Skip to content

පටුනට යන්න

මගේ මවගේ හෝ පියාගේ වියෝව දරාගන්නේ කොහොමද?

මගේ මවගේ හෝ පියාගේ වියෝව දරාගන්නේ කොහොමද?

යෞවන අය අසති

මගේ මවගේ හෝ පියාගේ වියෝව දරාගන්නේ කොහොමද?

“මගේ අම්මා මැරුණම මට දැනුණේ හරිම අසරණකමක්. අපේ පවුලේ හැමෝම එකමුතුකමින් සමඟියෙන් හිටියේ අම්මා නිසයි.”—ක්‍රිස්ටීන්. *

මව හෝ පියා අහිමි වීම ඔබගේ ජීවිතයේ ඔබ ලද දුක්බර සිදු වීම්වලින් එකක් විය හැකියි. ඔබට ඇති වන දුක දරාගැනීමට පමණක් නොව අනාගතයට මුහුණ දීමටද ඔබට සිදු වන්නේ ඔබ නොසිතූ ආකාරයටයි.

ඔබගේ ජීවිතයේ වැදගත් අවස්ථාවලදී එනම් ඔබ විභාගයෙන් සමත් වන විට හෝ ඔබගේ මංගල දිනය වැනි අවස්ථාවලදී ඔබේ ආදරණීය මව හෝ පියා සමඟ ප්‍රීතිය බෙදාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින්න ඇති. නමුත් ඒ බලාපොරොත්තු සුනුවිසුනු වී ඇති නිසා දැන් ඔබට මහත් දුකක්, කලකිරීමක් හා කෝපයක් ඇති විය හැකියි. එවන් වේදනාකාරී හැඟීම්වලින් ගොඩ ඒමට ඔබට කළ හැක්කේ කුමක්ද?

‘මට හැඟෙන විදිහ හරිද?’

මව හෝ පියා මිය ගියා කියා ඔබ මුලින්ම දැනගත් විට ඔබ මින් පෙර කවදාවත් අද්නොදුටු ආකාරයේ හැඟීම් සමඟ පොරබදන්න ඇති. තම පියා හදිසි හෘදයාබාධයකින් මිය යන විට බ්‍රයන්ගේ වයස අවුරුදු 13යි. “තාත්තා මැරුණා කියා ආරංචිය ලැබුණු දා රෑ පවුලේ හැමෝම එකිනෙකාව බදාගෙන හොඳටම ඇඬුවා” කියා බ්‍රයන් පැවසුවා. නැටලිගේ පියා මිය ගියේ පිළිකාවක් වැළඳීමෙන්. එවිට ඇගේ වයස අවුරුදු දහයයි. ඒ දුක්බර දවස ගැන ඇය මෙසේ පවසනවා. “මට කිසිම දෙයක් හිතා ගන්න බැරිව ගියා. මට ඇති වුණු තිගැස්මට මාව ගල්ගැහුණා.”

පුද්ගලයාගෙන් පුද්ගලයාට වියෝ දුක දැනෙන ආකාරය වෙනස්. ‘එක් එක් කෙනාට තම තමාගේ සිතේ ඇති වන වේදනාව’වෙනස් බව බයිබලයේ සඳහන් වෙනවා. (2 ලේකම් 6:29, නව ලොව පරිවර්තනය, NW) මෙය සිහියේ තබාගෙන ඔබේ මව හෝ පියා අහිමි වූ විට ඔබට දැනුණු වේදනාව මොහොතකට සිතා බලන්න. (1) ඔබේ මව හෝ පියා මිය ගිය බව ආරංචි වූ මොහොතේ ඔබට ඇති වූ හැඟීම කොයි වගේද? (2) දැන් ඔබට හැඟෙන්නේ කෙසේද?# පිළිතුරු පහත සඳහන් කරන්න.

(1) ․․․․․

(2) ․․․․․

එසේ ලිවීමෙන් ඔබට මුලින් ඇති වූ හැඟීමෙන් තවමත් යටපත් වී සිටිනවාද නැත්නම් ඔබේ දුක තුනීවෙලාද කියා යම් තාක් දුරකට ඔබට දැනගත හැකියි. ඔබේ දුක තුනී වී තිබෙනවා නම් ඉන් අදහස් කරන්නේ ඔබේ මව හෝ පියා ඔබට අමතක වී ඇති බවක් නොවෙයි. සමහරවිට ඔබේ දුක අඩු නොවීමට හෝ පෙරටත් වඩා වැඩි වීමට ඉඩ තිබෙන්න පුළුවන්. එසේත් නැත්නම් මුහුදේ රළ මෙන් ඔබේ දුක අඩු වැඩි වීමට හෝ විශාල රළ පහරක් වෙරළට ගසන්නාක් මෙන් නොසිතූ අවස්ථාවලදී දුක එක විට වැඩි වීමටත් පුළුවන්. මෙවැනි හැඟීම් මව හෝ පියා අහිමි වී වසරක් වැනි කාලයකට පසුවද ඇති විය හැකියි. ඔබේ තත්වය කුමක් වුණත් ඔබට ඇති වන දුක දරාගන්නේ කොහොමද කියා අපි සලකා බලමු.

දුකින් මිදීමට නම් . . .

කඳුළු සඟවන්න එපා! ඇඬීමෙන් දුක තුනී කරගත හැකියි. කෙසේවෙතත් ඇලීසියාට ඇති වූවා හා සමාන හැඟීම් ඔබටත් ඇති විය හැකියි. ඇගේ මව මිය යන විය ඇයට අවුරුදු 19යි. “මම ඕනෑවට වඩා දුක් වෙනවා නම් මට දෙවි ගැන විශ්වාසයක් නැහැයි කියලා අනික් අය හිතයි” කියා ඇය පැවසුවා. නමුත් දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තිබූ පාපයෙන් තොරවූ පරිපූර්ණ පුද්ගලයෙක් වන යේසුස් ක්‍රිස්තුස් පවා ඔහුගේ මිත්‍ර ලාසරුස් මිය ගිය විට “කඳුළු සැලුවේය” කියා බයිබලයේ වාර්තා වෙනවා.(යොහන් 11:35) ඒ නිසා කඳුළු සලන්න ලැජ්ජා වෙන්න එපා. “ඊට පස්සේ මම දුක තුනී කරන්න හැම දවසකම ඇඬුවා” කියා ඇලීසියා පවසනවා. *

සිතට වධ දෙන දේ පවසන්න. කෙරන්ගේ මව මිය යන විට ඇගේ වයස අවුරුදු 13යි. “මගේ තාත්තා රැකියාවේ වැඩකට දුර බැහැරක යන්න කලින් මටයි අක්කාටයි අම්මාව බලාගන්න කියලා කිව්වා. එදා අපි නිදාගත්තේ ගොඩක් රෑ වෙලයි. සාමාන්‍යයෙන් මම නිදාගන්න කලින් අම්මාට හාදුවක් දෙනවා. එදා රෑ මට ඒක කරන්න බැරිව ගියා. පහුවෙනිදා මම අම්මාව බලන්න යනකොට අම්මා මැරිලා. මේ හැම දෙයක් ගැනම මගේ හිත මට වධ දෙනවා.”

මිය ගිය මව හෝ පියා වෙනුවෙන් යම් දේවල් කිරීමට අතපසු වීම ඔබේ සිතට වධ දෙනවා ඇති. කෙරන්ටත් එවැනිම හැඟීමක් ඇති වුණා. සමහරවිට ඔබත් මෙවැනි දේවල් සිතමින් දුක් විඳිනවා විය හැකියි. ‘අම්මාව වෛද්‍යවරයෙක් ළඟට ගෙනියන්න කියලා මම තාත්තාට කියලා තිබුණා නම්.’ ‘මම අම්මාව එදා රෑ බැලුවා නම්’ මෙවැනි සිතුවිලි නිසා ඔබ දුක් විඳිනවා නම් මෙය මතක තබාගන්න. ඔබ වෙනස් ආකාරයෙන් ක්‍රියා කළා නම් හොඳයි කියන සිතුවිල්ල ඇති වීම සාමාන්‍ය දෙයක් බව අමතක කරන්න එපා. යම් සිද්ධියක් වෙන්න කලින් ඔබ දැන සිටියා නම් ඔබ ක්‍රියා කරන්නේ වෙනස් ආකාරයකටයි. නමුත් සිදු වන දේ කලින්ම දැනගැනීමට කිසිවෙකුට හැකියාවක් නැහැ. ඊට වරදකරු ඔබ කියා සිතන්න එපා. ඔබේ මවගේ හෝ පියාගේ මරණයට වග කිව යුත්තේ ඔබ නොවෙයි. *

ඔබේ අදහස් පවසන්න. බයිබලයේ හිතෝපදේශ 12:25හි [NW] මෙසේ සඳහන් වෙනවා. “දිරිගන්වනසුලු වචනයකින් ඔහුගේ සිත ප්‍රීතිමත් වෙයි.” ඔබේ සිතුවිලි සිර කරගැනීමෙන් සිදු වන්නේ ඔබේ දුක තවත් වැඩි වීමයි. නමුත් ඔබේ සිතේ තිබෙන දේ විශ්වාසවන්ත කෙනෙකුට පැවසීමෙන් ඔබට ‘දිරිගන්වනසුලු වචනවලින්’ සහනයක් ලැබිය හැකියි. පහත සඳහන් යෝජනා අත්හදා බලන්න.

ජීවත්ව සිටින ඔබේ මවට හෝ පියාට කතා කරන්න. මව හෝ පියා සිටින්නේ දුකින් වුණත් ඔහු හෝ ඇය ඔබට අවශ්‍ය උපකාර ලබා දෙන බව නිසැකයි. එමනිසා ඔබට දැනෙන දේ පවසන්න. මෙසේ කතා කිරීමෙන් ඔබේ දුක තුනී කරගැනීමටත් ඔහුට හෝ ඇයට වඩාත් ළං වීමටත් හැකියි.

සාකච්ඡාවක් ආරම්භ කිරීමට මෙය අත්හදා බලන්න: මිය ගිය මව හෝ පියා ගැන ඔබ දැනගැනීමට කැමති තොරතුරු කිහිපයක් ලියා ගන්න. ඉන්පසු ජීවතුන් අතර සිටින මවගෙන් හෝ පියාගෙන් ඒ පිළිබඳව අසන්න. *

․․․․․

සමීප මිතුරන් සමඟ කතා කරන්න. සැබෑ මිතුරන් “විපතකදී උපකාර කරන්න ඉපදුණු” සහෝදරයන් බව බයිබලයේ පවසනවා. (හිතෝපදේශ 17:17NW) “සමහරවිට ඔබ නොසිතන කෙනෙකුගෙන් ඔබට උපකාර ලැබිය හැකියි. ඒ නිසා මිතුරන් සමඟ කතා කරන්න භය වෙන්න එපා” කියා ඇලීසියා පවසනවා. මෙවැනි දේ කතා කිරීම පහසු නැහැ. සමහරවිට ඔබ කිව යුත්තේ කුමක්ද කියාත් ඔබේ මිතුරන් ඔබට කිව යුත්තේ කුමක්ද කියාත් නොදැන සිටිනවා විය හැකියි. නමුත් අමාරුවෙන් හෝ ඔබේ සිතේ තිබෙන දුක පැවසීම ඔබට ප්‍රයෝජනවත් වෙයි. වයස අවුරුදු නවයක් වන ඩේවිඩ්ගේ පියා හෘදයාබාධයකින් මිය ගියා. ඔහු ඒ ගැන මෙහෙම කියනවා. “මට ඇති වූ හැඟීම් මම හිතේ තද කරගෙන හිටියා. ඒත් මම ඒ ගැන කාත් එක්ක හරි කතා කළා නම් ඒ තත්වයෙන් ගොඩ එන්න මට පහසු වෙනවා.”

යාච්ඤා කරන්න. “ඔබේ හදවතේ ඇති සියල්ල” යෙහෝවා දෙවිට යාච්ඤාව තුළින් පැවසීමෙන් ඔබට මහත් සහනයක් අද්දැකිය හැකියි. (ගීතාවලිය 62:8NW) එය තවත් කෙනෙකුට පැවසීමෙන් ලැබෙන සහනයට වඩා වැඩි දෙයක්. ඔබ කතා කරන්නේ ‘සියලු සැනසිල්ලේ දෙවිටයි. සියලු පීඩාවලදී අපව සනසන්නේ ඔහුයි.’—2 කොරින්ති 1:3, 4.

දෙවි සැනසීම ලබා දෙන එක් ක්‍රමයක් නම් ඔහුගේ “සාමාන්‍යය ඉක්මවූ බලය” අපට ලබා දීමයි. එමගින් අපට දුක දරාගැනීමට හැකි වෙනවා. (2 කොරින්ති 4:7) ඒ වගේම “ශුද්ධ ලියවිල්ලෙන් ලැබෙන සැනසිල්ල මාර්ගයෙන්ද” දෙවි අපව සනසනවා. (රෝම 15:4) එමනිසා යාච්ඤාවෙන් දෙවිගේ බලය ඉල්ලීමටත් දෙවිගේ වචනයේ ඇති දිරිගන්වන වදන් කියවීමටත් කාලය ගන්න. (2 තෙසලෝනික 2:16, 17) ඔබට සැනසීමක් ලබා දෙන බයිබල් පද කිහිපයක් ලියා ළඟ තබාගන්න. *

දුක කවදා හෝ අවසන් වෙයිද?

ඔබට දැනෙන දුක එක රැයකින් නැති වෙයි කියා සිතන්න එපා. අවුරුදු 16දී තම මව අහිමි වූ බ්‍රැන්ඩා මෙසේ පවසනවා. “දුක තුනී වෙන්න කාලයක් ගත වෙනවා. සමහර දවස්වල මම නිදාගන්නේ හොඳටම අඬලායි. තවත් දවස්වලට මම හිතන්නේ අම්මා නැති වුණ එක ගැන නෙමෙයි. අම්මත් එක්ක පාරාදීස පොළොවේ ජීවත් වෙන්න යෙහෝවා දෙවි දී තිබෙන පොරොන්දුව ගැනයි.”

බ්‍රැන්ඩා මතකයට නඟාගන්නේ බයිබලයේ සඳහන් වී ඇති මෙම පොරොන්දුවයි. “මරණයද තවත් නොවන්නේය; වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය.” (එළිදරව් 21:3, 4) එම පොරොන්දු ගැන මතකයට නඟාගැනීමෙන් ඔබටත් ඔබගේ මව හෝ පියා අහිමි වීමේ වියෝ දුක දරාගත හැකියි.

[පාදසටහන්වල]

^ 3 ඡේ. මෙම ලිපියේ නම් වෙනස් කර ඇත.

^ 13 ඡේ. ඔබේ හිතේ තිබෙන දුක පෙන්වීමට අඬන්නම අවශ්‍ය නැහැ. එක එක අය දුක ප්‍රකාශ කරන්නේ විවිධ ආකාරවලටයි. ඔබේ ඇස්වලට කඳුළු පිරෙනවා නම් එය ‘අඬන්න කාලයක්’ බව තේරුම්ගන්න.—දේශනාකාරයා 3:4NW.

^ 15 ඡේ. එවැනි සිතුවිලි දිගටම ඔබට ඇති වෙනවා නම් ඒ පිළිබඳව ජීවත්ව සිටින ඔබේ මව හෝ පියා හෝ වෙනත් වැඩිහිටියෙක් සමඟ සාකච්ඡා කරන්න. ඔබේ සිතුවිලි වෙනස් කරගැනීමට ඉන් ඔබට උපකාරයක් ලැබෙයි.

^ 18 ඡේ. මිය ගියේ ඔබට සිටි එකම මව හෝ පියා නම් එසේත් නැතිනම් දැන් ඔබව බලාගන්නා සුළු මව හෝ පියා ඔබට එතරම් කිට්ටු නැත්නම් වෙනත් වැඩිහිටි අයෙකු සමඟ කතා කරන්න.

^ 22 ඡේ. ගීතාවලිය 34:18; 102:17; 147:3; යෙසායා 25:8; යොහන් 5:28, 29, මෙම බයිබල් පදවලින් සමහරුන් සැනසීම ලබා තිබෙනවා.

සිතා බලන්න

▪ ඔබ අදාළ කරගැනීමට බලාපොරොත්තු වන්නේ මෙම ලිපියේ කුමන යෝජනාද?

▪ ඔබ දුකින් යටපත් වී සිටින විට ඔබට සැනසීම ගෙන දිය හැකි බයිබල් පද කිහිපයක් සඳහන් කරන්න.

[11වන පිටුවේ කොටුව]

ඇඬුවට කමක් නැහැ. ඔවුනුත් ඇඬුවා

ආබ්‍රහම්—උත්පත්ති 23:2.

යෝසෙප්—උත්පත්ති 50:1.

දාවිත්—2 සාමුවෙල් 1:11, 12; 18:33.

ලාසරුස්ගේ සහෝදරිය වන මරියා—යොහන් 11:32, 33.

යේසුස්—යොහන් 11:35.

මරියා මග්දලේනා—යොහන් 20:11.

[12වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ඔබට හැඟෙන දේ ලියන්න

අහිමි වූ මව හෝ පියා ගැන හැඟෙන දේ ලිවීමෙන් ඔබේ දුක තුනී කරගත හැකියි. ඔබට බොහෝ දේ ලිවිය හැකියි. පහත සඳහන් වන්නේ ඒ සඳහා යෝජනා කිහිපයක්.

▪ ඔබේ මව හෝ පියා ගැන තිබෙන සුන්දර මතකයන් ලියන්න.

▪ මව හෝ පියා ජීවත්ව සිටියා නම් ඔබ ඔවුන්ට පවසන දේ ලියන්න.

▪ ඔබගේ මව හෝ පියාගේ මරණය ගැන ඔබගේ නංගිට හෝ මල්ලිට යම් වරද සහිත හැඟීමක් තිබෙනවා නම් ඉන් ගොඩ ඒමට ඔවුන්ට උපකාර කළ හැක්කේ කෙසේද කියා ලියන්න.

[13වන පිටුවේ කොටුව]

දරුවාට උපකාර කළ හැකි අයුරු

ඔබට ඔබේ සහකරු හෝ සහකාරිය අහිමි වීම දරාගත නොහැකි දුකක්. ඔබේ යොවුන් වියේ පසුවන දරුවාටද උපකාරය අවශ්‍යයි. ඔබ ගැනත් සැලකිලිමත් වන අතරම ඔබේ දරුවාටත් උපකාර කළ හැක්කේ කෙසේද? *

ඔබේ හැඟීම් සැඟවීමට උත්සාහ කරන්න එපා. ඔබේ දරුවා බොහෝ දේ ඉගෙනගෙන තියෙන්නේ ඔබ දෙස බැලීමෙන්. දුක දරාගන්නේ කෙසේද කියා දරුවා ඉගෙනගන්නේත් ඔබෙන්මයි. ඔබ ශක්තිමත් බව දරුවාට පෙන්වීමට ඔබේ දුක සැඟවීමට උත්සාහ කරන්න එපා. ඔබ දුක සඟවනවා නම් දරුවාද එසේ කිරීමට පෙලඹෙනවා. නමුත් ඔබ දුක ප්‍රකාශ කරනවා නම් දරුවාද දුක නොසඟවා ප්‍රකාශ කිරීමට ඉගෙනගන්නා අතර කලින් කලට ඇති වන සිත්තැවුල්, කලකිරීම් හෝ කේන්ති යෑම වැනි හැඟීම් සාමාන්‍ය ඒවා බව ඔහු තේරුම්ගනියි.

කතා කිරීමට දරුවාව දිරිගන්වන්න. දරුවාට කතා කිරීමට බල නොකර හිතේ තිබෙන දේ පැවසීමට දිරිගන්වන්න. එහෙත් ඔහු කතා කිරීමට අදිමදි කරනවා නම් මේ ලිපිය ඔහු සමඟ සාකච්ඡා කරන්න. මිය ගිය ඔබේ සහකරු හෝ සහකාරිය ගැන ඔබට ඇති සුන්දර මතකයන් ඔබේ දරුවා සමඟ බෙදාගන්න. ඔබටත් දුක දරාගැනීමට කොතරම් අපහසුද කියා දරුවාට පවසන්න. ඔබේ හිතේ තිබෙන දේ පවසන විට දරුවාද ඔහුගේ හිතේ තිබෙන දේ පැවසීමට පෙලඹෙයි.

ඔබේ සීමාවන් තේරුම්ගන්න. ඔබේ දරුවාට දුක දරාගැනීමට උපකාර කිරීම සඳහා ඔබ තුළ මහත් ආශාවක් තිබෙන බව නිසැකයි. ඔබත් සිටින්නේ ඔබේ සහකරුවා හෝ සහකාරිය අහිමි වීම නිසා දරාගත නොහැකි දුකකිනුයි. එමනිසා ඔබේ ශාරීරික හා මානසික ශක්තිය දුර්වල විය හැකියි. (හිතෝපදේශ 24:10) ඉන් ගොඩ ඒමට ඔබට පවුලේ වැඩිහිටියෙකුගේ හෝ මිතුරෙකුගේ උපකාරය අවශ්‍යයි. උපකාර පැතීමෙන් පෙන්වන්නේ ඔබ මේරූ කෙනෙක් බවයි. බයිබලයේ හිතෝපදේශ 11:2හි [NW] සඳහන් වන්නේ “නිහතමානී අය ප්‍රඥාවන්තය” කියායි.

ඔබට හොඳම උපකාරය ලැබීය හැක්කේ යෙහෝවා දෙවිගෙන්. ඔහු තම සේවකයන්ට මෙසේ පොරොන්දු කර තිබෙනවා. “යෙහෝවා දෙවි වන මම ඔබේ දකුණතින් අල්ලාගෙන සිටින්නෙමි. ‘භය නොවන්න, මම ඔබේ උපකාරයට සිටින්නෙමි.’”—යෙසායා 41:13NW.

[පාදසටහන]

^ 51 ඡේ. මෙහි උපදෙස් පුතුන්ට මෙන්ම දූවරුන්ටද අදාළයි.

[11වන පිටුවේ පින්තූරය]

මුහුදේ රළ වෙරළට ගසන්නේ නොසිතූ මොහොතකයි. ඔබට දුක ඇති වෙන්නේද ඒ ආකාරයටමයි