Skip to content

පටුනට යන්න

විස්මිත විශ්වය

විස්මිත විශ්වය

විස්මිත විශ්වය

මීට සියවසකට පෙර විද්‍යාඥයන් විශ්වාස කළේ සම්පූර්ණ විශ්වය යනු ක්ෂීර පථ මන්දාකිනිය පමණක් කියායි. කෙසේවෙතත් 20වන සියවසේදී තාරකා විද්‍යාවේ භෞතික විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුවත් සමඟම විශ්වය කොතරම් විශාලද කියා තේරුම්ගන්න පටන්ගත්තා. නමුත් විශ්වය පිළිබඳ සියලුම කාරණා අවබෝධ කරගැනීමට ඔවුන්ට හැකි වී නැති බව ඔවුන් පිළිගන්නවා. උදාහරණයකට මෑත දශක කිහිපය ඇතුළත ඔවුන් වටහාගෙන තිබෙන දෙයක් නම් විශ්වය පිළිබඳ නොදන්නා කාරණා සියයට 90කට වඩා තිබෙන බවයි. මේ නිසා මෙතෙක් පිළිගෙන තිබූ භෞතික න්‍යායන්වල නිරවද්‍යතාව පිළිබඳවද ඔවුන් තුළ සැක මතු වී තිබෙනවා.

භෞතික විද්‍යාඥයන් විසින් 19වන සියවස අග භාගයේදී ආලෝකයේ වේගය පිළිබඳ නව සොයාගැනීම් අනාවරණය කළා. මේ පිළිබඳව මනුෂ්‍යයන්ට නොයෙකුත් දේ පැහැදිලි කළේ ප්‍රසිද්ධ විද්‍යාඥයෙක් වන ඇල්බට් අයින්ස්ටයින් විසිනුයි. ඔහු සොයාගත්තේ සියලුම චලිත සාපේක්ෂ බවයි. මෙය හැඳින්වූයේ සාපේක්ෂතා වාදය ලෙසයි. මෙම සාපේක්ෂතා වාදය ගොඩනැඟීම සඳහා අයිසැක් නිව්ටන් විසින් භෞතික විද්‍යාව පිළිබඳව ප්‍රකාශයට පත් කළ නීති රීති අයින්ස්ටයින් නැවත සංශෝදනය කර යොදාගත්තා.

ප්‍රසාරණය වන විශ්වය

ඇල්බට් අයින්ස්ටයින් ඒ වන කොට සොයාගෙන තිබූ තොරතුරුවලට අනුව විශ්වය ප්‍රසාරණය වන්නේවත් සංකෝචනය වන්නේවත් නැති බව ප්‍රකාශ කළා. කෙසේවෙතත් 1929දී ඇමරිකානු ජාතික තාරකා විද්‍යාඥයෙක් වන එඩ්වින් හබල් විශ්වය ප්‍රසාරණය වන බවට සාක්ෂි සැපයුවා.

කාලයක් තිස්සේ අභිරහසක්ව පැවති රෑ අහසේ දීප්තිමත් ආලෝකයක් ලෙස තැනින් තැන දිස් වූ දේ කුමක්ද කියා හබල් සොයාගත්තා. එය වලාකුළු ලෙස දිස්වෙන නිසා ඒවා නිහාරිකා කියා මුලින්ම නම් කළේ හබල් විසිනුයි. නමුත් මෙම නිහාරිකා තිබෙන්නේ අපේ ක්ෂීර පථ මන්දාකිනියේද නැතහොත් ඊට එපිටින්ද කියා මීට ශත වර්ෂයකට පෙර බ්‍රිතාන්‍යයේ තාරකා විද්‍යාඥයෙක් වන සර් විලියම් හර්ෂල් ප්‍රශ්න කර තිබුණා.

මෙම එක් නිහාරිකාවක් වන ඇන්ඩ්‍රෝමිඩා කොතරම් දුරකින් පිහිටා තිබෙන මන්දාකිනියක්ද කියා සොයා බැලීමට හබල් පියවර ගත්තා. එහිදී ඔහු සොයාගත්තේ එම මන්දාකිනිය ආලෝක වර්ෂ මිලියනයකට එපිටින් තිබෙන බවයි. නමුත් අපගේ ක්ෂීර පථ මන්දාකිනියේ විශ්කම්බය ආලෝක වර්ෂ 1,00,000 යයි. හබල්ගේ සොයාගැනීමෙන් විශ්වයේ විශාලත්වය පැහැදිලි වෙනවා. ඔහුගේ මෙම සොයාගැනීම තාරකා විද්‍යාවේ හා විශ්ව න්‍යාය විද්‍යාවේ නව සොයාගැනීම්වලට මං විවෘත වුණා. *

ඉන්පසු හබල් විශ්වයේ ප්‍රසාරණය වන ආකාරය ගැන නිරීක්ෂණය කළා. ඔහු පැවසුවේ අපගේ ක්ෂීර පථ මන්දාකිනියේ සිට බලන කෙනෙකුට ඊට එපිටින් තිබෙන මන්දාකිනි ප්‍රසාරණ වන බව පෙනෙනවා. ඒ වගේම මන්දාකිනිය දුරස් වෙන්න වෙන්න ප්‍රසාරණ වන වේගයද වැඩි බවයි. එම සොයාගැනීම්වලට අනුව විශ්වය පෙරට වඩා විශාලයි. වර්ෂ 1929දී ඔහු කළ එම ප්‍රකාශය විශ්වය ආරම්භය පිළිබඳ තිබූ මහ පිපුරුම් වාදය නමැති සංකල්පයට මහත් රුකුලක් වුණා. මහ පිපුරුම් වාදයට අනුව විශ්වය ඇරඹී තිබෙන්නේ වර්ෂ බිලියන 13කට පෙරයි. මෙය තවමත් මුළුමනින්ම පැහැදිලි වී නැහැ.

ප්‍රසාරණය වීමේ වේගය

හබල්ගේ කාලයේ පටන් විශ්වයේ ප්‍රසාරණය වීමේ වේගය ගණනය කිරීමට මහත් වෑයමක් දරා තිබෙනවා. එම වේගය ගණනය කිරීමෙන් තාරකා විද්‍යාඥයන්ට විශ්වය උපත සිදු වී කොතරම් කාලයක් ගත වී ඇද්ද කියා දැනගැනීමට හැකි වෙනවා. ඒ වගේම අනාගතයේදී විශ්වයේ සිදු වන වෙනස්කම් මොනවාද කියා තේරුම්ගැනීමටත් හැකියාව ලැබෙනවා. ප්‍රසාරණය සිදු වන්නේ සෙමින් නම් එහි ගුරුත්වාකර්ශනය නිසා ආකාශ වස්තූන් සියල්ල එක තැන රැඳී තිබීමටත් ප්‍රසාරණය වීමේ වේගය වැඩි නම් ඒවා ක්‍රම ක්‍රමයෙන් ඈත් වී ගොස් සුනුවිසුනු වී යෑමටත් ඉඩ තිබෙනවා.

ප්‍රසාරණය වීමේ වේගය නිවැරදි ලෙස ගණනය කිරීමට හැකි වීම නිසා සමහර ප්‍රශ්නවලට පිළිතුරු ලැබුණද පදාර්ථ හා විශ්වයේ බලයන් පිළිබඳ ප්‍රශ්නය තවමත් විසඳී නැහැ.

අඳුරු ශක්තිය හා අඳුරු පදාර්ථ

වර්ෂ 1998දී පරීක්ෂකයන් පිරිසක් විසින් සුපර්නෝවා * තරුවෙන් නිකුත් වන ආලෝකය නිරීක්ෂණය කිරීමෙන් විශ්වයේ ප්‍රසාරණය වේගවත් වන බව සොයාගත්තා. මුලින් ඒ පිළිබඳව ඔවුන්ට සැකයන් මතු වුණත් පසුව ඒවා පිළිගැනීමට ඕනෑ තරම් සාක්ෂි ලැබුණා. ඔවුන්ට දැනගැනීමට අවශ්‍ය වුණේ මෙම ප්‍රසාරණය වේගවත් වීමට බලපාන ශක්තිය කුමක්ද කියායි. ඊට හේතුව මෙම ශක්තිය ගුරුත්වාකර්ෂනයට විරුද්ධව ක්‍රියා කළ අතර මෙම ශක්තිය පිළිබඳව කිසිම සංකල්පයක් මින් පෙර ඉදිරිපත් කර නොතිබීමයි. මේ හේතු නිසා මෙම ශක්තිය අඳුරු ශක්තිය ලෙස නම් කළා. මෙම සොයා නොගත් ශක්තිය විශ්වයේ සියයට 75කට ආසන්න ප්‍රමාණයක් තිබෙන බවට විශ්වාස කරනවා.

විශ්වයේ තිබෙන නොදන්නා දේවල් අතුරින් අඳුරු ශක්තිය ලෙස හඳුන්වන දෙය එයින් එකක් පමණයි. වර්ෂ 1980 ගණන්වල තාරකා විද්‍යාඥයන් වෙනත් මන්දාකිනි ගවේශනය කරන විට තවත් දෙයක් සොයාගත්තා. මෙම මන්දාකිනි ඇතුළු අපගේ ක්ෂීර පථ මන්දාකිනිය වේගයෙන් කැරකෙන බවත් එසේ කැරකෙන විට එකට බැඳී තිබෙන බවත් සොයාගත්තා. මෙලෙස එකට බැඳී තිබීමට යම් පදාර්ථ උපකාරවත් වන බව පෙනී ගියා. එම පදාර්ථ කුමක්ද කියා විද්‍යාඥයන් සොයාගෙන නැහැ. මෙම පදාර්ථයෙන් ආලෝකය උරා ගන්නේවත් ආලෝකය පිට කරන්නේවත් නැති නිසා මෙය අඳුරු පදාර්ථ * ලෙස නම් කර තිබෙනවා. මෙම අඳුරු පදාර්ථ විශ්වයේ සියයට 22ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් තිබෙන බවට ගණන් බලා තිබෙනවා.

මේ ගැන සිතා බලන්න: වර්තමානයේ කර තිබෙන ගණනය කිරීම්වලට අනුව විශ්වයේ සාමාන්‍ය පදාර්ථ තිබෙන්නේ සියයට හතරක් පමණයි. විශ්වයේ අනිකුත් සියල්ල අඳුරු පදාර්ථ හා අඳුරු ශක්තියයි. මේ අනුව බලන කළ විශ්වය පිළිබඳ නොදන්නා අභිරහස් සියයට 95ක් පමණ තිබෙනවා. *

කිසිදා නොසංසිඳෙන පිපාසය

විද්‍යාවෙන් බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු සොයමින් සිටිනවා. එක් ප්‍රශ්නයකට පිළිතුරු ලැබෙන විට එය තවත් ප්‍රශ්නවලට මඟ පාදනවා. මෙය අපගේ මතකයට නැඟෙන්නේ බයිබලයේ දේශනාකාරයා 3:11හි [නව ලොව පරිවර්තනය, NW] සඳහන් වදන් පෙළයි. “ඔහු [දෙවි] සෑම දෙයක්ම නියමිත කාලයට, පිළිවෙළට සකස් කරයි. ඔහු සදාකල් ජීවත් වීමේ ආශාව මිනිසාගේ සිතෙහි තබා ඇත. එහෙත් සැබෑ දෙවි කළ සෑම ක්‍රියාවක්ම තේරුම්ගැනීමට මිනිසා කිසිදා සමත් වන්නේ නැත.”

වර්තමානයේදී අපට ලබාගත හැකි දැනුම සීමිත වන්නේ අපගේ ජීවිත කාලය ඉතා කෙටි නිසයි. ඒ කාලය තුළදී ලබාගන්නා දැනුමෙන් වැඩි ප්‍රමාණයක් කලින් කලට වෙනස් වෙනවා. නමුත් මෙම තත්වය පවතින්නේ කෙටි කාලයකට පමණයි. ඊට හේතුව දෙවි තම විශ්වාසවන්ත සේවකයන්ට පාරාදීස පොළොවක සදාකාලයටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබා දෙන නිසයි. ඒ කාලයේදී දෙවිගේ හස්ත කර්මාන්තය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමට අපට ඕනෑ තරම් කාලය තිබෙනවා.—ගීතාවලිය 37:11, 29; ලූක් 23:43.

එමනිසා අපේ විශ්වය හදිසියෙන්ම විනාශ වෙයි කියා බිය විය යුතු නැහැ. විද්‍යාවෙන් විශ්වය පිළිබඳව සොයාගෙන තිබෙන්නේ අල්ප මාත්‍රයක් පමණයි. නමුත් විශ්වයේ සෑම තොරතුරක්ම දන්නේ එහි නිර්මාතෘ වන යෙහෝවා දෙවි පමණයි.—එළිදරව් 4:11.

[පාදසටහන්වල]

^ 7 ඡේ. තාරකා විද්‍යාවේ කාර්යය ආකාශ වස්තූ පිළිබඳ හැදෑරීමයි. විශ්ව න්‍යාය විද්‍යාව යනු ‘විශ්වයේ සැකැස්ම හා එහි ක්‍රියාකාරිත්වය පිළිබඳ හැදෑරීමයි’ කියා එක් විශ්වකෝෂයක ප්‍රකාශ කරනවා. “විශ්ව න්‍යාය විද්‍යාඥයන් උත්සාහ දරන්නේ විශ්වයේ ආරම්භයත් එතැන් පටන් සිදු වූ දේත් මතුවට සිදු වන දේත් පැහැදිලි කිරීමටයි.”—The World Book Encyclopedia.

^ 13 ඡේ. පිපිරීමට ලක් වන තරු හඳුන්වන්නේ සුපර්නෝවා (1a කාණ්ඩයේ) තරු ලෙසයි. සුර්යාගෙන් නිකුත් වන ආලෝකය මෙන් බිලියන ගණනකින් වැඩි ආලෝකයක් මෙයින් නිකුත් වෙයි. තාරකා විද්‍යාඥයන් මිනුම් දණ්ඩක් ලෙස මෙය යොදාගනියි.

^ 14 ඡේ. මෙම අඳුරු පදාර්ථ ගැන මුලින්ම සඳහන් කළේ 1930යි. නමුත් එය ස්ථිර කළේ 1980 ගණන්වලදීයි. වර්තමානයේ තාරකා විද්‍යාඥයන් මන්දාකිනිවල කොපමණ අඳුරු පදාර්ථ තිබෙනවාද කියා මැන බලන්නේ එහි ආලෝකය මගිනුයි.

^ 15 ඡේ. වර්ෂ 2009 නම් කර තිබෙන්නේ “ජගත් තාරකා විද්‍යා වසර” ලෙසයි. එසේ වීමට හේතුව ගැලීලියෝ ගැලිලි විසින් නිපද වූ මුල්ම දුරේක්ෂය භාවිතයට ගෙන වසර 400ක් පිරීම නිමිත්තෙනුයි.

[17වන පිටුවේ කොටුව]

ඔබට ඇති වන හැඟීම කුමක්ද?

දෙවිගේ පුරාණ සේවකයෙක් රාත්‍රියේ අහස දෙස බැලූ විට ඔහුට හැඟුණු දේ ඔහු කාව්‍යාලංකාරයෙන් පැවසුවේ මෙලෙසයි. “ඔබේ දෑත්වලින් නිම කළ අහස්තලය දෙසද ඔබ සෑදූ සඳ හා තාරකා දෙසද මා බලන විට ඔබ මිනිසාව සිහි කිරීමට තරම් ඔහු කවුද? ඔබේ රැකවරණය ලැබීමට තරම් මිනිසුන් වටින්නේද?” (ගීතාවලිය 8:3, 4NW) ඔහුට අහසේ තිබෙන දේ නිරීක්ෂණය කිරීමට දුරේක්ෂයක්වත් විශේෂිත කැමරාවක්වත් තිබුණේ නැහැ. එසේනම් අද අප මේවා දකින විට අපේ හද තුළ අපේ නිර්මාතෘ කෙරෙහි කොතරම් ගරු බියක් ඇති විය යුතුද!

[18වන පිටුවේ රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

74% අඳුරු ශක්තිය

22% අඳුරු පදාර්ථ

4% සාමාන්‍ය පදාර්ථ

[16වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Background: Based on NASA photo

[18වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Background: Based on NASA photo