Skip to content

පටුනට යන්න

අම්මවයි තාත්තවයි හොඳින් තේරුම්ගන්න මට පුළුවන් කොහොමද?

අම්මවයි තාත්තවයි හොඳින් තේරුම්ගන්න මට පුළුවන් කොහොමද?

යෞවන අය අසති

අම්මවයි තාත්තවයි හොඳින් තේරුම්ගන්න මට පුළුවන් කොහොමද?

ජෙසිකා තම දෙමාපියන් සහ ඔවුන්ගේ මිතුරන් කිහිපදෙනෙකු සමඟ කෑම ගනිමින් ඉන්න විට එක් කෙනෙක් ජෙසිකාගේ මවට මෙහෙම කිව්වා. “මම ඊයේ දැක්ක කෙනා කවුද කියලා ඔයා දන්නවා නම් ඔයා පුදුම වෙයි. ඔයාට මතකද ඔයා ඉස්කෝලේ යන කාලේ යාලුවෙලා හිටිය රිචඩ්?”

ඒක අහපු ජෙසිකා කොතරම් පුදුම වුණාද කියනවා නම් ඇගේ අතේ තිබූ ගෑරුප්පුවත් බිම වැටුණා. ඇය කවදාවත් රිචඩ් ගැන අහලා තිබුණේ නැහැ.

“ඇත්තද අම්මේ! තාත්තත් එක්ක යාලුවෙන්න කලින් ඔයා තව කෙනෙක් එක්ක යාලුවෙලා හිටියද? මම ඒක දැනගෙන හිටියේ නැහැනේ.”

ඔබත් ජෙසිකා මෙන් ඔබේ දෙමාපියන් ගැන කවදාවත් අසා නැති තොරතුරු දැනගැනීමෙන් පුදුමයට පත් වී තිබෙනවාද? සමහරවිට ඔවුන් ගැන ඔබ නොදන්නා තොරතුරු තවත් ඇති.

දෙමාපියන් පිළිබඳ ඔබ නොදන්නා තොරතුරු තිබෙනවාද? ඒවා දැනගැනීමෙන් ඔබට ඇති ප්‍රයෝජනය කුමක්ද? ඒවා දැනගන්න ඔබට පුළුවන් කොහොමද?

දැනගැනීමට තවත් දේවල්

දෙමාපියන් ගැන ඔබ නොදන්නා තොරතුරු බොහොමයක් තිබීමට විවිධ හේතු බලපෑ හැකියි. නිදසුනකට විසිදෙහැවිරිදි ජේකබ් * පවසන දේ බලන්න. “අම්මයි තාත්තයි දික්කසාද වෙද්දී මගේ වයස අවුරුදු අටයි. මම තාත්තව දැක්කේ අවුරුද්දකට සැරයක් දෙකක් විතරයි. ඒ නිසා මම තාත්තා ගැන එච්චර දන්නේ නැහැ. හැබැයි මම තාත්තා ගැන දැනගන්න හරි ආසයි.”

ඔබ වසර ගණනාවක් දෙමාපියන් සමඟ ජීවත් වුණත් ඔවුන් ඔබට ඔවුන් ගැන සියලු තොරතුරු පවසා නැතිව ඇති. සමහරවිට ඔවුන් අතින් සිදු වූ අඩුපාඩු ඔබට පැවසීමට ඔවුන් ලැජ්ජාවක් දක්වනවා ඇති. (රෝම 3:23) ඒ වගේම ඔවුන් කළ සමහර වැරදි ඔබට පැවසීමෙන් ඔබට ඔවුන් කෙරෙහි ඇති ගෞරවය අඩු වෙයි කියා හෝ ඔබ එයින් යම් වාසි ප්‍රයෝජන ගනියි කියා ඔවුන්ට සිතෙන්න පුළුවන්.

දෙමාපියන් බොහෝවිට ඒ පිළිබඳ තොරතුරු ඔබට පවසා නැත්තේ ඒ සඳහා ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු නිසා විය හැකියි. ඒ ගැන කැමරන් නමැති යෞවනයා මෙසේ පවසනවා. “අපි දෙමාපියන් සමඟ කොයි තරම් කාලයක් හිටියත් ඔවුන් ගැන නොදන්නා දේවල් තවත් තියෙනවා.” ඒ නිසා ඔබේ දෙමාපියන් ගැන තවත් හොඳින් දැනගෙන ඔවුන්ට ළං වෙන්න උත්සාහ කිරීම කොයි තරම් හොඳද! එයින් ලැබෙන ප්‍රයෝජන හතරක් ගැන දැන් අපි සලකා බලමු.

පළමුවෙනි ප්‍රයෝජනය: ඔබ දෙමාපියන් ගැන දක්වන උනන්දුව ඔවුන් අගය කරයි. ඔබ ඔවුන් ගැන තොරතුරු අසන විට ඔවුන් ඒ ගැන සතුටු වෙයි. බොහෝදුරට දෙමාපියන් ගැන ඔබ සැලකිලිමත් වන නිසා ඔවුනුත් ඔබේ හැඟීම් ගැන පෙරටත් වඩා සැලකිලිමත් වෙයි.—මතෙව් 7:12.

දෙවෙනි ප්‍රයෝජනය: දෙමාපියන් කාරණා දෙස බලන ආකාරය තේරුම්ගන්න ඔබට හැකි වෙයි. උදාහරණයකට ඔබේ දෙමාපියන් කලින් ආර්ථික ගැටලුවලට මුහුණ දුන් අය විය හැකියි. දැන් එවැනි තත්වයක් නැහැයි කියා ඔබට සිතුනත් ඔවුන් තවමත් අරපිරිමැස්මෙන් කටයුතු කරන්නේ ඒ නිසා විය හැකියි.

දෙමාපියන් එසේ සිතීමට හේතුව තේරුම්ගැනීම ඔබට ප්‍රයෝජනවත්. කොඩී නමැති යෞවනයා ඒ ගැන මෙහෙම කියනවා. “අම්මයි තාත්තයි සමහර දේවල් ගැන හිතන විදිහ දැනගෙන ඉන්න එක හරිම ප්‍රයෝජනවත්. එතකොට මම යමක් කියන්න කලින් ඒක ඔවුන්ට කොහොම බලපායිද කියලා මට තේරුම්ගන්න පුළුවන්.”—හිතෝපදේශ 15:23.

තුන්වෙනි ප්‍රයෝජනය: ඔබ ගැන නොසඟවා පැවසීමටද ඔබ ඉගෙනගනියි. දහඅට හැවිරිදි බ්‍රිජට් මෙසේ පවසනවා. “මගේ හිත ගිය එක පිරිමි ළමයෙක් ගැන තාත්තට කියන්න මට භය හිතුණා. නමුත් මම ඒ ගැන කියද්දී තාත්තටත් ඒ වගේ අද්දැකීමක් තිබුණා කියලා මට කිව්වා. ඒ සම්බන්ධය කැඩුණ නිසා කොයි තරම් වේදනාවක් දැනුණාද කියලත් මට කිව්වා. මාත් එක්ක තාත්තා ඒ වගේ කතා කරපු නිසා මගේ තත්වය පැහැදිලි කරන්න මට ගොඩක් පහසු වුණා.”

හතරවෙනි ප්‍රයෝජනය: ඔබට ඔවුන්ගෙන් ඉගෙනගත හැකියි. ඔබ මුහුණ දෙන අභියෝග සමඟ සාර්ථකව කටයුතු කිරීමට දෙමාපියන් සතු අද්දැකීම් ඔබට උපකාරවත් වෙයි. වයස අවුරුදු 16ක් වන ජොෂුවා පවසන දේ බලන්න. “අපේ පවුල හරිම ලොකුයි. ඒ නිසා එක් එක් කෙනාගේ හැකියාවන් හා අවශ්‍යතාවන් වෙනස්. දෙමාපියන් අපිව හොඳින් තේරුම් අරගෙන ඇති දැඩි කළේ කොහොමද කියලා දැනගන්න මම හරි ආසයි. මම හිතණවා ඒකෙන් මට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් කියලා.” බයිබලයේද ඒ ගැන මෙසේ සඳහන් වෙනවා. “වයසින් මුහුකුරා ගිය අය ප්‍රඥාව අත් කරගෙන සිටිනවා නොවේද? බොහෝ කල් ජීවත් වූ විට තේරුම්ගැනීමේ හැකියාව තියුණු වන්නේ නැද්ද?” (යෝබ් 12:12, නව ලොව පරිවර්තනය, NW) එම වදන් මොන තරම් සැබෑද!

මුල් පියවර ඔබ ගන්න

ඔබේ දෙමාපියන්ව වඩාත් හොඳින් තේරුම්ගැනීමට ඔබට හැක්කේ කෙසේද? ඒ සඳහා පහත සඳහන් යෝජනා ඔබට උපකාරවත් වෙයි.

සුදුසු අවස්ථාවක් තෝරගන්න. ඔබ දෙමාපියන් සමඟ එදිනෙදා වැඩකටයුතුවල යෙදෙන විට, ඔවුන් සමඟ සෙල්ලම් කරන විට හා ගමන්බිමන් යන විට ඔබ ඔවුන් ගැන නොදන්නා තොරතුරු අසා දැනගැනීමට ඔබට හැකියි. ඉහත සඳහන් කළ කොඩී නමැති යෞවනයා ඒ පිළිබඳව මෙසේ සඳහන් කරනවා. “දුර ගමනක් යන කොට සිංදුවක් අහගෙන නැත්නම් නිදාගෙන යන එක හරිම ලෙහෙසියි. ඒත් මම නම් ඒ වෙලාව පාවිච්චි කරන්නේ අම්මයි තාත්තයි එක්ක කතා කරන්නයි. ඒ වගේ සංවාදයක් හරිම ප්‍රයෝජනවත්.”

ප්‍රශ්න අහන්න. මෙයද මතක තබාගන්න. ඔබ සුදුසු වේලාවක් යොදාගෙන ඔවුන් සමඟ කතා කළත් ඔවුන් සමහර තොරතුරු එක විට නොපවසන්න ඉඩ තිබෙනවා. ඔබේ මව විවාහ වීමට පෙර පිරිමි ළමයෙක් ගැන ආදර හැඟීමක් ඇති වූ මුල්ම අවස්ථාව, පියාගේ වාහනය අනතුරට ලක් වූ අවස්ථාව ඊට නිදසුන් කිහිපයක්. එවැනි තොරතුරු ඔවුන් හෙළි කරන්නේ ඔබ ඔවුන්ගෙන් ඒ ගැන ඇසුවොත් පමණයි. ඔබට ඔවුන්ගෙන් ඇසිය හැකි ප්‍රශ්න කිහිපයක් සඳහා  12වන පිටුවේ ඇති කොටුව බලන්න.

ඔවුන්ට ඉඩ දෙන්න. ඔබ ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙන විට දෙමාපියන් වෙනත් සිද්ධීන් ගැනද ඔබට පැවසිය හැකියි. ඉන් ඔවුන්ව වළක්වා අදාළ ප්‍රශ්නයට පමණක් පිළිතුරු ලබාගන්න උත්සාහ කරන්න එපා! මෙම සාකච්ඡාවේ අරමුණ වන්නේ නිකම්ම තොරතුරු රැස් කිරීම නොව දෙමාපියන් සමඟ ඔබගේ බැඳීම තවත් ශක්තිමත් කරගැනීමයි. ඊට හොඳම ක්‍රමය වන්නේ ඔවුන් උනන්දුවන කාරණා ගැන කතා කිරීමයි.—ෆිලිප්පි 2:4.

වටහාගැනීමෙන් කටයුතු කරන්න. “මිනිසෙකුගේ සිතේ කල්පනාව ගැඹුරු ජලය මෙනි. එහෙත් වටහාගැනීමේ හැකියාව ඇති මිනිසා එය ඇදගනියි” කියා බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 20:5NW) දෙමාපියන් පැවසීමට අදිමදි කළ හැකි තොරතුරු ඔවුන්ගෙන් ලබාගැනීමට නම් ඔබට වටහාගැනීමේ හැකියාව අවශ්‍යයි. ඔවුන් ඔබේ වයසේ සිටි විට කළ සමහර වැරදි වැඩ ගැනත් ඊළඟ වතාවේදී ඒවා නිවැරදි කරගත් ආකාරය ගැනත් දැනගන්න ඔබ කැමති ඇති. එමනිසා කෙළින්ම එවැනි ප්‍රශ්න ඔවුන්ගෙන් අසනවා වෙනුවට “මම මේ ගැන ඇහුවට කමක් නැද්ද” කියා පළමුවෙන් අසන්න.

නුවණින් කටයුතු කරන්න. දෙමාපියන් ඔවුන් ගැන ඔබට පවසන විට ‘ඇසීමට ඉක්මන් වී කතා කිරීමට ප්‍රමාද වන්න.’ (යාකොබ් 1:19) දෙමාපියන් පැවසූ දේවලට අපහාස වන ලෙස යමක් පැවසීමෙන් වළකින්න. එමෙන්ම “මොනවා! මට නම් හිතාගන්නවත් බැහැ ඔයා ඒ වගේ දෙයක් කෙරුවා කියලා” හෝ “ආ . . . ඒකයි එහෙනම් තාත්තා මට මෙච්චර නීති දාන්නේ “ වැනි දේවල් පැවසුවහොත් ඉන් එහාට ඔවුන් කිසිවක් නොපවසන්න ඉඩ තිබෙනවා. ඒ වගේම පවුලෙන් පිට අය සමඟ දෙමාපියන්ගේ පෞද්ගලික තොරතුරු කතා නොකිරීමටද වගබලා ගන්න.

තවමත් ප්‍රමාද නැහැ!

ඔබ සිටින්නේ දෙමාපියන් සමඟ නම් ඔවුන්ව හොඳින් දැන හඳුනා ගන්න ඉහත යෝජනා ඔබට විශාල උපකාරයක්. නමුත් ඔබ සිටින්නේ දෙමාපියන් යටතේ නොවෙයි නම් කුමක් කළ හැකිද? ඔවුන් සමඟ ඔබගේ බැඳීම නැවතත් ශක්තිමත් කරගැනීමට ඉහත සඳහන් යෝජනා අදාළ කරගන්න. සමහරවිට මව හෝ පියා සමඟ කිට්ටු බැඳීමක් ඔබට තිබුණේ නැතත් එවැන්නක් ඇති කරගැනීමටද එම යෝජනා උපකාරවත් වෙනවා. ඉහත සඳහන් කළ ජේකබ්ද ඒ යෝජනා සාර්ථක බව තේරුම්ගත්තා. ඔහු දැන් වෙනම ජීවත් වුණත් ඒ ගැන මෙසේ පවසනවා. “දැන් මට මගේ තාත්තා ගැන ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ ගැන මට හරිම සතුටුයි.”

ඔබ සිටින්නේ දෙමාපියන් සමඟ වුණත් නැතත් ඔවුන්ව වඩාත් හොඳින් දැනගැනීමට ඔබ තවමත් ප්‍රමාද නැහැ. ඒ සඳහා මේ ලිපියේ සඳහන් කදිම යෝජනා අත්හදා බලන්න.

[පාදසටහන]

^ 9 ඡේ. මෙම ලිපියේ සමහර නම් වෙනස් කර ඇත.

සිතා බලන්න

▪ ඔබ ඔබේ දෙමාපියන්ගෙන් අසා දැනගැනීමට කැමති වන්නේ මෙම ලිපියේ සඳහන් කුමන විෂය ගැනද?

▪ ඔබේ දෙමාපියන් ගැන තවත් තොරතුරු දැනගැනීම ඔබට ඔබව වඩාත් හොඳින් තේරුම්ගැනීමට උපකාරවත් වන්නේ කෙසේද?

[12වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ඔබට මෙසේ ඇසිය හැකියි.

 විවාහය: අම්මයි තාත්තයි මුලින්ම මුණ ගැහුණේ කොහොමද? අම්මට (හෝ තාත්තට) හිත ගියේ ඇයි? බැන්දට පස්සේ ඔය දෙන්නා කොහේද පදිංචි වුණේ?

ළමා කාලය: අම්මා (හෝ තාත්තා) ඉපදුනේ කොහේද? සහෝදර සහෝදරියෝ එක්ක කටයුතු කළේ කොහොමද? ඔයාලගේ දෙමාපියන් වසයිද නැත්නම් කරුණාවන්තද?

අධ්‍යාපනය: පාසැලේ කැමතිම හා අකමැතිම විෂය මොකක්ද? කැමතිම ගුරුවරයෙක් හිටියද? හිටියා නම් ඒකට හේතුව කුමක්ද?

රැකියාව: මුල්ම රැකියාව කුමක්ද? ඒ රැකියාවට ගොඩක් කැමතිද? වෙනත් රැකියාවක් තෝරාගන්න සිදු වුණා නම් තෝරාගන්නේ කුමක්ද?

වැඩි උනන්දුවක් දක්වන දේවල්: ඔබ සංචාරය කිරීමට වඩාත්ම කැමති රට කුමක්ද? කැමතිම විනෝදාංශය කුමක්ද?

ආගම: කුඩා කාලයේ සිටම ඔබ ක්‍රිස්තියානියෙක්ද? එසේ නොවෙයි නම් බයිබලය ගැන උනන්දුවක් ඇති වුණේ කොහොමද? බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වන්න උත්සාහ කරද්දී මුහුණ දුන් අභියෝග මොනවාද?

අගය කරන දේවල්: හොඳ මිත්‍රත්වයක් පවත්වාගෙන යෑම සඳහා, සන්තෝෂවත් ජීවිතයක් හා සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය ගුණාංග කුමක් කියාද ඔබ සිතන්නේ? ඔබගේ ජීවිතයට ලැබුණු හොඳම උපදෙස කුමක්ද?

මෙය අත්හදා බලන්න: ඉහත සඳහන් ප්‍රශ්න කිහිපයක් තෝරාගෙන දෙමාපියන් ඊට දෙයි කියා ඔබ සිතන පිළිතුරු සටහන් කරන්න. ඉන්පසු එම ප්‍රශ්න ඔවුන්ගෙන් අසා, ඔවුන් දුන් පිළිතුරු ඔබේ පිළිතුරු සමඟ සසඳන්න.

[13වන පිටුවේ කොටුව]

දෙමාපියෙනි මේ ඔබටයි

ඔබ ඔබේ ස්වාමිපුරුෂයා, දියණිය හා තවත් මිතුරන් කිහිපදෙනෙක් සමඟ රාත්‍රී ආහාරය ගනිමින් සිටිනවා කියා සිතන්න. ඔබ විවාහ වීමට පෙර ප්‍රේම සම්බන්ධකමක් පැවැත්වූ කෙනෙකු ගැන ඔබගේ මිතුරෙක් එකවරම ඔබට පවසයි. ඔබ මීට පෙර මේ ගැන ඔබේ දියණියට පවසා නැහැ. නමුත් දැන් ඇයට ඒ ගැන දැනගන්න අවශ්‍යයි. ඔබ දැන් කරන්නේ කුමක්ද?

ඔබේ දරුවා ප්‍රශ්න අසන විට ඔවුන්ට බාධා කරන්නේ නැතුව දිගටම ප්‍රශ්න අසන්න ඉඩ දෙන්න. දරුවන් සමඟ හොඳින් අදහස් හුවමාරු කිරීමට දෙමාපියන් කැමති නිසා එය ඊට හොඳ අවස්ථාවක්.

ඔබ ඔබේ දුවට හෝ පුතාට ඔබේ අතීත සිදු වීම් පවසන්නේ කොතෙක් දුරටද? ඔබව අපහසුතාවට පත් කරන දේවල් කීමට ඔබ අදිමදි කළ හැකි බව ඇත්තයි. ඒ වුණත් සුදුසු සෑම අවස්ථාවකදීම ඔබ අතින් සිදු වූ වැරදි හා මුහුණ දුන් අභියෝග ගැන ඔවුන්ට පවසන්න. එයින් ඔවුන් බොහෝ දේ ඉගෙනගනියි. ඒ කොහොමද?

ඊට මේ උදාහරණය සලකා බලන්න. බයිබල් ලේඛකයෙක් වූ පාවුල් තමා ගැන මෙසේ හෙළි කළා. ‘හරි දේ කිරීමට මා කැමැත්තෙන් සිටියත් මා තුළ නපුර තිබෙන බව මට පෙනේ. මා කොතරම් කාලකණ්ණි මිනිසෙක්ද!’ (රෝම 7:21-24) ඔහුගේ එම වචන බයිබලයේ වාර්තා කිරීමට යෙහෝවා දෙවි කටයුතු කළේ අපටත් ඉන් ප්‍රයෝජන ගැනීම සඳහායි. (2 තිමෝති 3:16) පාවුල්ගේ ආදර්ශය අපි සැමදෙනාටම ප්‍රයෝජනවත්.

එලෙසම දෙමාපියන් ලෙස ඔබ ගත් නිවැරදි තීරණ හා සිදු වූ වැරදි ගැන පැවසීමෙන් ඔබව වඩාත් හොඳින් තේරුම්ගන්න ඔබේ දරුවන්ට හැකියි. ඒ කෙසේද? ඔබ ඇති දැඩි වුණේ වෙනස් පරම්පරාවකයි. කාලය ගෙවී ගියත් මිනිස් ස්වභාවය හා බයිබල් ප්‍රතිපත්ති යන දෙකම වෙනස් වී නැහැ. (ගීතාවලිය 119:144) එමනිසා ඔබ මුහුණ දුන් අභියෝග හා ඒවා ජය ගත් ආකාරය ඔබගේ දරුවන් සමඟ සාකච්ඡා කිරීම ඔවුන්ටත් ඔවුන්ගේ අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට විශාල උපකාරයක්. ඒ ගැන තමාට හැඟෙන ආකාරය කැමරන් නමැති යෞවනයා මෙසේ පවසනවා. “මං වගේම මගේ දෙමාපියනුත් නොයෙකුත් ප්‍රශ්න ගැටලුවලට මුහුණ දීලා තියෙනවා කියලා දැනගත්තාම ඔවුනුත් මම වගේමයි කියලා මට තේරෙනවා. ඒ නිසා ඊළඟ වතාවේදී මම අභියෝගයකට මුහුණ දෙද්දී මගේ දෙමාපියනුත් මේ වගේ අභියෝගයකට මුහුණ දුන්නාද කියා මම කල්පනා කරනවා.”

මේ ගැන සැලකිලිමත් වෙන්න: ඔබ අතින් සිදු වූ වැරදි ගැන දරුවන්ට පැවසුවොත් ඔවුන් තුළ ඔබ ගැන වැරදි හැඟීමක් ඇති වෙයි කියා හෝ ඔවුනුත් එම වැරැද්දම කිරීමට පෙලඹෙයි කියා ඔබට සිතෙන්න පුළුවන්. ඒ නිසා ඔබ මුහුණ දුන් එවැනි සිදු වීම් ගැන පවසද්දී එය ඔබේ දරුවාට උපදෙස් දීමක් ලෙස හැඟෙන්න සලස්වන්න එපා. (“ඒ නිසයි මම ඔයාට කියන්නේ කවදාවත් ඒ වගේ වැඩ කරන්න එපා කියලා”) ඒ වෙනුවට ඔබ අතින් සිදු වූ වරද ගැන ඔබට හැඟෙන ආකාරය පවසන්න. (“ඒ වගේ දෙයක් නොකර හිටියා නම් කොයි තරම් හොඳද කියලා මට හිතෙනවා.”) ඔබේ අද්දැකීම්වලින් ඔබේ දුව හෝ පුතා යම් වටිනා පාඩම් ඉගෙනගන්නවාට සැකයක් නැහැ. නමුත් ඔබ එය පැවසිය යුත්තේ ඔවුන්ට අවවාද කරන හෝ උපදෙසක් දෙන ආකාරයෙන් නොවෙයි.—එෆීස 6:4.

[13වන පිටුවේ කොටුව]

“දවසක් මම අම්මට කිව්වා අපේ සභාවේ යාළුවන්ට වඩා ඉස්කෝලේ යාළුවෝ මට ගොඩක් කිට්ටුයි කියලා. ඊළඟ දවසේ අම්මා පොඩි ලියුමක් ලියලා මගේ මේසය උඩ තියලා තිබුණා. ඒ කාලේ අම්මටත් සභාවේ යාළුවෝ හිටියේ නැති එක ගැන අම්මට හැඟුණ විදිහ ඒකේ ලියලා තිබුණා. ඒ වගේම අතීතයේදී යෙහෝවා දෙවිට තනිවම සේවය කරපු, දිරිගන්වන්න කවුරුවත් හිටියේ නැති අය ගැනත් ඒකේ ලියලා තිබුණා. කොහොමවුණත් මම හොඳ යාළුවන්ව ඇති කරගන්න දරන උත්සාහය අම්මා අගය කළා. ඇත්තෙන්ම යාළුවන් ඇති කරගැනීමේ මේ අභියෝගයට මගේ අම්මත් මුහුණ දීලා තියෙනවා කියලා දැනගත්තාම මට පුදුම හිතුණා. අම්මා මාව තේරුම්ගත්තා කියලා දැනගත්තාම මට ඇඬුණා. ඒ වගේම අම්මා කියු දේ මට ලොකු දිරිගැන්වීමක් වුණා විතරක් නෙමෙයි හරි දේ කරන්නත් අම්මගේ වචන මට ශක්තියක් වුණා.”—ජපානයේ, ජුන්කෝ, වයස අවුරුදු 17යි.

[11වන පිටුවේ පින්තූරය]

ඔබේ දෙමාපියන්ගේ කලින් ගත් ඡායාරූප හා ඔවුන් භාවිත කළ සමහර දේවල් ඔබට පෙන්වන්න කියා පවසන්න. හොඳ සාකච්ඡාවකට මෙය කදිම ආරම්භයක් විය හැකියි