Skip to content

පටුනට යන්න

ඔබේ ආගම වෙනස් කිරීම වැරදිද?

ඔබේ ආගම වෙනස් කිරීම වැරදිද?

බයිබලයෙන් පිළිතුරක්

ඔබේ ආගම වෙනස් කිරීම වැරදිද?

ඇව්ටා නම් ගැහැනු ළමයා පැවත එන්නේ ෂීක් පවුලකින්. ඇය බයිබලය අධ්‍යයනය කිරීමට පටන්ගත් විට ඇගේ පවුලේ අය කළබල වුණා. “අපේ පළාතේ ආගම වෙනස් කරන කෙනෙකුව ඒ සාමාජයෙන් අයින් කළා. අපේ නම් පවා අපේ ආගමට සම්බන්ධයි. ඒ නිසා කෙනෙක් ආගම වෙනස් කරනවා කියන්නේ ඔහුගේ හෝ ඇගේ අනන්‍යතාව වෙනස් කරනවා වගේම එය පවුලටත් ලොකු අගෞරවයක්.”

කාලයාගේ ඇවෑමෙන් ඇව්ටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වුණා. ඇය ආගම වෙනස් කිරීමෙන් කළේ වරදක්ද? සමහරවිට ඔබත් ඇගේ පවුලේ අය සිතන ආකාරයට සිතන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබේ ආගම ඔබේ පරම්පරාවට හා සංස්කෘතියට තදින් බැඳී තිබෙන නිසා එය වෙනස් නොකළ යුතුයි කියා ඔබටත් සිතෙන්න පුළුවන්.

පවුලේ අයට ගරු කිරීම අත්‍යවශ්‍යයි. බයිබලයේ ඒ සම්බන්ධයෙන් පවසන්නේ මෙසේයි. “ඔබව ජාතක කළ ඔබේ පියාට ඇහුම්කන් දෙන්න.” (හිතෝපදේශ 23:22, නව ලොව පරිවර්තනය, NW) නමුත් ඊටත් වඩා වැදගත් වන්නේ අපේ නිර්මාතෘ හා ඔහුගේ අරමුණු කුමක්ද කියා දැනගැනීමයි. (යෙසායා 55:6) එම කාරණා අපට සොයා දැනගැනීමට හැකිද? එය කොතරම් වැදගත්ද?

සත්‍ය සෙවීම

ලෝකයේ බොහෝ ආගම් තිබුණත් ඒවායේ ඉගැන්වීම් එකිනෙකට පටහැනියි. එසේනම් ඒ සෑම ඉගැන්වීමක්ම සත්‍යය විය නොහැකියි. මේ නිසා බයිබලය පවසන දේ සත්‍යයක්.බොහෝදෙනෙකුට ආගම් පිළිබඳ තිබෙන උද්‍යෝගය ‘නිවැරදි දැනුමට අනුව නොවෙයි.’ (රෝම 10:2) නමුත් බයිබල් ලේඛකයෙකු වන පාවුල් 1 තිමෝති 2:4හි පැවසුවේ දෙවිගේ කැමත්ත නම් ‘සියලු ආකාර මිනිසුන් සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමය’ කියායි. එවැනි නිවැරදි දැනුමක් ලබාගන්නේ කොහොමද?

නිවැරදි දැනුම ලබාගැනීමට බයිබලය අධ්‍යයනය කිරීම කොතරම් වැදගත්ද කියා තේරුම්ගැනීමට පහත සඳහන් කාරණා සලකා බලන්න. දෙවිගේ ආනුභාවය ලත් බයිබල් ලේඛකයෙක් වූ පාවුල් පැවසුවේ මෙසේයි. ‘මුළු ශුද්ධ ලියවිල්ලම දේවානුභාවයෙන්ය. එය ඉගැන්වීමට ප්‍රයෝජනවත්ය.’ (2 තිමෝති 3:16) ඔබ සත්‍යය සෙවීමේදී බයිබලයේ සඳහන් කාරණා නිවැරදිද කියා සොයා බලන්න. එහි අඩංගු අද්වීතිය ප්‍රඥාව, ඓතිහාසික වාර්තාවල නිරවද්‍යතාව හා ඉටු වූ අනාවැකි ගැන සොයා බලන්න.

සෑම ආගමක්ම මඟ පෙන්වන්නේ දෙවි වෙතට කියා සිතුවත් බයිබලයේ සඳහන්ව තිබෙන්නේ “ඒ ආනුභාව ලත් ප්‍රකාශයන් පැමිණෙන්නේ දෙවිගෙන්දැයි පරීක්ෂා කර බලන්න”කියායි. (1 යොහන් 4:1) උදාහරණයකට යම් ඉගැන්වීමක් දෙවිගෙන් පැමිණෙනවා නම් එම ඉගැන්වීම තුළ දෙවිගේ ගුණාංග විශේෂයෙන්ම ඔහුගේ ප්‍රධාන ගුණාංගය වන ප්‍රේමය පිළිබිඹු විය යුතුයි.—1 යොහන් 4:8.

එමෙන්ම බයිබලයේ අපට සහතික කරන්නේ අපි දෙවිව ‘සොයාගන්නවාට’ ඔහු කැමති බවයි. (ක්‍රියා 17:26, 27) අපේ නිර්මාතෘ අප සත්‍ය සොයාගන්නවාට කැමති නම් අප සොයාගන්නා සත්‍යයට එකඟව ක්‍රියා කිරීමෙහි වරදක් නැහැ. සමහරවිට ආගම වෙනස් කිරීමට පවා සිදු විය හැකියි. නමුත් එවැනි වෙනස්කමක් කිරීමේදී උද්ගත වන ප්‍රශ්න මොනවාද?

පක්ෂපාතකම කොතෙක් දුරටද?

ආගම වෙනස් කිරීමට යමෙකුට සිදු වන විට එතෙක් ඔහු පිළිපැද්ද ආගමික චාරිත්‍ර වාරිත්‍ර හා ඒ ආගමට සම්බන්ධ උත්සවවලට සහභාගී නොවීමට ඔහු තීරණය කළ හැකියි. ඒ නිසා පවුල තුළ සිත් රිදවීම් ඇති විය හැකියි. යේසුස් පවා එවැනි තත්වයක් ඇති විය හැකි බව තම ගෝලයන්ට පැවසුවා. “මිනිසෙකු තම පියා සමඟද, දුව ඇගේ මවු සමඟද, ලේලි ඇගේ නැන්දම්මා සමඟද භේද කරවන පිණිස ආවෙමි.” (මතෙව් 10:35) යේසුස් එයින් අදහස් කළේ බයිබලයේ තිබෙන ඉගැන්වීම් භේද ඇති කිරීමට සැලසුම් කළ ඒවා බවද? කොහෙත්ම නැහැ. ඇත්තෙන්ම ඔහු පැවසුවේ පවුලේ කෙනෙකු වෙනත් ආගමික විශ්වාසයක් පිළිපදින විට ඇති විය හැකි තත්වයන් ගැනයි.

දරුවන් දෙමාපියන්ට කීකරු විය යුතු බවත් භාර්යාවන් පුරුෂයන්ට යටත් විය යුතු බවත් බයිබලයේ උගන්වනවා. (එෆීස 5:22; 6:1) නමුත් දෙවිට ප්‍රේම කරන අය මුල් තැන දෙන්නේ දෙවිට කීකරු වීමටයි. (ක්‍රියා 5:29) ඒ නිසා සමහර අවස්ථාවලදී ඔබ දෙවිට කීකරුකම දැක්වීමේදී පවුලේ අය එකඟ නොවන තීරණ ගැනීමට පවා ඔබට සිදු විය හැකියි.

බයිබලයේ සත්‍යය සහ අසත්‍යය අතර වෙනස පැහැදිලිව පෙන්වා දී තිබුණත් එය පිළිගැනීමට හෝ නොපිළිගැනීමට දෙවි එක් එක්කෙනාට නිදහස දී තිබෙනවා. (ද්විතීය කතාව 30:19, 20) කෙනෙක් තමන් යම් විශ්වාසයකට අකමැති නිසා එය පිළිනොගන්න කියා අන් අයට බලකරන්නවත් පවුලේ බැඳීම නිසා යම් විශ්වාසයක් පිළිගන්න කියා බලකරන්නවත් කිසිවෙකුට අයිතියක් නැහැ. බයිබලය පාඩම් කිරීම නිසා පවුල තුළ බෙදීම් ඇති වෙනවාද? කොහෙත්ම නැහැ. බයිබලයේ උනන්දු කරන්නේ ස්වාමිපුරුෂයෙකුට හා භාර්යාවකට වෙනස් ආගමික විශ්වාසයන් තිබුණත් වෙන් නොවී එකට ජීවත් වෙන්න කියායි.—1 කොරින්ති 7:12, 13.

බිය ජය ගැනීම

ඔබ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරනවා නම් ඔබ ජීවත් වන සමාජය ඔබට කුමනාකාරයෙන් සලකයිද කියා ඔබ තුළ බියක් ඇති විය හැකියි. මාරිඅම්මාගේ අද්දැකීම සලකා බලන්න. “මාව හොඳින් රැකබලා ගන්න පුළුවන් ස්වාමිපුරුෂයෙක් මට සොයාගන්න බැරිවෙයි කියා මගේ පවුලේ අය ළතැවුල් වුණා. ඒ නිසා මම බයිබලය පාඩම් කරනවාට ඔවුන් විරුද්ධ වුණා.” නමුත් මාරිඅම්මා ඇගේ සම්පූර්ණ විශ්වාසය යෙහෝවා දෙවි කෙරෙහි තබා දිගටම බයිබලය පාඩම් කළා. (ගීතාවලිය 37:3, 4) ඔබටත් එසේම කළ හැකියි. බිය වෙනවාට වඩා ඉන් ලැබෙන ප්‍රයෝජන ගැන සිතා බලන්න. බයිබලයේ තිබෙන ඉගැන්වීම්වලට කෙනෙකුගේ ජීවිතය යහපත් මාර්ගයකට ගෙන ඒමට හැකියි. ඒ තුළින් කෙනෙක් තමන්ගේ පවුලේ අයට අවංකව ප්‍රේම කිරීමට ඉගෙනගන්නවා. නරක පුරුදු, සැහැසික ක්‍රියා, බේබදුකම හා මත්ද්‍රව්‍ය භාවිතය වැනි දේවලින් මිදෙන්න හැකියාව ලබා දෙනවා. (2 කොරින්ති 7:1) බයිබලය අධ්‍යයනය කිරීමෙන් කෙනෙකුට පක්ෂපාතකම, අවංකකම හා කඩිසරකම වැනි හොඳ ගුණාංග වර්ධනය කිරීමට හැකියා ලැබෙනවා. (හිතෝපදේශ 31:10-31; එෆීස 4:24, 28) බයිබලයේ සඳහන් ඉගැන්වීම් අධ්‍යයනය කර ඒවා ඔබේ ජීවිතය අදාළ කර නොදෙන්නේ මන්ද?

මේ ගැන ඔබ සිතුවාද?

▪ ඔබේ ආගමික විශ්වාසයන් ගැන සොයා බැලිය යුත්තේ මන්ද?—හිතෝපදේශ 23:23; 1 තිමෝති 2:3, 4.

▪ සත්‍ය ඉගැන්වීම් හඳුනාගත හැක්කේ කෙසේද?—2 තිමෝති 3:16; 1 යොහන් 4:1.

▪ පවුලේ අයගේ විරුද්ධවාදිකම් නිසා ඔබ බයිබලය අධ්‍යයනය කිරීම නතර කළ යුතුද?—ක්‍රියා 5:29.

[29වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

බයිබලයේ තිබෙන ඉගැන්වීම්වලින් කෙනෙකුගේ ජීවිතය යහපත් මාර්ගයකට ගෙන ඒමට හැකියි

[29වන පිටුවේ පින්තූරය]

මාරිඅම්මා සහ ඇගේ ස්වාමිපුරුෂයා