Skip to content

පටුනට යන්න

ගතට ප්‍රබෝධය ගෙන දෙන පානය

ගතට ප්‍රබෝධය ගෙන දෙන පානය

ගතට ප්‍රබෝධය ගෙන දෙන පානය

සෑම වසරකම ලොව පුරා ජනයා කෝපි කෝප්ප බිලියන සියයක් පමණ පානය කරනවා. මෙය ඉතා ජනප්‍රිය පාන අතරින් එකක්.

කෝපිවලට ප්‍රිය කරන අය “නියම කෝපි” කෝප්පයක් ලෙසට සලකන්නේ නිසි පදමට සකස් කරන ලද කෝපි වර්ගයක් වන එස්ප්‍රෙසෝ කෝපි බව එක් සඟරාවක සඳහන් වුණා. එහි තවදුරටත් සඳහන් වුණේ “එය විශේෂ ආකාරයකට සාදාගන්නා නිසා කෝපි ඇටවල තිබෙන නියම රසය රැකෙනවා” කියායි. මෙම විශේෂිත කෝපි කෝප්පය සාදාගන්නේ කෝපි කුඩු වාෂ්පයෙන් තම්බාගැනීමෙනුයි.—එම සඟරාව Scientific American.

“එස්ප්‍රෙසෝ කෝපිවල රස බැලීමට බොහෝදෙනා අවන්හල්වලට ඇදී ගියත් ඔවුන් තම නිවසේදීම එවැනි කෝපි සාදාගැනීමට කැමත්තක් දක්වනවා” කියා කෝපි නිෂ්පාදන ක්ෂේත්‍රයේ නියැලී සිටින කෙනෙක් පිබිදෙව්! සඟරාවට පැවසුවා. එස්ප්‍රෙසෝ කෝපි සාදන යන්ත්‍ර නිවෙස්වලද දක්නට ලැබෙනවා. මේ නිසා සමහර රටවල බොහෝදෙනා නිවසේදීම මෙම කෝපි සාදාගැනීමට නැඹුරු වී තිබෙනවා.

ඔබත් කෝපි පානයට ළැදිකමක් දක්වන කෙනෙක්ද? එස්ප්‍රෙසෝ කෝපි සෑදීමේ කලාව දැනගැනීමට ඔබත් කැමතිද? ඒ සඳහා අප එම ක්ෂේත්‍රයේ නිපුණත්වයක් ලබා ඇති ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ජෝන් සහ ඔහුගේ පියා වන ජේරාඩෝගෙන් විමසමු.

නියම පදමට සාදාගැනීම

ජෝන් සහ ජේරාඩෝගේ කෝපි කර්මාන්ත ශාලාවේ ලෝකයේ විවිධ රටවලින් ගෙන් වූ කෝපි ඇට පිර වූ ගෝණි විශාල ප්‍රමාණයක් දැකගත හැකියි. “මම කෝපි සකස් කරන්නේ විශේෂිත වට්ටෝරුවකට අනුවයි. සෑම කෝපි වර්ගයක්ම එකිනෙකට වෙනස් නිසා එහි රසයද විවිධාකාරයි. ඔබට අවශ්‍ය රසය ලබාගැනීමට යම් වෑයමක් දැරිය යුතුයි. අපේ හොඳම එස්ප්‍රෙසෝ කෝපි වර්ගය නිපදවීමට මම මාස හයක් පුරා අත්හදා බැලීම් කළා” කියා ජෝන් පවසනවා. මෙම ක්ෂේත්‍රයේ නියැලෙන අය කෝපි සාදාගන්නා ආකාරය අනික් අයට කියා නොදීම පුදුමයට කාරණයක් නොවෙයි.

කෝපි ඇට නියමිත ප්‍රමාණයට බැදෙනවාද කියා අධීක්ෂණය කරන්නේ ජේරාඩෝයි. ඔහුට මේ සඳහා හොඳ පළපුරුද්දක් තිබෙනවා. කෝපි ඇට බැදෙන විට එහි තිබෙන රසායනික සංඝටකවල යම් යම් වෙනස්කම් සිදු වෙනවා. කෝපි ඇට යන්ත්‍රයේ බැදෙන විට, ඒවා පුපුරන ශබ්දය ඇසෙන විට එය නියමිත ප්‍රමාණයට බැදී ඇති බවට ලකුණක්. එවැනි ශබ්දයක් නිකුත් වන්නේ එම ඇටවල තිබෙන වතුර සහ කාබන්ඩයොක්සයිඩ් ඉවත් වී ඇට ප්‍රසාරණය වන විටයි. කෝපි ඇට ප්‍රසාරණය වන විට ඇතුළත අඩංගු සුවඳවත් තෙල් ඉවතට එනවා. එස්ප්‍රෙසෝ කෝපිවල සුවඳ හා රසයට හේතුව මෙම තෙලයි. එස්ප්‍රෙසෝ කෝපි සෑදීමට නම් නියමිත ප්‍රමාණයට කෝපි ඇට බැදගැනීම ඉතා වැදගත්. මෙහිදී ඒ සඳහා වැය කරන කාලය හා ලබා දෙන තාපය ගැන සැලකිලිමත් විය යුතුයි.

ජෙරාඩෝ නියම වෙලාවට දුඹුරු පැහැයෙන් යුත් කෝපි ඇට බාගන්න අතර තවදුරටත් එහි තිබෙන උණුසුම නිසා කෝපි ඇට කර නොවීම සඳහා සිසිල් වාතය හමන්න සලස්වනවා. “මෙම කෝපිවල සුවඳ උපරිම මට්ටමක තිබෙන්නේ එය බැද, දවස් දෙක තුනක් ඇතුළතයි” කියා ජෝන් පවසනවා. එසේ සකසා ගත් ඇට කුඩු කර කෝපි සාදාගත හැකියි.

කෝපිවල රස බලමුද

අනිකුත් කෝපි සෑදීමට වඩා එස්ප්‍රෙසෝ කෝපි සෑදීමට හොඳ පළපුරුද්දක් අවශ්‍යයි කියා ජෝන් පවසනවා. මෙහිදී සැලකිලිමත් විය යුතු කාරණා තුනක් තිබෙනවා. (1) නියමිත ප්‍රමාණයට කෝපි ඇට කුඩු කරගැනීම. (2) කෝපි සාදන යන්ත්‍රයේ ඇති කෝපි කුඩු දැමීමට නියමිත භාජනයට කෝපි කුඩු දමා තද කරගන්න. (3) කෝපි කෝප්පයක් නියමිත ආකාරයට වත් කරගන්න. කෝපි ඇට නියමිත ප්‍රමාණයට කුඩු කරගැනීම වැදගත්. “ප්‍රමාණවත් ලෙස කුඩු වී නැත්නම් කෝපි දියාරු ස්වභාවයක් ගනියි. එමෙන්ම වුවමනාවට වඩා කෝපි ඇට කුඩු වී තිබෙනවා නම් එයින් තිත්ත මෙන්ම කරවුණු රසයක් දැනිය හැකියි. කෝපි කෝප්පයට කෝපි වත් කරන විට එහි නඟින පෙනවලින් ඇටවල තිබෙන තෙල් නියමිත ප්‍රමාණයට ඉවතට ඇවිත් තිබෙනවාද කියා දැනගත හැකියි” කියා ජෝන් පවසනවා.

කෝපි ඇට කුඩු කරගැනීමෙන් පසු ජෝන් උපකරණයක් ආධාරයෙන් යන්ත්‍රයේ ඇති භාජනයට කෝපි කුඩු දමා තද කරගන්නවා. ඉන්පසු ඔහු ඊට ප්‍රමාණවත් ජලය එකතු කර එය ක්‍රියාත්මක කරනවා. එවිට යන්ත්‍රයෙන් උණු උණු කෝපි පෙරෙන්න පටන්ගන්නවා. නමුත් කෝපි හොඳින් කුඩු වී නැති බව ජෝන්ට ඉක්මනින්ම වැටහෙනවා. “පළමු වතාවේදීම රසවත් එස්ප්‍රෙසෝ කෝපි කොප්පයක් හදාගන්න බැහැ. ඒකට කිහිප වතාවක්ම උත්සාහ කරන්න ඕනේ. දැන් අපි හොඳින් කුඩු කරගත් කෝපි දාලා කෝපි කෝප්පයක් සාදාගමු. ඒ වගේම කලින් වතාවට වඩා කෝපි ටිකක් වැඩියෙන් තද කරගමු. එතකොට කෝපි හීන් සීරුවේ පෙරෙයි.”

ජෝන් නැවතත් යම් යම් සකස් කිරීම් කර යන්ත්‍රය ක්‍රියාත්මක කරයි. දැන් උණු කරන ලද පැණි මෙන් පෙන දමමින් එස්ප්‍රෙසෝ කෝපි වැක්කෙරෙනවා. ඉමිහිරි කෝපි සුවඳ අවට පරිසරය පුරාම පැතිර යද්දී එය නියම කෝපි කොප්පයක් බවට සනාථ කරමින් ජෝන්ගේ මුවඟට සිනාවක් නැඟෙයි. “කෝපිවල වර්ණය වෙනස් වෙද්දී කෝපි වත් කරන එක තත්පර 30කට විතර නතර කරන්න ඕනේ. නැත්නම් කෝපිවල තිත්ත රසයක් දැනෙයි. ඒ වගේම එහි අඩංගු කැෆේන් ප්‍රමාණයද වැඩියි” කියා ජෝන් පවසනවා.

“අපි දැන් නියම කෝපි කෝප්පයක් හැදුවා. කෝපි එකක රස බලන්න ආසයිද” කියා ජෝන් පෙන රැඳී තිබෙන කෝපි කෝප්පය පෙන්වා අපෙන් ඇසුවා.

එස්ප්‍රෙසෝ කෝපි ගැන හොඳින් දන්නා අය කැමැත්තක් දක්වන්නේ නියම ආකාරයට සෑදු කෝපි කෝප්පයක රස බැලීමටයි. ඔවුන් මෙම කෝපිවලට සීනි ස්වල්පයක් හැර වෙන කිසිවක් එකතු කරගන්නේ නැහැ. තවත් සමහරු මෙම කෝපිවලට උණු කිරි දමා කැපචිනෝ හා ලටේ ලෙස වෙනත් කෝපි වර්ග සාදාගන්නවා. “අද සියයට 90ක් පමණ එස්ප්‍රෙසෝ පානය කරන්නේ කිරි සමඟයි” කියා එක් සඟරාවක සඳහන් වෙනවා.—Fresh Cup Magazine. *

සතුටු සාමිච්චියේ යෙදෙන විට කෝපි කොප්පයක හෝ තේ කෝප්පයක රස බැලීම කොයි කවුරුත් කරන දෙයක්. “රසවත් පානය මිතුරන් එක් කරයි” කියා ජෝන් පැවසුවා.

[පාදසටහන]

^ 15 ඡේ. තේවල හා කෝපිවල කැෆේන් අඩංගු නිසා ඒවාට ඇබ්බැහි වීමක් සිදු වන බැවින් ක්‍රිස්තියානියෙකු ඒවායින් වැළකී සිටිය යුතුද කියා සොයා බැලීමට මෙම සඟරාව සමඟ බෙදාහරින අනික් සඟරාව වන මුරටැඹ, 2007 අප්‍රියෙල් 15 කලාපයේ “පාඨකයන්ගෙන් ප්‍රශ්න” නමැති ලිපිය බලන්න.

[15වන පිටුවේ කොටුව⁄පින්තූරය]

කෝපි මිල දී ගැනීම හා ගබඩා කිරීම

“බැදගත් කෝපිවල රසය සතියක් ගිය පසු අඩු වී යයි. අඹරාගත් කෝපිවල රසය පැයකින් පසු අඩු වෙයි. සාදාගත් කෝපි කෝප්පයක රසය පවතින්නේ විනාඩි කිහිපයක් පමණයි” කියා කෝපි මිල දී ගන්නා කෙනෙක් පවසනවා. ඔබ කෝපි ඇට මිල දී ගන්නා විට සුළු ප්‍රමාණයක් මිල දී ගැනීමටත් ඒවා ශීත අදුරු තැනක ගබඩා කිරීමටත් වග බලා ගන්න. නමුත් ශීතකරනයක තබන්න එපා. එසේ කිරීමෙන් එහි තෙතමනය ඉවත් වීමටත් එහි රසය අඩු වීමටත් පුළුවන්. ඔබ කෝපි කුඩු කරගත යුත්තේ කෝපි කෝප්පයක් සෑදීමට පෙරයි.

[15වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Photo 3: Images courtesy of Sunbeam Corporation, Australia