Skip to content

පටුනට යන්න

පහත් කොට සලකන්නේ ඇයි?

පහත් කොට සලකන්නේ ඇයි?

පහත් කොට සලකන්නේ ඇයි?

“සෑම මිනිසෙකුම මෙලොව එළිය දකින්නේ නිදහස් පුද්ගලයන් ලෙසයි. එමනිසා ගරුත්වය හා අයිතිවාසිකම් සියලු දෙනාටම එක හා සමානව උරුම විය යුතුයි. හෘදය සාක්ෂිය හා යුතු අයුතුකම් පිළිබඳ හැඟීම් මිනිසාට උපතින්ම දායාද වී තිබෙනවා. මේ නිසා මිනිසා එකිනෙකාට සැලකිය යුත්තේ සහෝදරත්වයෙනුයි.”—මානව හිමිකම් පිළිබඳව විශ්ව ප්‍රකාශනයේ පළමුවන වගන්තිය.

එවැනි යහපත් ආකල්ප තිබුණත් අන් අයව පහත් කොට සැලකීම අද මිනිසාට විනකරන වසංගතයක් වී තිබෙනවා. මෙයින් පෙන්වන්නේ අද අප ජීවත් වන්නේ අසීරු කාලයක බවයි. එමෙන්ම වැරදි කිරීමට මිනිසා තුළ ඇති නැඹුරුවාවද ඊට හේතු වෙනවා. (ගීතාවලිය 51:5) නමුත් බලාපොරොත්තුවක් නොමැති තරමටම අප අසරණ වී නැහැ. අප අවට සමාජයේ තිබෙන තත්වය වෙනස් කිරීමට නොහැකි වුණත් අප එක් එක් කෙනා තුළ තිබෙන අන් අයව පහත් කර සැලකීමේ ආකල්ප ඉවත් කරගැනීමට පියවර ගත හැකියි.

අන් අයව පහත් කොට සැලකීමේ ආකල්පයක් අප සියලුදෙනා තුළම වර්ධනය විය හැකි බව අපි පළමු කොට පිළිගත යුතුයි. “එවැනි ආකල්පවලින් ගොඩ ඒමට නම්: (1) සෑම කෙනෙකුටම අන් අයව පහත් කර සැලකීමේ ප්‍රවණතාවක් තිබෙනවා කියා පිළිගත යුතුයි, (2) එම ආකල්ප අවම කිරීමට වෑයමක් දැරිය යුතුයි, (3) අපි අවංක වෑයමක් දරනවා නම් ඉන් ගොඩ ඒමට හැකියි කියා එක් පොතක සඳහන් වුණා.”—Understanding Prejudice and Discrimination.

මෙම තත්වයෙන් ගොඩ ඒමට උපකාරවත් වන “ප්‍රධානතම සාධකය” වන්නේ නිසි අධ්‍යාපනයයි. එවැනි අධ්‍යාපනයක් තිබෙන අයට මෙම ගැටලුවට මුල කුමක්ද කියා තේරුම්ගැනීමටත් තමන්ගේ ආකල්ප සෝදිසි කර බැලීමටත් හැකියාවක් තිබෙනවා. එමෙන්ම ඔවුන් එවැනි තත්වයකට මුහුණ දෙන විට නැණවත් ලෙස ක්‍රියා කිරීමටත් හැකියාව ලැබෙනවා.

ගැටලුවේ මුල

යමෙක් තව කෙනෙකුව පහත් කොට සලකනවා නම් ඔහුට තිබෙන්නේ අන් අය ගැන වැරදි ආකල්පයක්. සමහරවිට අප තුළ එවැනි ආකල්ප ඇති විය හැක්කේ ක්‍රමානුකූලවයි. අපගේ පවුල් පසුබිම නිසා එය සිදු විය හැකියි. අප ඇසුරු කරන කෙනෙක් වෙනත් ජාතියක් හෝ සංස්කෘතියක් ගැන වැරදි මතයක් ඉදිරිපත් කළ හැකි අතර අපද එවැනි වැරදි මත අනුමත කිරීමට ඉඩ තිබෙනවා. අන් අයව පහත් කර සැලකීමට ජාතිවාදී හැඟීම් මෙන්ම ආගම්වලින් උගන්වන වැරදි මතද හේතු වෙයි. එමෙන්ම තමන් අන් අයට වඩා උසස් යැයි සිතීමද එම වැරදි ආකල්ප ඇති වීමට තුඩු දෙයි. ඔබේ ආකල්ප නිවැරදිද කියාත් වෙනස්කම් කළ යුතුද කියාත් සොයා බැලීමට පහත සඳහන් කරුණු හා බයිබල් ප්‍රතිපත්ති ඔබට උපකාරවත් වෙයි.

ආශ්‍රිතයන්. අන් අයව ඇසුරු කිරීමට මිනිසුන් කැමතියි. එය වැරදි දෙයක් නොවෙයි. “අන් අයගෙන් වෙන්ව සිටින තැනැත්තා තම ආත්මාර්ථකාමී ආශාවන් පසුපස ලුහුබැඳ යයි” කියා බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 18:1, නව ලොව පරිවර්තනය, NW) අපේ ආශ්‍රිතයන්ගෙන් අපේ ආකල්පවලට බලපෑමක් සිදු වන නිසා ඔවුන්ව තෝරාගැනීමේදී කල්පනාකාරී විය යුතුයි. එමනිසා දුර දිග බලා කටයුතු කරන දෙමාපියන් තම දරුවන් ඇසුරු කරන අය ගැන සැලකිලිමත් වෙනවා. අධ්‍යයනයන්වලින් පෙනී යන්නේ අවුරුදු තුනක් වයසැති කුඩා දරුවන් තුළ පවා ජාතිවාදී හැඟීම් ඇති විය හැකි බවයි. වැඩිහිටියන්ගේ අදහස් උදහස්, ඔවුන් පාවිච්චි කරන වචන හා ඉරියව් වැනි දේ මෙයට දායක වෙනවා. දරුවන්ට ගුණ ධර්ම කියා දිය යුත්තේ දෙමාපියන් නිසා ඔවුන් දරුවන්ට හොඳ ආදර්ශයක් විය යුතුයි.

බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද? “දරුවෙකුට හරි මඟෙහි යෑමට අවශ්‍ය පුහුණුව ලබා දෙන්න. එවිට ඔහු වයසට ගිය පසුත් එයින් අහක්ව යන්නේ නැත.” (හිතෝපදේශ 22:6NW) “ප්‍රඥාවන්ත අය සමඟ ඇසුරු කරන්න. එවිට ඔබත් ප්‍රඥාවන්ත වන්නෙහිය. නමුත් අඥානයන්ව ඇසුරු කරන්නා විපතට පත් වෙයි.” (හිතෝපදේශ 13:20NW) ඔබ මවක් හෝ පියෙක් නම් මේ ගැන සිතා බලන්න. ‘මම මගේ දරුවන්ව දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුව හරි මාර්ගයේ යවනවාද? මම ආශ්‍රය කරන්නේ මා තුළ හොඳ ගුණාංග වර්ධනය වීමට දායක වන අයවද? මම අන් අයට හොඳ ආදර්ශයක්ද?’—හිතෝපදේශ 2:1-9.

ජාතිවාදය. එක් ශබ්ද කෝෂයක ජාතිවාදය නිර්වචනය කර තිබුණේ “සියලු ජාතීන්ට වඩා තම ජාතිය උසස් යැයි සිතන නිසා තමන්ගේ සංස්කෘතිය හා ජාතියේ උන්නතිය තකා වෙනත් ජාතීන්ව පහත් කොට සැලකීමයි” කියායි. දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වන ඉවෝ ඩුකාචෙක් ඔහු විසින් රචිත පොතක (Conflict and Cooperation Among Nations) මෙසේ සඳහන් කළා. “ජාතිවාදී ආකල්ප මිනිස් සමාජයේ බෙදීම් ඇති කරන නිසා එවැනි ආකල්ප ඇති අය අන් අයගේ අදහස් උදහස්වලට ගරු කරන්නේ නැහැ. මේ නිසා මිනිසුන් අන් අය ගැන සිතන්නේ ඔවුන්ගේ ජාතිය අනුවයි. එනම් ඇමරිකානු ජාතිකයෙක්, රුසියානු ජාතිකයෙක්, චීන ජාතිකයෙක් හෝ ඊජිප්තු ජාතිකයෙක් ලෙසයි.” එක්සත් ජාතීන්ගේ සංගමයේ හිටපු මහ ලේකම්වරයෙක් එක් අවස්ථාවක මෙසේ පැවසුවා. “අද අප මුහුණ දෙන බොහෝ ගැටලුවලට හේතුව වැරදි ආකල්පයි. එම ආකල්ප ඔවුන් තුළ ඇති වී තිබෙන්නේ ඔවුන්ටත් නොදැනීමයි. හරි දේ කළත් වැරදි දේ කළත් මගේ රට උතුම් යන පටු ජාතිවාදී හැඟීම ඉන් එකක්.”

බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද? “දෙවි ලෝකයට මොන තරම් ප්‍රේම කළාද යත්, ඔහු තමාගේම ඒකජාතක පුත්‍රයාව දුන්නේය. එසේ කළේ ඔහු කෙරෙහි ඇදහිල්ල පෙන්වන සැමදෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.” (යොහන් 3:16) ‘දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකනවා. මන්ද සියලු ජාතීන් අතරේ ඔහු කෙරෙහි භය ඇති, ධර්මිෂ්ඨකම් කරන තැනැත්තාව ඔහු පිළිගන්නේය.’ (ක්‍රියා 10:34, 35) මේ ගැන සිතා බලන්න. ‘දෙවි සියලුදෙනාටම එක හා සමානව සලකනවා නම් දේවභක්තික පුද්ගලයෙක් ලෙස මම දෙවිව අනුකරණය කළ යුතු නොවෙයිද?’

වර්ගවාදී හැඟීම්. එක් ශබ්දකෝෂයක සඳහන් වෙන්නේ “වර්ගවාදී හැඟීම් තියෙන අය සිතන්නේ තම වර්ගයට විශේෂිත හැකියාවන් තිබෙන බව හා ඔවුන්ගේ පෞද්ගලිකත්වය අන් අයගේ පෞද්ගලිකත්වයට වඩා සුවිශේෂි බවයි.” “එවැනි අදහසකට විද්‍යාත්මක පදනමක් නැහැයි කියා” පර්යේෂකයන් සොයාගෙන තිබෙන බව එක් විශ්වකෝෂයක සඳහන් වෙනවා. (The World Book Encyclopedia) වර්ගවාදී හැඟීම්වලට කිසිදු පදනමක් නැහැ. එවැනි ආකල්ප නිසා පුද්ගලයෙකුගේ අයිතිවාසිකම් අහිමි වීම ඇත්තෙන්ම කනගාටුවට කාරණයක්.

බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද? “සත්‍යය ඔබව නිදහස් කරනවා ඇත.” (යොහන් 8:32) “ඔහු එක මිනිසෙකුගෙන් මුළු මිනිස් වර්ගයාවම සෑදුවේය.” (ක්‍රියා 17:26) “දෙවි දේවල් දෙස බලන්නේ මනුෂ්‍යයන් බලන ආකාරයට නොවෙයි. මනුෂ්‍යයන් දකින්නේ පිටතින් පෙනෙන දේ පමණය. නමුත් යෙහෝවා දෙවි වන මම සිතේ තිබෙන දේ දකිමි.” (1 සාමුවෙල් 16:7NW) මම සෑම මිනිසෙකුටම සලකන්නේ දෙවි සලකන ආකාරයටද? මම වෙනත් ජාතියේ හා වෙනත් සංස්කෘතීන්ට අයත් අයව දැන හඳුනා ගැනීමට වෑයමක් දරනවාද? විවිධ අයව ආශ්‍රය කරන විට අප තුළ ඇති වැරදි ආකල්ප ඉවත් කරගැනීමට අපට හැකි වෙනවා.

ආගම. “මිනිසුන් ආගමේ මුවාවෙන් ජාතිවාදී හැඟීම් සාධාරණීකරණය කිරීමට උත්සාහ දරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අන් අයව පහත් කොට සැලකීමට ආගමද හේතුවක් වෙනවා. මිනිසුන් කොතරම් භක්තිවන්ත වුණත් අන් අයව පහත් කොට සැලකීමේ ආකල්පයට ඔවුන් විගස නැඹුරු වෙනවා.” කියා එක් පොතක සඳහන් වෙනවා. (The Nature of Prejudice) එක් ජාතියකට පමණක් යා හැකි පල්ලි, නිකායන් අතර තිබෙන වෛරය හා ආගමේ උසිගැන්වීම මත සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා එවන් නැඹුරුවාවන්ට උදාහරණයි.

බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද? ‘ඉහළින් පැමිණෙන ප්‍රඥාව පළමුකොට නිර්මලය; සාමකාමීය; සියල්ලන්ටම එක හා සමානව සලකන්නේය.’ (යාකොබ් 3:17) “සැබෑ නමස්කාර කරන්නන් විසින් පියාණන්ට ආත්මයෙන්ද [දෙවි ලබා දෙන මඟ පෙන්වීමෙන්ද] සත්‍යතාවෙන්ද නමස්කාර කරන පැය පැමිණෙන්නේය.” (යොහන් 4:23) “ඔබේ සතුරන්ට නොකඩවා ප්‍රේම කරන්න. ඔබට පීඩා කරන්නන් වෙනුවෙන් දිගටම යාච්ඤා කරන්න.” (මතෙව් 5:44) මේ ගැන සිතා බලන්න. ‘මගේ ආගමෙන් මට උනන්දු කරන්නේ සියලුදෙනාටම අව්‍යාජ ප්‍රේමයක් පෙන්වීමටද? මගේ සිත රිදවන අයට පවා ප්‍රේම කිරීමට දිරිගන්වනවාද? ඕනෑම ජාතියක, ඕනෑම වර්ණයක, ස්ත්‍රී පුරුෂ හා දුප්පත් පොහොසත් භේදයකින් තොරව සියලුදෙනාටම මම යන පල්ලියට පැමිණීමට හැකියාව තිබෙනවාද?’

උඩඟුකම. උඩඟු පුද්ගලයෙක් තුළ අන් අයව පහත් කර සැලකීමේ ප්‍රවණතාව වැඩියි. උදාහරණයකට උඩඟු කෙනෙක් තමා අන් අයට වඩා උසස් කියා සිතීමට හෝ තමන්ට වඩා අඩු අධ්‍යාපනයක් ලබා ඇති අයව හෝ වත්පොහොසත්කමින් අඩු අයව පහත් කර සලකන්න පුළුවන්. එවැනි කෙනෙක් තමන්ගේ රට ජාතිය අනික් ඒවාට වඩා උසස් කියා පවසන බොරු ප්‍රචාරවලට පහසුවෙන් හසුවෙයි. ඇඩොල්ෆ් හිට්ලර් දක්ෂ ලෙස බොරු ප්‍රචාරය කළ නායකයෙක්. ඔහු වෙනත් ජාතීන් ගැන පිළිකුල් සහගත දේවල් පවසා ජාතිවාදී හැඟීම් ජනයා තුළ ඇති කර ජනයාව තම පැත්තට නම්මාගත්තා.

බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද? “උඩඟු සිත් ඇති සියල්ලෝ යෙහෝවා දෙවිට පිළිකුලකි.” (හිතෝපදේශ 16:5NW) “දබරකාරීව හෝ හිස උදුම්මාගැනීමෙන් කිසිවක් නොකර, යටහත් පහත් මනසකින් යුක්තව ඔබට වඩා අන් අය උතුම්යයි සලකමින් කටයුතු කරන්න.” (ෆිලිප්පි 2:3) මේ ගැන සිතා බලන්න. ‘මගේ රට ජාතිය ගැන කවුරුන් හෝ පුරසාරම් දොඩද්දී මගේ සිතෙත් යම් ආඩම්බරයක් ඇති වෙනවාද? මට නැති හැකියාවක් වෙනත් අයට තිබෙන විට මම ඊට ඊර්ෂ්‍යා කරනවාද නැත්නම් මම ඒ ගැන සතුටු වෙනවාද?’

“සියලු දේටම වඩා ඔබේ සිත ආරක්ෂා කරගන්න. මන්ද ජීවනය නික්මෙන්නේ එයින්ය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 4:23NW) ඔබේ සිත දූෂ්‍ය වීමට ඉඩ නොදී එය වටිනා වස්තුවක් ලෙස රැකගන්න. දෙවිගේ ප්‍රඥාවන්ත උපදෙස් ඔබේ සිත තුළ තැන්පත් කරගන්න. එවිට ‘සිතීමේ හැකියාව ඔබව සුරකිනු ඇත. වටහාගැනීමේ හැකියාවද ඔබට ආරක්ෂාවක් වනු ඇත. සියලු දුෂ්ට මාර්ගවලින්ද වංචනික දේ කතා කරන තැනැත්තාගෙන්ද ඔබ ගැලවෙනු ඇත.’—හිතෝපදේශ 2:10-12NW

ඔබව අන් අය පහත් කර සලකනවා නම් ඔබට කුමක් කළ හැකිද? ඒ පිළිබඳ තොරතුරු අපි ඊළඟ ලිපියේ සලකා බලමු.

[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

විවිධ අයව ආශ්‍රය කරන විට අපට ඔවුන් ගැන ඇති වැරදි ආකල්ප ඉවත් කරගැනීමට හැකියි