Skip to content

පටුනට යන්න

එම අභියෝග මොනවාද?

එම අභියෝග මොනවාද?

එම අභියෝග මොනවාද?

වැඩියෙන්ම අභියෝගවලට මුහුණ දෙන්නේ අද සිටින යෞවනයන් කියා ඔබ සිතනවාද? ඔබ ඊට ‘නැත’ කියා පිළිතුරු දිය හැකියි. ඊට හේතුව විය හැක්කේ කලින් සිටි අයට වඩා අද සිටින යෞවනයන්ට බොහෝ පහසුකම් තිබෙනවා කියා ඔබ සිතන නිසා විය හැකියි.

මීට පෙර පරම්පරාවල සිටි බොහෝ යෞවනයන්ට අසනීප හා ලෙඩ රෝග නිසා ඔවුන්ගේ යෞවන කාලය හෝ මුළු ජීවිතයම ඔවුන්ට අහිමි වුණා. නමුත් දියුණු වෛද්‍ය පහසුකම් නිසා අද සිටින යෞවනයන් හොඳ ශරීර සෞඛ්‍යක් භුක්ති විඳිනවා. අනික් අතට කලින් පරම්පරාවල සිටි යෞවනයන්ට සිහිනයක් වූ ඉලෙක්ට්‍රෝනික උපකරණ, අද දින සෑම යෞවනයෙක්ම පාහේ භාවිත කරනවා. ඒ වගේම ආර්ථික දියුණුව නිසා දිලිඳුකමින් ගොඩ ඒමට බොහෝ පවුල්වලට හැකි වී තිබෙනවා. බොහෝ දෙමාපියන් වෙහෙස නොබලා වැඩ කරන්නේ තමන්ට වඩා උසස් අධ්‍යාපනයක් මෙන්ම සැප පහසු ජීවිතයක් තම දරුවන්ට ලබා දීමටයි.

අද සිටින යෞවනයන් බොහෝ පහසුකම් භුක්ති විඳින බව ඇත්තයි. නමුත් අනික් අතට ඔවුන් විශාල අභියෝගයන් රැසකටද මුහුණ දෙනවා. ඊට එක් හේතුවක් නම් මුළු මිනිස් වර්ගයාම ජීවත් වන්නේ “අවසාන කාල පරිච්ඡේදය” ලෙස බයිබලයේ හඳුන්වන කාලයේ නිසයි. (මතෙව් 24:3) මේ කාලයේදී මිනිස් සමාජය තුළ විශාල කැලඹීම් ඇති වන බව යේසුස් පැවසුවා. (මතෙව් 24:7, 8) බයිබලයේ “අන්තිම දවස්” ලෙස හඳුන්වා ඇත්තේද මෙම කාලයමයි. එය “කටයුතු කිරීමට අසීරු” කාලයක්. (2 තිමෝති 3:1) විශේෂයෙන්ම යෞවනයන්ට එය අභියෝගාත්මක කාලයක්. දැන් අපි ඔවුන් මුහුණ දෙන එවන් අභියෝග කිහිපයක් ගැන සලකා බලමු.

පළමුවන අභියෝගය

තනි වී සිටීම

බොහෝ චිත්‍රපටවල, රූපවාහිනි වැඩසටහන්වල සහ සඟරාවල පළ කරන්නේ යෞවනයන් පාසැල් අවදියේ පටන් බොහෝ මිතුරන් පිරිවරාගෙන සිටින පිරිසක් ලෙසයි. නමුත් බොහෝ යෞවනයන්ගේ සැබෑ තත්වය එය නොවෙයි.

ඇමරිකාවේ යෞවනයන් දහස් ගණනක් සමඟ කළ සම්මුක සාකච්ඡාවක් සලකා බැලූ සමීක්ෂකයන් දෙදෙනෙක් මෙසේ පවසනවා. “තමාගේ හොඳම මිතුරා හෝ මිතුරන් ලෙස අන් අය සමඟ දීර්ඝ කාලයක් පුරා එම මිත්‍රත්වය පවත්වාගත්තේ ඔවුන්ගෙන් කිහිපදෙනෙක් පමණයි.” ඔවුන්ගෙන් බොහෝදෙනෙකුට “අන් අය සමඟ කිට්ටු සම්බන්ධතාවක් තිබුණේ නැහැ. එමෙන්ම ඔවුන්ට තම අදහස් හා ප්‍රශ්න ගැටලු බෙදාගැනීමට හැකි කිට්ටු මිතුරන් සිටියේ අතළොස්සක් පමණයි” කියාද එම සමීක්ෂකයන් තවදුරටත් ප්‍රකාශ කළා.

බොහෝ යෞවනයන් මිතුරන් ඇති කරගත්තත් ඔවුන් සමඟ ගත කරන්නේ ඉතා ස්වල්ප කාලයක්. එවැනි අය සම්බන්ධයෙන් කළ සමීක්ෂණයකින් හෙළි වුණේ බොහොමයක් යෞවනයන් තම මිතුරන් සමඟ මුහුණට මුහුණ ලා කතා කිරීමට වැය කරන්නේ ඔවුන්ගේ කාලයෙන් සියයට දහයක් පමණක් බවයි. නමුත් සියයට 20ක්ම ඔවුන් ගත කරන්නේ තනිවමයි. එය ඔවුන් තම පවුලේ අය හෝ මිතුරන් සමඟ ගත කරන කාලයට වඩා වැඩියි. ඔවුන් කන්නේ බොන්නේ, යන්නේ එන්නේ සහ විනෝද වෙන්නේ තනිවමයි.

ඊට එක් හේතුවක් වී ඇත්තේ යෞවනයන් අතර ඉලෙක්ට්‍රෝනික උපකරණ ජනප්‍රිය වීමයි. උදාහරණයකට 2006දී ටයිම් සඟරාවේ සඳහන් වුණේ වයස අවුරුදු අටත් දහඅටත් අතර යෞවනයන් රූපවාහිනිය නැරඹීමට, සංගීතයට සවන් දීමට හෝ වීඩියෝ ක්‍රීඩා කිරීමට සාමාන්‍යයක් ලෙස දිනකට පැය හයහාමාරක් ගත කරන බවයි. *

මීට පෙර පරම්පරාවල සිටි යෞවනයන්ද සංගීතයෙන් හා ක්‍රීඩාවෙන් යම් විනෝදයක් ලැබීමට පැය ගණනාවක් වැය කර තිබෙනවා. (මතෙව් 11:16, 17) නමුත් අද සිටින යෞවනයන් බොහොමයක් තම පවුලේ අය සමඟ ගත කරන කාලයට වඩා වැඩි කාලයක් ගත කරන්නේ ඉලෙක්ට්‍රෝනික උපකරණ සමඟයි. එම තත්වය හානිදායක විය හැකියි. ඉහත සඳහන් කළ සමීක්ෂකයන් පවසන්නේ එවැනි තත්වයක් නිසා “යෞවනයන්ට තමන් ගැනම එතරම් විශ්වාසයක් හා සතුටක් නැතිකම, තමන් කරන වැඩවලින් තෘප්තියක් නොලැබීම, තනි වී සිටින විට අලසකමක් දැනීම වැනි තත්වයන්ට මුහුණ දීමට සිදු වන බවයි.”

දෙවන අභියෝගය

ලිංගික සම්බන්ධකම් පැවැත්වීමට අන් අයගෙන් එල්ල වන බලපෑම්

යෞවනයන්ට පමණක් නොව බාලයන්ටද ලිංගික සම්බන්ධකම් පවත්වන්න කියා ඔවුන්ගේ යහළුවන්ගෙන් විශාල පීඩනයක් එල්ල වෙනවා. ඕස්ට්‍රේලියාවේ සිටින යෞවනයෙක් වන නේතන් පවසන දේ බලන්න. “අපේ ඉස්කෝලේ අවුරුදු 12ත් 15ත් අතර ළමයි හුඟදෙනෙක් ලිංගික සම්බන්ධකම් පවත්වනවා.” මෙක්සිකෝවේ ජීවත් වන වින්බේ නමැති යෞවනියද සඳහන් කළේ ලිංගික සම්බන්ධකම් පැවැත්වීම ඇගේ පාසැලේ ශිෂ්‍යයන් අතර සාමාන්‍ය දෙයක් වී ඇති බවයි. එමෙන්ම ඒ ගැන ඔවුන්ට කිසිම බරපතලකමක් දැනෙන්නේ නැති බවද ඇය පවසනවා. “එවැනි සම්බන්ධකම්වල යෙදෙන්නේ නැති අයව ඔවුන් සලකන්නේ අමුතු පුද්ගලයන් හැටියටයි. ලිංගික සම්බන්ධකම් පැවැත්වීම මගේ වයසේ ඉන්න අයට නම් සාමාන්‍ය දෙයක්. ඒ නිසා ඔවුන් කරන ආරාධනයට එක පාරක් බැහැයි කියලා මදි. දිගටම එහෙම කියන්න සිද්ද වෙනවා” කියා ඇය තවදුරටත් පවසනවා.

බ්‍රිතාන්‍යයේ සමීක්ෂකයන් කණ්ඩායමක් වයස අවුරුදු 12ත් 19ත් අතර, විවිධ පසුබිම්වලට අයත් යෞවනයන් 1,000ක් පමණ යොදාගෙන සමීක්ෂණයක් කළා. එයින් සනාථ වුණේ ඔවුන්ගෙන් සියයට 50ක් පමණ නොකඩවා කිසියම් හෝ ආකාරයක ලිංගික සම්බන්ධකමක් පවත්වා ඇති බවයි. ඉන් සියයට 20ක්ම වයස අවුරුදු 12ක දරුවන්. එම සමීක්ෂණය භාරව කටයුතු කළ තැනැත්තා අවසානයේදී පැවසුවේ “එදා පවුල් කවය තුළින් හා ආගම දහම තුළින් දරුවන්ට පනවා තිබූ සීමා තහංචි හා ඔවුන් කෙරෙහි තිබූ අධීක්ෂණය දැන් නැහැ. ඒ නිසා යෞවනයන්ට බරපතල හානි සිදු වී තිබෙනවා.”

ඔහු පැවසූ දේ සත්‍යයක්ද? ඔව්. සමීක්ෂකයන් තිදෙනෙක් 2003දී ඉදිරිපත් කළ වාර්තාවකින් ඔප්පු වන්නේ ලිංගික සම්බන්ධකම් පවත්වන යෞවනයන් මානසික අවපීඩනයට හා සියදිවි හානි කරගැනීමට වැඩි නැඹුරුවාවක් තිබෙන බවයි. යෞවනයන් 6,500ක් සමඟ කළ සමීක්ෂණයකින් හෙළි වුණේ “නොකඩවා ලිංගික සම්බන්ධකම් පවත්වන ගැහැනු ළමයින් එසේ නොකරන ළමයින්ට වඩා තුන්ගුණයකින් මානසික අවපීඩනයට ලක් වීමේ ප්‍රවනතාවක්” තිබෙන බවයි. ඒ වගේම “නොකඩවා ලිංගික සම්බන්ධකම් පවත්වන පිරිමි ළමයින් එසේ නොකරන අයට වඩා දෙගුණයකින් මානසික අවපීඩනයට ලක් වීමේ ප්‍රවණතාවක් තිබෙන බවයි.”

තුන්වන අභියෝගය

දෙකඩ වූ පවුල්

තම පවුල තුළ වේගයෙන් සිදු වන වෙනස්කම් හා හොඳ නරක පිළිබඳව තිබූ නිවැරදි ප්‍රතිපත්ති වෙනස් වී ඇති ආකාරය ඇමරිකාවේ සිටින යෞවනයන් අද්දැක තිබෙනවා. ඒ ගැන එක් පොතක මෙසේ සඳහන් වුණා. “පසු ගිය දශක කිහිපයේදී සමාජය තුළ සිදු වූ දේවල් යෞවනයන්ගේ ජීවිතවලට කෙළින්ම බලපා තිබෙනවා. සාමාන්‍යයක් ලෙස ඇමරිකාවේ පවුලක සාමාජිකයන් ප්‍රමාණය එන්න එන්නම අඩුවෙමින් පවතිනවා. ඒ නිසා යොවුන් දරුවන්ට සිටින්නේ සහෝදර සහෝදරියන් එක් කෙනෙක් හෝ දෙන්නෙක් පමණයි. එමෙන්ම දික්කසාද වීමේ සංඛ්‍යාවද ඉහළ යමින් තිබෙන නිසා බොහෝ දරුවන් තම ළමා කාලයෙන් යම් ප්‍රමාණයක් ගත කරන්නේ දෙමාපියන්ගෙන් එක් කෙනෙකු සමඟයි. ඒ අයගෙන්ද අවුරුදු 18ට අඩු දරුවන්ගේ මව්වරුන් බොහොමයක් රැකියාවල නිරත වෙනවා. ඒ කාලය අතරතුරේදී බොහෝවිට ඔවුන් නිවසේ සිටින්නේ තනිවමයි.”

තමන් ජීවත් වන්නේ මව සහ පියා යන දෙදෙනාම සමඟ හෝ එක් අයෙකු සමඟ වුණත් බොහෝ යෞවනයන්ට හැඟෙන්නේ තමන්ට ඔවුන්ගේ උපකාර අවශ්‍යම මොහොතේදී ඔවුන් තමන් ළඟ නැති බවයි. යෞවනයන් 7,000ක් යොදාගනිමින් අවුරුදු කිහිපයක් පුරා කළ අධ්‍යයනයකදී තහවුරු වූ දේ සලකා බලන්න. බොහෝ යෞවනයන් පැවසුවේ ඔවුන්ගේ දෙමාපියන් ඉතා ප්‍රේමණීයව තමන්ව තේරුම්ගන්නා අය බවයි. නමුත් “තමන් ගැටලුවකට මුහුණ පා සිටින විට දෙමාපියන්ගෙන් විශේෂ උපකාර ලැබුණු බව පැවසුවේ ඔවුන්ගෙන් තුනෙන් එකක් පමණයි.” අනික් අතට “යෞවනයන් වැඩි දෙනෙකුගේ අදහස වුණේ ඔවුන්ගේ ප්‍රශ්න ගැටලුවලදී දෙමාපියන් ඔවුන්ට අවශ්‍ය උපකාර පිරිනැමුවේ නැති තරම් කියායි.”

කලක් පවුල් බැඳීම් ශක්තිමත්ව තිබූ ජපානය තුළ දැන් දැන් එය දුර්වල වෙමින් පවතිනවා. ඊට හේතුව ධනවත් වීමට ඔවුන් තුළ ඇති දැඩි ආශාවයි. ඒ ගැන මහාචාර්යවරියක් පැවසුවේ මෙවැනි දෙයක්. ‘දෙවන ලෝක මහා යුද්ධයට පසුව බිහි වූ පරම්පරාව ඇති දැඩි වුණේ කෙසේ හෝ ධනවත් වීමට උත්සාහ කළ යුතුයි යන ආකල්පය ඇතිවයි.’ ඔවුන් තම දරුවන්ට කාවද්දන්න උත්සාහ කරන්නෙත් එම ආකල්පයමයි. එමනිසා අද සිටින දෙමාපියන්ගෙන් බොහෝදෙනෙක් තම මූලික අවදානය යොමු කරන්නේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීම කෙරෙහි පමණයි. ඔවුන්ට ඇත්තේ මෙවැනි ආකල්පයක් ‘ගෙදර අනික් දේවල් නොකෙරුවත් කමක් නැහැ. දරුවන් හොඳට පාඩම් කරනවා නම් ඒ ඇති.’

එවැනි ආකල්පයක් යෞවනයන්ට බලපා ඇත්තේ කෙසේද? සාර්ථක වීමට දෙමාපියන් ඔවුන්ට එල්ල කරන පීඩනය දරාගත නොහැකි තත්වයකට පත් වන විට ඔවුන් එකවරම හිතාගන්නවත් බැරි දේවල් කිරීමට පෙලඹෙනවා. ඔවුන් එසේ හැසිරීමට හේතුව ගැන ඉහත සඳහන් කළ මහාචාර්යවරිය පවසන්නේ මෙසේයි. “යෞවනයන්ට තම නිවසේදී ඔවුන්ගේ දෙමාපියන්ගෙන් බොහෝවිට හික්මවීම් නොලැබීම ඊට හේතු විය හැකියි.”

සතුටට කරුණක්

ඇත්තෙන්ම අප ජීවත් වෙන්නේ “කටයුතු කිරීමට අසීරු, අන්තරාදායක” කාලයක බව බයිබලයේ පැහැදිලිවම පවසනවා. (2 තිමෝති 3:1) නමුත් මිනිසුන් මුහුණ දෙන ගැටලුවලට වඩා වැඩි යමක් ගැනද එහි සඳහන් වෙනවා.

විශේෂයෙන්ම යෞවනයන්ට ඔවුන්ගේ ජීවිත සතුටින් ගත කළ හැකි ආකාරය ගැන ප්‍රයෝජනවත් උපදෙස් බයිබලයේ අඩංගු වෙනවා. ඔවුන් යහපත් ජීවිතයක් ගත කරනවා දැකීම යෙහෝවා දෙවිගේ ආශාව නිසා යෞවනයන් මුහුණ දෙන ගැටලු විසඳාගන්න ආකාරය ඔවුන්ට උගන්වන්න ඔහු සතුටින් බලා සිටිනවා. (හිතෝපදේශ 2:1-6) “අද්දැකීම් අඩු කෙනෙකුට බුද්ධියද තරුණයෙකුට දැනුම සහ හොඳින් සිතීමේ හැකියාවද” ලබා දීමට දෙවිගේ වචනය වන බයිබලයට හැකියි. (හිතෝපදේශ 1:4, නව ලොව පරිවර්තනය, NW) එහි අඩංගු ප්‍රතිපත්ති කිහිපයක් ගැන අපි ඊළඟ ලිපියෙන් සලකා බලමු.

[පාදසටහන]

^ 10 ඡේ. තම කාමරයට වී සිටීමට කැමති යෞවනයන්ගේ ප්‍රමාණය ජපානයේ ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා ඔවුන්ට විශේෂ නමක්ද පටබැඳී තිබෙනවා. ජපානයේ එවැනි යෞවනයන් 5,00,000ත් 10,00,000ත් අතර සංඛ්‍යාවක් සිටින බව ගණන් බලා තිබෙනවා.

[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

එක් අධ්‍යයනයකට අනුව නොකඩවා ලිංගික සම්බන්ධකම් පවත්වන ගැහැනු ළමයින් එසේ නොකරන ළමයින්ට වඩා තුන්ගුණයකින් මානසික අවපීඩනයට පත් වීමේ අවදානමක සිටිනවා.

[6වන පිටුවේ කොටුව⁄පින්තූරය]

තමන්ටම තුවාල කරගන්නා යෞවනයෝ

වර්ෂ 2006දී බ්‍රිතාන්‍යය රජය විසින් පළ කළ වාර්තාවක සඳහන් වුණේ වයස අවුරුදු 11ත් 15ත් අතර කොකේන් භාවිත කරන දරුවන්ගේ සංඛ්‍යාව අවුරුද්දක් ඇතුළත දෙගුණ වූ බවයි. එමෙන්ම තමන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බව එම රටේ යෞවනයන් 65,000ක් පමණ පවසා තිබෙනවා. නෙදර්ලන්තයේද වයස අවුරුදු 16ත් 24ත් අතර යෞවනයන්ගෙන් සියයට 20කට වැඩි ප්‍රමාණයක් මත්පැන්වලට ඇබ්බැහි වී ඇති අය හෝ එම නිසා අසනීප වී ඇති අයයි.

බොහෝ යෞවනයන් තමන් තුළ තිබෙන දුක, වේදනාව හා ශෝකය පිට කිරීමට තමන්ගේ ශරීරය කපා ගන්නවා හෝ සපා ගන්නවා. තවත් අය තමන්ව පුළුස්සා ගන්නවා. පර්යේෂකයන් ගණන් බලා තිබෙන ලෙස “ඇමරිකාවේ යෞවනයන් මිලියන තුනක් පමණ තමන්ටම අනතුරු සිදු කරගෙන තිබෙනවා. එමෙන්ම සෑම යෞවනයන් 200කගෙන් එක් අයෙක් දරුණු ලෙස තමන්ට අනතුරු කරගෙන තිබෙනවා.”

[3වන පිටුවේ පින්තූරය]

බොහෝ යෞවනයන්ට තම අදහස් හා ප්‍රශ්න ගැටලු බෙදාගැනීමට හැකි කිට්ටු මිතුරන් සිටියේ අතළොස්සක් පමණයි