Skip to content

පටුනට යන්න

දික්කසාදය නිසා බැටකන දරුවෝ

දික්කසාදය නිසා බැටකන දරුවෝ

දික්කසාදය නිසා බැටකන දරුවෝ

ප්‍රශ්න ගැටලුවලින් පිරි විවාහක යුවළයන්ට සමහර උපදේශකයන් දෙන මඟ පෙන්වීම් මෙයයි. ‘ඔයා මුලින්ම හිතන්න ඕනේ ඔයාගේ සතුට ගැනයි. දරුවන් ගැන කරදර වෙන්න එපා. හැමතිස්සේම රණ්ඩු කරන දෙමාපියන් එක්ක ඉන්නවාට වඩා දෙමාපියන් දික්කසාද වූ පසු ඊට හැඩගැසෙන්න ඔවුන්ට පහසුයි.’

ඒ වුණත් දික්කසාදය අනුමත කළ සමහර උපදේශකයන් දැන් ඒ ගැන පවසන්නේ මෙසේයි. ‘දික්කසාදය හරියට යුද්ධයක් වගෙයි. එයින් දෙපාර්ශවයම තුවාල ලබනවා. දරුවන්ද ඊට ඇතුළත්.’

දික්කසාදය ගැන වැරදි මත

දික්කසාදය අද සාමාන්‍ය දෙයක් වී තිබෙනවා. සමහර රටවල දික්කසාදය හා ගෙතුනු විනෝදාත්මක රූපවාහිනි වැඩසටහන් විකාශනය වෙනවා. ඉන් පෙන්වීමට උත්සාහ කරන්නේ දික්කසාදය හරිම සරල දෙයක් බවයි. එමෙන්ම ඇති වන ඕනෑම ගැටලුවක් විනාඩි 30ක් වැනි කෙටි කාලයක් ඇතුළත විසඳිය හැකි බවයි. ඊට අමතරව නරඹන්නන්ටත් එය විශාල විනෝදයක් ගෙන දෙනවා.

නමුත් සැබෑ ජීවිතය තුළ දික්කසාදය විනෝදය ගෙන දෙන දෙයක් නොව එය ඉතා වේදනාකාරී අද්දැකීමක්. ගැරී නියුමන් ඔහුගේ එක් පොතක මෙසේ සඳහන් කළා. “දික්කසාදය කියන්නේ උසාවි යන වැඩක්. දික්කසාද වුණොත් සමහරවිට ඔබට දරුවන්ගේ අයිතිය අහිමි විය හැකියි. ඒ වගේම ඔබගේ වත්කම් මෙන්ම ඉන්න හිටින්න තැනක්වත් නැති විය හැකියි. උසාවි ගිහින් හැම ප්‍රශ්නයක්ම විසඳෙයි කියා සිතන්න එපා. අවසානයේදී ඔබට ලැබෙන වත්කම් මෙන්ම ඔබගේ දරුවාගේ හිමිකම් පිළිබඳව තීරණය කරන්නේ ඔබ නාඳුනන ඔබට වඩා වෙනස් විදිහකට සිතන විනිසුරුවරයෙකුයි.”

බොහෝවිට දික්කසාද වීමෙන් සිදු වන්නේ ප්‍රශ්න දී තවත් ප්‍රශ්න ගොඩක් ළං කරගැනීමයි. ආර්ථිකය ඇතුළුව මුළු ජීවන රටාවම ඉන් වෙනස් විය හැකියි. එයත් හොඳ අතට නොවෙයි. එයින් දරුවන්ද බැටකයි.

බැටකන දරුවන්

දරුවන් කුමන වයසක පසු වුණත් දික්කසාදය ඔවුන්ට බලපානවා. නමුත් සමහරුන් පවසන්නේ යොවුන් දරුවන් කොහොමත් තනිවම දේවල් කරන වයසක සිටින නිසාත් සමහරවිට රැකියාවක් කරන නිසාත් එය ඔවුන්ට එතරම් බලපාන්නේ නැති බවයි. නමුත් පර්යේෂකයන් පවසන්නේ ඊට වෙනස් දෙයක්. දික්කසාදයේ නරක බලපෑම්වලට වැඩියෙන්ම මුහුණ දෙන්නේ යොවුන් දරුවන් බව ඔවුන් සොයාගෙන තිබෙනවා. * ඒ සම්බන්ධයෙන් මේ තොරතුරු සලකා බලන්න.

▪ කුඩා දරුවන්ට වඩා යොවුන් වියට පා තබන දරුවන් සිටින්නේ ඉතා අනාරක්ෂිත තත්වයකයි. ඔවුන් වැඩි නිදහසක් ලබාගැනීමට නැඹුරුවාවක් දැක්වුවත් ඔවුන් තවමත් මව හා පියාගේ සම්පූර්ණ රැකවරණය අවශ්‍ය දරුවන් බව දෙමාපියන් අමතක නොකළ යුතුයි.

▪ දෙමාපියන්ගේ දික්කසාදය යොවුන් දරුවන්ගේ සිතුවිලිවලට බොහෝ සේ බලපානවා. ඒ නිසා වෙනත් අයව විශ්වාස කිරීමට, ඔවුන්ට ළං වීමට හා ආදරය කිරීමට එම දරුවන් පසුබට වෙයි. ඔවුන් වැඩිහිටියන් වූ පසුව පවා හොඳ මිත්‍රත්වයන් ඇති කරගැනීමට එය ඔවුන්ට බාධාවක් විය හැකියි.

▪ දෙමාපියන්ගේ වෙන් වීමෙන් ඇති වන වේදනාව දරාගන්න බැරි නිසා ඔවුන් දරුණු ලෙස හැසිරීමට මෙන්ම මත්ද්‍රව්‍ය හා මත්පැන්වලට ඇබ්බැහි වීමටද පෙලඹෙන්න පුළුවන්.

දික්කසාද වූ පවුල්වල දරුවන්ට ශක්තිමත් මිත්‍රත්වයන් ඇති කරගැනීමට හෝ සාර්ථක ජීවිතයක් ගත කිරීමට නොහැකි බව ඉන් අදහස් කරන්නේ නැහැ. දෙමාපියන් වෙන් වුවත් ඔවුන්ට මව සහ පියා යන දෙදෙනා සමඟම හොඳ බැඳීමක් තිබෙනවා නම් සාර්ථක විය හැකියි. * කෙසේනමුත් සමහරුන් පවසන ආකාරයට දික්කසාදය ‘දරුවන්ගේ යහපතට හේතු වෙනවා’ කියා හෝ එමගින් ස්වාමිපුරුෂයා හා භාර්යාව අතර ඇති ගැටුම්වලට නිමාවක් ගෙනෙනවා කියා සිතීම අනුවණ දෙයක්. ඊට හේතුව සමහරුන් අද්දැක තිබෙන්නේ දික්කසාද වීමට පෙර තිබූ තත්වයට වඩා ඉන්පසුව ඔවුන් නොසිතූ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදු වන බවයි. ආර්ථික ගැටලු හෝ දරුවෙකුව නඩත්තු කිරීමට සිදු වීම ඉන් සමහරක්. එයින් පැහැදිලි වන්නේ පවුල් ජීවිතයේ ගැටලුවලට දික්කසාදය විසඳුමක් නොවන බවයි. යම් ප්‍රශ්න විසඳුනත් එමගින් තවත් ප්‍රශ්න රාශියක් මතු වෙයි.

විසඳුම

ඔබගේ පවුල් ජීවිතය ප්‍රශ්න ගැටලුවලින් පිරී තිබෙන නිසා ඔබ දික්කසාද වීමට සිතමින් සිටින කෙනෙක්ද? දික්කසාදය පවුල් ජීවිතයේ ප්‍රශ්න ගැටලුවලට විසඳුම නොවෙයි. එමනිසා තීරණයක් ගැනීමට පෙර මෙම ලිපියේ සාකච්ඡා කරන තොරතුරු ගැන හොඳින් සිතා බලන්න.

මෙය වරදවා වටහාගන්න එපා! ගැටලුවලින් පිරි පවුල් ජීවිතයකට එකම විසඳුම ගැටලු සමඟ ජීවත් වීම නොවෙයි. දෙදෙනා අතර ඇති ප්‍රශ්න විසඳාගන්න උත්සාහ කිරීමෙන් ඊට විසඳුමක් සෙවිය හැකියි. ඔබ දෙදෙනා අතර ඇති ප්‍රශ්න කෙදිනකවත් විසඳාගන්න බැහැයි කියා සිතන්න එපා. ඒ සම්බන්ධයෙන් මෙම ප්‍රශ්න ගැන සිතා බලන්න.

▪ ‘ඔහුට හෝ ඇයට මගේ සිත ඇදී ගියේ කුමන ගුණාංග නිසාද? දැන් එම ගුණාංග යම් ප්‍රමාණයකින්වත් ඔහු හෝ ඇය ළඟ නැද්ද?’—හිතෝපදේශ 31:10, 29.

▪ ‘මට ඔහු හෝ ඇය ගැන කලින් තිබූ ඒ ආදරය නැවත ඇති කරගන්න පුළුවන්ද?’—සලමොන්ගේ ගීතිකාව 2:2; 4:7.

▪ ‘ඔහු හෝ ඇය කෙසේ කටයුතු කළත් මෙම සඟරාවේ 3 සිට 9 දක්වා පිටුවල සඳහන් යෝජනා ක්‍රියාත්මක කරන්න මට පුළුවන්ද?’—රෝම 12:18.

▪ ‘අප දෙදෙනා අතර තිබූ කිට්ටු බැඳීම නැවත ඇති කරගැනීමට අවශ්‍ය කුමක්ද කියා ඔහුට හෝ ඇයට කෙළින්ම පවසන්න හෝ ලියා දන්වන්න මට පුළුවන්ද?’—යෝබ් 10:1.

▪ ‘අපගේ ගැටලු නිරාකරනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට දැනුම් තේරුම් ඇති මිතුරෙකුගේ උපකාර ලබාගන්න පුළුවන්ද?’—හිතෝපදේශ 27:17.

බයිබලයේ මෙවැනි දෙයක් සඳහන් වෙනවා. “සිහිබුද්ධිය ඇති අය තමන් ගත යුතු පියවර ගැන හොඳින් කල්පනා කරයි.” (හිතෝපදේශ 14:15, නව ලොව පරිවර්තනය, NW) විවාහ වීමට කෙනෙකු සෙවීමේදී පමණක් නොව විවාහයේ ගැටලු මතු වන විටද එම ප්‍රතිපත්තිය අදාළයි. මෙම සඟරාවේ නවවෙනි පිටුවේ සඳහන් ලෙස සාර්ථක යුග දිවියක් ගත කරන අයටද ප්‍රශ්න තිබෙනවා. නමුත් ඔවුන්ගේ වෙනස වන්නේ ඔවුන් ඒවා විසඳන ආකාරයයි.

එය අපි මෙසේ නිදර්ශනය කරමු. ඔබ මෝටර් රථයකින් දිගු ගමනක් යන්න පටන්ගත්තා කියා සිතන්න. ගමන අතරතුරේදී දැඩි වර්ෂාව හෝ වාහන තදබදය වැනි බාධාවන් ඇති වෙයි කියා ඔබ අපේක්ෂා කරන්නේ නැද්ද? සමහරවිට ඔබට පාර වරදින්නත් පුළුවන්. දැන් ඔබ මොකද කරන්නේ? ගමන නතර කරනවාද? නැත්නම් එම බාධා ජය ගෙන ඉදිරියට යනවාද? ඔබ විවාහ වූ දිනයේදීත් යම් දිගු ගමනක් ආරම්භ කළා. එහිද යම් බාධාවලට මුහුණ දීමට සිදු වන බව ඔබ හොඳින් දන්නවා. බයිබලයේද ඒ ගැන පවසන්නේ “විවාහ වන අයට, මාංසයෙහි දුක් ඇති වන්නේය” කියායි. (1 කොරින්ති 7:28) මෙහිදී ඇති වන ප්‍රශ්නය වන්නේ විවාහයේදී ගැටලු ඇති වෙයිද නැද්ද යන්න නොව නමුත් ඊට හොඳින් මුහුණ දෙන්නේ කෙසේද යන්නයි. එම බාධා ජය ගෙන ඉදිරියට යන්න ඔබට පුළුවන්ද? එය කොහෙත්ම කළ නොහැකියි කියා ඔබට හැඟුණත් තව කෙනෙකුගේ උපකාර ලබාගන්න ඔබ උත්සාහ කරනවාද?—යාකොබ් 5:14.

දෙවි ඇති කළ විවාහය

විවාහය දෙවි ඇති කළ සැලැස්මක් නිසා එය සැහැල්ලුවට නොගත යුතුයි. (උත්පත්ති 2:24) ගොඩ ඒමට බැරි තරම් ප්‍රශ්න ගැටලුවලට ඔබ මුහුණ දෙන විට මෙම ලිපියේ සඳහන් යෝජනා ක්‍රියාත්මක කිරීමට වෑයම් කරන්න.

1. ඔබ දෙදෙනා අතර මුලින්ම තිබූ ආදරය නැවත ඇති කරගැනීමට උත්සාහ කරන්න.—සලමොන්ගේ ගීතිකාව 8:6.

2. දෙදෙනා අතර ඇති බැඳීම ශක්තිමත් කරගැනීමට ඔබට කළ හැකි දේ ගැන සිතා එය ක්‍රියාත්මක කරන්න.—යාකොබ් 1:22.

3. විවාහය ආරක්ෂා කරගැනීම සඳහා කළ යුතුයි කියා ඔබට හැඟෙන දේ ඔහුට හෝ ඇයට කෙළින්ම පවසන්න. නැත්නම් ලියා දන්වන්න. නමුත් එය පැහැදිලිව හා ගෞරවාන්විතව කළ යුතු බව අමතක නොකරන්න.—යෝබ් 7:11.

4. ඔබේ විවාහය රැකගැනීම ඔබ පමණක් සතු වගකීමක් නොවෙයි. ඒ සඳහා උපකාර පතන්න.

[පාදසටහන්වල]

^ 9 ඡේ. මෙම ලිපියේ සාකච්ඡා කරන්නේ දික්කසාදය යොවුන් දරුවන්ට බලපාන ආකාරය වුණත් කුඩා දරුවන්ටද එය බලපානවා. ඒ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා 1991 දෙසැම්බර් 8 පිබිදෙව්! සඟරාවේ 3 සිට 11 දක්වා පිටු බලන්න.

^ 13 ඡේ. මව හෝ පියා ඉතා දරුණු ලෙස කටයුතු කරනවා නම් හෝ පවුල සම්පූර්ණයෙන්ම අත්හැර දමා ගොස් ඇත්නම් එය පහසු දෙයක් නොවෙයි.—1 තිමෝති 5:8.

[19වන පිටුවේ කොටුව⁄පින්තූරය]

‘මේ පාර නම් එහෙම වෙන්නේ නැහැ’

සමහර අධ්‍යයනයන්ගෙන් හෙළි වී තිබෙන්නේ පළමු විවාහයට වඩා දෙවන විවාහය අසාර්ථක වීමේ වැඩි ප්‍රවණතාවක් තිබෙන බවයි. එමෙන්ම තුන්වන විවාහය ඊටත් අන්තයි. ඊට එක් හේතුවක් ගැන එම්. ගැරී නියුමන් ඔහුගේ එක් පොතක මෙසේ සඳහන් කළා. “ඔබගේ පළමු විවාහය අසාර්ථක වුණා නම් ඒකට වග කියන්න ඕනේ එම වැරදි තේරීම කළ ඔබයි. ඔහුට හෝ ඇයට ආදරය කරන්න පටන් ගත්තේ ඔබයි. ඔහු හෝ ඇය සමඟ එක් වී කළ හෝ නොකළ සියල්ලටම වගකිව යුත්තේ ඔබයි.” ඒ නිසා ඔහු මෙවැනි උපදෙසක් දෙනවා. “ප්‍රශ්නවලට ඉන්න කියලා ස්වාමිපුරුෂයාට හෝ භාර්යාවට යන්න කියනවාට වඩා හොඳම දේ වන්නේ ප්‍රශ්නවලට යන්න කියලා ඔහුට හෝ ඇයට ඉන්න කියන එකයි.”—එම පොත Emotional Infidelity.

[21වන පිටුවේ කොටුව]

විවාහය දෙකඩ වුණොත්

යම් බරපතල හේතු නිසා දික්කසාද විය හැකි බව බයිබලයේද සඳහන් වෙනවා. * ඔබගේ නිවසේ එවන් තත්වයක් උද්ගත වී ඇත්නම් ඊට මුහුණ දීමට ඔබගේ යෞවන දරුවන්ට උපකාර කරන්න ඔබට හැක්කේ කෙසේද?

ඒ ගැන දරුවාට විවෘතව පවසන්න. හැකි නම් දෙමාපියන් දෙදෙනාම එය කළ යුතුයි. දික්කසාද වීමට ඔබ ගෙන ඇති තීරණය ඔබේ දරුවාට පවසන්න. ඊට ඔහු වගකිව යුතු නැති බවත් දෙදෙනාම දිගටම ඔහුට ආදරය කරන බවත් පවසන්න.

අඬදබර අවසන් කරන්න. සමහරුන් දික්කසාද වීමෙන් පසුව පවා බොහෝ කාලයක් යන තුරු අඬදබර කරනවා. ඒ ගැන එක් විද්වතෙකු පැවසුවේ මෙසේයි. “දෙන්නා නීත්‍යානුකූලව විවාහය අවසන් කළත් අඬදබර නම් අවසන් කර නැහැ.” අම්මයි තාත්තයි නිතරම රණ්ඩු කරනවා දකින දරුවන් උත්සාහ කරන්නේ ඔවුන් අතර යම් ගැටුම් ඇති කර තමන්ට ඕනෑ දේ කරගැනීමටයි. උදාහරණයකට පුතා අම්මාට මෙහෙම කියන්න පුළුවන්. “මම කීයට ගෙදර ආවත් තාත්තා නම් මුකුත් කියන්නේ නැහැ. ඇයි අම්මා මට බනින්නේ?” දරුවා තාත්තගේ පැත්ත ගනීවි කියා භය වෙන නිසා අම්මත් ඔහුට ඉඩ දෙනවා. මේ ඝට්ටන නිසා දරුවන් ඔවුන්ගෙන් දුරස් විය හැකියි.

දරුවාට කතා කරන්න ඉඩ දෙන්න. ‘අම්මයි තාත්තයි එකිනෙකාට ආදරය කරන්නේ නැත්නම් ඔවුන් මටත් ආදරය කරන එකක් නැහැ’ කියා හෝ ‘අම්මයි තාත්තයි වැරදි කෙරුවා නම් ඇයි මට කරන්න බැරි’ කියා දරුවා සිතන්න පුළුවන්. ඔහුගේ එම බිය දුරු කිරීමට හා ඔහුව නිවැරදි කිරීම සඳහා ඔබ සමඟ හොඳින් අදහස් හුවමාරු කිරීමට ඔහුට ඉඩ දෙන්න. නමුත් මේ ගැන පරිස්සම් වන්න: ඔබගෙන් දික්කසාද වූ ස්වාමිපුරුෂයාගේ හෝ භාර්යාවගේ වැරදි දරුවා සමඟ කතා කරන්න එපා. ඔහු ඔබගේ දරුවා මිස සම වයසේ කෙනෙකු නොවන බව මතක තබාගන්න.

ඔබ දෙදෙනාම සමඟ හොඳ බැඳීමක් ඇති කරගන්න දරුවාට දිරිගන්වන්න. ඔහු හෝ ඇය ඔබගෙන් දික්කසාද වුණත් ඔබ දෙදෙනා තවමත් ඔබේ දරුවාගේ දෙමාපියන්. ඔබේ දරුවා සමඟ ඔහු හෝ ඇය ගැන අපහාසාත්මක ලෙස කතා කිරීම ඉතා හානි කරයි. ඒ ගැන එක් පොතක මෙසේ සඳහන් වුණා. “දෙදෙනා අතර ඇති වන ගැටුම්වලදී දරුවන්ව ආයුධයක් කරගන්නවා නම් අනිවාර්යයෙන්ම එහි භයානක ප්‍රතිඵලවලට මුහුණ දෙන්න දෙමාපියන්ට සිදු වෙනවා.”

ඔබ ගැනත් සැලකිලිමත් වෙන්න. ඔබ ප්‍රශ්නවලින් මිරිකී ඇති බවක් විටින් විට ඔබට හැඟෙන්න පුළුවන්. නමුත් අධෛර්යය වෙන්න එපා. හොඳ සැලැස්මකට අනුව වැඩ කරන්න. ඔබ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් නම් නිතිපතා ඔබේ නමස්කාර කටයුතුවල හවුල් වන්න. එය ඔබටත් ඔබේ දරුවාටත් විශාල සහනයක්.—ගීතාවලිය 18:2; මතෙව් 28:19, 20; හෙබ්‍රෙව් 10:24, 25.

[පාදසටහන]

^ 38 ඡේ. දික්කසාද විය හැකි එකම හේතුව ලෙස බයිබලයේ සඳහන් වන්නේ ස්වාමිපුරුෂයා හෝ භාර්යාව වෙනත් කෙනෙකු සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වීමයි. (මතෙව් 19:9) එක් අයෙකු එවන් ක්‍රියාවක හවුල් වී ඇත්නම් ඔහුව දික්කසාද කරනවාද නැද්ද යන්න තීරණය කරන්නේ නිර්දෝෂ තැනැත්තා මිස ඔහුගේ හෝ ඇයගේ පවුලේ සාමාජිකයන්වත් වෙන කිසිවෙකුවත් නොවෙයි.—ගලාති 6:5.

[20වන පිටුවේ පින්තූරය]

ඔබගේ විවාහ දිනයේදී ඔබ දුන් පොරොන්දුවලට ගරු කරන්න

[21වන පිටුවේ පින්තූරය]

දරුවාගේ අයිතිය ඔබ දෙදෙනාටම හිමි නම් ඔබ දෙදෙනාම සමඟ හොඳ බැඳීමක් ඇති කරගන්න දරුවාට දිරිගන්වන්න