්‍රමය තෝරාගැනීමටත් ඔහුගේ විශ්වාසයන්ට වෛද්‍යවරයා විසින් ගරු කරනු ලැබීමටත් තෝරාගන්නා ප්‍රතිකාර ක්‍රමයෙන් ලැබෙන ප්‍රයෝජන මෙන්ම අවදානම් තත්වයන් මොනවාද කියා දැනගැනීමටත් අයිතියක් තිබෙනවා.”

තම අදහස් හොඳින්ම ඉදිරිපත් කළ දරුවන්ට තෑගි ප්‍රධානය කිරීමට මොන්ටිරෙන්සියෝ නගරයේ ලේ දන් දීමේ සංගමය කටයුතු යොදා තිබුණා. එක් සඟරාවක මෙසේ සඳහන් කර තිබුණා. “බර්නඩෙට්ටා බාර්බි නමැති දැරිය ලියූ රචනයට විශේෂ තැනක් හිමි වෙනවා. ඇය රචනාවේ සඳහන් කර තිබුණේ ලේ නොගැනීමට රෝගියෙකුට තිබෙන අයිතිය ගැනයි. ඇය ලියා තිබුණේ එම සංගමයෙන් බලාපොරොත්තු වූ අදහසට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. නමුත් ඇය තම අදහස් ප්‍රකාශ කර තිබුණේ සමබරව හා ගෞරවාන්විතවයි.”—Monterenzio Vivace.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් රුධිරය පිළිබඳව දරන මතය බොහෝදෙනාගේ මතයට වඩා වෙනස් වූවත් බොහෝ වෛද්‍යවරුන් ඔවුන් ගෙන තිබෙන ස්ථාවරයේ වටිනාකම අවබෝධ කරගෙන තිබෙනවා. සැත්කම්වලදී රුධිර වහනය අවම කිරීමේ විවිධ නව සොයාගැනීම්වලට ඉවහල් වීමට ප්‍රධාන හේතුව සාක්ෂිකරුවන්ගේ ස්ථාවරයයි. මෙම නව ක්‍රම සාක්ෂිකරුවන්ට මෙන්ම අනික් අයටද මහත් සේ ප්‍රයෝජනවත් වී තිබෙනවා. මෙම ලිපියේ ආරම්භයේදී සඳහන් කළ ආකාරයට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් රුධිරය එක හෙළා ප්‍රතික්ෂේප කරන්නේ බයිබලයේ සඳහන් ප්‍රතිපත්තිවලට ගරු කරන නිසයි.

ඊළඟ වතාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඔබව හමු වීමට පැමිණි විට නිර්මාතෘ වන යෙහෝවා දෙවි රුධිරය පිළිබඳව දරන මතය කුමක්ද කියා අසා දැනගන්න. ඔවුන් ඔබ සමඟ ඒ පිළිබඳව කතා කිරීමට කැමැත්තෙන් සිටින අතර ඔවුන් එසේ කරන්නේ “ගැඹුරු ගෞරවයෙන්” යුතුවයි.—1 පේතෘස් 3:15.

[30වන පිටුවේ කොටුව/පින්තූරය]

වැඩි විස්තර සඳහා

රුධිරය වෙනුවට විකල්ප ක්‍රම ගැන සඳහන්ව ඇති DVD තැටිය (සිංහලෙන් නැත) ප්‍රවීණයන්ගේ උපකාර ඇතිව සකසා තිබෙනවා. මෙය සැකසීමේදී වෛද්‍යමය, නීතිමය හා වෙනත් පැති ගැනද සැලකිලිමත් වී තිබෙනවා. එම DVD තැටිය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් ලබාගත හැකියි.