Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

▪ “රුසියාවේ දැනට ටොන් බිලියන දෙකක් පමණ බර විෂ අපද්‍රව්‍ය තිබෙන බවත් ඒවා විනාශ කිරීමට ක්‍රමයක් නැති බවත් වාර්තා වෙනවා.”—RIA NOVOSTI, RUSSIA.

▪ විසිඑක්වන සියවසේ මුහුදු මංකොල්ලකෑම් වැඩි වී තිබෙනවා. වර්ෂ 2007දී පමණක් “එවැනි මංකොල්ලකෑම් හා එසේ කිරීමට උත්සහ දැරූ අවස්ථා 263ක් වාර්තා වෙනවා.”—THE WALL STREET JOURNAL, U.S.A.

අම්මා බිව්වොත් බබාට ලෙඩ

ජර්මනියේ සෑම වසරකම බිලිඳුන් 10,000ක් පමණ උපත ලබන්නේ ආබාධිතවයි. ඊට හේතුව මව්වරුන් මත්පැන් පානය කිරීම බව එක් පුවත්පතක වාර්තා වෙනවා. ඉහත කී සංඛ්‍යාවෙන් දරුවන් 4,000ක් පමණ ජීවිත කාලය පුරාම පවතින දරුණු ආබාධයන්ට මුහුණ දෙනවා. “ගැබිනි සමයේදී මත්පැන් ටිකක් ගත්තට කමක් නැහැ යන මතය කොහෙත්ම අනුමත කළ නොහැකියි. ඉඳහිට මත්පැන් ටිකක් පානය කිරීමෙන් පවා දරුවාගේ මානසික හා ශාරීරික සෞඛ්‍යයට හානි සිදු විය හැකියි. ඒ බව වෛද්‍යවරුන් හා සාත්තු සේවිකාවන් මාර්ගයෙන් ගැබිනි මව්වරුන්ව දැනුවත් කළ යුතුයි” කියා මත්ද්‍රව්‍ය පිළිබඳ කොමසාරිස්වරියක් වන සාබින් බෙට්සිං පවසනවා.—එම පුවත්පත Süddeutsche Zeitung.

ගතට සුවය දෙන ගෙවතු වගාව

“තමන්ට අවශ්‍ය එළවළු හා පලතුරු තමන්ම වගා කරගැනීම කෙනෙකුගේ ශරීර සෞඛ්‍යයට බොහෝ සෙයින් ප්‍රයෝජනදායක බව පර්යේෂකයන් සොයාගත්තේ මෑතකදීයි” කියා එක් සඟරාවක වාර්තා වුණා. පර්යේෂකයන් පෙන්වා දෙන්නේ “පසෙහි තිබෙන සමහර ක්ෂුද්‍ර බැක්ටීරියාවන්” ශ්වසනයෙන් හෝ වෙනත් ක්‍රමයකින් ශරීරයට ඇතුල් වීමෙන් “අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ උත්තේජනයක්” ඇති කරන බවයි. එම සඟරාවේ තවදුරටත් මෙසේද සඳහන් වෙනවා. “පසෙහි තිබෙන සමහර සංඝටක අපගේ ශරීර සෞඛ්‍යයට අවශ්‍යයි. අපට ඒවා ලැබෙන්නේ එහි වැවෙන පලතුරු හා එළවළුවලිනුයි. නමුත් ඉහත කී ක්‍රමයෙන් අපේ ශරීරයට අවශ්‍ය සංඝටක කෙළින්ම ලැබෙනවා.”—එම සඟරාව Psychology Today.

ගුවන් ගමන් වාර්තාවක්

වයිරපෙඳ ගොහොදුවිත්තන් නමැති කුරුල්ලන් කිහිපදෙනෙක් පැසිෆික් සාගරය හරහා දිගු ගමනක් පියඹා යන ආකාරය චන්ද්‍රිකා මාර්ගයෙන් නිරීක්ෂණය කර තිබෙනවා. උන් සාමාන්‍යයෙන් වැඩියෙන්ම වෙසෙන්නේ භූමියේයි. නමුත් වසරකට වතාවක් මෙලෙස දිගු ගමනක යෙදෙනවා. “එක දිගට දිගු වේලාවක් පුරා ගමන් කරන කුරුල්ලා” ලෙස එක්සත් ජනපදයේ භූගෝලීය සමීක්ෂණ කණ්ඩායම උන්ව නම් කර තිබෙන්නෙත් ඒ නිසයි. එක් කිරිල්ලියක් ඇලස්කාවේ සිට නවසීලන්තය දක්වා එක දිගට දින අටක් කිලෝමීටර් 11,650ක් පියාසර කර තිබෙනවා. “බර ග්‍රෑම් 700ක් වූ එම කිරිල්ලි” නවසීලන්තයට සේන්දු වන විට “උගේ බර හරි අඩක්ම අඩු වී” තිබුණු බව එක් සඟරාවක (The Week) සඳහන් වෙනවා. උන් නැවත තම මව් බිම කරා එන විට නවසීලන්තයෙන් චීනයට ගොස් එතැනින් ඇලස්කාවට පැමිණෙනවා. එහි සම්පූර්ණ දුර කිලෝමීටර් 29,000යි. “සෑම වසරකටම ගොහොදුවිත්තෙක් කිලෝමීටර් 29,000ක් ගමන් කරනවා නම් ඌගේ සම්පූර්ණ ජීවිත කාලය තුළදී ඌ කිලෝමීටර් 4,63,000ක් පමණ ගමන් කරන බව” එක්සත් ජනපදයේ භූගෝලීය සමීක්ෂණ කණ්ඩායම පවසනවා.

පතොක් හොරු

ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයේ පිහිටි සෙගුවාරො ජාතික උද්‍යානයේ එම ප්‍රදේශයේ පමණක් වැවෙන පතොක් ගස් වර්ගයක් සොරකම් කරන බව වාර්තා වෙනවා. එම ප්‍රාන්තයේ කෘෂිකාර්මික දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසුවේ “සෙගුවාරො උද්‍යානය මෙන් හැමෝටම තමන්ගේ ගෙවත්ත අලංකාර කරගන්න අවශ්‍යයි” කියායි. ඒ නිසා මෙම පතොක් වර්ගය වාහනවලින් හොර රහසේ ගෙන යනවා දැකීම සුලභ දර්ශනයක්. උස ගස් ඩොලර් 1,000කට හෝ ඊට වැඩි ගණනකට විකිණිය හැකි නිසා සොරුන් බොහෝවිට උත්සහ කරන්නේ අඩි හතරත් හතත් තරම් උස පතොක් ගස් හෝ ඊට වඩා උස ගස් සොරකම් කිරීමටයි. මේවා සොරකම් කිරීම වළක්වාගැනීමට උද්‍යානයේ නිලධාරීන් එහි තිබෙන පතොක් ගස්වලට ක්ෂුද්‍ර චිප (Micro Chips) ඇතුළත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙමගින් පතොක් ගස් විකිණීමට තිබෙන තැන්වල තිබෙන්නේ උද්‍යානයෙන් සොරකම් කළ ඒවාද නැද්ද කියා සොයාගත හැකියි.