Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

“වර්තමානයේ සිදු වන විපත්වලින් දහයෙන් නවයක්ම දේශගුණික වෙනස්කම් නිසා ඇති වන ඒවායි. මීට අවුරුදු 20කට පෙර එක් අවුරුද්දක් තුළ සිදු වූයේ එවන් විපත් 200කට ආසන්න සංඛ්‍යාවක්. නමුත් දැන් එම සංඛ්‍යාව 400 දක්වා ඉහළ ගොස් තිබෙනවා.”—JOHN HOLMES, UNITED NATIONS UNDER-SECRETARY-GENERAL FOR HUMANITARIAN AFFAIRS AND EMERGENCY RELIEF COORDINATOR.

ස්වදේශිකයන්ගේ අයිතීන් සුරැකීම

එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් 2007දී ස්වදේශිකයන්ගේ අයිතීන් පිළිබඳ ප්‍රකාශයක් සම්පාදනය කළා. එය දැන් මෙක්සිකෝවේ වැඩි පිරිසක් භාවිත කරන මායා සහ නහුආල්ට් යන භාෂාවලට පරිවර්තනය කර තිබෙනවා. “මෙක්සිකෝවේ ජනයාගෙන් අඩුම තරමින් මිලියන දහයකට තම අයිතීන් ගැන කිසිම අවබෝධයක් නැහැ. එමනිසා ඔවුන් බොහෝවිට අසාධාරණයට ලක් වන බව ඔවුන් දන්නේ නැහැ” කියා එක් පුවත්පතක සඳහන් වුණා. තම මූලික අයිතිවාසිකම් හොඳින් හඳුනාගෙන ඒවා භුක්ති විඳිමට එම පරිවර්තනය ඔවුන්ට උපකාරවත් වෙයි. එම පුවත්පත—El Universal.

අරුම පුදුම වෙළඳාමක්

පෝලන්තයේ සමහර යෞවනයන් ඔවුන්ගේ පළමු ලිංගික අද්දැකීම ලබාගැනීමට කොතරම් උනන්දු වෙනවාද කිව්වොත් ඔවුන් වෙනත් කෙනෙකුට ඒ සඳහා මුදල් ගෙවීමට සූදානම්. එය දැනගැනීම සමාජවිද්‍යාඥයන්ව පුදුමයට පත් කර තිබෙන බව එක් සඟරාවක පළ වුණා. “හතර වටෙන්ම යෞවනයන්ගේ කනට වැටෙන පණිවිඩය නම් ‘විකුණන්න බැරි දෙයක් නැහැ’ යන්නයි” කියා මානසික විශේෂඥයෙක් වන ජේක් කුර්සෙපා පවසනවා. තමන්ගේ මුල් ලිංගික අද්දැකීම ලබන්න කැමති යෞවනයන් ඒ සඳහා අන්තර්ජාලය හරහා වැඩි වැඩියෙන් ඇරයුම් කරන්න පටන්ගෙන තිබෙනවා. නමුත් ඔවුන් ගන්නා එවන් තීරණ නිසා ඔවුන්ට ජීවිත කාලය පුරාම පසුතැවෙන්න සිදු වෙනවා. ඒ ගැන කුර්සෙපා තවදුරටත් පවසන්නේ “එය ඔවුන්ගේ ජීවිතයේ ඉතිරි කාලයටත් විවාහයටත් ප්‍රබල බලපෑමක්” වන බවයි.

ඇමසන් වනයේත් සංකීර්ණ නගර

කෙදිනකවත් ජනාවාස නොවූ බවට විශ්වාස කළ ඇමසන් වනාන්තරයේ දකුණු ප්‍රදේශවලත් “දැවැන්ත පවුරුවලින් වට වූ” ජනාකීර්ණ නගර තිබූ බවට සාක්ෂි ඇති බව ඒ පිළිබඳව කැණීම් කටයුතු කළ මානව විද්‍යාඥයන් පිරිසක් පවසනවා. ගන කැලෑවෙන් වැසී ගිය වර්ග කිලෝමීටර 30,000ක පමණ ප්‍රදේශයක පිහිටි “විශාල තාප්පවලින් වට වූ නගර හා කුඩා ගම්මානවල” නටබුන් ඔවුන් සොයාගෙන තිබෙනවා. සමහර නගර අක්කර 150ක් තරම් විශාල ඒවා බවත් ඔවුන් පවසනවා. එම සොයාගැනීම් සම්බන්ධයෙන් ෆ්ලොරීඩා විශ්ව විද්‍යාලය විසින් ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වන්නේ ඇමසන් වනාන්තරයේ ජනාවාස වී තිබුණේ “1250 සිට 1650 දක්වා පමණ කාලයේදී” බවයි. ඒ කාලයේදී යුරෝපියානුවන් ඒ ප්‍රදේශවල ජනපද පිහිටුවා ගත් අතර ඔවුන්ට තිබූ සමහර රෝග නිසා ඇමසන් ප්‍රදේශයේ සිටි ජනයාගෙන් වැඩි පිරිසක් මිය ගියා කියාද එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වෙනවා.

සුව ගෙන දෙන විසිතුරු පැළ

මානසික පීඩනය අඩු කිරීමට, ශුභවාදීව සිතීමට සහ අසනීප නිසා ඇති වන වේදනාවන් සමනය කිරීමට ගස් වැල් ඇතුළු ස්වභාවික පරිසරය දායක වෙනවා කියා බොහෝ කාලයක් පුරා මතයක් පැවතුණා. මෑතකදී කළ පරීක්ෂණවලින් ඒ බව සනාථ වුණා. “සැත්කම්වලට භාජනය කිරීමෙන් පසුව රෝගීන්ව විසිතුරු පැළ සහිත හා රහිත කාමරවලට යැවූ බව” සඟරාවක පළ වුණා. (Science Daily) තම කාමරවල විසිතුරු පැළ තිබූ රෝගීන්ට වේදනාව දැනුණේ මද වශයෙන් බවත් වේදනා නාශක භාවිත කිරීමට සිදු වුණෙත් මද වශයෙන් බවත් හෘදය ස්පන්දනය හා රුධිර පීඩනය යහපත් මට්ටමක පැවති බවත් වාර්තා වෙනවා. එම රෝගීන්ගේ කාමරවල විසිතුරු පැළ තිබීම නිසා අනිකුත් රෝගීන්ට වඩා ඔවුන් සතුටු වුණා. රෝගීන්ගෙන් සියයට 93ක්ම පැවසුවේ තම කාමරවල තිබූ තමන් වඩාත් ප්‍රිය කළ දෙය නම් එම විසිතුරු පැළෑටි බවයි.