Skip to content

පටුනට යන්න

ඔබේ රහසිගත තොරතුරු සුරක්ෂිතද?

ඔබේ රහසිගත තොරතුරු සුරක්ෂිතද?

ඔබේ රහසිගත තොරතුරු සුරක්ෂිතද?

ඔබ කවදාහරි දවසක අන්තර්ජාලය හරහා යමක් මිල දී ගෙන තිබෙනවාද? එහෙමත් නැත්නම් පරිගණකයක ආධාරයෙන් ඔබේ බැංකු තොරතුරු ලබාගෙන තිබෙනවාද? ඔබ එසේ කර තිබෙනවා නම් රහස් සංකේත (පාස්වර්ඩ්) භාවිතයට ඔබ දැනටමත් හුරු වී ඇති.

මෑතක් වන තුරු වැදගත් තොරතුරු හුවමාරු කිරීම සඳහා රහසිගත ක්‍රම වැඩිපුරම භාවිත කළේ තානාතිපතිවරුන්ගේ, ඔත්තුකාරයන්ගේ, හමුදාවේ සහ රජයේ වැඩකටයුතු සඳහායි. නමුත් පරිගණක සහ අන්තර්ජාලය දැන් බහුල වශයෙන් භාවිත වන නිසා ඕනෑම කෙනෙකුට තමන්ගේ පෞද්ගලික තොරතුරු රහසිගතව තබාගැනීම සඳහා විවිධ ක්‍රම තිබෙනවා. කෙනෙකුට පරිගණකයේ තිබෙන යම් වැදගත් තොරතුරක් ලබාගැනීමට අවශ්‍ය නම් ඒ තොරතුරු තැන්පත් කර තිබෙන ස්ථානයට පිවිසීම සඳහා ඔහු රහස් සංකේතය දැනගෙන සිටිය යුතුයි.

මිනිසුන් යම් තොරතුරු රහසිගතව හුවමාරු කිරීම සඳහා විවිධ ක්‍රම සොයාගන්න පටන්ගත්තේ ලේඛන කලාවේ ආරම්භයේ සිටයි. නමුත් එම රහසිගත ක්‍රම කුමක්ද කියා සොයාගැනීමට තවත් පිරිසක් උත්සාහ දරමින් සිටිනවා.

සම්පූර්ණ පණිවිඩයම සැඟවීමේ ක්‍රමය

මේ ක්‍රමයට දිගු ඉතිහාසයක් තිබෙනවා. වරක් පර්සියානු හමුදාව තම රටට පහර දීමට සූදානම් වන බව ග්‍රීක ජාතික වහලෙකුට දැනගැනීමට ලැබුණා. තම රට වැසියන්ට මේ ගැන දැනුම් දීමට ඔහුට ලොකු උවමනාවක් තිබුණා. ඔහු ලී කැබලි මත ඒ ගැන කෙටි පණිවිඩ ලියා එම පණිවිඩ සැඟවීමට ඊට උඩින් ඉටි ආලේප කර ඒ ලී කැබලි තම රටවැසියන්ට ලැබෙන්න සැලැස්සුවා. ඔහු යොදා ගත් ඒ ක්‍රමය නිසා පර්සියානු හමුදාව අන්ත පරාජයට පත් කරන්න ග්‍රීකවරුන්ට හැකි වුණා.

පණිවිඩ සැඟවීමට දැන් නවීන ක්‍රම තිබෙනවා. රහස්‍ය සලකුණු (watermark) යොදාගැනීම හා විශාල තොරතුරු ප්‍රමාණයක් තිතක් තරම් කුඩා කර (microdot) යම් ස්ථානයක සඟවා තැබීම මේ ක්‍රමවලට ඇතුළත්. දෙවන ලෝක මහා යුද්ධ කාලයේදී මෙවැනි ක්‍රමයක් යොදාගනු ලැබුවා. ඒ කාලයේදී ඡායාරූපයක් එලෙස කුඩා කර යැවීමේ හැකියාව තිබුණා. තිතක් තරම් කුඩා කළ ඒ ඡායාරූපය ලැබෙන කෙනාට කරන්න තිබුණේ, එය නැවත විශාල කරගැනීම පමණයි.

අද කාලයේ කාමුක පින්තූර අලෙවි කරන අයත් මීට සමාන ක්‍රම භාවිත කරන අතර ඊට වඩා දියුණු ක්‍රම යොදාගන්නවා. ඔවුන් එවැනි පින්තූර හඳුනාගත නොහැකි වන සේ කුඩා කර සාමාන්‍ය පින්තූර, ලිපි ආදියේ සඟවා තබනවා. ඒ ක්‍රමයට සඟවා තැබූ යමක් තව කෙනෙකුට විවෘත කිරීමට නොහැකි වන සේ ඊට රහස් සංකේතයක්ද යෙදිය හැකියි. එසේ කළා නම් එහි අයිතිකරු හා එය ලබන කෙනා හැර වෙන කිසිම කෙනෙකුට එය විවෘත කරන්න බැහැ.

පණිවිඩයේ අර්ථය සැඟවීමේ ක්‍රමය

මෙහිදි සිදු කරන්නේ සාමාන්‍ය තොරතුරකට සැඟවුණු අර්ථයක් ඇතුළත් කිරීමයි. ඒ අන්දමට සකස් කළ පණිවිඩයක් වෙනත් පුද්ගලයෙක් කියෙව්වත් එහි සැඟවුණු අර්ථය ඔහුට තේරුම්ගැනීමට හැකි වන්නේ නැහැ. එහි අර්ථය දැනගත හැකි වන්නේ එය සඟවා තිබෙන ආකාරය දන්න පුද්ගලයන්ට විතරයි.

අතීතයේදීද සැඟවුණු පණිවිඩ යැවීමේ ක්‍රම තිබුණා. මේ සඳහා දිග හම් පටියක් සහ කෝටුවක් අවශ්‍ය වුණා. එම කෝටුව වැසෙන සේ හම් පටිය ඔතා එම කෝටුවේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා යම් රහසිගත පණිවිඩයක් ලියනවා. ඉන්පසු ඔතපු හම් පටිය ගලවා පණිවිඩය ලැබිය යුතු කෙනාට යවනවා. ඒ ක්‍රමය ගැන නොදන්නා කෙනෙක් පටිය දිහා බැලුවොත් ඔහු දකින්නේ ඒ මත තැනින් තැන ලියූ අකුරු ටිකක් විතරයි. නමුත් පණිවිඩය ලැබෙන කෙනාට කරන්න තියෙන්නේ ඒ හා සමාන ගනකමක් ඇති කෝටුවක් රැගෙන එය දිගේ හම් පටිය එතීමයි. එවිට එහි සඳහන් සැඟවුණු පණිවිඩය ඔහුට කියවීමට හැක. සමහර අවස්ථාවලදී ඒ පණිවිඩය තවත් ආරක්ෂා කිරීම සඳහා එය රැගෙන ගිය පුද්ගලයා කළේ හම් පටිය ඉන පටියක් සේ පැළඳගෙන යෑමයි.

තවත් ක්‍රමයක් ජුලියස් සීසර් යොදාගත්තා. ඔහු කළේ රහසිගත පණිවිඩයක් ලියද්දී එහි ඇති වචනවල අකුරු වෙනුවට හෝඩියේ පිළිවෙලට එම අකුරේ සිට ඉදිරියෙන් තිබෙන තුන්වන හෝ හතරවන අකුර යොදාගැනීමයි. උදාහරණයකට ‘අ’ වෙනුවට ලිව්වේ ‘ඈ’, ‘ආ’ වෙනුවට ලිව්වේ ‘ඉ’.

ප්‍රංශ රාජ්‍ය නියෝජිතවරයෙක් රහසිගත පණිවිඩ යැවීමේ තවත් ක්‍රමයක් සොයාගත්තා. ඔහු කළේ විවිධ භාෂාවල අකුරු යොදාගෙන පණිවිඩ ලිවීමයි. ඔහුගේ ක්‍රමය ඉතා සාර්ථකයි කියා ඒ කාලයේදී සලකනු ලැබුවා.

එවැනි රහසිගත ක්‍රමවලට ලියූ පණිවිඩ සොයාගත් පිරිසක්ද සිටියා. උදාහරණයකට, සෑම භාෂාවකම වගේ යම් අකුරු, අනික් අකුරුවලට වඩා බොහෝ වාර ගණනක් භාවිත වන බව සොයාගනු ලැබුවා. ඒ තුළින් ලිපියක ඕනෑම අකුරක් කොතරම් වාර ගණනක් සඳහන් වී තිබෙනවාද කියා ගණනය කිරීමෙන් එම ලිපියේ රහසිගත පණිවිඩයක් තිබෙනවාද නැද්ද කියා හඳුනාගැනීමේ ක්‍රමයක් බිහි වුණා.

පහළොස්වන ශත වර්ෂය වෙද්දී රාජ්‍ය නියෝජිතයන් අතර සැඟවුණු අදහස් ඇති පණිවිඩ යැවීමේ ක්‍රම බහුලව භාවිත වුණා. නමුත් ඒ ක්‍රම සියයට සියයක්ම සාර්ථක වුණේ නැහැ. උදාහරණයකට ස්පාඤ්ඤ රජමාලිගාවේ යොදාගත් රහසිගත පණිවිඩ හුවමාරු ක්‍රමය සොයාගන්න ප්‍රංශ ජාතිකයෙකුට හැකි වුණා. ඔහු කොතරම් සාර්ථක වුණාද කියනවා නම් ඔහුට යක්ෂයා එක්ක සම්බන්ධකම් තිබෙනවා කියාත් ඔහුව කතෝලික අධිකරණයට රැගෙන ඇවිත් විභාග කළ යුතුයි කියාත් දෙවන ෆිලිප් රජතුමා කියා සිටියා.

නවීන තාක්ෂණය යොදාගැනීම

විසිවන ශත වර්ෂය වෙද්දී විශේෂයෙන් ලෝක මහා යුද්ධ දෙක සිදු වූ කාලය තුළ නවීන යන්ත්‍ර යොදාගැනීම නිසා රහස් පණිවිඩ යැවීමේ ක්‍රමය තවත් දියුණු වුණා. උදාහරණයකට ජර්මානු ජාතිකයන් යතුරුලියනයකට සමාන යන්ත්‍රයක් නිෂ්පාදනය කළා. ඒ යන්ත්‍රයේ තිබෙන විශේෂත්වය තමයි එයට යම් පණිවිඩයක් ඇතුළත් කළාම ඒ යන්ත්‍රය තුළින් එම පණිවිඩය විකෘති කිරීම. ඒ විකෘති වූ පණිවිඩය විද්‍යුත් සංඥා ක්‍රමයකින් අනික් යන්ත්‍රයට යවනු ලබනවා. නමුත් පණිවිඩය ලබන යන්ත්‍රය එම පණිවිඩය නැවත ප්‍රකෘතිමත් තත්වයට පත් කරනවා. එවිට එම රහසිගත පණිවිඩය පැහැදිලිව කියවීමට එය ලැබෙන කෙනාට හැකි වෙනවා. නමුත් කාලයක් යද්දී එම ක්‍රමයත් අසාර්ථක වුණා.

මුදල් තැන්පත් කිරීම්, හුවමාරු කිරීම් හා ගෙවීම් සිදු කිරීමට අද කාලයේ යම් සංකීර්ණ රහසිගත ක්‍රම තිබෙනවා. ඒ වගේම ආණ්ඩුවේ තොරතුරු, වෛද්‍යමය වාර්තා හා වෙනත් දේවල් ඉතා රහසිගතව තබාගැනීම සඳහාද සංකීර්ණ ක්‍රම තිබෙනවා. එවැනි රහසිගත තොරතුරු තවත් කෙනෙකුට දැනගැනීමට හැකි වන්නේ ඒ සඳහා තිබෙන රහස් සංකේතය ඔහු දන්නවා නම් පමණයි. එය හරියට දොරක් විවෘත කිරීමට නිවැරදි යතුර අවශ්‍ය වෙනවා වගෙයි. පරිගණකයක තිබෙන රහසිගත තොරතුරු ලබාගන්න නම් රහස් සංකේතය නිවැරදිව, නිසි පිළිවෙලට ඇතුළත් කළ යුතුයි. රහස් සංකේතයේ තිබෙන ඉලක්කම් හෝ අකුරු ප්‍රමාණය වැඩි වෙන තරමටම එහි සුරක්ෂිතභාවයද වැඩි වෙයි.

කෙසේවෙතත් ඒ ක්‍රමය පවා සමහර අවස්ථාවලදී අසාර්ථක වී තිබෙනවා. ඊට එක් උදාහරණයක් 2008දී එක්සත් ජනපදයේ එකළොස් දෙනෙකු විසින් සිදු කළ රහස් සංකේත සොරකම. ඔවුන් නවීන තාක්ෂණය යොදාගෙන බොහෝදෙනෙකුගේ බැංකු තොරතුරු සොයාගෙන තිබුණා. එසේනම් ඔබේ පෞද්ගලික තොරතුරු කොතරම් සුරක්ෂිතද? එහි සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා ඔබට කුමක් කළ හැකිද?

ඔබේ රහසිගත තොරතුරු සුරක්ෂිතද?

ඔබේ බැංකු ගිණුම් හා අන්තර් ජාලයේ තොරතුරු හුවමාරු කිරීමට තිබෙන රහස් සංකේත ඉතා සුරක්ෂිතයි කියා අපි සිතනවා. ඒ කෙසේවෙතත් ඔබ සැලකිලිමත් විය යුතු පැති තිබෙනවා. “බුද්ධිමත් අය අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙති. නමුත් අද්දැකීම් අඩු අය ඒ දෙසටම ගමන් කර ප්‍රතිඵල විඳිති” කියා බයිබලය පවසයි. (හිතෝපදේශ 22:3, නව ලොව පරිවර්තනය) ඒ නිසා බුද්ධිමත් වී අද කාලයේ සිදු වන වංචනික ක්‍රියා සහ සොරකම්වලින් ආරක්ෂා වෙන්න. ඒ සඳහා ඔබට පහත සඳහන් දේවල් කළ හැකියි.

▪ ඔබේ පරිගණකය වයිරස්වලින් ආරක්ෂා කරගන්න. (ඇන්ටි වයිරස් යෙදීම)

▪ ඔබේ පරිගණකයේ තිබෙන තොරතුරු තව කෙනෙකුට රහසිගතව ලබාගැනීමට නොහැකි වන සේ පියවර ගන්න. (ස්පයි වෙයා ඩිටෙක්ෂන් යෙදීම)

▪ තව කෙනෙකුට ඔබේ පරිගණකයට අනවසරයෙන් ඇතුල් වීමට නොහැකි වන සේ එය ආරක්ෂා කරගන්න. (ෆයර් වෝල් යෙදීම)

▪ ඉහත සඳහන් දේවල් කිරීමට ඔබ යොදාගන්නා ක්‍රම නිතරම අලුත්ම ඒවා විය යුතුයි.

▪ නාඳුනන අයගෙන් ලැබෙන ඊ-මේල් සහ ඒවාට සම්බන්ධ කර එවන තොරතුරු ගැන පරිස්සම් වෙන්න.

▪ අන්තර්ජාලය හරහා ක්‍රෙඩිට් පත්වල හෝ බැංකු ගිණුම්වල තොරතුරු හුවමාරු කිරීමේදී එහි ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්න. ඔබගේ කටයුතු අවසන් වූ වහාම වෙබ් අඩවිය වසන්න.

▪ තව කෙනෙකුට පහසුවෙන් සොයාගැනීමට නොහැකි රහස් සංකේත තෝරගන්න.

▪ ඔබේ පරිගණකයට දත්ත ඇතුළත් කරන විට වයිරස් ඇතුල් විය හැකි නිසා විශ්වාසවන්ත කෙනෙකුගෙන් එම තොරතුරු ලබාගන්න.

▪ ඔබේ පරිගණකයට ඇතුළත් කරන තොරතුරු ආරක්ෂා කරගැනීම සඳහා ඒවා නිරතුරුවම පිටපත් කර තබාගන්න.

ඉහත සඳහන් පියවර ගැනීමෙන් ඔබේ පෞද්ගලික තොරතුරු රහසිගතව හා සුරක්ෂිතව තබාගැනීමට ඔබට වැඩි ඉඩකඩක් සැලසිය හැකියි.

[26වන පිටුවේ පින්තූරය]

හම් පටිය

[26වන පිටුවේ පින්තූරය]

විසිවන ශත වර්ෂයේ ජර්මානු ජාතිකයන් නිපද වූ යන්ත්‍රය

[26වන පිටුවේ පින්තූරය]

අද කාලයේ තොරතුරු රහසිගතව තබාගැනීමට යොදාගන්නා සංකීර්ණ ක්‍රම