Skip to content

පටුනට යන්න

දෙවිගේ උපකාරයෙන් ශක්තිමත් වී

දෙවිගේ උපකාරයෙන් ශක්තිමත් වී

දෙවිගේ උපකාරයෙන් ශක්තිමත් වී

▪ ජෙස්රීල් ඉපදුනේ මෙක්සිකෝවේයි. ඔහුට උපතේදීම දුර්ලබ සමේ රෝගයක් (congenital lamellar ichthyosis) වැලඳී තිබුණා. ඔහුගේ ඇඟ පුරාම වගේ කොරපොතු වැනි යමක් තිබූ අතර සම තැනින් තැන ගොරෝසු වී තිබුණා. ඒ ගැන ජෙස්රීල් පැවසුවේ, “ඒක බෝවෙන රෝගයක් නෙමෙයි. නමුත් මගේ පෙනුම නිසා ගොඩක් අය මාව පිළිකුල් කළා” කියායි.

ජෙස්රීල්ට කුඩා කාලයේ සිටම විවිධ ප්‍රතිකාර කළා. ඔහුට වයස අවුරුදු දෙකේදී ආසාදනවලින් වළක්වාගැනීම සඳහා විෂබීජවලින් තොර වෙන් කරන ලද වාට්ටුවක ඔහුව නැවැත්තුවා. කෙසේවෙතත් ඔහුගේ රෝගී තත්වයේ නම් වෙනසක් වුණේ නැහැ. අනික් අය ඔහුව කොන් කරපු නිසා ඇති වුණු කලකිරීමෙන් මිදෙන්න මනෝ වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබන්නත් ඔහුට සිදු වුණා.

ජෙස්රීල්ට තිබෙන රෝගය බෝවෙන එකක් කියා භය වුණු සමහර අය ඔහුගෙන් ඈත් වෙලා සිටියා. ඔහුට මේ තත්වය කුඩා කාලයේදී ගොඩක් බලපෑවා. ඊට හේතුව ඔහුට අනික් ළමයි සමඟ සෙල්ලම් කරන්න ආසාව තිබුණත් ඔවුන් ඔහුට ළං වෙන්න කැමති වුණේ නැති නිසයි. “ඒ අය මට එක එක නම් කියලා විහිළු කෙරුවා” කියා ජෙස්රීල් පවසනවා.

කෙසේවෙතත් ජෙස්රීල්ගේ රෝගී තත්වය නිසා ඔහුට තියෙන බලාපොරොත්තුව අනික් අය සමඟ බෙදාගන්න ඔහුට අවස්ථාව ලැබිලා තියෙනවා. ‘ඔයාව පිච්චුනාද’ කියලා සමහර අය ජෙස්රීල්ගෙන් අහනවා. එහෙම වුණේ නැහැ කියා උත්තර දුන්නම ඔවුන් අහනවා ඇයි එහෙමනම් ඔබේ පෙනුම විකෘති වෙලා තියෙන්නේ කියලා. එවිට ජෙස්රීල් ඔහුගේ රෝගී තත්වය විස්තර කරලා දැනට ඒ සඳහා බෙහෙත් සොයාගෙන නැහැ කියා පවසනවා.

පසුව ඔහු ඒ අයට මෙහෙම කියනවා, “නමුත් මට හොඳ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ තමයි ඉදිරියේදී මේ වගේ අසනීප හා වේදනා නැති හොඳ කාලයක ජීවත් වීම. එවැනි ජීවිතයක් ලැබෙන්නේ යෙහෝවා දෙවිට කීකරු වෙන අයටයි.” (එළිදරව් 21:3, 4) ඔහුට ඇති බලාපොරොත්තුව ගැන කතා කිරීම නිසා බයිබල් පාඩම් බොහෝමයක් ආරම්භ කරන්න ජෙස්රීල්ට හැකි වෙලා තියෙනවා. ඒ අයගෙන් බොහෝදෙනෙක් දෙවිට නමස්කාර කරන්න පටන්ගෙන තිබීම ජෙස්රීල් අද්දැක තිබෙන ලොකුම ප්‍රීතියයි.

“ක්‍රිස්තියානි පවුලක උපත ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා” කියා ජෙස්රීල් පවසනවා. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර මට කිට්ටු මිත්‍රයන් සිටිනවා. මගේ පෙනුම නිසා ඒ කිසිම කෙනෙක් මාව කොන් කරන්නේ නැහැ. මීට අවුරුදු 14කට කලින් මම බව්තීස්ම වුණා. එතකොට මට වයස අවුරුදු 17යි. එදා ඉඳන් අපේ නිර්මාතෘ වන යෙහෝවා දෙවිට සේවය කරන්න මට විවිධ ප්‍රස්තා ලැබිලා තියෙනවා.”

බයිබලයේ යෙසායා 41:10, 13හි [නව ලොව පරිවර්තනය] සඳහන් යෙහෝවා දෙවි දී ඇති මෙම දිරිගැන්වීම ජෙස්රීල් නිතරම මතක තබාගන්නවා. ‘භය නොවන්න. මන්ද මම ඔබ සමඟ සිටින්නෙමි. ධර්මිෂ්ඨකම නමැති මාගේ දකුණතින් ඔබව තදින් අල්ලාගන්නෙමි.’ “මන්ද යෙහෝවා දෙවි වන මම ඔබේ දකුණතින් අල්ලාගෙන සිටින්නෙමි. ‘භය නොවන්න, මම ඔබේ උපකාරයට සිටින්නෙමි.’”

තමා ගැනම සිතමින් කනගාටු වෙනවා වෙනුවට මේ රෝගයට ආවේණික වූ ගැටලු සමඟ සාර්ථකව කටයුතු කිරීමට ජෙස්රීල්ට හැකි වුණේ කෙසේද? යෙහෝවා දෙවිගේ උපකාරය හා ශක්තිය ඔහුට ලැබුණු නිසයි. දෙවිගේ උදාර පොරොන්දු ඉටු වෙනවා දකින්න ආශාවෙන් බලා සිටින මිලියන සංඛ්‍යාත අය අතරින් ඔහුත් එක් කෙනෙක්.