Skip to content

පටුනට යන්න

දුර දිග නොබැලීමේ ප්‍රතිඵලය

දුර දිග නොබැලීමේ ප්‍රතිඵලය

දුර දිග නොබැලීමේ ප්‍රතිඵලය

තුන්වන ලෝක මහා යුද්ධයක් අහම්බෙන් ඇති වෙයිද? ආණ්ඩු බලධාරීන් හා හමුදාවේ උසස් නිලධාරීන් යුද්ධයකින් ඇති වන අනිසි ප්‍රතිඵල හා සිදු වන විශාල ජීවිත හානිය ගැන නොතකා කටයුතු කරයිද?

එවන් දෙයක් ඉදිරියේදී සිදු වෙයිද නැද්ද කියා අප දන්නේ නැහැ. නමුත් මීට ශත වර්ෂයකට ඉහත දී එවැනි දෙයක් සිදු වුණා. යුරෝපයේ රටවල නායකයන් තම ජාතීන්ව මහත් යුද්ධයකට ඇද දැමුවේ එයින් ඇති වන ව්‍යසනය නොතකායි. පසුව එම යුද්ධය පළමුවන ලෝක මහා යුද්ධය ලෙස හැඳින්වූවා. “අපි යුද්ධ කළේ එයින් ඇති වන ප්‍රතිඵල නොදැනයි” කියා 1916-1922 දක්වා කාලය තුළ බ්‍රිතාන්‍යයේ අගමැති ලෙස කටයුතු කළ ඩේවිඩ් ලොයිඩ් ජොර්ජ් පැවසුවා. අප දැන් එම යුද්ධයෙන් ඇති වූ ව්‍යසනකාරී තත්වයන් කිහිපයක් ගැන සලකා බලමු.

“කිසිම පාලකයෙකුට විශාල යුද්ධයකට පැටලෙන්න අවශ්‍ය වුණේ නැහැ. ඔවුන්ට ඕන වුණේ වෙනත් ජාතීන්ව බිය ගන්වා තමන් අපරාජිත නායකයන් කියා පෙන්වීමටයි” කියා ඉතිහාසඥයෙක් වන ඒ. ජේ. පී. ටේලර් පවසනවා. රුසියානු අධිරාජ්‍යයාට හැඟුණේ සාමය රැකීමට කළ හැකි සෑම දෙයක්ම කළ යුතුයි කියායි. සමූල ඝාතනයකට සහය දෙන්න ඔහු කිසි ලෙසකින්වත් කැමති වුණේ නැහැ. කෙසේනමුත් වර්ෂ 1914 ජූනි 28වන දින උදෑසන 11.15ට පත්තු වූ වෙඩි උණ්ඩ දෙකක් මහත් ව්‍යසනයකට තුඩු දුන්නා.

ලෝකය උඩුයටිකුරු කළ වෙඩි තැබීමක්

වර්ෂ 1914දී යුරෝපයේ රටවල නායකයන් අතර ඇති වූ ගැටීම නිසා ප්‍රතිවිරුද්ධ පාර්ශවයන් දෙකක් ඇති වුණා. ඔස්ට්‍රියා හංගේරියාව, ඉතාලිය හා ජර්මනිය යන රටවල් අතර ත්‍රෛයි පාර්ශික ගිවිසුමක් ඇති වුණා. අනික් පාර්ශවය වූයේ බ්‍රිතාන්‍යය, ප්‍රංශය හා රුසියාවයි. මෙම රටවල් බෝල්කන් රාජ්‍ය ඇතුළු වෙනත් රටවල් සමඟත් දේශපාලනමය හා ආර්ථිකමය සම්බන්ධකම් පැවත්වූවා.

එම කාලයේදී බෝල්කන් රාජ්‍ය දේශපාලනමය අතින් එතරම් ස්ථාවරයක පැවතුණේ නැහැ. ඔවුන් සිටියේ බලවත් ජාතීන්ගේ බලපෑමට හසු වෙලයි. එම නිසා රට තුළ නිදහස වෙනුවෙන් සටන් කළ කල්ලි බිහි වුණා. ඔස්ට්‍රියානු ආදිපාදවරයා වන ෆ්‍රැන්සිස් ෆර්ඩිනන්ඩ් බොස්නියාවේ * අගනුවර වන සෙරාජිවෝවලට 1914 ජූනි 28වන දින සංචාරයක් සඳහා පැමිණියා. ඒ අවස්ථාවේදී තරුණයන් කිහිපදෙනෙකුගෙන් යුත් කල්ලියක් ඔහුව ඝාතනය කිරීමට සැලසුම් කළා. පොලිස් ආරක්ෂක භටයන් සිටියේ සුළු පිරිසක් නිසා ඔවුන්ට එවැනි ප්‍රහාරයක් සැලසුම් කිරීමට පහසු වුණා. මෙම ඝාතනය සැලසුම් කළ තරුණයන් එතරම් හොඳ පුහුණුවක් ලබා තිබුණේ නැති නිසා එම කණ්ඩායමෙන් කෙනෙක් ෆ්‍රැන්සිස් ෆර්ඩිනන්ඩ් ආදිපාදවරයාට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළත් ඔහුගේ කුරුමාණම වැරදුනා. එමෙන්ම එම කල්ලියේ අනික් අයද නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට අසමත් වුණා. නමුත් ගැව්රිලෝ ප්‍රෙන්සෙප් නම් කුමන්ත්‍රණකාරයෙක් ආදිපාදවරයාව ඝාතනය කිරීමට සමත් වුණා. මෙය සිදු වුයේ අහඹු ලෙසයි.

ආදිපාදවරයාට බෝම්බ ප්‍රහාරයෙන් කිසිදු හානියක් සිදු නොවූ බව දුටු ප්‍රෙන්සෙප් ඔහුගේ වාහනය අසලට එන්න උත්සාහ කළත් එය සාර්ථක වුණේ නැහැ. එයින් අධෛර්යයට පත් වූ ප්‍රෙන්සෙප් අසල තිබුණු අවන්හලකට ගියා. මේ අතර බෝම්බ ප්‍රහාරය නිසා කෝපයට පත් වූ ආදිපාදවරයා තම ගමන් මඟ වෙනස් කිරීමට තීරණය කළා. නමුත් මේ බව නොදැන සිටි ඔහුගේ රියදුරු කලින් සැලසුම් කළ ආකාරයටම වාහනය පදවාගෙන ගිය නිසා ඔහුට නැවත වාහනය හරවාගෙන ඒමට සිදු වුණා. ප්‍රෙන්සෙප් අවන්හලෙන් පිටතට එනවාත් සමඟම ආදිපාදවරයාගේ වාහනය ඔහු නොසිතූ ලෙස ඔහු අසලටම පැමිණියා. වාහනයත් ඔහුත් අතර තිබුණේ අඩි දහයකටත් අඩු පරතරයක්. මෙයින් ප්‍රයෝජන ගත් ඔහු දෙවතාවක් වෙඩි තැබුවා. එම වෙඩි ප්‍රහාරවලින් ආදිපාදවරයා හා ඔහුගේ ආර්යාවද මිය ගියා. * කිසිම අද්දැකීමක් නොලත් එම සර්බියානු ජාතිකයා තමන් කළ දෙයින් අනාගතයේදී විශාල ප්‍රශ්නයකට මුල පුරයි කියා ඔහු කවදාවත් නොසිතන්න ඇති. ඉන්පසු සිදු වූ සියලුම සිද්ධීන්වලට සම්පූර්ණයෙන්ම වග කිව යුත්තේ ඔහු නොවෙයි.

යුද්ධයේ ගිනි දැල් ඇවිළුණු ආකාරය

වර්ෂ 1914ට පෙර යුරෝපීය ජාතිකයන් තුළ යුද්ධය පිළිබඳව තිබුණේ ශුභවාදී ආකල්පයක්. ඔවුන් ක්‍රිස්තියානීන් වුණත් ඔවුන් සිතුවේ යුද්ධය උතුම් හා පලදායි දෙයක් ලෙසයි. සමහර පාලකයන් සිතුවේ එය ජාතීන් අතර සමඟියත් උද්‍යෝගයත් ඇති කිරීමට දායක වන බවයි. එමෙන්ම හමුදා නායකයෝ තම රටේ පාලකයන්ට පොරොන්දු වූයේ යුද්ධයෙන් ජය ගැනීම එතරම් අපහසු කාර්යයක් නොවන බවයි. “ප්‍රංශය පරාජය කරන්න අපිට සති දෙකක් ඇති” කියා ජර්මානු ජෙනරාල්වරයෙක් උදම් ඇණුවා. යුද්ධය නිසා මිලියන ගණනකගේ ජීවිතවලට සිදු වන හානිය ඔවුන් කිසිවෙකුවත් කලින් වටහාගත්තේ නැහැ.

තවද යුද්ධයට පෙර වසර කිහිපය තුළදී “යුරෝපයේ ජාතියානුරාගය දැඩි ලෙස පැතිරෙන්න පටන්ගත්තා. තම ජාතිය උතුම් බව පාසැල්, විශ්වවිද්‍යාල, මාධ්‍ය හා දේශපාලනය තුළින් හුවා දැක්වුවා” කියා එක් පොතක සඳහන් වුණා.—Cooperation Under Anarchy.

මෙම වැරදි ආකල්පය වෙනස් කිරීමට ආගමික නායකයන් කිසිදු ක්‍රියා මාර්ගයක් ගත්තේ නැහැ. ඉතිහාසඥයෙක් වන පෝල් ජොන්සන් මෙවන් දෙයක් ප්‍රකාශ කළා. “එක් පැත්තකින් ජර්මනියේ රෙපරමාදුවරුන්, ඔස්ට්‍රියාවේ කතෝලිකයන්, බල්ගේරියාවේ ඕතඩොක්ස්වරුන් සහ තුර්කියේ මුස්ලිම්වරුන් සිටියා. අනික් පැත්තේ සිටියේ බ්‍රිතාන්‍යයේ රෙපරමාදුවරුන්, ප්‍රංශයේ හා ඉතාලියේ කතෝලිකයන් සහ රුසියාවේ ඕතඩොක්ස්වරුයි.” බොහෝ පූජකවරුන් සම්බන්ධයෙන් ඔහු මෙසේ පැවසුවා. “ඔවුන් දේශානුරාගය හා ක්‍රිස්තියානි ආගම එක සමාන දෙයක් ලෙසට සැලකීමට උනන්දු කළා. ක්‍රිස්තියානි හමුදා භටයන්ට තම ගැලවුම්කරුගේ නමින් එකිනෙකාව මරා දැමීමට දිරිගැන්නුවා. පූජකවරු හා කන්‍යා සොහොයුරියන්ද යුධ බිමට ආ අතර ඔවුන්ගෙන් දහස් ගණනක් යුධ සටන්වලින් මිය ගියා.”

මහා යුද්ධයක් වැළැක්වීම යුරෝපා මිත්‍ර සන්ධානයේ අරමුණ වුණත් යුද්ධයක් ඇති වීමට ඔවුන් දායක වුණා කියා පැවසුවොත් එය නිවැරදියි. ඒ කෙසේද? “මිත්‍ර සන්ධානයට අයිති යුරෝපා රටවල් අතර බැඳීමක් තිබුණා. එක් එක් රටවල නායකයෝ සිතුවේ තම රටෙහි ආරක්ෂාව රඳා පවතින්නේ තම මිත්‍ර පාක්ෂික රට මත කියායි. එමනිසා ගැටුමකට වග කිව යුත්තේ තම මිත්‍ර පාක්ෂික රට වූවත් ඔවුන් තම සහයෝගය එම රටට ලබා දීමට උත්සුක වුණා” කියා එක් පොතක සඳහන් වෙනවා.—Cooperation Under Anarchy.

ජර්මානුවන්ට විශේෂ යුධ සැලැස්මක් තිබුණා. (Schlieffen Plan) එම සැලසුමට අනුව ඔවුන් අදහස් කළේ මුලින්ම ප්‍රංශයට පහර දී ජය ගෙන පසුව රුසියාවට පහර දීමටයි.

වෛරයේ ගිනි දළු

ඔස්ට්‍රියානු ආදිපාදවරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සර්බියානු ආණ්ඩුව කිසිදු සම්බන්ධයක් නැති බවට පැහැදිලි සාක්ෂි තිබුණත් ස්ලාවික් වැසියන් තුළ තිබූ අන්තවාදී අදහස් සදහටම නැති කර දැමීමට ඔස්ට්‍රියාව පියවර ගත්තා. “සර්බියාවට යස පාඩමක් ඉගැන්වීමට ඔස්ට්‍රියාවට අවශ්‍ය වුණා” කියා ඉතිහාසඥයෙක් වන ජේ. එම්. රොබට්ස් පැවසුවා.

ඔස්ට්‍රියාවත් සර්බියාවත් අතර තිබූ මතභේදය විසඳීමට සර්බියානු අගනුවරේ සිටි රුසියානු තානාධිපති නිකලොස් හර්ට්විග් මහත් වෑයමක් දැරුවා. නමුත් ඔහු ඔස්ට්‍රියානු සාම නියෝජිතයන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටියදී හදිස්සියෙන්ම ඇති වූ හෘදයාබාධයකින් මිය ගියා. ඉන්පසු ජූලි 23වෙනිදා ඔස්ට්‍රියානු රජය විසින් තර්ජනාත්මක ලෙස සර්බියාවට අසාධාරණ ඉල්ලීම් ලැයිස්තුවක් ඉදිරිපත් කළා. සර්බියානුවන් විසින් එම ඉල්ලීම් සියල්ල ඉටු කිරීමට සතුටු වූයේ නැහැ. එම මොහොතේම ඔස්ට්‍රියාව සර්බියාව සමඟ තිබූ සියලු සම්බන්ධකම් නතර කර දැමුවා.

මෙම රටවල් දෙක අතර පැවති ගැටුම නතර කිරීමට සමහර රාජ්‍යයන් උත්සාහ දැරුවා. උදාහරණයකට එක්සත් රාජධානිය ජාත්‍යන්තර සම්මේලනයක් පැවැත්වීමට යෝජනා කළා. ජර්මනියේ අධිරාජයා රුසියාවේ අධිරාජයාට කියා සිටියේ මෙම ගැටුමට මැදිහත් නොවන ලෙසයි. නමුත් සියලු උත්සාහයන් සාර්ථක වුණේ නැහැ. “ආණ්ඩු බලධාරීන්, හමුදා නිලධාරීන් සහ සියලු ජාතීන් ඇති වීමට යන මහත් ගැටුම දෙස බලා සිටියේ අසරණවයි” කියා එක් පොතක සඳහන් වෙනවා.—The Enterprise of War.

ඔස්ට්‍රියානු අධිරාජයාට ජර්මනියෙන් සහයෝගය ලැබෙන බව තහවුරු වූ විට ඔස්ට්‍රියාව සර්බියාවට විරුද්ධව ජූලි 28වෙනිදා යුද්ධ ප්‍රකාශ කළා. රුසියාව සර්බියාවට සහයෝගය දක්වමින් සර්බියාව හා ඔස්ට්‍රියාව අතර දේශසීමාවට රුසියානු හමුදා භටයින් මිලියනයක් පමණ යවනු ලැබුවා. රුසියානුවන් තමන්ටද ජර්මනියෙන් ප්‍රහාරයක් එල්ල වෙයි යන බිය නිසා තම දේශසීමාවේ ආරක්ෂාව තහවුරු කරමින් තම මුළු හමුදාවම යුද්ධයට සූදානම් කළා.

රුසියාවේ අධිරාජ්‍යයා ජර්මනියට විරුද්ධව සටන් කිරීමට තමන්ට කිසිදු අදහසක් නැති බව ප්‍රකාශ කළා. නමුත් රුසියාව යුද්ධයට සැරසී සිටි නිසා ජර්මානුවන් ඔවුන්ගේ විශේෂ යුධ සැලසුම ක්‍රියාත්මක කළා. මේ අනුව ජූලි 31වෙනිදා ජර්මනිය එම විශේෂ යුධ මෙහෙයුම දියත් කරමින් අගෝස්තු 1වෙනිදා රුසියාවටත් ඉන් දවස් දෙකකට පසු ප්‍රංශයටත් පහර දුන්නා. ජර්මනියේ යුධ සැලසුමට අනුව බෙල්ජියම හරහා ගමන් කළ යුතු වුණා. නමුත් බෙල්ජියම කිසිම යුද්ධයකට සම්බන්ධ නොවූ රටක් නිසා එසේ කළොත් ජර්මනියට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරන බව බ්‍රිතාන්‍යය අනතුරු ඇඟෙව්වා. එම අනතුරු ඇඟවීම නොතකා ජර්මානු හමුදාව අගෝස්තු 4වෙනිදා බෙල්ජියම හරහා ගමන් කළා. යුද්ධයේ ගිනි දැල් ඇවිළුණේ එවිටයි.

“බ්‍රිතාන්‍යය යුද්ධ ප්‍රකාශ කිරීම”

‘බ්‍රිතාන්‍යය යුද්ධ ප්‍රකාශ කිරීම මහත් ව්‍යසනයකට මඟ පෑදුවා’ කියා ඉතිහාසඥ නෝමන්ඩෙව්ස් පැවසුවා. ඔස්ට්‍රියාව ජූලි 28වෙනිදා යුද්ධ ප්‍රකාශ කිරීමෙන් පසු තවත් ඉතිහාසඥයෙක් වන එඩ්මන් ටේලර් පැවසුවේ මෙසේයි. “යුද්ධය මෙතරම් ව්‍යාප්ත වීමට හේතුව රටවල් කිහිපයක් අතර ඇති වූ පටලැවිල්ලයි. බොහෝ සිදු වීම් විවිධ ස්ථානවල එක පිට එක සිදු වෙන්න පටන්ගත්තා. මෙම රටවල පාලනයට සම්බන්ධව සිටි අයට යුද්ධය දරාගත නොහැකි පීඩනයක් වුණා.”

මෙම ව්‍යසනය නිසා භටයින් හා සාමාන්‍ය වැසියන් මිලියන 13කට වඩා වැඩි සංඛ්‍යාවක් මිය ගියා. සන්සුන් ජීවිතයක් ගත කරමින් සිටි ජනයා ගිනි අවි අතට ගෙන විශාල ජීවිත හානියක් සිදු කළා. මේ නිසා මිනිසා අනාගතය ගැන මැවූ සියලු සිහින බොඳවී ගියා. මින් මතු ලෝකය කවදාවත් පෙර තිබූ තත්වයට පත් වෙන්නේ නැහැ.  “ලෝක යුද්ධය—අන්තිම කාලයට ලකුණක්ද” යන කොටුව බලන්න.

[පාදසටහන්වල]

^ 7 ඡේ. බොස්නියාව හා හර්ස්ගොවිනාව එක රටක් ලෙස හඳුන්වනවා.

^ 8 ඡේ. ප්‍රෙන්සෙප් අතින් ආදිපාදවරයාගේ ආර්යාව මිය ගියේ අත්වැරදීමකින්. ඔහුට අවශ්‍ය වී තිබුණේ එම වාහනයේ සිටි බොස්නියාවේ ආණ්ඩුකාරතුමා වන ජෙනරාල් පෝටියෝරෙක්ව ඝාතනය කිරීමටයි. නමුත් ඔහුගේ ඉලක්කය වැරදුනා.

[20වන පිටුවේ කොටුව⁄පින්තූරය]

 ලෝක යුද්ධය—අන්තිම කාලයට ලකුණක්ද?

අප ජීවත් වන දුෂ්ට ලෝකය අවසානයට පැමිණ තිබෙන බවට බයිබලයේ සඳහන් ලකුණට යුද්ධද ඇතුළත් වෙනවා. (මතෙව් 24:3, 7; එළිදරව් 6:4) එම ලකුණ ඉටු වන විට ඉන් පෙනීයන්නේ මේ ලෝකය දෙවි විසින් පාලනය කරන කාලය ශීඝ්‍රයෙන් ළඟා වෙමින් තිබෙන බවයි.—දානියෙල් 2:44; මතෙව් 6:9, 10.

දේවආණ්ඩුව ලෝකය පාලනය කරන විට අද දින ලෝකයේ සිදු වන දේවලට බලපෑම් කරන දුෂ්ට බලවේගයක් වන සාතන් හා ඔහුගේ සේනාව සම්පූර්ණයෙන්ම විනාශ කර දමනවා. එම බලවේගය ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “මුළු ලෝකයම දුෂ්ටයාගේ බලයට යටත්.” (1 යොහන් 5:19) මනුෂ්‍යයන්ට බොහෝ දුක් කරදර පැමිණ තිබෙන්නෙත් පළමු ලෝක මහා යුද්ධයට මඟ පෑදුවෙත් සාතන්ගේ එම දුෂ්ට බලපෑමයි.—එළිදරව් 12:9-12. *

[පාදසටහන]

^ 30 ඡේ. අන්තිම දවස් පිළිබඳවත් දුෂ්ට බලවේගයන් පිළිබඳවත් වැඩි විස්තර දැනගැනීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොත බලන්න.

[හිමිකම් විස්තර]

U.S. National Archives photo

[19වන පිටුවේ පින්තූරය]

ඝාතනයට ලක් වූ ෆර්ඩිනන්ඩ් ආදිපාදවරයා

[හිමිකම් විස්තර]

© Mary Evans Picture Library