Skip to content

පටුනට යන්න

උපකාරවත් වන යෝජනා

උපකාරවත් වන යෝජනා

උපකාරවත් වන යෝජනා

සෑම මවක් හා පියෙක්ම කැමති තම දරුවන්ට ප්‍රේමණීය මඟ පෙන්වීම් හා පුහුණුව ලබා දෙමින්, ඔවුන් සමඟ එකට කාලය ගත කරමින්, විනෝද වෙමින්, ඔවුන්ව හොඳින් තේරුම්ගෙන කිසිම දෙයකින් අඩුවක් නොකර ඔවුන්ට හොඳින් සැලකීමටයි. නමුත් ඔවුන් අතින් අඩුපාඩුකම් හා අතපසුවීම් සිදු වන නිසා එවැනි සැලකිල්ලක් දැක්වීමට ඔවුන් අසමත් වෙනවා. ඊට හේතුව “සියල්ලෝම පව් කර, දෙවිගේ තේජසින් ඈත්ව සිටිති” කියා බයිබලයේ පවසන නිසයි.—රෝම 3:23.

ඔබේ දෙමාපියන් අතින් ඔබට යම් අඩුපාඩුකම් සිදු වී ඇති බව ඔබටත් සිතෙනවා විය හැකියි. ඒ වුණත් ඒ ගැන ඔබේ සිතේ ඇති කනස්සල්ල අඩු කරගෙන ප්‍රීතිය වැඩි කරගන්න කළ හැකි දේවල් බොහොමයක් තිබෙනවා. ඒ සඳහා බයිබලයේ සඳහන් උපදෙස් අදාළ කරගත හැකි ආකාරය දැන් අපි බලමු.

පළමුවන යෝජනාව

අන් අය සමඟ ඇසුරු කරන්න

“නිතරම අන් අයගෙන් වෙන්ව සිටින තැනැත්තා තම ආත්මාර්ථකාමී ආශාවන් පසුපස ලුහුබැඳ යයි. ඔහු සැබෑ ප්‍රඥාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරයි.” (හිතෝපදේශ 18:1NW) තමන් ඉදිරිපිට යම් පිරිසක් සිටින විට සමහර යෞවනයන්ට අපහාසුතාවක් දැනෙනවා. නමුත් තනි වී රූපවාහිනිය නැරඹීම හෝ වීඩියෝ ක්‍රීඩාවක යෙදීමට ඔවුන් වඩාත් කැමැතියි. තවත් අය ගොඩක් ලැජ්ජ නිසා නිතරම ඉන්න කැමති තනිවමයි. එලිසබෙත් නමැති යෞවනිය පවසන්නේ “මම සාමාන්‍යයෙන් ගොඩක් ලැජ්ජ කෙනෙක්. ඒක කොයි තරම්ද කිව්වොත් කවුරු හරි කෙනෙක් ඉස්සරහට ගිහිල්ලා කතා කරන්න මට හරි භයයි.”

ඇය ඉන් ගොඩ ආවේ කොහොමද? යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලය ගැන ඉගෙනගන්නා රැස්වීම්වලට ඇය නොකඩවා සහභාගි වෙනවා. ඒ ගැන ඇය මෙහෙම කියනවා. “මට ලැජ්ජාවක් දැනුණත් හැම රැස්වීමකදීම කොහොම හරි එක් කෙනෙක් එක්ක කතා කරන්න මම හිතාගත්තා. එහෙම කරන්න බැරි වුණොත් මම අධෛර්ය වෙන්නේ නැහැ. මම දැනටමත් ලබලා තියෙන දියුණු ගැන හිතලා සතුටු වෙනවා. ඇත්තටම අන් අයව දැන හඳුන ගන්න එක හරිම ප්‍රයෝජනවත් කියලා මට තේරෙනවා.”

මේ යෝජනාව අත්හදා බලන්න ඔබ කැමතිද? ඔබ වඩාත් හොඳින් දැන හඳුනා ගන්න කැමති පුද්ගලයන් දෙදෙනෙකුව හෝ තුන්දෙනෙකුව තෝරාගන්න. ඉන්පසු ඊළඟ සතිය හෝ දෙක තුළ ඔවුන් පිළිබඳ අලුත් යමක් අසා දැනගන්න. ඊළඟ මාසයේදී ඔවුන් වෙනුවෙන් ඔබට කළ හැකි හොඳ දෙයක් ගැන කල්පනා කර එම මාසය ඇතුළත එය කිරීමට උත්සාහ කරන්න.—ක්‍රියා 20:35.

ඔබ අන් අයගෙන් වෙන් වී ඔබගේ ප්‍රශ්න තුළම සිර වී සිටිනවා නම් ඉන් සිදු වන්නේ කුමක්ද? අනවශ්‍ය ලෙස ඔබ ගැන පමණක් සිතන්න පෙලඹීමයි. ඒ ගැන බයිබලයේ දෙන උපදෙස මෙයයි. “ඔබේම කාරණා ගැන පමණක් නොව, අනුන්ගේ කාරණා ගැනත් පෞද්ගලිකව සැලකිල්ලක් දක්වන්න.” (ෆිලිප්පි 2:4) ඔබ අන් අය සමඟ කටයුතු කරන විට එම උපදෙස අදාළ කරගන්නවා නම් ඔබගේ ප්‍රශ්න දෙස සමබරව බැලීමටත් ඒවා සාර්ථකව විසඳාගැනීමටත් ඔබට හැකි වෙයි.

දෙවන යෝජනාව

දුරාචාරයෙන් වැළකී සිටින්න

“වේශ්‍යාකම වෙතින් පලා දුවන්න. මිනිසෙකු කරන අන් සියලුම පාප ඔහුගේ ශරීරයෙන් පිටතය. නමුත් වේශ්‍යාකමෙහි නියැලී සිටින්නා තමාගේම ශරීරයට විරුද්ධව පව් කරන්නේය.” (1 කොරින්ති 6:18) ලිංගික සම්බන්ධකම් පැවැත්වීම අද දින බොහෝ යෞවනයන් අතර සාමාන්‍ය දෙයක් වී තිබෙනවා. එවැනි සම්බන්ධකමක් පවත්වන්න කියා ඔබටත් බලපෑමක් එල්ලවිය හැකියි. එම බලපෑමට විරුද්ධ වන්න ඔබට හැක්කේ කෙසේද?

ඔබ කළ යුතු මුල්ම දෙය වන්නේ එවැනි පීඩනයකට හෝ පරීක්ෂාවකට මුහුණ දීමට පෙර ඒ ගැන හොඳින් කල්පනා කර ඊට හොඳින් සූදානම් වීමයි. “සිහිබුද්ධිය ඇති අය තමන් ගත යුතු පියවර ගැන හොඳින් කල්පනා කරයි” කියා බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 14:15NW) දකුණු අප්‍රිකාවේ සිටින ම්බාලි නමැති කාන්තාව තම පාසැල් අවදියේ සිදු වූ දෙයක් ගැන මෙසේ පවසනවා. “මගේ පන්තියේ හිටිය එක පිරිමි ළමයෙක් ඔහු සමඟ ලිංගික සම්බන්ධකම් පවත්වන්න කියා මට නිතර නිතර ඇවිටිලි කෙරුවා. එයා කඩවසම් කොල්ලෙක් නිසා ඒ ආරාධනය පිළිගන්න කියලා පන්තියේ ගැහැනු ළමයිනුත් මට බල කෙරුවා. ඒ පිරිමි ළමයා ක්‍රීඩාවටත් හරි දක්ෂයි. ඒ නිසා මගේ හිතත් එයාට ඇදිලා ගියා. මගේ වයසේ අනික් අයත් කිව්වේ ලිංගික සම්බන්ධකම් පැවැත්වීම වරදක් නෙමෙයි කියලයි. ඒ වුණත් මම ඉගෙනගෙන තිබුණ ප්‍රතිපත්ති කඩ කරන්නේ නැහැ කියලා මම ලොකු අධිෂ්ඨානයක් අරගෙනයි හිටියේ. ඒ වගේ සම්බන්ධකම් පැවැත්වීම වැරදි බවත් ඒ වගේ දේවල්වලට හවුල් නොවන බවටත් මම තීරණය කළේ මේ වගේ තත්වයකට මුහුණ දෙන්න හුඟක් කාලයකට ඉස්සරයි.”

ඔබ කළ යුතු ඊළඟ දෙය වන්නේ දෙවිගේ යහපත් ප්‍රමිති පවත්වන්න උපකාර ඉල්ලා යාච්ඤා කිරීමයි. එංගලන්තයේ ජීවත් වන මැගී නමැති යෞවනිය කළ දෙය ගැන ඇය මෙසේ පවසනවා. “ඒ වගේ සම්බන්ධකමක් පවත්වන්න කෙනෙක් ආරාධනා කරද්දී ඒක ප්‍රතික්ෂේප කරන්න අවශ්‍ය ශක්තිය මට ලැබුණේ යාච්ඤාවෙන්. ඒ ඇරෙන්න මගේම හැකියාවෙන් නම් ඒ දේ මට කොහොමටවත් කරන්න බැහැ. ඒ වගේ පීඩනයන් මට ඇති වෙද්දී මම කරන්නේ මගේ දෙමාපියන් එක්ක හරි හොඳ මිතුරන් එක්ක හරි කතා කරන එකයි.”

තුන්වන යෝජනාව

ඔබේ දෙමාපියන්ට අනුකම්පාව පෙන්වන්න

‘ඔබ සියල්ලෝම එක්සිත්ව, එකිනෙකා කෙරෙහි අනුකම්පාව දක්වමින්, සහෝදර ස්නේහය ඇතිව, ගැඹුරු දයානුකම්පාවෙන් යුක්තව සිටින්න’ (1 පේතෘස් 3:8) ඔබගේ දෙමාපියන් වෙන්වීම හෝ ඔවුන් දික්කසාද වීම වළක්වන්න ඔබට බැහැ. එමෙන්ම ඔවුන් දෙදෙනාම රැකියාවල නිරත විය යුතුද නැද්ද කියා තීරණය කිරීමත් ඔබ සතු දෙයක් නොවෙයි. නමුත් එවැනි දේවල් නිසා ඔබ සහ ඔවුන් අතර ඇති බැඳීම දුර්වල වීමට ඉඩහරිනවාද නැද්ද යන්න තීරණය තිබෙන්නේ ඔබ අතෙයි. එවැනි හේතු නිසා ඔබ දැන් අද්දකින කනස්සල්ල අඩු කර ඔබගේ ප්‍රීතිය වැඩි කරගැනීමට එක් ක්‍රමයක් වන්නේ ඔබගේ දෙමාපියන් මුහුණ දෙන අභියෝග තේරුම්ගෙන ඔවුන් කෙරෙහි අනුකම්පාව පෙන්වීමයි.

ඇම්බර් නමැති යෞවනිය එම උපදෙස ක්‍රියාත්මක කළා. තම මව සමඟ කටයුතු කළ සමහර අවස්ථාවලදී විශාල පීඩනයක් දැනුණු බවත් වරදවා වටහාගැනීම් හා කලකිරීම් ඇති වූ බවත් ඇය පිළිගන්නවා. ඒ වුණත් ඇය මෙසේ පවසනවා. “මගේ අම්මා ජීවිතයේ ගොඩක් අමාරුකම්වලට මුහුණ දීලා තියෙනවා. මාවත් මගේ අයියලා දෙන්නවත් මල්ලිවත් ලොකු මහත් කෙරුවේ අම්මා තනියෙන්මයි. අපිට කන්න බොන්න, ඉන්න හිටින්න තැනැක් දීලා අපිව බලාගත්තා. අම්මගේ ඒ ධෛර්යවන්තකම මම ගොඩක් අගය කරනවා. අභියෝග එද්දී ඒ විදියට කටයුතු කරන්න මමත් උත්සාහ කරනවා.”

ඔබ ඔබගේ දෙමාපියන් සිටින තත්වය හා ඔවුන්ට හැඟෙන ආකාරය තේරුම්ගන්න උත්සාහ කළොත් ඔබ මුහුණ දෙන ගැටලු දෙස සමබරව බලන්න ඔබට හැකිවෙයි. එවිට ඔවුන්ගේ ජීවිතයේ හොඳ පැති ආදර්ශයට ගැනීමටත් ඔබට හැකි වේවි.

ප්‍රයෝජනවත් මඟ පෙන්වීම් ඇතුළත් පොතක්

අප මෙතෙක් සලකා බැලුවේ බයිබලයේ සඳහන් ප්‍රඥාවන්ත උපදෙස් අතරින් ස්වල්පයක් පමණයි. ඔබ එය තවදුරටත් අධ්‍යයනය කරද්දී එහි මොන තරම් ප්‍රයෝජනවත් උපදෙස් තිබෙනවාද කියා ඔබටම වැටහෙයි.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය අධ්‍යයනය කිරීමෙන්ද ඒ පිළිබඳව තවත් බොහෝ තොරතුරු ඔබට ඉගෙනගත හැකියි. එමෙන්ම ඔබගේ ගැටලුවලට සාර්ථකව මුහුණ දීම සඳහා බයිබලයේ ඇති උපදෙස් අදාළ කරගැනීමට ඔබට උපකාර කරන සැබෑ මිතුරන්ද ඔවුන් අතරින් ඔබට සොයාගන්න පුළුවන්. බයිබල් ප්‍රමිතිවලට එකඟව ජීවත් වීම පහසු දෙයක් නොවන බව ඇත්තයි. නමුත් ඒ සඳහා ඔබ දරන වෑයම ඔබගේ ජීවිතයට කල්පවතින ප්‍රයෝජන ගෙන දෙයි.—යෙසායා 48:17, 18.

[8, 9වන පිටුවේ කොටුව⁄පින්තූර]

දෙමාපියන්ගෙන් යෞවනයන්ට අවශ්‍ය දේ

එකට කාලය ගත කිරීම: දෙමාපියන් දරුවන් සමඟ සෑම අවස්ථාවකදීම එනම් ‘නිවසේ සිටින විට, ගමන්බිමන් යන විට’ අදහස් හුවමාරු කරගත යුතු බව යෙහෝවා දෙවි අණ කළා. (ද්විතීය කතාව 6:6, 7NW) ඒ සඳහා දෙමාපියන් දරුවන් සමඟ එකට කාලය ගත කළ යුතුයි. තම වටිනා කාලය දරුවන් සමඟද ගත කිරීම වැදගත් බව යේසුස් තේරුම්ගත්තා. එක් අවස්ථාවකදී “කුඩා දරුවන් පිට යේසුස් අත් තබන පිණිස, මිනිස්සු ඔහු වෙතට ඔවුන්ව ගෙන” ආ බව බයිබලයේ සඳහන් වෙනවා. එවිට යේසුස් කළේ කුමක්ද? ‘ඔහු දරුවන්ව තුරුළු කරගෙන ඔවුන් පිට අත් තබමින් ඔවුන්ට ආශීර්වාද කළා.’ (මාක් 10:13, 16) එය දෙමාපියන්ට කොතරම් හොඳ ආදර්ශයක්ද!

අවංක අදහස් හුවමාරුව: “සිතේ තිබෙන දේ හෙළි නොකරන විට සැලසුම් අසාර්ථක වෙයි” කියා බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 15:22NW) දරුවන් කුඩා කාලයේදී දෙමාපියන් ඔවුන් සමඟ හොඳින් අදහස් හුවමාරු කරගැනීම අවශ්‍යයි. නමුත් ඔවුන්ගේ යෞවන කාලයේදී එනම්, ඔවුන් වැඩි කාලයක් පාසැල් මිතුරන් සමඟ හා වෙනත් අය සමඟ ගත කරන්න පටන්ගන්නා විට එවන් අදහස් හුවමාරුවක් ඊටත් වඩා අත්‍යවශ්‍යයි. දෙමාපියන් හා දරුවන් අතර අවංක අදහස් හුවමාරුවක් සිදු වන්නේ නැත්නම් දරුවා නිවසට අමුත්තෙක් විය හැකියි.

අවශ්‍ය හික්මවීම: හික්මවීමට, නිවැරදි කිරීම හා පුහුණු කිරීමද ඇතුළත් වෙනවා. එමෙන්ම අවශ්‍ය වූ විට සුදුසු දඬුවම් ලබා දීමද ඊට ඇතුළත්. බයිබලයේ හිතෝපදේශ 15:5හි [NW] ඒ ගැන දෙන මඟ පෙන්වීම මෙයයි. “අඥාන තැනැත්තා තම පියාගේ හික්මවීම් සුළු කොට තකන්නේය. එහෙත් අවවාදය පිළිගන්නා සිහිබුද්ධිය ඇති තැනැත්තෙකි.” යෞවනයෙක් ‘අවවාදයක් පිළිගැනීමට නම්’ මුලින්ම ඔහුට එය ලබා දිය යුතුයි. එහිදී දෙමාපියන් සමබර වීම වැදගත්. ඔහුව කල නොකිරෙන ආකාරයෙන් එනම්, ඔහුට ඔහු ගැන තිබෙන විශ්වාසයට හානි නොවන ලෙස අවවාද කිරීමට දෙමාපියන් වගබලා ගත යුතුයි. (කොලොස්සි 3:21) නමුත් අනික් අතට දරුවාට අවශ්‍ය පුහුණුව ලබා නොදී ඔහුගේ කැමැත්තට ඉඩ හරිනවා නම් ඉන් භයානක ප්‍රතිඵළ අත් විය හැකියි. *

[පාදසටහන]

^ 27 ඡේ. මේ පිළිබඳ තවත් තොරතුරු දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත පවුලේ සන්තෝෂයට රහස නමැති පොතේ පස්වෙනි හා හයවෙනි පරිච්ඡේද බලන්න.