Skip to content

පටුනට යන්න

වැරදි කරන අය නරකාදියක දුක් විඳිනවාද?

වැරදි කරන අය නරකාදියක දුක් විඳිනවාද?

බයිබලයෙන් පිළිතුරක්

වැරදි කරන අය නරකාදියක දුක් විඳිනවාද?

පෙන්තකොස්ත සභාවේ ගුරුවරියක් වන ගර්ට්රූට් නරකාදියක් තිබෙන බවට තදින්ම විශ්වාස කළ තැනැත්තියක්. එවැන්නක් නොතිබෙනවා නම් එය අයුක්තිසහගත දෙයක් බව ඇගේ විශ්වාසයයි. ඇය කියා සිටින්නේ එවැනි ස්ථානයක් නැත්නම් සියලු අපරාධවලට දඬුවමක් ලැබෙන්නේ නැති බවයි. ඇය තම මතයේ තදින්ම එල්බගෙන සිටින කෙනෙක් බව ඇය පැවසූ මේ දෙයින් පැහැදිලි වෙනවා. “නිරයක් කියා දෙයක් නැත්නම් මම දෙවිට නමස්කාර කරයි කියා සිතන්න බැහැ.”

බොහෝ ආගම්වල උගන්වන ආකාරයට නරක අය නිරයක පිලිස්සෙනවාද? එවන් දෙයක් නැත්නම් වැරදි කරන අයට දඬුවම් ලැබෙන්නේ කෙසේද?

දෙවි දඬුවම් කළ පළමු අවස්ථාව

දෙවි පළමු මිනිස් යුවළ මැව්වේ කිසිම පාපයකින් තොර පරිපූර්ණ අය ලෙසයි. (උත්පත්ති 1:27; ද්විතීය කතාව 32:4) එමෙන්ම දෙවි ඔවුන්ව පාරාදීස පොළොවක පදිංචි කළේ සදාකල් ජීවත් වීමේ ප්‍රස්තාව ඇතුවයි. නමුත් දෙවි ඔවුන්ට මෙලෙස අණ කළා. “ඔබට උයනේ සියලු ගස්වලින් ඕනෑ තරම් කන්න පුළුවන. නමුත් ‘හොඳ හා නරක හඳුනාගැනීම’ යන නමින් හැඳින්වෙන ගසෙන් ඔබ නොකෑ යුතුය. මන්ද එයින් කෑ දවසේදීම ඔබ අනිවාර්යයෙන්ම මැරෙන්නෙහිය.”—උත්පත්ති 2:16, 17, නව ලොව පරිවර්තනය, NW.

අපේ මුල් දෙමාපියන් දෙවිට දිගටම විශ්වාසවන්ත වීමට අසමත් වුණා. එමනිසා ඔවුන්ට මරණ දඬුවම නියම කිරීමට ඔවුන්ට ජීවිතය ලබා දුන් දෙවිට සිදු වුණා. ඒ ගැන දෙවි ඔවුන්ට මෙසේ පැවසුවා. “භූමියෙන් ගන්නා ලද ඔබට, භූමියට හැරී යන තෙක්ම දහඩිය මහන්සියෙන් කෑම සොයන්න සිදු වෙයි. ඔබ දූවිලිය, දූවිල්ලටම හැරී යන්නෙහිය.”—උත්පත්ති 3:19NW.

ආදම් සහ ඒවව නිරයක දමා ගින්නෙන් පිලිස්සීම දෙවි ඔවුන්ට නියම කළ දඬුවම නම් ඒ බව ඔවුන්ට දැනුම් නොදී සිටියිද? මරණයෙන් පසුව ඔවුන්ට වධ වේදනා විඳින්න සිදු වන බවක් දෙවි පැවසුවේ නැහැ. එමෙන්ම ඔවුන් මිය ගිය විට ඔවුන්ගේ ශරීරයෙන් යමක් පිට වී ගියේද නැහැ.

අපගේ ජීවිතදායකයාණන් හැටියට අපගේ ජීවිතය හා මරණය පිළිබඳව සියලු දේ දෙවි හොඳින් දන්නවා. ඔහු බයිබලයේ මෙසේ සඳහන් කර තිබෙනවා. “මිය ගිය අය කිසිවක් දන්නේ නැත.” (දේශනාකාරයා 9:5NW) ආදම් සහ ඒව මිය ගිය පසු පසට දිරාපත් වී දූවිලි වූවා මිස ගිනිමය නිරයක වධ වේදනා වින්දේ නැහැ. ඇත්තෙන්ම ඔවුන් මිය ගිය පසු ‘කිසිවක් දන්නේ නැති’ තත්වයකට පත් වුණා.

අප මිය ගිය පසු සිදු වන්නේ කුමක්ද?

බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “එක් මිනිසෙකුගෙන් ලොවට පාපයත්, පාපය නිසා මරණයත් ඇතුල් වුණාක් මෙන් සියලුදෙනාම පව් කළ බැවින් මරණය සියලුදෙනා කෙරෙහි පැතිර ගියේය.” (රෝම 5:12) මුළු මහත් මිනිස් සංහතියම පාපයට ඇද දැමූ අපගේ මුල්ම පියා වූ ආදම් මිය ගියේ වධ නොවිඳ නම් ඔහුගෙන් පැවත එන අප නිරයක දුක් විඳීම සාධාරණද?—1 කොරින්ති 15:22.

ආදම්ගෙන් පැවත එන අපි හැමෝම සිටින්නේ එකම නීතිය යටතේයි. “පාපය සඳහා ගෙවන කුලිය නම් මරණයය.” එමෙන්ම “මිය ගිය තැනැත්තා සිය පාපයෙන් නිදහස් වී සිටින්නේය.” (රෝම 6:7, 23) යහපත් හා දුෂ්ට යන දෙපිරිසම මිය යනවා. එසේනම් දුෂ්ට අයට දෙවි දඬුවම් ලබා දෙන්නේ නැද්ද?

දෙවි යුක්තිය ඉටු කරයිද?

දෙවි මුල් මිනිස් යුවළ මවා ඔවුන්ට පැවසුවේ දරුවන් බිහි කර පොළොව රැකබලා ගන්න කියායි. මිනිසා සඳහා වූ එම අරමුණ අදටත් වෙනස් වී නැහැ. (උත්පත්ති 1:28) ඒ බව පසු කාලයක ඔහු පැවසූ දෙයින් පැහැදිලි වෙනවා. “ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.”—ගීතාවලිය 37:29NW.

ධර්මිෂ්ඨ අය පොළොවේ සදහටම ජීවත් වීමට නියමිත බව පැහැදිලියි. ඔවුන් පූර්ණ නිරෝගීකමකින් හා සතුටින් ජීවත් වන බව නිසැකයි. දෙවිගේ මුල් අරමුණ වන ධර්මිෂ්ඨ මිනිසාගෙන් මේ පොළොව ජනාවාස කිරීම “එලෙසින්ම සිදු වන්නේය.” නමුත් එය සිදු වන්නේ දෙවි අප ජීවත් වන වර්තමාන දුෂ්ට සමාජය ඉවත් කර නව ලොවක් ගෙන එන විටයි.—යෙසායා 55:11NW; දානියෙල් 2:44; එළිදරව් 21:4.

දෙවිගේ නීති හා ප්‍රතිපත්ති පිළිබඳව කිසිදු දැනුමක් නැතුව මිය ගිය බිලියන ගණන් අයව නැවත නැඟිටුවන අතර ඔවුන්ට දෙවිගේ පාලනය යටතේ පවතින ධර්මිෂ්ඨ නව සමාජයේ පුරවැසියෙක් වීමට අවශ්‍ය දැනුම ලබා දීමටද නියමිතයි. (යෙසායා 11:9; යොහන් 5:28, 29) නමුත් යමෙක් දෙවිගේ නීති හා ප්‍රතිපත්තිවලට කීකරු වීමට අකමැති නම් ඔහුට අත්වන්නේ නැවත නැඟිටීමක් නැති මරණයක් හෙවත් ‘සදාකාල නින්දක්.’ කිසි දිනක ඔහු ඒ නින්දෙන් අවදි වන්නේ නැහැ.—එළිදරව් 21:8; යෙරෙමියා 51:57NW.

ප්‍රේමයේ උල්පත වන යෙහෝවා දෙවි කිසිදාක මනුෂ්‍යයන්ව නිරයක වධ වේදනා විඳින්න සලස්වන්නේ නැහැ. (1 යොහන් 4:8) ඒ වගේම ඔහු දුෂ්ටකම හැමදාටම ඉවසන්නේත් නැහැ. බයිබලයේ සඳහන් වන්නේ මෙසේයි. “යෙහෝවා දෙවි තමාට ප්‍රේම කරන සියල්ලන්ව ආරක්ෂා කරන්නේය. නමුත් සියලු දුෂ්ටයන්ව ඔහු සහමුලින්ම විනාශ කර දමන්නේය.” (ගීතාවලිය 145:20NW) දෙවිගේ ප්‍රේමය හා යුක්තිය මොන තරම් විශිෂ්ඨද!

මේ ගැන සිතා බලන්න

▪ අප මිය ගිය විට සිදු වන්නේ කුමක්ද?—උත්පත්ති 3:19.

▪ මළවුන්ගේ තත්වය කෙබඳුද?—දේශනාකාරයා 9:5.

▪ දුෂ්ටයන්ට දෙවි දඬුවම් කරන්නේ කෙසේද?—ගීතාවලිය 145:20.

[11වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“මිය ගිය අය කිසිවක් දන්නේ නැත.”—දේශනාකාරයා 9:5NW

[10වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Photo: www.comstock.com