Skip to content

පටුනට යන්න

හිරු කිරණෙන් ආරක්ෂා වෙන්න

හිරු කිරණෙන් ආරක්ෂා වෙන්න

හිරු කිරණෙන් ආරක්ෂා වෙන්න

“ඕසෝන් ස්ථරය තුනී වී ඇති නිසාත් ලොව පුරා වෙසෙන ජනයා හිරු රැස්වලට නිරාවරණය වීමට වැඩි ආශාවක් දක්වන නිසාත් විවිධ සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙනවා. එවැනි සෞඛ්‍ය ගැටලු ඇති වීමට ප්‍රධාන හේතුවක් වන්නේ හිරුරැස්වල තිබෙන පාරජම්බුල කිරණයි.”—එසේ පැවසුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්ව සිටි ලී ජොන් වූක්.

ඉහත කී කාරණය උතුරු යුරෝපයේ වෙසෙන මාටින් ලැබූ අද්දැකීමෙන් සනාථ වෙනවා. ඔහු ඉතාලි වෙරළ තීරයේ තිබූ කුඩයක් යට නිදා සිටියද ඔහුගේ දෙපා හිරු කිරණවලට නිරාවරණය වී තිබුණා. ඔහු අවදි වී බලන විට ඔහුගේ දෙපා තක්කාලි මෙන් රතු වී තිබෙනවා දුටුවා. මාටින් ඒ ගැන මෙසේ පවසනවා. “මගේ කකුල් දෙක ඉදිමී හම ගන වී තිබුණා. මම ඉක්මනින්ම රෝහලකට ගියා. දවස් දෙක තුනකට පස්සේ මට දරාගන්න බැරි වේදනාවක් දැනුණා. මට හිටගන්නවත් මගේ කකුල නවන්නවත් බැරි වුණා. කකුලේ හම කොතරම් ගනවී තිබුණාද කියනවා නම් මම හිතුවේ හම පැළෙයි කියලා.”

බොහෝදෙනෙක් සිතන්නේ හිරු කිරණෙන් හානි සිදු වන්නේ මාටින් වැනි සුදු සමක් තිබෙන අයට පමණයි කියායි. නමුත් කලු සමක් තිබෙන අයට හිරු කිරණට ඔරොත්තු දීමේ හැකියාවක් තිබුණද ඔවුන්ටද සමේ පිළිකා සෑදීමේ අවදානමක් තිබෙනවා. ඔවුන්ට සමේ පිළිකා සෑදුණු විට එය දරුණු වන තුරුම සොයාගැනීමට නොහැකියි. හිරුට අනවශ්‍ය ලෙස නිරාවරණය වීමෙන් ඇසට සහ ප්‍රතිශක්තිකරන පද්ධතියටත් හානි සිදු විය හැකියි. නමුත් සිදු වන හානිය දැනගැනීමට හැකි වන්නේ වසර ගණනාවක් ගිය පසුවයි.

සමකය අසල පිහිටි රටවලට පතිත වන හිරුරැස්වල පාරජම්බුල (UV) කිරණවල බලපෑම වැඩියි. එමනිසා නිවර්තන කාලාප හා උපනිවර්තන කාලාපවල වෙසෙන ජනයා මෙන්ම එම රටවලට සංචාරය සඳහා යන අයත් හිරු කිරණවලින් ආරක්ෂාවීමට යම් ක්‍රියා මාර්ග ගැනීම වැදගත්. ඊට එක් හේතුවක් වන්නේ මෑත වර්ෂවලදී වායු ගෝලයේ ඕසෝන් ස්ථරය පලුදු වීමයි. හිරුට දිගු කාලයක් පුරා නිරාවරණය වීම නිසා ඇති වන බලපෑම් ගැන අපි දැන් සලකා බලමු.

ඇසට සිදු වන හානිය

හිරු කිරණවලට නිරාවරණය වීමෙන් ඇසේ සුද ඇති වෙයි. දැනට ලොව පුරා මිලියන 15ක් පමණ ඇසේ සුද ඇති වීමෙන් අන්ධ වී තිබෙනවා. ඇසේ කාචයේ ඇති ප්‍රෝටීනවල සිදු වන වෙනස් වීමක් නිසා ආලෝකය විනිවිද ගමන් කිරීමේ හැකියාව අඩු කරයි. මෙලෙස ඇසේ සුද ඇති වීමට එක් හේතුවක් වන්නේ දිගු කාලයක් පුරා පාරජම්බුල කිරණවලට නිරාවරණය වීමයි. සියයට 20කටම ඇසේ සුද ඇති වීමට හේතුව දිගු කාලයක් පුරා හිරු එළියට නිරාවරණය වීම නිසා බව නිගමනය කර තිබෙනවා.

සමකය අසල පිහිටි රටවල එනම් අප්‍රිකාව, ආසියාව, මධ්‍යම ඇමරිකාව හා දකුණු ඇමරිකාවේ වෙසෙන ජනයාගෙන් බොහෝදෙනෙකුට ඇසේ සුද ඇති වීමේ ප්‍රවණතාව වැඩියි. එම වැසියන් වැඩි හරියක් දුගීකමින් පෙළෙන නිසා ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම කරගැනීමට නොහැකිව අන්ධභාවයෙන් පෙළෙනවා.

සමට සිදු වන හානිය

ලොව පුරා සිටින පිළිකා රෝගීන්ගෙන් තුනෙන් එකක්ම චර්ම පිළිකාවලින් පීඩා විඳින අයයි. සෑම වසරකම දරුණු චර්ම පිළිකාවක් වන මැලනෝමා පිළිකාවෙන් පීඩා විඳින රෝගීන් 1,30,000ක් පමණ වාර්තා වෙනවා. එමෙන්ම මිලියන දෙකත් තුනත් අතර වෙනත් චර්ම පිළිකා (basal cell carcinomas and squamous cell carcinomas) රෝගීන්ද සිටිනවා. සෑම වසරකදීම චර්ම පිළිකා රෝගීන් 66,000ක් පමණ මිය යන බවට ගණන් බලා තිබෙනවා.

හිරු රැස්වලින් ඔබේ සමට කොතරම් හානියක් සිදු වෙනවාද? සාමාන්‍යයෙන් සුලබව සිදු වන්නේ සම පිලිස්සී යෑමයි. මෙහිදි සමට සිදු වන හානිය දවස් දෙක තුනක් පැවතිය හැකි අතර සමහරවිට දිය බිබිලි මෙන්ම මතු පිට සම ගැලවී යා හැකියි.

හිරු එළියට සම පිලිස්සෙන විට එහි තිබෙන පාරජම්බුල කිරණ මගින් මතු පිට සමේ සෛල විනාශකර අභ්‍යන්තරයේ ඇති ස්ථරවලටද හානි පමුණුවයි. හිරුට නිරාවරණය වූ පසු කෙනෙකුගේ සම දුර්වර්ණ වී ඇත්නම් ඉන් පෙන්වන්නේ සමට හානි වී ඇති බවයි. සමෙහි වර්ධනය හා සෛල පාලනය වන්නේ ජානවල තිබෙන DNA මගිනුයි. හිරු කිරණවලට දැඩි ලෙස නිරාවරණය වීමෙන් DNAවලට හානි සිදු වන නිසා පිළිකා ඇති විය හැකියි. හිරු කිරණ සමේ ස්වාභාවය වෙනස් කිරීමටත් සම දුර්වල කිරීමටත් හේතු වෙයි. මෙය වයසට කලින් සම රැලි වැටීමටත් සම එල්ලා වැටීමත් හේතු වෙයි.

ප්‍රතිශක්ති පද්ධතියට සිදු වන හානිය

අධ්‍යයනවලින් පෙන්නුම් කරන්නේ අධික ලෙස පාරජම්බුල කිරණ සම උරාගන්නා විට පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තිකරන පද්ධතියේ යම් යම් දුර්වලතා ඇති විය හැකි බවයි. මේ නිසා යම් රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව හීන වෙයි. සාමාන්‍ය හිරු එළියට නිරාවරණය වීමේදී පවා බැක්ටීරියා, දිලීර හා වෛරස් ආසාදනවලට ලක්වීමේ ප්‍රවණතාව වැඩියි. බොහෝදෙනෙක්ගේ අද්දැකීම වී තිබෙන්නේ වැඩි පුර හිරු එළියට නිරාවරණය වීමේදී මුඛ වන වීම හා හර්පිස් රෝගයට ගොදුරු වන බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරන්නේ පාරජම්බුල කිරණවල එක් වර්ගයක් වන UVB කිරණ “ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කිරීම නිසා මුඛ වන වීම හා හර්පිස් රෝගය ඇති වීමට හේතු වන වෛරසය මර්දනය කිරීමට නොහැකි බවයි. මේ නිසා කලින් කලට මෙම රෝග මතු විය හැකියි.”

හිරුට නිරාවරණය වීම නිසා දෙයාකාරයට බලපෑම් එල්ල විය හැකියි. එකක් නම් සමේහි DNAවලට හානි සිදු වීමයි. අනික් හේතුව නම් ප්‍රතිශක්තිකරණ පද්ධතියට එම හානි සකස් කිරීමට ශක්තිය නොමැති වීමයි.

අප හිරු කිරණවලට නිරාවරණය වීමේදී නිසි ආරක්ෂිත පියවර ගත යුතුයි. එසේ නොකළොත් අපේ සෞඛ්‍යයත් අපේ ජීවිතත් අනතුරේ!

[11වන පිටුවේ කොටුව]

ඔබට ආරක්ෂා විය හැකි අයුරු

▪ උදේ දහයත් සවස හතරත් අතර කාලයේදී පාරජම්බුල කිරණවල බලපෑම වැඩි නිසා එම කාලයේදී හිරුට නිරාවරණය වීම හැකි තාක් දුරට අවම කරන්න

▪ හිරුගෙන් ආවරණය වීමට ඔබ සෙවණ ඇති ස්ථාන ප්‍රයෝජනයට ගන්න

▪ ඔබේ අත් පා හොඳින් වැසෙන සේ ඇඳුම් අඳින්න. ඇඟට හිර නොවූ ඇඳුම් අඳින්න

▪ ඔබේ ඇස් කන් මුහුණ හා ගෙල පෙදෙසට හිරු රැස් නොවදින සේ තොප්පියක් පළඳින්න

▪ හොඳ තත්වයේ අව්කණ්ණාඩි පළඳින්න. ඒවායින් ඇස් ආරක්ෂා වීමට නම් එහි UVA හා UVB අගය සියයට 99 සිට 100 දක්වා විය යුතුයි

▪ හිරු කිරණවලින් සම ආරක්ෂා කරගැනීම සඳහා හිරු කිරණ ආවරණ ආලේපන සෑම පැය දෙකකට වරක් ආලේප කළ යුතුයි. එම ආලේපනයේ හිරු කිරණ ආවරක සාධකය (sun protection factor) 15ක්වත් විය යුතුයි

▪ සමේ වර්ණය වෙනස් කිරීම සඳහා යොදාගන්නා පාරජම්බුල කිරණ සමට අහිතකර නිසා එවැනි ප්‍රතිකාර නුසුදුසු බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරයි

▪ බිළිඳුන්ගේ හා කුඩා දරුවන්ගේ සම සිනිඳු නිසා හිරු කිරණෙන් ඔවුන්ව ආරක්ෂා කරන්න

▪ අව්ව තැපීමෙන් වළකින්න

▪ දුඹුරු පැහැති ලප කැළැල් ඔබේ සමේ තිබෙනවා නම් වෛද්‍යවරයෙක් හමු වී ප්‍රතිකාර ලබාගන්න