Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

▪ “ඇමරිකාවේ වෙසෙන ගැහැනු ළමයින්ගෙන් තුනෙන් එකක් ගැබ් ගන්නේ වයස අවුරුදු 20ක් පිරීමටත් පෙරයි.”—CENTERS FOR DISEASE CONTROL AND PREVENTION, U.S.A.

▪ ඇමරිකාවේ “නිවෙස් තුළ අඩන්තේට්ටම්වලට ලක් වූ” පුරුෂයන් 420දෙනෙකු සමඟ කළ සමීක්ෂණයකින් හෙළි වුණේ දසදෙනෙකුගෙන් තුන්දෙනෙකු පමණ පහර කෑම්වලට හෝ යම් හිරිහැරවලට ලක් වන බවයි.—AMERICAN JOURNAL OF PREVENTIVE MEDICINE.

අමතර භාෂාවකින් ඇති ප්‍රයෝජන

දරුවන් වෙනත් භාෂාවක් ඉගෙනගැනීම ඔවුන්ගේ මව් භාෂාව ඉගෙනගැනීමට බාධාවක් වෙයි කියා බොහෝ දෙමාපියන් බිය වෙනවා. නමුත් කැනඩාවේ ස්නායු පිළිබඳ අධ්‍යයනය කරන ලෝරා ඈන් පෙටිට්ටෝ ඊට වෙනස් දෙයක් මෙසේ පවසනවා. “භාෂා කිහිපයක්ම ඉගෙනගෙන පටලැවීමකින් තොරව එය හැසිර වීමේ හැකියාව දරුවෙකුගේ මොළය සතුයි.” භාෂා කිහිපයක් කතා කිරීමේ හැකියාව ඇති දරුවන් බොහෝවිට එක් භාෂාවක් කතා කරන දරුවන්ට වඩා දක්ෂයි. ඒ නිසා “භාෂා කිහිපයක් කතා කිරීමේ හැකියාවෙන් ලැබෙන ප්‍රයෝජන ඔවුන්ගේ දරුවන්ටත් ලබා දීමට නම් දෙමාපියන් ඔවුන්ට තවත් භාෂාවක් ඉගැන්වීමට පියවර ගත යුතුයි” කියා කැනඩාවේ පුවත්පතක සඳහන් වුණා.—Toronto Star

පුංචි මනස් ගැන සැලකිලිමත් වෙන්න

කාමුක දේවල් සහ අපරාධ ඇතුළත් වීඩියෝ දර්ශන නරඹන කුඩා දරුවන්ගේ සංඛ්‍යාව වැඩිවෙමින් පවතිනවා. ‘අවුරුදු 12 සහ ඊට වැඩි දරුවන්ට බොහෝවිට අති දරුණු අපරාධ ඇතුළත් දර්ශන හා පිළිකුල් සහගත කාමුක දර්ශන තිබෙන වෙබ් අඩවි පිළිබඳ මනා දැනුමක් තිබෙනවා’ කියා භාෂා විද්‍යාඥයෙක් වන පීට මෙඩින්ග පවසනවා. එමෙන්ම එවැනි දේවල් නරඹන ඔවුන් පිටතින් නොපෙන්නුවත් ඒවා ඔවුන්ගේ මනසට දැඩි සේ බලපානවා. එමනිසා මෙඩින්ග දෙමාපියන්ට උනන්දු කරන්නේ ‘දරුවන්ගේ මනස්වල තිබෙන දේවල් හා පරිගණකයේ තිබෙන දේවල් ගැන සැලකිලිමත් වෙන්න’ කියායි.

දික්කසාදයට කල්තියාම සූදානම

විවාහ වීමට සූදානම් වන අය, විවාහ වීමෙන් පසුව එකිනෙකාගේ වගකීම් ගැනත් දික්කසාද වුවහොත් දේපළ බෙදාගත යුතු ආකාරය ගැනත් කලින්ම නීත්‍යානුකූලව ගිවිසුම් ඇති කරගන්නවා කියා ඕස්ට්‍රේලියාවේ එක් පුවත්පතක සඳහන් වුණා. වර්තමානයේ ඔවුන් ඇති කරගන්නා ගිවිසුම් මගින් දෙදෙනාගේ වගකීම් පැහැදිලිව විස්තර කරනවා. උදාහරණයකට කෑම පිසින්නේ, නිවස පිරිසිදු කරන්නේ හෝ රිය පදවන්නේ කවුද යන්න ගැනත් සුරතල් සතුන් ඇති කරනවාද, එසේනම් උන්ව රැකබලා ගන්නේ කවුද, දෙදෙනාගේ බර තිබිය යුතු ප්‍රමාණය හා කුණු කසල ඉවත් කරන්නේ කවුද යන්න ඉන් සමහරක්. ඒ ගැන නීතිඥවරියක් වන ක්‍රිස්ටීන් ජෙෆරස් මෙසේ පවසනවා. “තම විවාහය කල් පවතීද යන්න ගැන බොහෝදෙනෙකුට ඇත්තේ සැකයක්.” එම පුවත්පත—Sunday Telegraph.

දරු සෙනෙහස පොත්වලින් ඉගෙනගන්නා දෙමාපියන්

“තම කුඩා දරුවන්ට සෙනෙහස පෙන්වන ආකාරය ගැන පොත්වලින් ඉගෙනගන්නා දෙමාපියන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතිනවා” කියා එක් සඟරාවක සඳහන් වෙනවා. දරුවෙකුගේ මානසික හා ශාරීරික වර්ධනයට අත්‍යවශ්‍ය දේවල් වන ඔවුන්ව ආදරයෙන් වැලඳගැනීම, ඔවුන් සමඟ සෙල්ලම් කිරීම හා ඔවුන්ට ඇසෙන සේ ගායනා කිරීම වැනි මූලික දේවල් පවා දෙමාපියන්ට ඉගෙනගන්න සිදු වී තිබෙනවා. එක් අධ්‍යයනයකින් හෙළි වුණේ “සාමාන්‍යයෙන් පෝලන්තයේ දෙමාපියන් තම දරුවන් සමඟ එකට කාලය ගත කිරීමක් ලෙස මුල් ස්ථානය දෙන්නේ රූපවාහිනිය නැරඹීම හා සාප්පු සවාරි යෑමටයි.” නමුත් දරුවන් සමඟ සෙල්ලම් කිරීම පැමිණෙන්නේ හයවන ස්ථානයටයි. එම සඟරාව—Newsweek Polska.