Skip to content

පටුනට යන්න

දරුවන් සමඟ තනි වුණත් සාර්ථක විය හැකියි

දරුවන් සමඟ තනි වුණත් සාර්ථක විය හැකියි

දරුවන් සමඟ තනි වුණත් සාර්ථක විය හැකියි

දික්කසාදය අද එන්න එන්නම වැඩි වෙමින් පවතින ගැටලුවක්. එක්සත් ජනපදයේ, මව හෝ පියා පමණක් සිටින පවුල් මිලියන 13කටත් වඩා තිබෙන අතර ඉන් වැඩි හරියක් පවුල්වල සිටින්නේ මව පමණයි. එවැනි රටවල සිටින දරුවන්ගෙන් හරි අඩක් පමණ හැදී වැඩෙන්නේ එවැනි පවුලක බව සමීක්ෂණවලින් හෙළි වී තිබෙනවා.

ඔබත් දරුවන් සමඟ තනි වූ කෙනෙකු නම් සාර්ථකව ඔබේ වගකීම් ඉටු කළ හැකි බවට නිසැක වන්න. ඒ සඳහා උපකාරවත් වන යෝජනා කිහිපයක් අපි සලකා බලමු.

ශුභවාදීව සිතන්න. බයිබලයේ මෙසේ සඳහන් වී තිබෙනවා. “නිතරම සිත්තැවුලෙන් සිටින්නාට සෑම දවසක්ම නරකය. එහෙත් සතුටු සිතින් සිටින්නාට සෑම දවසක්ම උත්සව දවසක් මෙනි.” (හිතෝපදේශ 15:15, නව ලොව පරිවර්තනය, NW) දරුවන් සමඟ තනි වූ ඔබට විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වන නිසා සෑම දවසක්ම උත්සව දවසක් කියා කිව නොහැකියි. එහෙත් ඉහත බයිබල් ඡේදයට අනුව කෙනෙකුගේ සතුටට බලපාන්නේ ඔහුගේ සිතයි. එනම් දේවල් දෙස බලන ආකාරයයි. (හිතෝපදේශ 17:22) ඔබේ පවුල් ජීවිතය දෙකඩ වී ඇති බව සිතීමෙන්වත් දරුවන්ගේ ජීවිතය අඳුරේ කියා සිතීමෙන්වත් කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඔබ එවැනි දේවල් ගැන සිතමින් මානසිකව වැටුණොත් ඔබේ වගකීම් ඔබට ඉටු කිරීමට නොහැකි වෙයි.—හිතෝපදේශ 24:10.

මෙය අත්හදා බලන්න: ඔබව අධෛර්යය කරවන සිතුවිලි මොනවාද කියා සටහන් කරගන්න. ඊළඟට එවැනි සිතුවිලි වෙනුවට ඇති කරගත හැකි ශුභවාදී සිතුවිලි මොනවාද කියා ඒවාට ඉදිරියෙන් ලියාගන්න. උදාහරණයකට “මට තනියෙන් මේ වගකීම ඉටු කරන්න බැහැ” කියා ඔබ ලියාගත්තා නම් එය ඉදිරියෙන් “වෙනත් අයගේ උපකාර ඇතිව මට මේ වගකීම ඉටු කරන්න පුළුවන්” කියා ලියාගන්න.—ෆිලිප්පි 4:13.

වියහියදම් පාලනය කරන්න. තනි වුණ මව්වරු හෝ පියවරු මුහුණ දෙන ප්‍රධානම ගැටලුව වෙන්නේ ආර්ථික ප්‍රශ්නයි. ඊට වැඩියෙන්ම මුහුණ දෙන්නේ මව්වරුනුයි. කෙසේවෙතත් අරපිරිමැස්මෙන් වැඩ කිරීමට පුරුදු වීමෙන් එම ප්‍රශ්නය මඟ හරවාගත හැකියි. ඒ ගැන බයිබලයේ මෙවැනි උපදෙසක් දී තිබෙනවා. “බුද්ධිමත් අය අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙති.” (හිතෝපදේශ 22:3NW) එම මඟ පෙන්වීමට අනුව ආර්ථික ප්‍රශ්න ඇති වීමේ “අවදානම” මඟ හරවාගැනීමට කල් ඇතිව හොඳ අයවැය ලේඛනයක් පිළියෙල කිරීම ඉතා ප්‍රයෝජනවත්.

මෙය අත්හදා බලන්න: මාසයක් පුරා ඔබ කළ සියලුම වියදම් සටහන් කරගන්න. ඉන්පසුව ඔබට වැඩියෙන්ම මුදල් වැය වී තිබෙන්නේ කුමක් සඳහාද කියා බලන්න. ඔබ වුවමනාවට වඩා ණය වී තිබෙනවාද? එසේ නැත්නම් ඔබේ දරුවාගේ තනිකම මැකීමට ඔබ ඔහු සඳහා අනවශ්‍ය දේවල් මිල දී ගෙන තිබෙනවාද? ඔබේ දරුවන් තේරුම්ගත හැකි වයසක සිටිනවා නම් අරපිරිමැස්මෙන් මුදල් වියදම් කළ හැකි ආකාරය ගැන ඔවුන් සමඟ කතා කරන්න. සමහරවිට ඔවුන් ඒ සම්බන්ධයෙන් හොඳ යෝජනා ඉදිරිපත් කිරීමට පවා ඉඩ තිබෙනවා. එමෙන්ම එය ඔවුන්ටද හොඳ පුහුණුවක්.

ආරවුල් ඇති කර නොගන්න. ඔබෙන් වෙන් වූ සහකරුගේ වැරදි දරුවාට පැවසීම සහ ඔහුගේ හෝ ඇගේ පෞද්ගලික තොරතුරු සොයා බැලීමට දරුවාට දිරිගැන්වීම නුසුදුසු බව මතක තබාගන්න. * ඒ වෙනුවට දරුවාට බලපාන කාරණා ගැන තීරණ ගන්නා විට ඔහු හෝ ඇය සමඟ කතාබහ කර සහයෝගයෙන් වැඩ කිරීම වැදගත්. “ඔබට හැකි පමණින් සියලුදෙනා සමඟ සමාදානයෙන් සිටින්න” කියා බයිබලයේ සඳහන් වෙනවා. (රෝම 12:18) ඒ “සියලුදෙනා” අතරට ඔබෙන් වෙන් වූ සහකරුද ඇතුළත් බව මතක තබාගන්න.

මෙය අත්හදා බලන්න: වෙන් වූ සහකරු සමඟ මතගැටීමක් ඇති වූ අවස්ථාවකදී ඔබ රැකියා ස්ථානයේ කෙනෙකු සමඟ කටයුතු කරන ආකාරයට ඔබේ සහකරු සමඟ කටයුතු කරන්න. සාමාන්‍යයෙන් ඔබට රැකියා ස්ථානයේ අය සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට සිදු වෙනවා. සමහරවිට ඔබ එතරම් ප්‍රිය නොකරන පුද්ගලයන් සමඟ පවා ඔබට වැඩ කිරීමට සිදු විය හැකියි. ඒ ආකාරයට ඔබේ සහකරු සමඟ කටයුතු කරන්න. සමහරවිට ඔබ දෙදෙනා යම් කාරණාවලදී එකඟ නොවුණත් ඒවා මතගැටුම් හෝ ආරවුල් ඇති කරගැනීමට හේතුවක් කර නොගන්න.—ලූක් 12:58.

හොඳ ආදර්ශයක් වෙන්න. ඔබෙන්ම මෙසේ අසාගන්න. ‘මම කැමති මගේ දරුවන් මොන වගේ ගුණාංග වර්ධනය කරගන්නවාටද? එසේනම් එවැනි ගුණාංග මා තුළ තිබෙනවාද? උදාහරණයකට තනිවම දරුවන් හදා වඩා ගැනීමේදී යම් අභියෝගවලට මුහුණ දීමට සිදු වුණත් සතුටින් සිටීමට මම උත්සාහ කරනවාද? නැත්නම් මම අධෛර්යයට පත් වෙනවාද? මගේ සහකරු අතින් සිදු වූ අසාධාරණකම් ගැන මම නිතරම පසුවන්නේ කේන්තියෙන්ද? නැත්නම් මම ඒවා අමතක කර දමනවාද?’ (හිතෝපදේශ 15:18) සමහරවිට එවැනි ප්‍රශ්නවලට සියයට සියයක්ම සාර්ථක ලෙස මුහුණ දීමට නොහැකි වෙන්න පුළුවන්. ඒ වුණත් ඔබ එවැනි තත්වයන් හමුවේ විදහා පෙන්වන ගුණාංග සහ ආකල්ප දරුවන්ද අනුකරණය කිරීමට පෙලඹෙනවා.

මෙය අත්හදා බලන්න: ඔබේ දරුවන් තුළ වර්ධනය වෙනවා දකින්න කැමති ගුණාංග තුනක් ලියාගන්න. * ඉන්පසු ඔවුන් තුළ එම ගුණාංග වර්ධනය කිරීමට ඒවා ඔබේ ජීවිතයෙන් විදහා පෙන්වන්නේ කෙසේද කියා ඒ එක් එක් ගුණාංගය ඉදිරියෙන් ලියාගන්න.

ඔබ ගැනත් සැලකිලිමත් වන්න. සමහරවිට කාර්යබහුල ජීවිතය නිසා ඔබට ඔබේ සෞඛ්‍යය වැනි වැදගත් දේවල් ගැන සැලකිලිමත් වෙන්න අමතක විය හැකියි. නමුත් එසේ සිදු වීමට ඉඩ දෙන්න එපා. එමෙන්ම දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට දායක වන දේවල් අතපසු නොකිරීමට වගබලා ගන්න. (මතෙව් 5:3) මෙය මතක තබාගන්න. වාහනයකට දුර ගමනක් යා හැකි වන්නේ එහි ප්‍රමාණවත් ලෙස ඉන්ධන තිබුණොත් පමණයි. ඒ හා සමානව ඔබටත් ඔබේ වගකීම් නිසියාකාරයෙන් ඉටු කිරීමට හැකි වන්නේ ඔබ ඔබ ගැනත් සැලකිලිමත් වුණොත් පමණයි.

“සිනාසෙන්න කාලයක්” සහ “නටන්න කාලයක්” තිබෙනවා කියා බයිබලයේ සඳහන් වෙනවා. (දේශනාකාරයා 3:4NW) එමනිසා විනෝද වීමට යොදවන කාලය නාස්තියක් කියා සිතන්න එපා. ඇත්තෙන්ම එවැනි දේවලින් ඔබේ මනසට යම් ප්‍රබෝධයක් ලබාගත හැකියි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔබේ වගකීම් නිසියාකාරව ඉටු කිරීමට ඔබට හැකි වෙයි.

මෙය අත්හදා බලන්න: දරුවන්ව තනිවම හදා වඩා ගන්නා ඔබ වැනි වෙනත් අය සමඟ කතා කරන්න. ඔවුන් තමන් ගැනම සැලකිලිමත් වන ආකාරය දැනගන්න. ජීවිතයේ ‘වඩා වැදගත් දේවලට’ මුල් තැන දෙන අතරේදී සතියකට වතාවක්වත් ඔබට සතුට ගෙන දෙන දේවල නිරත වීමට කාලය වෙන් කරන්න. (ෆිලිප්පි 1:10) විනෝදය සඳහා කළ හැකි දේවල් මොනවාද කියාත් එමෙන්ම එය කිරීමට සැලසුම් කරන්නේ කවදාද කියාත් සටහන් කරගන්න.

[පාදසටහන්වල]

^ 8 ඡේ. මේ පිළිබඳ තවත් තොරතුරු දැනගැනීම සඳහා මෙම සඟරාවේ 18 සිට 21 දක්වා පිටුවල සඳහන් “දික්කසාදය නිසා බැටකන දරුවෝ” යන ලිපිය බලන්න.

^ 11 ඡේ. ඒ සඳහා මෙම සඟරාවේ 6-8 දක්වා පිටුවල සාකච්ඡා කරන තොරතුරුවල සඳහන් “ගෞරව කිරීම,” “සාධාරණ වීම” හා “සමාව දීම” ඉන් සමහරක්.