Skip to content

පටුනට යන්න

පුංචි වුණත් හරිම ගුණයි

පුංචි වුණත් හරිම ගුණයි

පුංචි වුණත් හරිම ගුණයි

▪ ඔබ ශරත් සෘතුවේ මුල් කාලයේදී රුසියාවේ ගම්බද ප්‍රදේශවල සංචාරය කළොත් තැඹිලි පාට පබළු මෙන් දීප්තියෙන් දිදුලන කුඩා ගෙඩිවලින් පිරි අලංකාර ගස් වර්ගයක් දැකගත හැකියි. ඒවා ගසේ අතු ආවරණය වන සේ හටගෙන ඇති ආකාරය ඔබගේ සිත් ගන්නවා නොඅනුමානයි. එම ගස හඳුන්වන්නේ සී බක්තෝන් යන නමිනුයි. *

මෙය රසවත් පලතුරක්. ඒවා ඉක්මනින්ම තැළෙන නිසා කඩාගන්න ඕනේ එකින් එකයි. ඒ වගේම ඒ ගහේ කටු තියෙන නිසා පරිස්සම් වෙන්න! මේවා හොඳින් වැඩෙන්නේ ශීත දේශගුණයක් සහිත රටවලයි. ඒවා බොහෝවිට යුරෝපයේ වයඹ දිග කඳුකරයේ සිට මධ්‍යම ආසියාවේ අල්තායි කඳුකර ප්‍රදේශය දක්වාත් බටහිර හා උතුරු චීනයේත් හිමාලයේ උතුරු ප්‍රදේශවලත් දැකගත හැකියි. ශතවර්ෂ ගණනාවක් පුරා මෙම කුඩා පලතුර චීනය, රුසියාව හා ටිබෙට් යන රටවල ජනයා වඩාත් ප්‍රිය කළ දෙයක්.

මෙම පලතුර ගැන ටිබෙට් හා ග්‍රීක ජාතිකයන්ගේ පැරණි ලියවිලිවලද සඳහන් වෙනවා. ග්‍රීක බසින් එය හඳුන්වන්නේ හිපෝෆායි ලෙසයි. එහි තේරුම වන්නේ “දිදුලන අශ්වයන්” යන්නයි. ග්‍රීකවරුන් තරඟ සඳහා යොදාගත් අශ්වයන්ට එම පලතුරු හෝ එහි කොළ අතු ආහාර සඳහා දීමට පුරුදුව සිටියා. ඉන් ඔවුන් බලාපොරොත්තු වුණේ උන්ගේ සමට දිදුලන පැහැයක් ලබා දීමටයි. ඔවුන් එම පලතුරට ඉහත සඳහන් නම යොදන්න ඇත්තේ ඒ නිසා විය හැකියි.

සී බක්තෝන් නමැති ශාකය 20වන සියවසේ ආරම්භයේදී උතුරු ඇමරිකාවට රැගෙන ගියේ රුසියානු සංක්‍රමිකයන් විසිනුයි. එමෙන්ම වෙළඳ බෝගයක් ලෙස එය සයිබීරියාවේ සිට කැනඩාවට හා ඇමරිකාවට රැගෙන ගියේද එම කාලයේදීමයි. දැන් බොහෝ රටවල එය රසවත් පලතුරක් සඳහා මෙන්ම ඖෂධ සඳහාද වැඩි වැඩියෙන් වගා කරනවා.

ඊට අමතරව මෙම පලතුරෙහි විටමින් සී සහ ඊ මෙන්ම ෆෝලික් අම්ලය, මේද අම්ලය, කැරොටිනොයිඩ්ස් සහ ෆ්ලේවෝනොයිඩ්ස් යන රසායනික ද්‍රව්‍යන්ද ඇතුළත්. එම පලතුර පිළිකාවලට ප්‍රතිකාරයක් ලෙසද යොදාගත හැකි බව මෑතකදී කරන ලද පරීක්ෂණවලින් සොයාගෙන තිබෙනවා. ඒ වගේම හෘදයාබාධවලට හේතුවන තත්වයන් අවම කිරීමටත් උදරයේ ඇති වන තුවාල සඳහාත් සමේ ඇති වන අසාත්මිකතා සහ අක්මා රෝග සඳහාත් ප්‍රතිකාරයක් වශයෙන් එය යොදාගත හැකි බව හෙළි වී තිබෙනවා. අසනීප ගණනාවකට සුවය ගෙන දෙන ඖෂධීය පානයක් ලෙසද ප්‍රබෝධවත් හා ප්‍රණීත පානයක් ලෙසද එය සකස් කළ හැකියි.

සී බක්තෝන් පලතුරෙහි ඇති කලු පැහැති කුඩා බීජයද ගුණයෙන් ඉතා ඉහළයි. මෙම පලතුරෙහි ඇති පෝෂ්‍ය ගුණයෙන් බොහොමයක් එහි බීජවලින් ලබාගන්නා තෙල්වලද අඩංගුයි. පර්යේෂකයන් පවසන්නේ එම තෙල් ප්‍රතිශක්තිකරණය වැඩි කිරීමට උපකාරවත් වන බවයි. ඊට අමතරව තරුණකම රැක දීමේ හැකියාව ඊට ඇති බව පවසන ඔවුන් ඒවා රූපලාවන්ය ද්‍රව්‍ය හා සම රැක දෙන ද්‍රව්‍ය නිපදවීමටත් යොදාගන්නවා.

ඔබට කෙදිනක හෝ රුසියාවේ සංචාරය කිරීමට අවස්ථාවක් ලැබුණොත් දීප්තිමත් තැඹිලි පාටින් දිදුලන පලතුරුවලින් බර වූ සී බක්තෝන් ශාකය දැකගත හැකියි. එහි ඇති සිත් ඇදගන්නා සුළු ස්වභාවයට වඩා වැඩි යමක් ඊට ඇතුළත්. අප අවට ඇති අනිකුත් නිර්මාණයන්ගෙන් දැකගත හැකි ලෙසම මෙයින්ද කියාපාන්නේ අපගේ නිර්මාතෘ මොන තරම් ප්‍රඥාවන්ත හා යහපත් කෙනෙක්ද කියායි.

[පාදසටහන]

^ 2 ඡේ. ඊට එම නම ලැබී ඇත්තේ ඒවා වැඩිපුර දකින්න ලැබෙන්නේ යුරෝපයේ සහ ආසියාවේ මුහුදු තීරයේ නිසා විය හැකියි.